-නන්දන වීරරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.08, ප.ව.11.30) රටේ ළමාරක්ෂකයෝ පසුගිය සතියේ පොළොන්නරුව, මැදිරිගිරියේ, නව යෞවනියන්ගේ එකතුවකින් නිර්මාණය වූ ‘ආශාවරී’ මියැසිය විසුරුවා හරින්නටත්, ඔවුන්ගේ ප්‍රසංග නතර කිරීමටත් ක්‍රියාත්මක වෙමින් සිටියහ. එයට හේතුව ‘ආශාවරී’ මියැසිය ගී ප්‍රසංග පැවැත්වීමෙන් එහි ගයන වයන නව යෞවනියන්ගේ ළමා අයිතිවාසිකම් උලංඝණය කෙරෙන බවට නැඟුණු චෝදනාව ය. ගොවි ජනපදවලටම පමණක් සීමා වූ, ශුද්‍ර ණය නිසා විපතට පත් ස්ත්‍රීන් සිටින පොළොවකින් මේ බඳු ස්ත්‍රී මියැසියක් මතුවීමේ අසිරිය විඳීම වෙනුවට පිළිකුල මේ සදාචාර පොලිසියෙන් මතුවෙමින් තිබුනේ ය.
දරුවන් ටියුෂන් හෙවත් උපකාරක පංති යැවීම වසංගතයක් මෙන් පහළ මැද පංතිය පුරා පැතිරීමට පෙර ලංකාවේ පාසල් දරුවෝ රසවිඳීම මෙන්ම රස නිෂ්පාදනයේ ද යෙදුනෝ ය. කුඩා සංගීත, නාට්‍ය හා රසික සංසද ස්වකීය විවේකයේ දී සමූහයක් හැටියට රස විඳීමේ හා නිෂ්පාදනයේ යෙදුනා හ. නගර, අර්ධ නගර හා ග්‍රාමීයව ඔවුන්ට ඉල්ලුමක් තිබුනි. අධ්‍යාපනය ඉගෙනීම සඳහා නොව මැරතන් දිනුමක් දක්වා වෙනස්වෙද්දී මේ සංස්කෘතික ජීවිතය දියවී ගියේ ය. ඉතිරිවූයේ විෂය නිර්දේශවලට උගත යුතු කවි, හා කතාවල මතකය පමණි. වැඩිහිටියන් දරු පරම්පරා ගණනාවගේ අසිරිමත් ළමා විය විනාශ කරමින් යන රටක මෙබඳු අහම්බයක් ගොවි ජනපදවලින් මතුවීමට හතුරුවීම යට තිබෙන්නේ ඊර්ෂාව ද එසේත් නැතිනම් රස නාශකයන් වීමේ පාපය දැයි සොයා බැලිය යුතුය.
‘තොපි තුවක්කු ගන්නත් එපා. තොපි ගිටාර්, වයලීන් ගන්නත් එපා. අපිට සැප ගන්න විදේශ විනිමය සොයා මැදපෙරදිග ගෘහ සේවයට පලයව්’ යන උපදෙස අනුව ක්‍රියාත්මක වෙන පාලක කල්ලි යටතේ මීට වඩා වෙනස් දෙයක් මේ රටේ දරුවන්ට බලාපොරොත්තු විය නොහැකිය. මේ පාලක කල්ලියේ සාමාජිකත්වය රාජපක්ෂ, වික්‍රමසිංහ, බණ්ඩාරනායක, සේනානායක, හෝ වෙනත් පවුලකින් පැවතුනත් ඔවුන්ට කලා රසිකත්වයක් හෝ සංස්තෘතික ජීවිතයක් නැත. ඔවුන්ගේ රසිකත්වය තිබෙන්නේ මුදල් ගොඩ ගැසීමට ය. කෙසේ හෝ බලයේ අනුහස් විඳීම ය.
මේ කලාවිහීනත්වයේ ගොරහැඩිකම මොවුන්ට උරුම කරන්නේ මේ රටේ බලවත්ව සිටින ආගමික ව්‍යාපාරය විසින් ය. බෞද්ධ ආගමික සාහිත්‍යයයේ බලවත් යුගයක් බවට පිළිගැනෙන දඹදෙනි යුගයේ මේ වග කතිකාවත් කර ඇත්තේ මේ ආකාරයට ය.
“ ගෘහස්ථයන්ට සොලෝ ආදිය බැඳ නොකිය යුතු
කාව්‍ය නාටකාදී ගර්හිත විද්‍යා තමා නූගත යුතු. අනුනුත් නූගැන්විය යුතු”
[මහාචාර්ය අගලකඩ සිරිසුමන, දඹදෙණි කතිකාවත හා භික්ෂු සමාජය, 107 පිටුව]
පුදුමයකට මෙන් ස්ත්‍රී හඬ මවාගනිමින් “කයි බණ” විශාරද භික්ෂූන් දුසිම් ගණනාවක් උපාසක- උපාසිකාවන් පංසලට අද්දවන්නට පැවිදි අලි-ඇතුන් සේ මෙකල හැසිරෙන්නේ මේ තහනම තිබෙද්දීම ය. එහෙත් මේ තහනම බ්‍රිතාන්‍යයන් හඳුන්වාදුන් යටත් විජිත පොලිසියට කාන්දු වූයේ කෙසේ ද?
බණ්ඩාරනායක - දහනායක අධ්‍යාපන යුගයේ [1956 – 1959] ආගමික පූජකයන්ට රජයේ පාසල්වල ආගම ඉගැන්වීමේ පත්වීම් බෙදුනේ ය. ලෙබ්බේලා ද, භන්තේලා ද සාමිලා ද, ෆාදර්ලා ද ගිහි සංස්කෘතියේ පාලනය අතට ගන්නේ මේ තිරස්චීන තීන්දුව නිසාය. වහාබ් ඉස්ලාමය, වහාබ් බුද්ධාගම, හා සෙසු ආගමික අන්තවාදයන් මේ සමාජයට ආන්ඩුවේ වියදමෙන් පැටවෙන්නේ එතැන් පටන් ය. දැන් මේ පූජක ගුරුවරුන් ජාතක කළ කලා විහීනයෝ සමාජය පාලනය කරන්නන් හා මත තනන්නන් හැටියට වැඩවාසය කරති. ‘අශාවරී’ මියැසිය බදු සුන්දර උත්සාහයක් තහනම් කරන්න සුදානම් වන්නේ මොවුන් ය. සංස්කෘතිය හා කලාවන් මේ අන්තවාදින්ගෙන් නිදහස් කරගත යුතුය.
---------------------------
by (2022-11-13 13:07:31)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි