~

මහින්ද අමරවීර බස් කොන්දොස්තර කෙනෙක් නොවේ..! පුද්ගලික ලේකම් උගතෙක්..! යූරියා වලින් ගැහුවේ නෑ..!

-කෘෂිකර්ම අමාත්‍යාංශය උත්තර බඳී

(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.12, ප.ව.11.00) "බස් කොන්දොස්තර මහින්ද අමරවීර පුද්ගලික ලේකමා සමග ලෝක බැංකුවත් අන්දමින් යූරියා වලින් ගහන ගැහිල්ල..! මෙන්න සාක්කි..!!" මැයෙන් ඊයේ (11) ලංකා ඊ නිව්ස් හි පළ වූ පුවත සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය අප වෙත පිළිතුරක් එවා ඇත. පිළිතුරු දීමේ අයිතිය අනුව කටයුතු කරන ලංකා ඊ  නිව්ස් එකී පිළිතුර සම්පූර්ණයෙන් පළ කරමු. නමුත් අප විසින් පළ කර ඇති පුවතේ මුඛ්‍ය කාරණාව වූ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණු අනුව යූරියා ටෙන්ඩරය ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සංග්‍රහයේ උපදේශන අනුව සිදුවී ඇතිදැයි විනිශ්චය කිරීම  පාඨකයාට බාර කරමු. මන්ද යත් ප්‍රසම්පාදන මාර්ගෝපදේශනයේ කොන්දේසි වලින් පරිබාහිරව කටයුතු කළ බව එකී කැබිනට් පත්‍රිකාවේම සඳහන් කර ඇති නිසා ය. 

එවන ලද ලිපිය පහත දැක්වේ.  

සඳරුවන් සේනාධිර මහතා
ප්‍රධාන සංස්කාරක
ලංකාඊනිවුස්

හිතවත් සංස්කාරකතුමනි.

2022 නොවැම්බර් 11 දින ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ ව තිබෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම් සම්බන්ධ වාර්තාව සම්බන්ධවයි.

ප්‍රථමයෙන් එහි සඳහන් කරුණු හුදෙක්  ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ නිලධාරීන් පිරිසක් යැයි කියා ගන්නා පිරිසක් විසින් සපයන ලද පදනම් විරහිත කාරණා බව පවසනු කැමැත්තෙමි.

එහි සඳහන් අවලාද අනුව පහත සඳහන් පරිදි නිවැරදි කිරීමට කැමැත්තෙමි.

01. මහින්ද අමරවීර අමාත්‍යවරයා කිසි අවස්ථාවක බස් කොන්දොස්තර කෙනෙක් ලෙස කටයුතු කර නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයක දී අමාත්‍යවරයා ඊට අඟුනකොළපැලැස්සෙන් එක් වු පිරිස සමග සහභාගි වු අවස්ථාවක බස් රථයකට හේත්තු වී සිටින අවස්ථාවක ගත් ඡායාරූපයක් පදනම් කර ගනිමින් ඔය අවලාදය කවරෙකු විසින් හෝ නිර්මාණය කරන ලද්දකි.

02. අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා නූගතෙක් නොවේ. ඔහු මෙරට විශ්ව විද්‍යාලයකින් නිදහස් අධ්‍යාපනය යටතේ ඉංජිනේරු උපාධිය ලබා ගත් අයෙකි. එමෙන්ම ඔහු MSc විභාගය ද සම්පූර්ණ කළ අයෙකි. එමෙන්ම ඔහු අවැඩක් සිදු වෙන්නට ගිය සෑම අවස්ථාවකම එම තත්ත්වය නිවැරදි කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ නිලධාරියෙකි.

03. ලෝක බැංකු ණයක් මත මිල දී ගත් පොහොර පිළිබඳ ටෙන්ඩරය තනිකරම කෘෂිකර්ම අමාත්‍යාංශයේ තීන්දු මත ගත්තක් නොවේ. එහි සම්පූර්ණ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරුන් හතරදෙනෙක් හා ලෝක බැංකු නියෝජිතයින්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවු ප්‍රසම්පාදන කටයුත්තකි. එම කමිටුවේ සභාපතිත්වය දරන ලද්දේ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයායි.

එමෙන්ම මෙම ප්‍රසම්පාදන කටයුතු අකුරක් නෑර අධීක්ෂණය කිරීම ලෝක බැංකු නියෝජිතයින් විසින් සිදු කරන ලදී. ඊට අමාත්‍යාංශයේ පොහොර සම්බන්ධව කටයුතු කරන අතිරේක ලේකම්වරු තිදෙනෙක් මෙන්ම ජාතීක පොහොර ලේකම් කාර්යාලය ද  මූලිකත්වය ගෙන කටයුතු කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා එම කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.

එමනිසා මෙම යුරියා පොහොර මිල දී ගැනීමේ ටෙන්ඩරය මගින් අවශ්‍යතාවයක් තිබුනත් නැතත් රුපියලක් හෝ කිසිවෙකුට වංචා කිරීමට ඉඩක් නොමැත. එයට ප්‍රධාන හේතුව වන්නේ ලෝක බැංකු නියෝජිතයින් මෙම කටයුතු පූර්ණ අධීක්ෂණයකට පැය විසිහතර පුරාම කටයුතු කළ නිසාය.

කිසියම් පිරිසක් මෙම තොරතුරු ඔබ ඩෙබ් අඩවියට ද්වේශ සහගතව මෙම ටෙන්ඩරය විධිමත්ව සිදු වූ නිසා වාසි ලබා ගැනීමට නොහැකි වූ නිසාම  ලබා දී ඇති බව පෙනේ.

චීන පොහොර නැව පිළිබඳ ගැටළුව විසඳාලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් ද පැවැත්විනි. එම සාකච්ඡාව පවත්වන ලද්දේ චීන පොහොර නැව වෙනුවෙන් ගෙවන ලද ඩොලර් මිලියන 6.7ක මුදල ආපසු ලබා ගැනීමේ අරමුණෙනි. එහෙත් ඒ සම්බන්ධව දැනට පවතින තත්ත්වය අනුව සතුටුදායක තීරණයක් ලබා ගැනීම පහසු කටයුත්තක් නොවේ. එසේ වුවද මේ සම්බන්ධව දෙරට අතර හොඳ හිතට හානියක් නොවන පරිදි එම ගැටළුව විසඳා ගැනීම අරඹා ඇත.

තව ද 2021 මහ කන්නයේ දී කුණු ගඳ ගහන කාබනික දියර පොහොර යැයි කියා ගන්නා කුණු මාළු ඉස්ම ඉන්දියාවෙන් ගෙන්වා අධිත මිලට ගෙන ගොවීන්ට දෙන විට මෙම කෘෂිකාර්මික සේවයේ නිලධාරින් සිටියේ කොහේදැයි විමසිය යුතුය.

එසේම කාබනික පොහොර යැයි කියමින් වැව්වලින් හාරා ගන්නා ලද පස්, ටයර් දමා පිළිස්සු කළු පැහැති පස් හා වීදුරු කටු, වළං කැබළි අඩංගු පස් කාබනික  පොහොර ලෙස බෙදන විට මේ ඊනියා කෘෂිකාර්මික සේවයේ නිලධාරින් පැත්ත පළාතකවත් සිටියේ නැත.

නමුත් වත්මන් රජය විසින් එම අදූරදර්ශි තීරණ බැහැර කරමින් නැවතත් රසායනික පොහොර ලබා දීම තුළ වසර 15කට පසු මෙරට ගොවීන්ට ලැබුනු උසස්තම යුරියා පොහොර පසුගිය මහ කන්නයේ දීමට හැකි වූ බව ඔබතුමන්ද දන්නා කරුණකි.

ඔබ ලන්ඩනයේ සිටියද ඔබ නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ ජීවත්වන්නන්ට වඩා මෙරට සිදුවෙන දේ පිළිබඳ අවදියෙන් සිටින මාධ්‍යවේදියෙක් බව මම පුද්ගලිකවම දන්නා කරුණකි. එම නිසා මෙම පැහැදිළි කිරීම පළ කර දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

මාධ්‍ය ඒකකය

කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

සබැඳි පුවත
බස් කොන්දොස්තර මහින්ද අමරවීර පුද්ගලික ලේකමා සමග ලෝක බැංකුවත් අන්දමින් යූරියා වලින් ගහන ගැහිල්ල..! මෙන්න සාක්කි..!!

---------------------------
by     (2022-11-12 17:53:13)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links