-ඉල් පෝ දිනය වෙනුවෙන් දිවුල්වැවේ ජිනරතන හිමියෝ ලියති
(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.07, ප.ව.9.25) නූතන අධි පරිභෝජනවාදී සමාජයේ බහුලව දක්නට ලැබෙන දුර්දාන්ත ලක්ෂණ අතර සන්නාමකරණය (Branding) ද ප්‍රධාන තැනක් ගනියි. කොයි කාටත් වැටහෙන ලෙස කිවහොත් කිසියම් පාරිභෝගික භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධයෙන් ජනතාවට බුද්ධිමය නොවන ප්‍රවේශයකින් සන්නිවේදනය කිරීම පිණිස හඳුන්වා දෙන 'අඩයාලම' හෙවත් ලාංඡනය (Emblem ) මෙම සන්නාමකරණයේ දී ප්‍රධාන තැනක් ගනී. ලෝක ප්‍රකට කෝලා බීම වර්ග ඇතුළු ජාත්‍යන්තර සේම දේශීය ව්‍යාපාර සමාගම් විසින් හඳුන්වා දී ඇති විවිධ සන්නාම මේ වන විටත් ඔබේ මතකයට නැංවෙනු ඇත.
මෙම "සන්නාම" යන්න සමාජ විද්‍යාවේ හැඳින්වෙනුයේ "හන්නිවරණය" යනුවෙනි. ඉන් පැවසෙනුයේ 'හන තැබීම' හෙවත් 'හංවඩු ගැසීම' ය. අප කවුරුත් දන්නා අන්දමට මෙය ගෘහස්ථ සතුන් හඳුනා ගැනීම පිණිස කරනු ලබන බරපතල හිංසනකාරී ක්‍රියාවකි. එමෙන්ම මෙහි විශේෂත්වය වනුයේ Branding යන ඉංග්‍රීසි වදන මගින් ද මෙම හන තැබීම් හංවඩු ගැසීම යන අරුත ද පළවීම ය.
විවිධ වෙළඳ සමාගම් සහ ආයතනය බුද්ධි ගෝචර නොවූ ක්‍රමෝපායක් මත පාරිභෝගිකයන් ග්‍රහණය කර ගැනීම පිණිස යොදන මෙම සන්නාමකරණ ක්‍රියාවලිය රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විවිධ ආයතන මගින් ද සිදු කරන අවස්ථා තිබේ. එමෙන්ම ඒ සම්බන්ධ වඩාත් සුවිශේෂී තත්වයක් ද මේ වන විට පැන නැගී තිබේ. එනිසාම ඒ සම්බන්ධයෙන් පොදු සමාජ අවධානයක සහ කතිකාවක අවශ්‍යතාව ද මතු වී තිබේ. එනම් ප්‍රථම වරට අප රටේ බෞද්ධ භික්ෂුවක බුද්ධිගෝචර නොවන අන්දමින් බෞද්ධයා තමන් වෙත අද්දවා ගැනීම පිණිස මෙම සන්නාමකරණ යාන්ත්‍රණයට අවතීර්ණ වී තිබීම ය.
එකම ආකාරයක අකුරු පෙළක් සිංහ රූප දෙකක් සහිත මුද්‍රාවකින් යුතු ‘මහමෙවුනා භාවනා අසපුව’ යනුවෙන් සඳහන් පුවරු දිවයිනේ බොහෝ ප්‍රදේශ වල දක්නට ලැබෙන අතර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල ද ඇතුළුව විහිද ගත් මෙම ජාලයට අසපු 42 ක් අයත් බව පැවසෙයි. මේ මහමෙවුනා භාවනා අසපු සංකල්පයේ නිර්මාතෘ මේ වන විට ශ්‍රී ලාංකේය සංඝ සමාජයේ සේම පොදු සමාජයේ ද මහත් ආන්දෝලනයට ලක්ව හිඳින කිරිබත්ගොඩ ඥානානන්ද හිමි ය.
ගත වූ දශක කිහිපය තුළ ඒ හිමියන් ගේ විවිධ ක්‍රියාකාරකම් වර්තමාන ශාසන විලෝපනයට සේම සමාජ ව්‍යාකූලත්වයට නියත ලෙසම ඉවහල් වී ඇති බැවින් ඒ සම්බන්ධ ධර්ම ශාස්ත්‍රීය විමසුමක් කිරීම අපගේ මෙම සටහනේ අරමුණ ය. ඒ හැරුණු කොට ඒ හිමියන් සමඟ පෞද්ගලික ආරෝවක් තබා දැන හැඳුනුම් කමක් වත් අප සතුව නොමැති බව පළමු කොටම කිව යුතුව තිබේ.
මෙම 'අසපුව' යන නම සිංහලයෙහි මුල්වරට සඳහන් වනුයේ දොලොස්වන සියවසේ ලියැවුණු ජාතක අටුවා ගැටපදයේ ය. මෙය සංස්කෘත භාෂාවෙහි 'ආශ්‍රමපද' යන්නෙන් භින්න වූවක් සේ සැළකේ. හින්දු ආගමික සංස්ථාව තුළ ආශ්‍රම යනු ජීවන චර්යාව හැඟවෙන වදනකි. නමුදු අසපුව යනුවෙන් සිංහලයට නැංවී ඇති ආශ්‍රමපද යන්න මොනියර් විලියම්ස් සංස්කෘත ශබ්ද කෝෂයේ අර්ථ නිරූපණය කොට ඇත්තේ තාපසාරාමය (Hermitage ) ලෙසිනි. එමෙන්ම මෙම වදන ජෛන හින්දු ආගමික ව්‍යවහාරයක් මිස මූලික බුදු සමයෙහි හුවා දැක්වෙන්නක් නොවන බවත් බෞද්ධ සම්ප්‍රදායට අනුව එය ආරඤ්ඤ (ආරන්‍යය; අරන) ලෙස හැඳින්වෙන බවත් පෙන්වා දිය යුතු ය. මෙහි දී වනවාසී භික්ෂූන් වැඩ හිඳින ආරන්‍ය සේනාසන ඔබ ගේ සිහියට නැංවෙනු ඇත. එහෙත්, ඒවාට කිසිදු සම්බන්ධයක් නොමැති තම ව්‍යාපාර ජාලය "අසපු" ලෙස නාමකරණය කිරීමට කිරිබත්ගොඩ ඥානානන්ද හිමි පෙළඹවූ පැහැදිලි හේතුවක් තිබේ. එනම් ඒ වන විටත් ශ්‍රී ලාංකේය ජන සමාජයෙන් සැලකිය යුතු පිරිසක් භික්ෂූන් ගේ අනේක විධ විෂමාචාර මත "පන්සල" කෙරෙහි කලකිරී සිටීම ය. ඥානානන්ද හිමි ඒ සඳහා ඉදිරිපත් කළ විකල්පය වන මෙම අසපු සංකල්පය කෙතරම් ජනකාන්ත වී ද යත් අප උසස් අධ්‍යාපනය ලැබූ දෙදහස දශකයේ මුල් භාගයේ පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨ සිසුන් තුළ කිරිබත්ගොඩ ඥානානන්ද උන්මාදයක් ඇති වී තිබිණ. ඒ මූලික ධර්ම අධ්‍යාපනයක් නොලද ඔවුන් එය නිවැරදි බුද්ධාගම ලෙස පිළිගෙන තිබූ බැවිනි.
සමථ, විදර්ශනා යනුවෙන් ප්‍රභේද දෙකක් වශයෙන් බුදු දහමෙහි දක්වා ඇති ‘භාවනාව’ ආර්ය මාර්ගයෙහි ඉතා වැදගත් ශික්ෂා මාර්ගයකි. එහෙත්, එතෙර මෙතෙර භාවනා අසපු නම් එවැනි ස්ථාන හතලිස් දෙකක් පවත්වා ගෙන යන බව පවසන කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් අද වන විට පොදු සමාජය හමුවේ වෙසෙසින් කැපී පෙනෙනුයේ රුපියල් කෝටි ගණන් ධනය වැය කරමින් පැරණි දාගැබ් ස්ථූප විෂයෙහි මූලික බුදුසමය හා කිසිදු සබැඳියාවක් නොමැති නිසරු පුද පූජා සහ හින්දු යාග හෝම සම්ප්‍රදායේ ශාන්ති කර්ම මෙහෙයවන්නකු ලෙස ය. ඉන්දියානු ප්‍රකට දාර්ශනිකයකු වූ ජිඩ්ඩු ක්‍රිෂ්ණමූර්ති තුමන් පැවසූ පරිදිම සෑම මහා පරිමාන ආගමික යාන්ත්‍රණයක් තුළම ව්‍යාපාර සේම ඇතැම් විට ජාවාරම් ද තිබිය හැකි බව මෙහි දී අප ගේ සිහියට නැඟෙයි.
ඥානානන්ද හිමියන් තුළ පවතින මෙම දෙබිඩි පිළිවෙත මේ වන විට ගිහි පැවිදි බොහෝ දෙනකුගේ සංතීක්ෂණ අවධානයට යොමු වෙමින් තිබේ. ඥානානන්ද හිමියන් ගේ මෙම වැඩ පිළිවෙළේ නිසරු බවට 2010 මැයි මස 08 දින දින සෝමාවතී චෛත්‍යය අබියසට අති විශාල බැතිමතුන් පිරිසක් රැස් කොට ඒ හිමියන් පැවැත් වූ "සෝමාවතී මහා ස්ථූප වන්දනාව" කදිම නිදසුනකි. අන්තර් මෝසම් වැසි සමයක සෝමාවතී නිම්න ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව සිදු කළ එම අඥාන ක්‍රියාදාමයෙන් ඊට සම්බන්ධ වූ වැලිමඩ ඩබ්ලිව්.පොඩි අප්පුහාමි (70), ගලේවෙල ලයනල් සමරවික්‍රම(42) සහ රාජගිරියේ එම් විමලාවතී(53) යන අය අකල් මරණ වලට ලක් වූහ. ඒ අතර තවත් විශාල පිරිසක් ගංවතුරට කොටු වූ අතර තවත් සැලකිය යුතු පිරිසක් සර්ප දෂ්ඨන වලට ලක් වූහ. අදටත් බොහෝ දෙනකු නොදන්නා මුත් ඥානානන්ද හිමියන් ගේ මෑණියන් ඊට ආසන්නතම දිනයෙක මිය ගොස් ඇත්තේ ද උන් වහන්සේ ගේ එම පින්කමට සහභාගී වීම නිසා හටගත් රෝගී තත්වයකිනි. එහෙත්, ඒ සියල්ල සඟවා ලොවට රහසින් තම මවගේ අවසන් කටයුතු නිමා කර ඉන්පසු හීන්සීරුවේම තම අසපුවකට සේන්දු විය. මෙම අප්‍රකට ප්‍රවෘත්තිය උන් වහන්සේ සමඟ සහසම්බන්ධතා පැවැත්වූ බොහෝ හිමිවරුන් දන්නා අතර ගලිගමුවේ ඥානදීප හිමියන් ද ඒ අතර හිඳින බව අපගේ වැටහීම ය.
“මහමෙවුනා භාවනා අසපු" නමින් ඥානානන්ද හිමියන් විසින් පවත්වා ගෙන යන ආයතන ජාලය හා සම්බන්ධ ඇමුණුම් පෙළක් (Tag line ) ද තිබේ. එය එක්තරා සුපිරි වෙළෙඳ සල් ජාලයක් සම්බන්ධ ‘ගෙදර යන ගමන්’ වැනි එම ඇමුණුම් පෙළ "ගෞතම බුදු දහම තුළ සනාතන රැකවරණ ලබමු" යන්න ය. මෙහි දී උන් වහන්සේ බුදුන් හැඳින්වීමට පූර්වගාමීව ගෞතම යන වදන යෙදීමේ ද ශාසනික දෝෂයක් තිබේ. ත්‍රිපිටක සාහිත්‍යයට අනුව ගෞතම යනු බුදුන් ගේ ගිහි කාලයේ පෙළපත් නමයි. එහි අරුත "ගව සම්පත හිමි" යන්න ය. ඒ අනුව සමකාලීන සමාජයේ බොහෝ දෙනකු සමාජයීය වශයෙන් උන්වහන්සේ “ශ්‍රමණ භගවත් ගෞතම” යන නමින් හඳුන්වා තිබේ. එහෙත්, මූලික බුදු සමයට අනුව බුදු හිමියන් ශාසනික වශයෙන් කිසිදු විටක තමන් වහන්සේ "ගෞතම" යන නමින් හඳුන්වා ගෙන නැත. සෑම විටෙකම උන් වහන්සේ තමන් හඳුන්වාගෙන ඇත්තේ ‘තථාගත’ යන නමනි.
එමෙන්ම ඥානානන්ද හිමියන් ගේ ඉහත සඳහන් ඇමුණුම් පෙළ සඳහා යොදා ගත් "ගෞතම බුදු සසුන" යන්නෙහි ද බරපතල දෝෂයක් තිබේ. ගෞතම යනු සංස්කෘත වදනකි. බුදු සසුන යන්න සිංහල යෙදුමකි. 'ගෞතම' යන්න සංස්කෘත වදන පාලි භාෂාවෙහි 'ගෝතම' ලෙසින් ද සිංහලයෙහි 'ගොයුම්' ලෙස යෙදිය යුතු බව ද පාසල් දරුවෝ වුව දනිති. ඒ අනුව එහි ශාසනික පක්ෂය කෙසේ වුව භාෂාත්මක වශයෙන් නිවැරදි වනුයේ ගෞතම බුද්ධ ශාසනය ලෙසින් යෙදුව හොත් පමණි.
එමෙන්ම එම වැකියේ සඳහන් “බුදු දහම තුළ සනාතන රැකවරණ” යන වදන ද ධර්ම විරෝධී ය. බුදු දහමේ සනාතන (සනත්තනෝ) යනුවෙන් හැඳින්වෙනුයේ ලෝක ධාතුව පවත්නා තෙක් නොවෙනස්ව පවත්නා ධර්මතාවයන් පමණි. (ඒස ධම්මෝ සනත්තනෝ) එහෙත් හුදෙක් බුදු දහමේ පරමාදර්ශය නිර්වාණය කිසිසේත් සනාතන ජීවනයක් හෝ රැකවරණයක් රැකවරණයක් නොවේ. 'භාර නික්ඛේපනං සුඛං' (බර අත හැරීම සැපයකි) යන බෞද්ධ ඉගැන්වීම තුළ සනාතන සුව දෙන මෝක්ෂයක් පිළිබඳ කිසිදු සඳහනක් නැත. නදියක් තරණය කළ අයකු ඉන් පසු ඊට උපකාරී වූ පහුර කර තබා ගෙන නොයන්නාක් මෙන් සාංසාරික විමුක්තිය ලද පසු ධර්මය ද අත් හළ යුතු බව මජ්ජිම නිකායේ කුල්ලුපම සූත්‍රය මඟින් බුදුන් අවධාරණය කිරීම මත මෙම 'සනාතන රැකවරණ' කතාව ද හුදු බෞද්ධ විරෝධී බව ඔබට වැටහෙනු ඇත.
