~

ඇමතිට බිරූ බල්ලාට වෙඩි..! මාල කැඩුවාටත් වෙඩි.! පාතාලේ කියා 2 ක් මරුට.! රරාගේ මිනීමරු පොලිස් රාජ්‍යය..!

-අසෝක ජයවර්ධන ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.ඔක්.26, ප.ව.5.10) රනිල් රාජපක්ෂගේ ලංකාවේ දැන් බල්ලන්ට බිරීම තහනම්ය. ඇමැති උත්තමයකුට බිරුව හොත් බල්ලාට වෙඩි කන්නට සිදුවේ. බල්ලන්ට පමණක් නොවේ. අත්අඩංගුවට ගන්නා සැක කරුවන්ට වෙඩි තබා මරා දැමීමටත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඉඩ දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි අවධියෙහි වසංගතයක් මෙන් පැතිරුණු පොලිස් මිනී මැරුම් දැන් රනිල් රාජපක්ෂ යටතේ ද ආරම්භ වී තිබේ. පසුගිය 12වනදා යාපනයේ සංචාරයකට ගිය රාජ්‍ය ඇමති කුප්‍රකට ලොහාන් රත්වත්තේ වැල්වැටිතුරෙයිහි හිතවතකු බැලීමට ගියේය. එම නිවසේ සිටි සුරතල් බල්ලා, පැමිණෙන්නේ කව්දැයි දැන ගෙන දෝ බුරා පැන්නේය. ඇමැති ආරක්ෂකයෝ බල්ලාට වෙඩි පිට වෙඩි තබා ඝාතනය කළහ.

නිව්යෝක් නගරයේ ලාංකිකයින්ගේ වලියක් මුල් පිටුවේ පළ කරන මෙරට පුවත් පත් මෙම ඝාතනය වාර්තා කළේ නැත. වෙඩි තැබීමට භයානක බල්ලකු සම්බන්ධ නිසා විය හැක. 

මේ කුප්‍රකට ඇමැතියා වරක් බන්ධනාගාරයේ සිටි නිරායුද සැකකරුවන්ගේ හිස‌ට පිස්තෝලය තබා මරණ බවට තර්ජනය කළේය. ඒ ගෝ. රාජපක්ෂ යටතේය. එම අපරාධයෙන් ද ඔහු නිදහස් විය. 

මේ ර.රාජපක්ෂ හෙවත් රරා යටතේය. ඝාතනය ගැන සත්ව හිමිකම් සංවිධාන  වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතත් එය වැල්ලේම සැඟව යන බවට කැ‌ට තැබිය හැක.

රරා ගේ පොලීසිය දිනපතාම අවනීතිය රජ කරවයි. රරා ගේ ලිබරල්වාදය දැන් දියවී ගොස් ඇතැයි කීවේ වෙන කවුරුවත් නොව නාමල් රාජපක්ෂ හෙවත් නාරා ය.

ආයුධ පෙන්වීමේ පරණ පිටපත...

රරා ගේ පොලිසිය පසුගිය 13දා සැකකරුවකු ආයුධ පෙන්වීමට රැගෙන ගියේය. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායයි.

ඉන් පසුව සිදු වූ දේ පොලිස් මාධ්‍ය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේ මෙසේය: “ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදී අදාළ වෙඩි තැබීමේ සිද්ධියට (අහුන්ගල්ලේ සිදුවූ වෙඩි තැබීමකට) සම්බන්ධ මහේෂ් ඉන්දික ප්‍රභාත් නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අනාවරණය කර ගන්නා තොරතුරු මත 2022.10.13 වන දින සඟවා ඇති ආයුධ කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට බලපිටිය ප්‍රදේශයට පිටව ගොස් සිටියදී කැලෑබද ප්‍රදේශයකදී සැකකරු විසින් සඟවා තිබූ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.”

පරණ පිටපතටම අනුව එම වෙඩි තැබීමෙන් කිසිදු පොලිස් නිලධාරියකුට තුවාල නොවූ අතර ප්‍රතිප්‍රහාරයෙන් මහේශ් ඉන්දික මිය ගියේය. ජනමාධ්‍ය පින්තාරු කළේ මිය ගිය පුද්ගලයා අපරාධකරු බවයි.

ඒ මැරුවේ ඕනෑ කෙනා නොවේ..!

නමුත් ඉන් දින 09 කට පසු එනම් පසුගිය 21 දා පොලිසිය කියා සිටියේ එලෙස මරා දමන ලද්දේ අවශ්‍යව සිටි සැකකරු නොවන බවත් අවශ්‍ය සැකකරු දැන් අත්අඩංඟුවට ගෙන ඇති බවත්ය.

එපමණක් ම නොවේ. පොලිස් විශේෂ කාර්ය බලකාය යටතේ සිටිය දී මිය ගිය හෝ මරා දමනු ලැබූ තවත් පුද්ගලයකු අවශ්‍යව සිටි සැකකරු නොවන බවත් එදිනම පොලිසිය කියා සිටියේය.

එම සිදුවීම නම් මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමුදු රුක්ෂාන් ඝාතනයේ වෙඩික්කරු යැයි පවසමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගැනීමෙන් පසු තුවාන් සිරාෂ් නැමැත්තා එම අපරාධය කළේ යැයි කියන ගිනි අවිය පෙන්වීමට ගොස් ගල්වලකට “ඇද වැටී” මරා දැමීමය. ඇද වැටීම සහ තල්ලු කිරීම යනු එකම වචනයක් විය හැකිය!

තුවාන් සිරාෂ් ගල් වලකට ඇද වැටුණේ කෙසේදැයි විශේෂ පොලිස් කාර්ය බලකාය විස්තර නොකළ අතර ජනමාධ්‍ය එම කතාව එලෙසම වාර්තා කළේය.

දැන් පොලිසියම කියන්නේ එලෙස මරා දැමුණේ නියම සැකකරු නොවන බවයි. දැන් පොලීසියට ගිනි අවි පෙන්නීමට ගෙන යාමට තවත් සැකරුවන් දෙදෙනෙකු සිටින අතර පිටපතට අනුව මාංචු තිබියදීම පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කළ විට පොලිස් වෙඩි පහරින් ඔවුන් මිය යෑමට ඉඩ තිබේ.

ජනමාධ්‍ය එවිට ද හුරේ දමනු ඇති බව නොඅනුමානය.

මාලයක් කැඩුවාට වෙඩි තබා මරා දමයි..

පොලිස් භාරයේ සිටි පුද්ගලයකු ඝාතනය කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් වුවත් මෙම ඝාතනය රරා ගේ මානව හිමිකම් සෙට් එක දැක්කේ නැත. අනීතිකව සැකකරුවන් ඝාතනය කිරීම මෙරට පොලිසියේ සහජ දුෂ්-ලකුණකි. මෙම ඝාතනයන් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොකෙරෙනු ඇති අතර මෙරට අපරාධ සම්බන්ධයෙන් ඇති දණ්ඩ මුක්තිය එම ඝාතකයින්ටද  ලැබෙනු ඇත.

පොලිසිය ඉහත ප්‍රකාශය කළ 21 දාම මාලයක් කඩා ගෙන පලා යාමට තැත් කළ පුද්ගලයෙකුට ආඬිඅම්බලමේදී වෙඩි තබා පොලිසිය මරා දැම්මේ ය. ඒ  එම පුද්ගලයා ද පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කළේය යන පිටපත අනුවය. එම ඝාතනය ද  සුපුරුදු පරිදි වාර්තා කළා පමණි. 

මසක් ඇතුළත අනීතික ඝාතනයන් තුනකි.

රරාගේ දණ්ඩ මුක්තිය..

රරා ගේ පොලිස් රාජ්‍යය දිනෙන් දිනම අවනීතියේ රාජ්‍යයක් බවට පත්වෙමින් තිබේ. එහි මූලික ලකුණ දණ්ඩමුක්තියයි. දණ්ඩමුක්තිය යනු වරදට දඬුවම් නොලැබ සිටීමයි. එයට දුර්විපාක නොලැබ සිටීම යැයිද කියනු ලැබේ.

මෙම දණ්ඩ මුක්තියේම දිගුවක් ලෙස යාල අභය භූමියට වැදී මහ හඬ නැංවෙන අධි සුඛෝපභෝගී වාහන සංදර්ශනයක් පැවැත් වූ සුපිරි ප්‍රභූ පුතුන් නිදහසේ යන්නට ගියේය. එකම දඬුවම එම වාහන වලට වසර තුනක් යන තුරු  අභය භූමි තහනම් කිරීමයි. මෙම ප්‍රභූ පුතුන් එවිට කරනු ඇත්තේ හොර අංක මගින් සෙල්ලම් දැමීමයි. අත්අඩංඟුවට ගත්තද අවසානයේදී ඔවුන් නිදහස් වී ගෙදර යනු ඇත්තේ සිරකරු හිසට පිස්තෝලය තැබූ දාමරික මංත්‍රී නිදහස් වූ පරිදිය.

සාමන්‍ය රියදුරකුට පාරක කහ ඉර කැපීමට දඩ කොළ ලියන පොලිසිය ඒ ධනවත් මදාවියන් දැක අහක බලා ගත්තේය.

නීතිපතිටත් ඉහලින් දේශබන්ධු..

රනිල් රාජපක්ෂ යටතේ අවනීතිය කොතරම් රජ වී ඇත්ද යත් නීතිපතිවරයා තෙවරක්ම නිර්දේශ කළද, නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු කොළඹින් පිටට මාරු කිරීමට නොහැකි වී තිබේ.

නීති විරෝධී ලෙස පළි ගැනීම් කොමිසමේ සාමාජිකයකු ලෙස තීන්දු දුන් බවට අධිකරණය හමුවේ සනාථ වී ඇති හිටපු පොල්පතිවරයකු වන චන්ද්‍රා ප්‍රනාන්දු මෙරට පොලිස් කොමිසමේ සභාපතිය.

එම තීන්දු දීමට මුල පිරූ සහ අවනීතික පියවර ගණනාවක් ගත් පළිගැනීම් කොමිසමේ සභාපති උපාලි අබේරත්න අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේද තොරතුරු කොමිෂමේද සභාපතිය.

ඇමැති හොරු මෙන්ම හොරු ඇමතිවරුද සිටිති.

රරාගේ පොලිස් රාජ්‍ය යටතේ මොන අයිතීන් ද? 

රනිල් රාජපක්ෂ විසින් අත්සන් කළ ත්‍රස්ත පනත යටතේ සිරගත කළ මානව හිමිකම් ක්‍රියාධර සිරිධම්ම හිමිට දින හතරක යන තුරු නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුන්නේත් පොලිස් රාජ්‍ය සෙවනැල්ල යටතේය. වසන්ත මුදලිගේ තැනින් තැනට ගෙන යමින් දස වද දෙන්නේ ද එනිසාමය.

ඝාතනයට ලක් වූ තුවාන් සිරාෂ්ගේ හෝ මහේෂ් ඉන්දිකගේ හෝ මාල කැඩූ තරුණයාගේ හෝ ජීවත්වීමේ අයිතිය මෙන්ම වැල්වැටිතුරෙයි සුනඛයාට ජීවත්වීමට තිබූ අයිතිය වෙනුවෙන් පෙනී නොසිටින සමාජයක වසන්ත මුදලිගේ හෝ සිරිධම්ම හිමිගේ අයිතීන් හෝ සිය ප්‍රජාතන්ත්‍රවාදී  අයිතීන් රැක ගැනීමට වීදි බසින ජනයාගේ අයිතීය සුරැකෙනු ඇත්තේ කෙළෙසද?

-අසෝක ජයවර්ධන  විසිනි.

---------------------------
by     (2022-10-26 11:42:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links