-කදුරු පොකුණේ සුමංගල හිමියෝ අසති
(ලංකා ඊ නිව්ස් -2022.සැප්.21, ප.ව.11.00) චිරාගතව පැවතෙන ආගමික පුද චාරිත්‍රයන් නොපවත්වා ජනතාව ආගමික ස්ථාන කෙරෙන් ඈත් කිරීම අනාගතයේ දී බොහෝ අනිටු ඵල විපාක සමාජය තුළ ඇති කිරීමට හේතු විය හැකි බව වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් හා අමාත්‍ය වරුන් වටහා ගත යුතුයැයි ත්‍රෛනිකායික මහා නා හිමි වරුන්ගේ අත්සනින් යුතු ඒකාබද්ධ නිවේදනයක සඳහන් වෙයි. ආගමික ස්ථාන සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් මහනායක හිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම නිවේදනය යොමු කර ඇත. මෙය මහ නා හිමි වරුන්ගේ අත්සනින් යුතු නිවේදනයක් වුව ද මෙම පිටපත උන් වහන්සේලාගේ නොවන බව පැහැදිලි ය. ඒ අනුව එම නිවේදනය කියැවූ සැනින් අපට වැටහී ගියේ එය ලියූ තැනැත්තා කවුරුන් වුණත් ගොබ්බම ගොබ්බ වාක්‍ය රචනා ලිවීමෙහි අති දක්ෂයකු බව ය.
අප කවුරුත් දන්නා පරිදි සමාජයේ ගිහි පැවිදි යනුවෙන් කොටස් දෙකක් සිටිති. මෙම පැවිදි සමාජයේ වැඩි කොටස පූජකයන් වන අතර ඉතා සීමිත පිරිසක් ශ්‍රමණ නම් වන කොට්ඨාශයට ගැනෙති. සම්ප්‍රදාය වශයෙන් සේම ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රමණයෝ ලෞකිකත්වයෙන් බැහැර වූ දැඩි ශික්ෂාකාමී ප්‍රතිපදාවනට එල්බ ගත්තෝ වෙති. ඒ අනුව බෞද්ධ භික්ෂූන් සෛද්ධාන්තික වශයෙන්ම ශ්‍රමණ ගණයට අයත් වෙති.
සීදූව, වෑත්තෑවේ ශ්‍රී මහින්දාරාමාධිපති නැදගමුවේ මහානාම හිමියන් ශ්‍රමණ ගණයට අයත් වුවද ලෞකික උපහෝග පරිභෝග සම්පත් රැසක් මැද දිවි ගෙවූ හිමි නමකි. ඒ හිමියන් මෑත දිනයෙක එම විහාරස්ථානය තුළ දීම සාහසික ලෙස ඝාතනයට ලක් විය. පසුව එම ඝාතනය ඒ හිමියන් සතු වස්තුව කොල්ල කෑම පිණිස ඒ හිමියන්ගේම ගෝල හිමි නමක් සැලසුම් කළ බව අනාවරණය විය. එමෙන්ම පන්සලට ලැබුණු පිරිකරකට රණ්ඩු වූ හිමිවරුන් දෙනමක් පිහියකින් ඇනගෙන තිබුනේ පසුගිය 14 දා පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පන්සලක ය. බුද්ධ ශාසනය තුළ භික්ෂු චර්යාවන් පවා එපමණකටම කෲර බිහිසුණු වීම පිළිබඳව එක් වදනකුදු නොදෙඩූ මහ නා හිමි වරුන් චිරාගතව පැවතෙන ආගමික පුද චාරිත්‍රයන් නොපවත්වා ජනතාව ආගමික ස්ථාන කෙරෙන් ඈත් කිරීම අනාගතයේ දී බොහෝ අනිටු ඵල විපාක සමාජය තුළ ඇති කිරීමට හේතු විය හැකි බවට කළ ප්‍රකාශය තරම් අන් විහිළුවක් මෑත කාලීනව සොයා ගත නොහැකි බව අපගේ වැටහීම ය.
එසේම විහාරස්ථාන සඳහා සාධාරණ මුදලක් යටතේ විදුලිය ලබා දුන් පසුබිමක පවා ශ්‍රී ලංකාව මිනී මැරුම් ඇතුළු සාපරාධී ක්‍රියා සේම වංචා දූෂණ අක්‍රමිකතා අතින් ලෝක දර්ශක වල පවා ඉදිරියට පැමිණීමට හේතුව ද උන් වහන්සේලාම අපට පහදා දිය යුතු ය.
අනාදිමත් කාලයක සිට බෞද්ධ විහාරාරාම රාත්‍රී කාලයේ ආලෝකමත්ව තබා ගැනීම සිදු කෙරෙන කටයුත්තක් බව ද ත්‍රෛනිකායික මහා නා හිමි වරු එම ලිපියෙන් පෙන්වා දෙති. නමුදු මෙහි ආලෝකමත් ව තබා ගැනීම යනු පහන් දල්වා අඳුර දුරු කිරීමක් පමණක් ම ය. එහෙත්, මෙරට ප්‍රධාන පෙළේ විහාරස්ථාන ගණනාවක ම විදුලි බිල විශාල වශයෙන් ඉහළ යාමට හේතු වී ඇත්තේ ඒවායේ විදුලි පහන් වලට අමතර අනේක විධ විදුලි උපකරණ ක්‍රියාත්මක වීම මත බව තහවුරු වී ඇති අතර ඒවා අතුරින් වායු සමීකරණ යන්ත්‍ර, අධි ශීතකරණ සහ උනුසුම් ජලය ලබා ගන්නා නාන කාමර කට්ටල ප්‍රධාන තැනක් ගන්නා බව පැවසෙයි. සාමාන්‍ය මෙම පහසුකම් සහිත සාමාන්‍ය නිවෙසක විදුලි බිල මෙන් කිහිප ගුණයක විදුලි බිලක් විහාරස්ථාන වලට ඒමට හේතුව නිවෙස් වලට සාපේක්ෂව ඒවායේ එම පහසුකම් ජාලය පුළුල් ව පැවතීම නිසා බව කියනු ලැබේ.
මෙතෙක් ආගමික ස්ථාන සඳහා විදුලි ඒකකයක් ඉතා අඩු මුදලකට ලබා දීම මත විශාල විදුලි ඒකක ප්‍රමාණයක් භාවිතා කළ ද අඩු විදුලි බිලක් මෙතෙක් ඒවාට ලැබී තිබිණ. නමුත් පසුගිය අගෝස්තුවේ බිල් ඉහළ නැගීමත් සමඟම විහාරස්ථානවල විදුලි බිල් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් විහාරස්ථාන ප්‍රධාන විහාරස්ථාන ගණනාවක ම විහාරාධිපති හිමිවරුන් ඊට විරෝධය පළ කරමින් සිටිති.
මේ අතර නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පන්සලක විහාරස්ථානයකට සුර්ය බල විදුලි පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා තාක්ෂණික ශිල්පීන් කැඳවූ අවස්ථාවේ ඔවුන් පෙන්වා දී ඇත්තේ එහි ඇති සියලුම වායුසමීකරණ යන්ත්‍ර, ශීතකරණ සහ සෙසු උපකරණ ක්‍රියාත්මක කරවන්නේ නම් ඊට අවශ්‍ය බලය උත්පාදනය කිරීමට සූර්ය පැනල සවිකිරීමට විහාරස්ථාන භූමියේම ඉඩ කඩ පවා නොමැති බවකි. ඒ අනුව අප සමාජයේ ගිහියන්ට සාපේක්ෂව ශ්‍රමණ නම් වන කොට්ඨාශයට අයත් බව පැවසෙන බොහෝ භික්ෂූන් විදුලි පහන් දැල්වීමට අමතර ව අධි විදුලි පරිභෝජනයක යෙදෙන බව පැහැදිලි ය.
කුමන කරුණක් මත හෝ ජනතාවට දරා ගත නොකැකි විදුලි ගාස්තුවක් මේ වන විට පනවා තිබේ. එයට අපි ඉඳුරාම විරුද්ධ වෙමු. එහෙත් එම සැබෑ අසාධාරණය පිටු දැක "ලයිට් නැත්නම් බුද්ධ ශාසනයත් ඉවරයි; නිවන් යන්නත් බැහැ" යනුවෙන් ත්‍රෛනිකායික මහා නා හිමි වරුන් අත්සන් තබා ඇති අමනෝඥ ප්‍රකාශය පිළිබඳව අප තුළ ඇත්තේ අති මහත් කලකිරීමකි.
මේ අතර විදුලි බිල ඉහළ දැමීමට විරුද්ධ වන ඇතැම් භික්ෂූන් වහන්සේලා ගමන් බිමන් යන්නේ කෝටි තුන හතරේ වාහන වලින් බව ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ සඳහන් කරති. එම වාහන වලට මාසකට ඉන්ධන වියදම රුපියල් පනස් දහසක් ලක්ෂයක් වන බවත් පැවසූ උන්වහන්සේ දාන ගෙවල්වල, ආදාහන පොල වල මෙම අති සුඛෝපභෝගී වාහන දැකගත හැකි බව ද කියා සිටිති. අනිත් ආගමික සංස්ථා කේන්ද්‍ර කරගත් පොදු අරමුදලක් පිහිටුවා ඇතත් මෙරට විහාරස්ථාන සඳහා එවන් අරමුදලක් පිහිටා නැති බව ද පැවසූ උන්වහන්සේ සියලුම විහාරස්ථානවල ආදායම එක පොදු අරමුදලකට බැර කළ යුතු බවද මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ. පල්ලෙකන්දේ රතනසාර හිමි යනු බුදු සමයට ලිබරල්වාදී සවරූපයක් ලබා දීමට නිති වෙර දරන යති වරයාණන් නමකි.
නමුත් මේ අමිහිරි යථාර්ථය යටපත් කරමින් බෞද්ධ විහාරාම වල විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති වරයාට යවන ලිපිය මඟින් ත්‍රෛනිකායික මහා නා හිමි වරුන් පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිව සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ආසන්න වූ විට දේශීය සහ විදේශීය දානපතියන්ගේ පරිත්‍යාගශීලිත්වයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් රුපියල් මිලියන ගණනක ඖෂධ අද වන විට රෝහල් වෙත ලබා දී ඇති බවකි. එම කතාවෙහි යම් සත්‍යයක් ඇති මුත් වාර්ෂිකව රුපියල් කෝටි ගණන් ආදායම් උපයන අප රටේ ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන අරමුදල් වලින් අසරණ රෝගීන්ගේ අභය දානය උදෙසා පරිත්‍යාග කළ මුදල් පිළිබඳව එම නිවේදනයට ඇතුළත් කොට නැත. ඒ එම මාතෘකාව යටතේ "ලියන්නට තරම් දෙයක් නොමැති වීම" නිසා නොවෙද? අනික එසේ තමන් වෙත පෞද්ගලිකව ලැබුණු මුදල් ඖෂධ සඳහා පරිත්‍යාග කළ හිමි වරුන් කිහිප නමකගේ ගේ නම් සහ එම මුදල් ප්‍රමාණයන් තම ඒකාබද්ධ ප්‍රකාශයෙන් ඉදිරිපත් කිරීමට එම ත්‍රෛනිකායික මහා නා හිමි වරුන්ට නොහැකි වූයේ ඒ ආධාර දුන් හිමි වරුන් අපේ රටේ නිකායත්‍රයට අයත් නොවන නිසාද?
එමෙන්ම මෙම ආගමික ස්ථාන මුල් කොට විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් හුදෙක් බෞද්ධ විහාරාරාම වලින් මිස සෙසු ආගමික සංවිධාන වලින් මෙතෙක් හඬක් නැඟී නැත. අඩුම තරමින් සර්ව ආගමික සංවිධාන වලින් වත් හඬක් නැඟී නැත. ඒ අන්‍ය ආගමික පූජනීය ස්ථාන වල බෞද්ධ විහාරාරාම වල මෙන් විදුලි අධිපරිභෝජනයක් සිදු නොවන නිසා බව අපගේ වැටහීම ය.
මේ අතර විදුලි ගාස්තු වැඩි කිරීම හේතුවෙන් බෞද්ධ සිද්ධස්ථාන වල යම් විරෝධයක් ඇති වී තිබෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් ද කරයි. මෙම අසීරු කාලය රට වෙනුවෙන් මඳක් ඉවසන ලෙස තමන් ඉල්ලීමක් කරන බව ද පැවසූ ඔහු එතෙක් බෝධි පූජාවන් වැනි දේ බෝධිය වටේ පහන් ටිකක් දල්වාගෙන හෝ සිදු කරන්නැයි ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් කියා සිටියේය. ඉන් පැවසෙනුයේ පොදු ජන පෙරමුණේ මහ ලේකම් වරයා සමකාලීන විඥානය හමුවේ කෙතරම් ළදරුවකු ද යන්නය. අද රට පත්ව ඇති මෙම සියළු ඛේදවාචකයන්ට හේතුව එබඳු ළදරුවන් රටේ සමාජයේ වග කිව යුතු භූමිකාවන්ට පත් වීම බව අප ගේ අදහස ය.
මේ අවස්ථාවේ දී විදුලි බිල් සහන ලබා දිය යුත්තේ දුප්පත්කමේ සීමාවෙනුත් පහළට ඇද වැටී සිටින අන්ත අසරණ පවුල් වලට සහ සිය නිෂ්පාදන අපයනයෙන් රටට විදේශ විනිමය උපයන කර්මාන්තකරුවන්ට සහ නිෂ්පාදකයින්ට ය. හාරදහසකට පමණ රැකියා අවස්ථා ලබා දී ඇති අප දන්නා එක් අපනයන කර්මාන්ත කරුවෙකු ගේ ලක්ෂ 5 ක් වූ විදුලි බිල ලක්ෂ 15 ක් වී ඇත. ඔහුගේ නිෂ්පාදන පිරිවැයට එකතුවන ඒ අමතර ලක්ෂ 10 පියවා ගැනීමට ඔහුට තම නිෂ්පාදන විකුණුම් මිල වැඩිකිරීමෙන් කළ නොහැකිය. මන්ද යත් විදේශ වෙළෙඳ පොලට ලංකාවේ විදුලි බිල වැඩිවීම අදාල නොවන නිසා ය. රට පත්ව ඇති දරුණු ආර්ථික අර්බුදයේ දී එවැනි අපනයන කර්මාන්ත කරුවන්ට විදුලි බිල් සහනයක් ලබා දීම මිස ශ්‍රමණ වෙස් ගෙන අධි සුඛෝපභෝගී සල්ලාල ජීවිත ගෙවන, රටේ නිෂ්පාදන ක්‍රියාවලියට කිසිදු දායකත්වය නොදෙන උදවියට සහන දීමෙන් සිදුවනුයේ රට තව තවත් අර්බුදයේ ගිලී යෑම ය.
හිමි ලියූ ලිපි එකතුව
https://www.lankaenews.com/category/91
---------------------------
by (2022-09-21 17:54:46)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි