~

චාල්ස් කුමරු රජ වුනාට 'බයි කුමරුට' ඉඩ දෙනවාද?

-සුනිමල් මුතුමාල අසයි

(ලංකා ඊ නිව්ස් -2022.සැප්.12, ප.ව.11.25) ලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව් මැදුරේදී තුන්වන චාල්ස් රජු ප්‍රථම වරට ජාතිය ඇමතීය. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් මෙන්ම 2,000 කට අධික ජනතාවක් සහභාගී වී ඇති බව වාර්තා වේ. කලක් තිස්සේ "ගෝඩ් සේව් ද ක්වීන්" ලෙස ගායනා කළ එංගලන්ත ජාතික ගීය "ගෝඩ් සේව් ද කිං" ලෙස වෙනස් කරමින් ප්‍රථම වරට වාදනය කිරීම ද එහි දී සිදු කෙරිණ. 

මහා බ්‍රිතාන්‍යයේ තත්වය එලෙස තිබිය දී අප රටේ වත්මන් "බයි රජ පවුල" නියෝජනය කරන නාමල් රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමන්ට යටත් වැසි බලු ගැත්තන් හෙවත් තරුණ පාක්ෂිකයන් බඳවා ගැනීම සඳහා ද විශාල වගකීම් ප්‍රමාණයක් භාරදී ඇත. දේශීය "බයි රජ පවුල" නියෝජනය කරන වත්මන් බයි මහ රජු මහින්ද රාජපක්ෂ සහ බයි යුව රජු  බැසිල් රාජපක්ෂ  විසින් මෙම කටයුතු නාමල් රාජපක්ෂ කුමරා වෙත පවරා තිබේ. 

රනිල්ගෙන් මහින්දට පොරොන්දුවක්...

මේ අතර මේ වනවිට සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය 30 ක් දක්වා ඉහළ දැමීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. අලුතින් කැබිනට් තනතුරු හිමිවන බහුතරයක් පොදුජන පෙරමුණේ සාමාජිකයන් බවත් වාර්තා වෙයි. එම ඇමති වරුන් තීරණය කිරීම ද බයි  යුව රජු බැසිල් රාජපක්ෂ විසින් සිදු කොට ඇති අතර ඔවුන් තාවකාලික ලෙස රජකම භාර දී ඇති රනිල් වික්‍රමසිංහ නම් ගහල තනතුරට පත් දොරටු පාලයා ද එම තීරණය හිස් මුදුනින් පිළිගෙන තිබේ. එහි දී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කැබිනට් තනතුරු වලට පත් කෙරෙන නම් අතුරින්  නාමල් රාජපක්ෂ බයි කුමරුවාගේ නම මුලින්ම සඳහන් කර ඇති අතර නාමල්ගේ අනාගතය තමන් බාර ගන්නා බවත් ඒ ගැන බිය නොවන ලෙසත් රනිල් මහින්දට පොරොන්දුවක් ද දී ඇත. රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.බී. දිසානායක, විමලවීර දිසානායක, සරත් වීරසේකර, එස්.එම්. චන්ද්‍රසේන යන රජ පවුලේ සේවක කාරකාදීන්ට ද කැබිනට් වරම් හිමිවන අතර මීට අමතරව ජීවන් තොන්ඩමන්ට හා ඒ.එල්.එම්. අතාවුල්ලාටද කැබිනට් ඇමති ධූර ලැබීමට නියමිතය.

'දැහැමෙන් සෙමෙන්' රාජ බොරුව..

නවීන දේශපාලනය හමුවේ ලොව රාජාණ්ඩු බලරහිත වෙමින් සහ බිඳ වැටෙමින් තිබුණ ද අපේ රටේ රාජාණ්ඩු කෙරෙහි තවමත් පොදු ජන ඉල්ලුමක් තිබේ. ඒ නූතන බටහිර දේශපාලනය සම්ප්‍රේෂණය වීමට පෙර අප රට පාලනය කළ සිංහල රාජවංශය පොදු ජනතාවට සුවසෙත සැලසූ දැහැමි රජවරුන් බවත් වසර දෙදහස් පන්සියයක් තිස්සේ මේ උතුම් දිවයින සිංහල, බෞද්ධ, ධාර්මික, අභීත, ජනතා සුවසෙත සැලසූ රජවරුන් විසින් පාලනය කර විජාතිකයන් ගෙන් රැකගෙන නිර්මල, ථෙරවාදී බුදුදහමද ආරක්ෂා කළ පරිදි. අනාගතයේදී ද මේ රට රැක ලොව විශිෂ්ඨම දේශයක් කළ හැක්කේ එවන් රජකුට පමණි යන පරම මිථ්‍යාව සමාජ ගත වී තිබීම නිසා ය.ඒ සඳහා මූලෝත්පාදක වූයේ අතීත සමාජයේ ජනතාවට පිටුපාමින් පාලකයා ගේ අභිවෘද්ධිය සහ සුවසෙත උදෙසා වූ වෘත්තියක නියැළි පූජක භූමිකාව එදා මෙදා තුර  රජුන්ගෙන් විවිධ වරදාන ලැබූ අප සමාජයේ භික්ෂුන් විසින් දරනු ලැබීම නිසා බව මානව විද්‍යාත්මකව සනාථ කර ගත හැක. මෙවන් තත්වයක් යටතේ විජය රජුගෙන් ඇරඹී ශ්‍රී වික්‍රම රාජසිංහ ගෙන් අවසන් වීම දක්වා දිග හැරෙන සිංහල රාජවංශය පිළිබඳව මහා වංශ සංස්කරණ සහ University of Ceylon-History of Ceylon යන  මුලාශ්‍ර පදනම් කර ගත් ශාස්ත්‍රීය ගවේෂණයක යෙදෙන සම්මත ඉතිහාසඥයකු නොවන විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ  පාලකයන් විසින් රට පාලනය කළ බව පැවසෙන බෞද්ධ රාජ්‍ය පරමාදර්ශයක් වන ‘ධම්මෙන සමෙන’ හෙවත් දැහැමින් සෙමින් සංකල්පය අපගේ රජ පරපුරට කෙසේවත් ආදේශ කළ නොහැකි බවතම පර්යේෂණ නිබන්ධනය මඟින්  මෙසේ කියයි.

අතීත රාජ කැරැට්ටුව මෙන්න..

" විජය රජුගෙන් ඇරඹෙන ලාංකික රාජවංශය අවසන් වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙනි. මේ කාලය තුල ලංකාවේ අගනුවර ලෙස පැවති ස්ථානයන්හි රජ වූ රජවරුන් ගණන 182 කි. මෙම අය අතුරින් ඉතිහාසයේ සනිටුහන් වන යමක් කළ රජවරුන් ