~

බ්‍රිතාන්‍ය බමුණන් ඩවුනින් වීදියේ අංක දහයට කැන්දූ බමුණු පුත්‍රයා..!

-ඔබ නොදත් පැත්තක් විග්‍රහ කරන්නේ ''කන්කන්ත්‍රී''

(ලංකා ඊ නිව්ස් -2022.ඔක්.29, ප.ව.9.00) දින පනහක් ඇතුලත ලන්ඩනයේ ඩවුනින් විදියේ අංක 10 යේ නිවැසියෝ මාරුවූහ. කෲර ගෙවල් හිමියෙක් යටතේ වෙසෙන කුලී නිවැසියන් වුව මේ සා ඉක්මනට නිවාස මාරු කිරීමේ යෙදෙන්නේ නැත. මේ සා ඉක්මනින් නිවාස මාරු කිරීමට නම් ඔවුන් ගෙවල් මාරු කළ යුත්තේ ගමන්මළු පමනක් රැගෙන එමින් විය යුතු ය. මේ සුප්‍රකට නිවසේ ලැගුම් ගන්නන් තානායම් මාරුකරන්නාක් වෙනස්වීම අපේ මතක ඉතිහාසයේ නොදුටු, නෑසු පුවතකි. මේ නිවසේ පදිංචිකරුවන් මාරුවීම අපට හඟවා සිටින්නේ කුමක් ද? එය සෙවීමට නම් එහි වර්තමාන [ඔක්තෝබර 25 වෙනිදා සිට] එහි අලුත් නිවැසියා කවරෙක්දැයි සොයා බැලිය යුතුය.

ඍෂී සුනාක් නම් මේ අලුත් නිවැසියාගේ නම පෙර සිටි පදිංචිකරුවන්ගේ නාම ලේඛනය සමඟ කිසිසේත්ම ගැලපෙන්නේ නැත. ඔහුගේ ගති සිරිත්, ඇදහීම් හා විශ්වාස ද එහි පැරැන්නන් සමඟ සැසඳෙන්නේ නැත. ඔහු නිර්මාංශක ය. අමද්‍යප ය. එක දෙවි කෙනෙක් නොව දෙවියන් සිය ගණනක බැතිමතෙකි. ඔහු පුර්වගාමීන් නාඳුනන “කුලය” යන පැරණි පන්නයේ මානව එකතුවකට ඇතුලත් ය. මේ කිසිවක් බ්‍රිතාන්‍ය සංස්කෘතිය තබා යුරෝපා සංස්කෘතියවත් නොදැන සිටින, අභාවිත සංස්කෘතිකාංගයන් ය. ඒ නිසා ඩවුනින් වීදියට එන මේ නව සංස්කෘතික අංග පලමුව අප හඳුනාගත යුතුය.

හතරවරිගයෙන්ම පාරිශුද්ධ බ්‍රාහ්මණයා..

නව බ්‍රිතාන්‍ය අගමැති ඍෂී සුනාක්, හතරවරිගයෙන්ම පාරිශුද්ධ බ්‍රාහ්මණයෙකි. ඔහුගේ සහකාරිය අක්ෂතා මූර්ති ද හතරවරිගයෙන්ම පිරිසිදු බැමිණියකි. ඔවුහු සෑම කෙම්මුර දවසකටම සවුත් හැම්ටන් හී ස්වකීය මුත්තනුවන් [රාම්දාස් සූනාක්] ඉදිකළ වේද සමාජ කෝවිලට යති. ඔවුහු එහි දායක සභාවේ නායකත්වයේ ද සිටිති.

බ්‍රාහ්මණයන් යනු බ්‍රිතාන්‍ය නාඳුනන ජනවර්ගයකි; කුලයකි. ඉන්දියාවේ දී ඔවුන්ගේ පැරණි සම්ප්‍රදායික රැකියාවල් වූයේ රජුට උපදෙස්දීම, ආගම [හින්දු] ඉගැන්වීම හා දේවාලවල දී දෙවියන් හා බැතිමතුන් අතරේ අතරමැදියන් [පූජකයන්] හැටියට වැඩ කිරීම ය. බ්‍රාහ්මණයෙක් අගමැති කිරීමෙන් මේ පාරම්පරික වෘත්තීය පුහුණුව එක අතෙකින් බ්‍රිතාන්‍ය බඳු ව්‍යවස්ථාපිත රාජාන්ඩුවකට ගැලපෙන්නේ ය. තුන්වන චාර්ලිස් රජතුමා නිල රාජ්‍ය නායකයා වන නිසා රජුට උපදෙස්දීමට බ්‍රාහ්මණයෙකුට උපරිම සුදුසුකම් තිබෙන්නේ ය.

“බොස්ටන් බ්‍රහ්මින්ස්” සහ බමුණු කුලය බිඳ වැටුනාද?

බෞද්ධ අර්ථයෙන් ගත්විට බ්‍රාහ්මණ හෙවත් බමුණු යනු සම්ප්‍රදායික හෝ පැරණි මත දරමින් ඒ අනුව ජීවත්වෙන හින්දු බැතිමතා ය. 1956 දී ලංකාවේ බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත් වූ විට කොග්ගල ප්‍රාඥයා නමින් ප්‍රකට වූ මාර්ටින් වික්‍රමසිංහ 'බමුණු කුලයේ බිඳවැටීම' නමින් පොතක් ලීවේ ය. ඔහු එයින් අදහස් කළේ සේනානායක හා කොතලාවල පවුල්වල විජිත ගැති දේශපාලනය අවසන් වූ බව කීමට ය..! බ්‍රිතාන්‍යයේ දී පැරණි දේශපාලන සම්ප්‍රදායන් හා සිරිත්විරිත් රකින්නේ පැරණි ටෝරීන් වූ කොන්සවේටිව් පක්ෂයයි. ඒ අර්ථයෙන් ගත්විට බ්‍රිතාන්‍යයේ බ්‍රාහ්මණයන් වන්නේ එම පක්ෂයේ නායකයන්, සමාජිකයන් හා අනුගාමින් ය. මේ හා සමාන බ්‍රාහ්මණයන් වර්ගයක් ඇමරිකා එක්සත් ජනපදයේ ද සිටිති. “බොස්ටන් බ්‍රහ්මින්ස්” නමින් ඔවුහු එක්සත් ජනපදයේ ‘නව එංගලන්ත ජනපදවල’ පදිංචි වී ඉංග්‍රීසි සම්ප්‍රදායන් අනුව ජීවත්වෙති. මෙහිදී අපට ලියන්නට වෙන්නේ බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් බ්‍රාහ්මණයන් හින්දු බ්‍රාහ්මණයෙකුට ස්වකීය පක්ෂයේ නායකත්වයත් රටේ අගමැතිකම පිරිනැමූ බවකි.

අගමැති ඍෂී සූනාක් බ්‍රිතාන්‍ය බ්‍රාහ්මණ සමාජයේ නව නායකයා වීමට සියලුම සුදුසුකම් සපුරා සිටියේ ය. ඔහු ඉගෙනුම ලැබුවේ ප්‍රකට පුද්ගලික පාසලක් වූ වින්චෙස්ටර් කොලිජියේ ය. එහි ගැඹුරුම අර්ථය ඔහු රජුගේ ඉංග්‍රීසිය කතා කරන්නෙක් ය යන්න ය. ඔහුගේ මුල් උපාධිය ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ය. අනතුරුව ඇමරිකානු ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් දිනා සුපිරි ස්ටන්ෆෝර්ඩ් [එක්සත් ජනපදය] සරසවියෙන් ව්‍යාපාර කළමණාකරණයට පශ්චාත් උපාධියක් දිනා ගන්නේ ය. අනතුරුව ඔහු ‘ගෝල්ඩ්මන් සාච්’ මූල්‍ය ආයෝජන සමාගමේ ප්‍රධානියෙක් වන්නේ ය. ඔහු බ්‍රිතාන්‍යයේ 222 ප්‍රකෝටිපතියා කරවන සහකාරිය හමුවන්නේත් මේ සරසවියේ දී ය. එය ඔහුගේ අනාගත ඉරණම සපුරාම වෙනස් කරන්නේ ය. ඔහුගේ සහකාරිය, අක්ෂතා මූර්ති යනු ‘ඉන්ෆොසිස්’ නම් ලෝකයේ 602 වැනි විශාලතම පොදු සමාගමේ ආරම්භකයා හා සභාපතිවරයාව සිටි නාගවාරා රාම් රාඕ නාරායන මුර්තිගේ එකම දියණිය යි. මේ නිසා නව බ්‍රිතාන්‍ය අගමැතිවරයා, බකින්හැම් මාළිගාවේ සිටින රජතුමාට වඩා ධනවතෙක් වන්නේ ය.

බමුණු කුමාරයා ගෙනාවේ පෙර සැලසුමක් අනුවයි..

බ්‍රිතාන්‍යයේ බමුණන් අලුතෙන් කුලවද්දා ගන්නා මේ බමුණු කුමාරයා අනාගතයේ රටේ නායකයා කරන්නට කල්තියාම හඳුනාගෙන සිටි බව අගමැති ඍෂී සුනාක් ගේ  කෙටි දේශපාලන ඉතිහාසයෙන් පෙන්නුම් කරන්නේ ය. ඔහු කොන්සවේටිව් පක්ෂය වසර 100 ක්ම පරාජය නොවූ යෝක්ෂයර් හි රිච්මන්ඩ් ආසනයේ කොන්සවේටිව් අපේක්ෂකයා හැටියට තෝරා ගැනෙන්නේ ය. එහි මීට පෙර නායකයා වූයේ හිටපු විදේශ ඇමති හා කොන්සවේටිව් නායක විලියම් හේග් ය. 2015 මහා මැතිවරනයෙන් වයස අවුරුදු 35 දී ඔහු වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ය. ඔහුට වයස 38 දී නියෝජ්‍ය ඇමති පදවියක් ලැබෙන්නේ ය. වයස අවුරුදු 40 දී මුදල් ඇමතිකම [චාන්ස්ලර්] හිමිවන්නේ ය. අවුරුදු 42 දී ඔහු බ්‍රිතාන්‍ය අගමැති තනතුරට තෝරා ගැනෙන්නේ අවුරුදු 200 කට පසු එන ලාබාලම අගමැතිවරයා වෙමින් ය.

ඉන්දියානු බ්‍රාහ්මණ පුත්‍රයෝ දුසිමකටත් වඩා වැඩි පිරිසක් දැනටමත් එක්සත් ජනපදයේ දැවැන්ත බහුජාතික සමාගම්වල ප්‍රධානීන් වී සිටිති. මේ නව ව්‍යාපාර කළමනාකරුවන් ඉන්දීය සම්භවයක් සහිත බමුණු පුත්‍රයන් අතුරෙන් තෝරා ගැනීම බටහිර ලෝකයට හඳුන්වා දුන්නේ ඇමෙරිකානු සමාගම් ය. මේ වනවිට 10% ටත් අධික උද්ධමන වේගයක් සහිතව ආර්ථික පඹගාලක පැටලී සිටින බ්‍රිතාන්‍ය ආර්ථිකය හැසිරවීමට ඉන්දීය සම්භවයක් සහිත බ්‍රාහ්මණ පුත්‍රයෙක් තෝරා ගැනීම අහම්භයක් නොවන බව මෙයින් පැහැදිලි වන්නේය. එහෙත් ඉන්දියානු බ්‍රාහ්මණයන් කුදලාගෙන යන ධර්මය, කුලය, අමද්‍යපය හා නිර්මාංශය, නවීන ලන්ඩනයේ ඩවුනින් වීදියේ සුරැකෙන ඉංග්‍රීසි - යුරෝපීය සංස්කෘතියට කෙසේ ගැලපේ ද යන්න විනිශ්චය කිරීමට තවමත් කල්වේලා වැඩිය.

-කන්කන්ත්‍රී විසිනි

---------------------------
by     (2022-10-29 15:42:10)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links