ඒ අනුව 'ජූඩ් කබ්රාල්' නමින් අබෞද්ධ පවුල් පරිසරයක ඉපදී හැදී වැඩුණු ඥානානන්ද හිමියන් බුදු දහම තුළින් සනාතන රැකවරණයක් ඉස්මතු කිරීම මගින් තම ජන්ම ආගමට අනියමින් හෝ සේවයක් කොට ඇතැයි අපට සිතේ.ඒ "මක්නිසාද පාපයේ කුලිය මරණය ය, නමුත් දෙවියන්වහන්සේගේ නොමිලේ දීමනාව නම් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් තුළ සනාතන ජීවනයයි. (ජෝන් 17: 3)" යන බයිබල් වැකිය අනුව ප්‍රකාශ නිකුත් කිරීමට ඒ හිමියන් පසුබට නොවන බැවිනි.
සමස්ත බෞද්ධ දර්ශනයම ශ්‍රී ලාංකේය ජනතාව වෙතට සම්ප්‍රේෂණය වනුයේ ත්‍රිපිටකානුසාරයෙනි. ඒ අනුව ධර්ම සන්නිවේදනයක් ලෙස ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කිරීම සුළු පටු කරුණක් නොවේ ඒ ගැන කටයුතු කිරීමේ දී අතිශය සංවිභාගශීලී විය යුතු ය. දැනට අප විසින් භාවිතාවට ගනු ලබන බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව සිංහලයට පරිවර්තනය කිරීමේදී ඒ සඳහා ධර්මධර විනය ධර නාහිමි වරුන් සහ ගිහි පඬිවරුන් විශාල පිරිසක් දායක වූහ. ඒඅතර එම ග්‍රන්ථ මාලාව ප්‍රකාශයට පත් කිරීමට පෙර නොයෙකුත් ශුද්ධීන් ද සිදු කරන ලදී. එහෙත්, එවැනි තත්වයක් යටතේ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් (හෝ එනමින් පෙනී සිටින වෙනයම් පුද්ගලයකු) කිසිදු වගකීමකින් තොරව ත්‍රිපිටක පරිවර්තන නමින් හඳුන්වමින් අනේක විධ දේ අන්තර්ජාලයට පිවිසුවා තිබේ. විශේෂයෙන් බුදු දහමේ එන ගැඹුරු සුත්‍රාන්ත දේශනාවල ගාම්භීරතාවය, දාර්ශනික සහ ධර්ම ශාස්ත්‍රීය අගය ඒ ඔස්සේ වනසා දැමීම මගින් ඒ හිමියන් සිදු කොට ඇති අතිශය බරපතල ශාසනික අපරාධය සමස්ත ජාතියේම අවධානයට යොමු විය යුතු ය. ඥානානන්ද හිමියන් විසින් සිදු කළ එම ධර්ම විකෘතිය සම්බන්ධ බොහෝ කරුණු මේ වන විට අප විසින් ගොනු කොට ඇති අතර සාමාන්‍ය පාඨකයා සඳහා එම ඉදිරිපත් කිරීමට අදහස් නොකරන අපි ඒ වෙනුවෙන් වඩාත් පුළුල් ක්‍රියාමාර්ගයකට පිවිසීමට අපේක්ෂා කරමු.
ඥානානන්ද හිමියන් අන්තර්ජාලය තුළින් ඉදිරිපත් කොට ඇති කරුණු වලට අනුව බුදුන් වහන්සේ භික්ෂුන් හා උපාසක උපාසිකාවන් හැඳින්වීමේදී ‘පින්වත්’ පෙරටු වදන යොදා ගෙන තිබේ. එහෙත්, ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් කිසිවකුටත් පින්වත් (ප්‍රඤ්ඤාවන්තො) යනුවෙන් අමතා නැත. කාටත් වැටහෙන ලෙසින් කිවහොත් එය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් ගේ “අතේ රෝලකි”. ඊළඟ කරුණ වනුයේ හුදෙක් කුසලය’ මිස ‘පින’ සඳහා විශේෂ අගැයුමක් ලබා දී නොමැති මූලික සූත්‍ර වල පින (පුඤ්ඤ) යන වදන ද විශේෂයෙන් හුවා දක්වා නැත. මෙම පුඤ්ඤ යන වදන බහුලවම දක්නට ලැබෙනුයේ සූත්‍ර අටුවා ඇතුලු පසුකාලීන ලේඛන වල ය. නමුදු කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් ගේ අසපු ව්‍යවහාරයේ දී මෙම ‘පින්වත්’යන වදන ජනප්‍රිය භාවිතයක් ද පවතින අතර එමගින් ඒ හිමියන් බුද්ධ භාෂිතයක් තමන්ට ආරෝපණය කර ගනු වෙනුවට තමන් ගේ භාෂිතයක් බුදුන්ට ආරෝපණය කිරීමට ගෙන ඇති සාපරාධී උත්සාහය අප සැමගේ අවධානයට ලක්විය යුතුම ය.
මෙහි දී තමන් 'පින්වත්' , 'අති පූජනීය' ආදී වශයෙන් හඳුන්වා ගන්නා ඥානානන්ද හිමියන් තම ශිෂ්‍ය භික්ෂු කිසිවකුත් නම් වශයෙන් සමාජයට හඳුන්වා දීමට ඉදිරිපත් නොවන අතර එම භික්ෂුන්ට තම දායක කාරකාදීන් සමඟ කතා බස් කිරීමට ද සීමා කොට ඇති බව අප හා කියා සිටියේ කලක් ඥානානන්ද හිමියන්ගේ අනුරාධපුර ලෝලුගස්වැව භාවනා අසපුවේ ප්‍රමුඛතම දායිකාවකව සිටි විශ්‍රාමික විදුහල්පතිනියක විසිනි. වරක් තම විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මෙහෙයවීමෙන් පැවැත්වූ පොහොය වැඩසටහනක් සඳහා එම අසපුවට සම්බන්ධ නොවූ වෙනත් භික්ෂුවක වැඩම කළ වරදට තමන් ලෝලුගස්වැව භාවනා අසපුවට කැඳවා ගත් ඥානානන්ද හිමියන් තමන්ට අශික්ෂිත ලෙසින් බැන වැදුණු බව ඒ විශ්‍රාමික විදුහල්පතිනිය අප හා කියා සිටියේ “බොරුවට සමාජය ඉස්සරහ රඟපෑවට ඒ හාමුදුරුවන් තුළ මහණ කමක් ගෑවිලාවත් නෑ” යන්න ද පවසමිනි. කිසියම් සමාජමය ස්ථාවරයක් හිමි විශ්‍රාමික විදුහල්පතිනියක වුව ඇය හෙළිකළ මෙම පුවත අප මෙහි බහාලනුයේ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් ගේ භාවනා අසපු සම්බන්ධ විකිපීඩියා වෙබ් අඩවියේ සඳහන් ප්‍රකාශයක් ද පදනම් කර ගනිමිනි.
එනම් “මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේලා දහම් දෙසනුයේ බුදු රජාණන් වහන්සේ දේශනා කළ අන්දමට ය” යනුවෙනි. ඉන් ඒ හිමියන් "ඔර්ජිනල්ම" බුදු බණ ඇත්තේ තමන් සහ තම ගෝලබාලයන් ගාව බව පැවසීමට වෙර දරා තිබේ. එහෙත් කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් එසේ පවසනුයේ කවර නම් විමර්ශනයක් හෝ ධර්මානුකූල විනිශ්චයක් පදනම් කරගෙන ද යන්න අපට නම් නොවැටහේ. "සත්‍යය මෙය මය සෙසු මත අඥාන ය" (ඉධ මේව සච්චං මෝඝ මඤ්ඤං) යනුවෙන් පැවසීම බුදු දහමට කෙසේ වත් එකඟ නොවන බව ද මූලික ඉගැන්වීමකි.
ඥානානන්ද හිමියන් ගේ මහමෙවුනා භාවනා අසපු මූලස්ථානය පිහිටා ඇත්තේ පොල්ගහවෙල, වඩාවාවේ ය. නමින් අසපුවක් හෙවත් ආශ්‍රමපදයක් වුව එහි ඇත්තේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් වැය කොට තැනූ මාලිගාවකි. ඔවුන් විසින්ම ‘සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව’ නමින් හඳුන්වා තිබේ. සක්විති පදවිය ලබා අතහැර සාංසාර විමුක්තිය උදෙසා මහබිනික්මන් කොට බුද්ධත්වයට පත් බුදු හිමියන් උදෙසා කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් තනවා ඇති මෙම මාලිගාව නැරඹීමට යන සිහි නුවණ සහිත ඕනෑම කෙනකුට ඉතා හොඳින් වැටහෙන දෙයක් තිබේ. එනම් කම්සැප අත් හළ ශ්‍රමණයකු ගේ වෙසින් සමාජය හමුවේ පෙනී සිටින කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් කෙතරම් ක්ලේශභරිත සත්වයකු ද යන්න ය. එමෙන්ම ඒ හිමියන් ගේ එම මාලිගාව විවෘත කොට ඇත්තේ ද බුදුන්ට වඳින දෑතින් නුවරඑළි දිස්ත්‍රික්කයේ පිහිටි හනුමාන් කෝවිලේ දී වඳුරු රූපයකට දොහොත් මුදුන් තබා වැදීමට තරම් අන්ධ භක්තිකයකු වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසිනි.
එමෙන්ම ඥානානන්ද හිමියන් ගේ මෙම මාලිගාව සමස්තයක් ලෙස ස්වර්ණ වර්ණයෙන් පැහැ ගන්වා ඇති අතර කිසියම් හිමි නමක ඊට පිවිසිය හොත් උන් වහන්සේ පිළිබඳ විශේෂ විපරමක යෙදීමට වෙනම පිරිසක් යොදවා තිබේ. එහි ඇති බුද්ධ ප්‍රතිමා ද දීඝ නිකායේ ලක්ඛණ ආදී සූත්‍ර වලින් පැවසෙන අන්දමේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් තොර ස්ත්‍රී ලාලිත්‍යයෙන් යුතුව නිර්මාණය කොට තිබීම ද සාතිශය සංවේග ජනක ය.
ලෝකයේ සෑම ආගමක් සම්බන්ධයෙන්ම පසුකාලීනව ඉස්මතු වූ ආගමික කල්ලි (Cult) දැකිය හැක. එම ආගමික කල්ලි බොහෝ විට එම ආගමික සංස්කෘතික පදනම සුනු විසුනු කොට දැමීම පිණිස ආ බාහිර බලවේගයන් ය. ඒ මගින් මහා ධනස්කන්ධයන් යොදවා එම ආගමික කණ්ඩායම් යොදවා ක්‍රියාවට නංවන මෙවන් ව්‍යාපෘතීන් කාටත් වැටහෙන ලෙසින් කිව හොත් බළලුන් ලවා කොස් ඇට බෑවීම් බව පෙනෙයි. මෙම ගෝලීය ක්‍රියාවලිය මුල් කොට කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් සහ ඒ හිමියන්ගේ අසපු ජාලය පිළිබඳ විධිමත් විමසුමක් කිරීමේ වැදගත්කම මෙරට බුද්ධිමත් ගිහි පැවිදි සැම වෙත අවධාරණය කරමින් අපි දැනට නිහඬ වන්නෙමු.
හිමියන්ගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/81
---------------------------
by (2022-11-07 16:00:12)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි