-සන්ඩේ ටයිම්ස් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2022.ඔක්.25, ප.ව.3.20) යටිතල පහසුකම් කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිලධාරීන්ට අල්ලස් දීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව ඇති ප්රමුඛ පෙළේ ඕස්ට්‍රේලියානු ව්‍යාපෘති කළමනාකරණ සමාගමක් වන SMEC International Pty Ltd (SMEC) සමග අනුබද්ධිත එක්තරා ආයතනයක් ශ්‍රී ලංකාවේ සිදු කළ කටයුතු සම්බන්ධයෙන් 2017 දී ලෝක බැංකුව විසින් තහනම් කර තිබේ. නමුත් SMEC සමාගමේ ක්‍රියාකාරකම් පිළිබඳ කිසිදු පරීක්ෂණයක් ශ්‍රී ලංකාව තුළ දී සාර්ථකව සිදු නොවූ බව නිලධාරීහු පවසති.
SMEC ඉලක්ක කර සිදු කළ දශකයක දීර්ඝ විමර්ශනයකින් පසු මේ සතියේ 67 සහ 71 වයස්වල පසු වන ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුට චෝදනා එල්ල වූ බව මාධ්‍ය වාර්තා පවසයි. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ දර්ශනවල දැක්වෙන්නේ එක් පුද්ගලයෙකු නේවාසික ප්‍රදේශයක දී AFP මෝටර් රථයකට රැගෙන යෑම සහ අනෙක් පුද්ගලයා සිඩ්නි ගුවන් තොටුපළෙන් පිටතට එද්දී අත් අඩංගුවට ගැනීමකි.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) පැවසුවේ, 2009 සහ 2016 අතර කාලය තුළ ඕස්ට්‍රේලියන් ඩොලර් (AUD) මිලියන 14 ක් (රු. බිලියන 3.1 ක්) වටිනා ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් සඳහා සැකකරුවන් විසින් රජයේ නිලධාරීන්ට AUD 304,000 කට (රු. මිලියන 68) වඩා අල්ලස් ලබා දී ඇති බවයි. AFP පවසා ඇත්තේ තවත් අත්අඩංගුවට ගැනීම් සහ චෝදනා එල්ල විය හැකි බවයි.
SMEC සමාගම සහ ඉන්දියාව, බංග්ලා දේශය, හා ශ්‍රී ලංකාව තුළ පිහිටි එහි අනුබද්ධ ආයතන හතරක් දකුණු ආසියාව තුළ සිදු කර ඇති විෂමාචාර හේතුවෙන් මාස 6 සිට 30 දක්වා තහනමකට ලක්ව තිබේ. 2017 ලෝක බැංකු මාධ්‍ය ප්‍රකාශයක සඳහන්ව ඇති පරිදි එම ආයතන “ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ලෝක බැංකුවේ මූල්‍යමය ව්‍යාපෘතිවල ලංසු අවශ්‍යතා සපුරාලීම සඳහා දූෂිත ක්‍රියාවල නිරතව ඇති බව විමර්ශනයකින් අනාවරණය වී ඇත.”
“ශ්‍රී ලංකාවේ හා බංග්ලා දේශයේ ලෝක බැංකුවේ මූල්‍යමය ව්‍යාපෘතිවලට අදාලව අල්ලස් දුන් බවට සාක්ෂි ද විමර්ශනයේ දී සොයා ගන්නා ලදී,” යනුවෙන් ද එහි සඳහන් විය.
රටවල් කිහිපයක ආන්දෝලනාත්මක දූෂිත වැඩවලට SMEC පැටලී ඇති නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධ චෝදනා පැහැදිලිවම කැපී පෙනේ. 2016 දී Fairfax Media විසින් කරන ලද විමර්ශනයකට අනුව, ලෝක බැංකුවේ අරමුදල්වලින් කළ වේලි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් එවකට කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍ය ලෙස මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ උපදේශකයා විසින් SMEC වෙතින් දේශපාලන ‘ගතමනාවක්’ ඉල්ලා තිබේ.
එම ඕස්ට්‍රේලියානු මාධ්‍ය සංවිධානය කියා සිටියේ තමන් සතුව ඊමේල් සාක්ෂි ඇති බවත්, ඒවා පුළුල් AFP විමර්ශනයකට භාජනය වී ඇති බවත්ය.
ලෝක බැංකුවේ අරමුදල් මගින් ක්‍රියාත්මක වන වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම් ව්‍යාපෘතිය යටතේ බහු අංශ ජල සම්පත් සැලසුම් ව්‍යාපෘතියකට අදාලව උපදේශන කොන්ත්‍රාත්තුවක් ප්රදානය කිරීම සඳහා එවකට කෘෂිකර්ම සංවර්ධන සහ ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කරන ලද සංදේශයක් 2009 ජූනි මාසයේ දී ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. යථෝක්ත SMEC සමාගමට ලබා දුන් එම කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් මිලියන 365 ක් විය.
පසුව ජනාධිපතිකාරයා බවට පත් වූ සිරිසේන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර සිටියේ, තමා "සිද්ධිය ගැන නොදන්නා" බවයි. "ඊට ඔහුගේ එවකට කාර්ය මණ්ඩලයේ සම්බන්ධය තහවුරු කර ගැනීම සඳහා" ඔහු වැඩි දුර විස්තර ඉල්ලා සිටි අතර, ඕස්ට්‍රේලියාවේ "ඕනෑම පරීක්ෂණයකට" සහයෝගය දක්වන බව ද පැවසීය.
එමෙන්ම මේ පිළිබඳව "විමර්ශන කිරීම සඳහා මෙරට ආයතනවලට ද උපදෙස් දෙන" බව ද ඔහු පැවසීය. එහෙත් ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳව සිදු කළ කිසිදු අපරාධ පරීක්ෂණයක් ගැන තොරතුරු නැත.
මහනුවරට සම්බන්ධ වන, කුරුණෑගල දක්වා දිවෙන, (දැන් මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස හැඳින්වෙන) උතුරු අධිවේගී මාර්ගය සඳහා “රුපියල් බිලියනයක ශක්‍යතා අධ්‍යයන” කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් ද මෙම SMEC සමාගමේ නම කියැවේ.
රජය එය ලබා දී ඇත්තේ ටෙන්ඩර කැඳවීමකින් නොව ‘සාකච්ඡා’ මාර්ගයෙනි!
අවම මට්ටම පවා නොඉක්ම වූ එම අධ්‍යයනය සඳහා සමාගමට රුපියල් බිලියන 1.4 ක්, එනම් රුපියල් මිලියන 450 ක් වැඩිපුර ද ගෙවා තිබේ. පසුව SMEC සමාගම විසින් දෙවන "පිරිවැය විචලනය" ලෙස මාර්ග සංවර්ධන අධිකාරියෙන් තවත් රුපියල් මිලියන 113.4 ක් ඉල්ලා තිබේ. එම දෙවන වැඩිපුර ගෙවීම ගෙවා තිබේ දැයි තවම නොදනී.
- 2022 ඔක්තෝබර් 16 වන දින Sunday Times වෙබ් අඩවියේ පළ වූ, ‘Australia arrests SMEC officials over bribery charges in Lanka; questions over Sirisena-era probe’ නම් ප්රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,
ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68
---------------------------
by (2022-10-25 10:05:57)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි