-ආනුභාවනන්ද විග්‍රහයක
(ලංකා ඊ නිව්ස් -2022.සැප්.25, ප.ව.7.30) වසර 1984 ජනවාරි 22 දා මෙරට දේශපාලනයේ ඓතිහාසික දිනයකි. දශක තුනකට පමණ පෙර බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක බෙදීමක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකා මහජන පක්ෂය එදින බිහිවිය. එදින උදෑසන නව නගර ශාලාවේ පැවති උත්සවයකදී නව පක්ෂය ආරම්භ කළ අතර සවස විශාල ජන සහභාගීත්වයකින් යුතුව සුගතදාස ක්‍රීඩාංගණයේ දී මංගල පක්ෂ සම්මේලනය පැවැත්වීය.
එස්. ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා සමඟ ශ්‍රීලනිප බිහි කිරීමට මූලික වූ ටී.බී ඉලංගරත්න නව පක්ෂයේ සභාපති වූ අතර පී. කුමාරසූරියර් ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ රාශියක් නව පක්ෂයට එක් වූහ. ටී.බී ඉලංගරත්න, විජය කුමාරතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ආචාර්ය ප්‍රේමදාස උඩගම, පෝටස් තිසේරා, පී. කුමාරසූරියර්, නීතිඥ වී. ඩබ්ලිව් කුලරත්න, චම්ලි ගුණවර්ධන, වයි.පී ද සිල්වා, ඔසී අබේගුණසේකර, දේවබණ්ඩාර සේනාරත්න, ඇතුළු දාහත් දෙනෙකුගෙන් යුතු දේශපාලන මණ්ඩලයක් පත් කර ගනු ලැබීය. විජය නව පක්ෂයේ ජාතික සංවිධායක විය.
ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහි වීම දේශපාලන අහම්බයක් නොවීය. වසර 1977 දී බලයට පැමිණි එජාප ආණ්ඩුව සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමත් සමඟ ශ්‍රීලනිප අභ්‍යන්තර ගැටුම් ආරම්භ විය. එහි එක් පාර්ශවයකට අනුර බණ්ඩාරනායක නායකත්වය ලබා දුන්නේ ය. ඔහුගේ දක්ෂිණාංශික ප්‍රවේශයට එරෙහිව ඉලංගරත්න, කොබ්බෑකඩුව, විජය, චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායමක් පක්ෂය තුළ සටන් කළේ ය. මේ ගැටුම් සමඟින් ශ්‍රිලනිප හදිසි ජනාධිපතිවරණයට මෙන්ම ජනමතවිචාරණයට මුහුණ දුන්නේ ය. එහිදී ඇති වූ පාවාදීම්, පසුපස සිට පිහියෙන් ඇනීම්, ඇතුළු කලකිරීම් හි අවසාන ප්‍රතිඵලය වුයේ ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහිවීම ය.
ජයවර්ධන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනීය පාලනයට එරෙහිව නව පක්ෂය දැවැන්ත අභියෝගයක් වනු ඇති බව ආණ්ඩු විරෝධී ජනතා බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනය විය. රටේ සැබෑ විපක්ෂය වශයෙන් කටයුතු කිරීම නව පක්ෂය හමුවේ පැවති අභියෝගයි. මහජන පක්ෂය ආරම්භ වී මාස කිහිපයකින් ම මින්නේරිය පාර්ලිමේන්තු මන්ත්‍රී මෙරිල් ද සිල්වා මහතාගේ අභාවය හේතුවෙන් එම ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව තීරණය කළේ ය.
මහජන පක්ෂය එම මින්නේරිය අතුරු මැතිවරණයට තරඟ කිරීමටත් සිය පක්ෂයේ දේශපාලන තරුව වන විජය කුමාරතුංග අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමටත් තීරණය කළේ ය. පක්ෂයේ සියළු සම්පත් ඒක රාශී කරමින් ඔවුහු මින්නේරිය සටනට ප්‍රවේශ වූහ. ශ්‍රීලනිප, හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ රත්න දේශප්රිය සේනානායක තම අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කළේ ය. ඒ වකවානුවේ රටේ ජනප්‍රියම නළුවා වූ විජය කුමාරතුංග මින්නේරිය අතුරු මැතිවරණයෙන් ජය ගනු ඇති බව බොහෝ මහජන පක්ෂ නායකයෝ දැඩිව විශ්වාස කළහ.
එහෙත් වසර 1984 ඔක්තෝම්බර් 25 දා පැවති අතුරු මැතිවරණයෙන් එජාප අපේක්ෂකයා එස්. බී විජේකෝන් වැඩි ඡන්ද නම දාහකට අධික සංඛ්‍යාවකින් මින්නේරිය ආසනය ජය ගත්තේ ය. විජය ඡන්ද 10,568ක් ලබා ගත් අතර ඡන්ද 6,250 ක් හිමි වූ රත්න දේශප්රිය සේනානායක තුන්වන ස්ථානයට පත් විය. ඒ වකවානුවේ ම පැවති කුන්ඩසාලේ අතුරු මැතිවරණයට ද මහජන පක්ෂය තරඟ කළේ ය. ඔවුන්ගේ අපේක්ෂකයා වූ මහින්ද සේනානායක පරාජය වූයේ ඇප මුදල ද අහිමි කර ගනිමිනි.
විශේෂයෙන් මින්නේරිය සහ කුන්ඩසාල අතුරු මැතිවරණ පරාජ වීමත් සමඟ මහජන පක්ෂය පිළිබඳ පැවති ජන ආකර්ෂණය මෙන්ම උද්යෝගය පහළ වැටීමට පටන් ගත්තේ ය. නව පක්ෂයට එජාපයට කෙසේ වෙතත්, ශ්‍රීලනිපයට පවා අභියෝගයක් කළ නොහැකි බවට ජනතා මතයක් ගොඩනැගෙන්නට විය. එම දේශපාලන පසු බැසීම යළි හරවා ගැනීම පහසු කටයුත්තක් නොවීය.
මේ දේශපාලන අනතුරට ළදරු පක්ෂයක් වන මහජන පක්ෂයට මුහුණ පෑමට සිදු වන බව කෘතහස්ත දේශපාලඥයෙකු වන ටී. බී ඉලංගරත්න දැන සිටියේ ය. පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ඔහු මේ තත්ත්වය පිළිබඳව කල් ඇතිව දේශපාලන මණ්ඩලයේ දී කරුණු දැක්වීය. දීර්ඝ ලෙස පැහැදිලි කළේ ය. "සටන කොතැන ද මහජන පක්ෂය එතැනය" යන දේශපාලන ක්‍රමෝපාය අනුව කටයුතු කළහොත් මහජන පක්ෂය විනාශ වන බව ඔහු පෙන්වා දුන්නේ ය. ළදරු පක්ෂයක් වශයෙන් ඉතා සුපරික්ෂාකාරීව දේශපාලන සටන් තෝරාගත යුතු බව පෙන්වා දුන් ඉලංගරත්නයන් වැරදි දේශපාලන සටන් තෝරා ගතහොත් අදාළ සටන මෙන්ම පක්ෂය ද විනාශ විය හැකි බවට අනතුරු ඇඟවීය. පැහැදිලි කළේ ය. විශේෂයෙන් ගොඩනැගෙන ළදරු පක්ෂයක් වශයෙන් තම ශක්තිය පිළිබඳව යථාර්ථවාදී තක්සේරුවක් තිබිය යුතු බව ඉලංගරත්නයන් පෙන්වා දුන්නේ ය. එහෙත් විජය කුමාරතුංග ඇතුළු මහජන පක්ෂයේ තරුණ නායකයන්ට ඒ අදහස් තේරුම් ගැනීමට තරම් ඉවසීමක් තිබුණේ නැත. ඔවුන්ගේ තරුණ ජවය ඉල්ලා සිටියේ "සටන කොතැන ද මහජන පක්ෂය එතැනය" යන දේශපාලන ප්‍රවේශයයි.
අවසානයේ, වසර 1986 ජූනි 16 වන දා ටී. බී ඉලංගරත්න මහජන පක්ෂ සභාපතිධූරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් පක්ෂය තුළ පැවති "සටන කොතැන ද මහජන පක්ෂය එතැනය" දේශපාලන ප්‍රවේශය දැඩිව විවේචනය කර තිබිණ. ඉලංගරත්නගේ මග යමින් ආචාර්ය උඩගම, නීතිඥ වී. ඩබ්ලිව් කුලරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ රාශියක් පක්ෂය හැර ගියහ. ඉන් පසුව සිදු වූ දෑ ඉතිහාසයයි.
එදා විජය කුමාරතුංග නො ඇසූ ඉලංගරත්නගේ උපදෙස් වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනුගමනය කරනු දැකිය හැක. අපි පසුගිය කාලය පුරා අවස්ථා ගණනාවක දී සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ක්‍රියාමාර්ග, ප්‍රවේශයන් දැඩිව විවේචනය කළෙමු. එහෙත් වර්තමාන සමාජ දේශපාලන අර්බූදයේ දී ඔහුගේ බොහෝ මැදිහත්වීම් ධනාත්මක බව ද පැවසිය යුතුය. ඉලංගරත්නයන් පෙන්වාදුන් පරිදි ම ඔහු දේශපාලන සටන් හඳුනාගෙන තම පක්ෂයේ ශක්තිය අනුව ඒවාට ප්‍රවේශ වෙයි.
වර්තමාන පාර්ලිමේන්තුවේ, විශාලතම විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හිමිව ඇත්තේ සමඟි ජන බලවේගයටය. වසර 2020 මහ මැතිවරණයේ දී විසිහත් ලක්ෂයකට අධික ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන මන්ත්‍රී ආසන පනස් හතරකට හිමිකම් කියයි. එහෙත් පොහොට්ටුවට තුනෙන් දෙකකට ආසන්න බලයක් පාර්ලිමේන්තුවේ ඇත. ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ හැට අටකට අධිකය. සංසන්දනාත්මකව ළදරු දේශපාලන පක්ෂයක් සජබට වැඩි ජන බලයක් මෙන්ම ශක්තියක් නැත. එහෙත් මේ වසර ආරම්භයේ දී රටතුළ ආර්ථික අර්බූදය වර්ධනය වෙමින් ජනතාව අසරණ වන විට සජිත් කොළඹට ජනතාව ගෙනැවිත් ගෝඨාණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක් කළේ ය. එය පසු කලෙක ඇති වූ ජනතා උද්ඝෝෂණයන්ට උත්ප්‍රේරකයක් විය. ඒ අවස්ථාවේ සජිත් කියා සිටියේ ආර්ථික අර්බූදය විසඳීමට නොහැකි ගෝඨාභයගේ ෆේල් ආණ්ඩුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වන ලෙසටය (ඒ මොහොතේ මැතිවරණයක් ඉල්ලන්නේ මොළය අමාරුවකට දැයි ජවිපෙ එදා සජිත්ට සිනාසුනේය).
ජනතාව නගරවල උද්ඝෝෂණය කරන විට ඔහු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සජබ කාන්තා සංවිධානයේ ක්‍රියාකාරිනියන් පිරිසක් ගෝඨාභයගේ මිරිහාන නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කිරීමට යොමු කළේ ය. අරගලය ආරම්භයේ දීම ගෝඨාණ්ඩුව ඊට එරෙහිව ඇඳිරි නීතිය පැනවූ විට උදේ පාන්දරම ඇඳිරි නීතිය කඩා ජනතාව තුල අරගලයට තිබූ බිය නැති කෙළේ විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රමුඛ සජබ මන්ත්‍රීවරුන් ය. ඒ ප්‍රවේශ අවසන් වූයේ ජනතාව ගෝඨාභය පන්නා දැමීමට ගෝල්ෆේස් පිටියේ කඳවුරු බැඳීමෙනි. එහෙත් ඔහු ගෝල්ෆේස් අරගලය හයිජැක් කිරීමට ගියේ නැත. ඒ වෙනුවට ප්‍රධාන විපක්ෂය වශයෙන් ජනතාවගේ උද්ඝෝෂණය කිරීමේ අයිතිවාසිකම වෙනුවෙන් පෙනී සිටියේ ය. අවශ්‍ය නීතිඥ සහය ලබා දුන්නේ ය. ඇතැම් අවස්ථාවන්හි දී අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයන්ගේ සැප දුක විමසීමට පොලිස් ස්ථානයන්ට ගියේ ය.
ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියන විට ඔහුට අගමැතිධූරය භාර ගන්නා ලෙසට කරනු ලබන ආරාධනයට, ඔහු කොන්දේසි ඉදිරිපත් කළේ ය. එනම් ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වීමට නිශ්චිත දින වකවානු නම් කළ යුතු බවයි. ඇතැම් දේශපාලන පාදඩයන් එය "ආසයි බයයි" යැයි නම් කළ ද ඒ තීරණය පසුපස පැවතියේ ජනමතයට අවනත වීම සහ අවම දේශපාලන සදාචාරය ප්‍රදර්ශනය කිරීමයි. තමාට හෝ තම පක්ෂයට බලය ලබා ගැනීමට වඩා රාජපක්ෂ රෙජීමය විනාශ කළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ විය. එමෙන්ම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කළේ ය. එම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉතා ඉදිරිගාමී බව නීතිඥ ක්ෂේත්‍රයේ පොදු පිලිගැනීමය. විජයදාස රාජපක්ෂගේ දියාරු ව්‍යවස්ථා සංශෝධන සමඟ එම යෝජනා සංසන්දනය කිරීමට පවා නොහැක.
පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපති ඡන්දයේ දීත් ඔහු තම පක්ෂයේ ශක්තිය අනුව සටන තීරණය කළේ ය. සජබ මන්ත්‍රී කණ්ඩායමේ ශක්තිය මත තමන්ට එම ඡන්දයට ඉදිරිපත් වී ජය ගත නොහැකි බවට සජිත් ප්‍රේමදාසට නිවැරදි තක්සේරුවක් විය. ඒ සටන ජය ගැනීමට නම් පොහොට්ටු මන්ත්‍රී ඡන්ද අවශ්‍යය. ඒ ඡන්ද දිනා ගැනීමට ඔහුට තිබූ අවස්ථා ඉතා අවමය. රනිල් රාජපක්ෂ පරාජය කිරීමට පැහැදිලි අවස්ථාවක් තිබුණේ පොහොට්ටුවෙන් ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුමට ය. ඒ තක්සේරුව අනුව සජිත් ප්‍රමුඛ සජබ ඩලස් ට සහයෝගය ලබා දීමට තීරණය කළහ. සරළ අංක ගණිතය අනුව ඩලස්ට සහයෝගය ලබා දීමට ප්‍රසිද්ධියේ පොරොන්දු වූ පක්ෂ, කණ්ඩායම් සහ මන්ත්‍රීවරුන්ට අනුව ඔහුට ඡන්ද 115කට වඩා පැවතුනි (පරාජයෙන් පසු ඩලස් මේ පිළිබඳව කිහිප වරක් හෙළි කර තිබිණි).
මේ මොහොතේ විපක්ෂ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස දුෂ්කර දේශපාලන කාලයක් පසු කරමින් සිටියි. එක් පසකින් රනිල් රාජපක්ෂ සජබ මන්ත්‍රීවරුන් ඇමතිධූර ලබා දෙමින් බිලීබා ගැනීමට උත්සාහ කරමින් සිටියි. අනෙක් අංශයෙන් ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විපක්ෂයේ ප්‍රධාන විපක්ෂය වශයෙන් සටන් කිරීමට සිදුව ඇත. තවත් පෙරමුණකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ ව්‍යවස්ථා සටන ය. ඒ සියල්ලට සමගාමීව ඉදිරි මැතිවරණයකින් බලය ලබා ගැනීම සඳහා ජනතාව සංවිධානය කිරීමේ මෙහෙයුමයි. වසර දෙකක ළදරු පක්ෂයකට මේ සියල්ලට මුහුණදීම පහසු නැත. ඒ සඳහා විපක්ෂයේ පුළුල් එක්සත් පෙරමුණක් ගොඩනඟා ගත යුතුය. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, තරුණ සිවිල් ක්‍රියාධරයන් ඇතුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමේ අවංක බලවේග එහි සංරචකයන් විය යුතුය. එය පසු කලෙක අවශ්‍ය නම් මැතිවරණ පෙරමුණක් බවට පරිවර්තනය කර ගත හැක.
එවැනි පුළුල් පෙරමුණක් සංවිධානය කිරීමේ සහ එයට නායකත්වය ලබා දීමේ ශක්තියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඇති බව අපේ විශ්වාසයයි (ඔහුගේ ඇතැම් සීමාකම් අතරේ වුවද). එහෙත් ඔහුට හෝ කිසිම නායකයෙකුට දේශපාලන සහතික දීමට අපි ඉදිරිපත් නොවෙමු. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සිට රනිල් රාජපක්ෂ (පෙර වික්‍රමසිංහ) දක්වා දේශපාලන නායකයෝ බලයට පැමිණි පසුව තමන් පෙනී සිටි දේශපාලන න්‍යාය පත්‍රයට මෙන්ම තමන් බලයට ගෙන ආ ජනතා අපේක්ෂාවන්ට කොකා පෙන්වූහ. එබැවින් සජිත් ඒ මඟ නොයන බවට අපට සහතික විය නොහැක. එහෙත් පොදු පුළුල් පෙරමුණක් ගොඩ නැගීමට පදනම් විය හැකි නායකත්ව ගුණාංග දෙකක් ඔහු සතුය. පළමු වැන්න සජිත් සතු ඇහුම්කන් දී මේ ගුණාංගයයි. ඔහු ඕනෑම අදහසකට ගරු කරන අතර එයට සාවධානව සවන් දෙයි. දෙවැන්න ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම මත පදනම් වෙමින් විවිධ අදහස් දැරීමට ඉඩ ලබාදීමයි. වර්තමාන සජබ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අදහස් මෙයට එක් නිදසුනකි. සජිත් ඔවුන්ට නිදහසේ අදහස් පල කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර ඔවුන්ගේ කට වැසීමට තවම පියවර ගෙන නැත. මේ ගුණාංග මත පදනම්ව ඔහුට ආණ්ඩු විරෝධී පුළුල් පෙරමුණක් ගොඩනැගීමට උත්සාහ කළ හැකි බව අපේ තක්සේරුවයි. "ජාතික සභා" වැනි කිසිදු නෙෙතික බවක් නොමැති දේශපාලන තොරණ්වලට නොරැවටී මෙවැනි එක්සත් පෙරමුණක් ගොඩනැගීම දේශපාලන ආයෝජනයකි. එවැනි පුළුල් පෙරමුණකින් තොරව රනිල් රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම රාජපක්ෂ-වික්‍රමසිංහ දේශපාලනය පරාජය කරනවා යැයි වහසිබස් දෙඩීම ළදරු වලිප්පුවකි.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
---------------------------
by (2022-09-25 14:05:14)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි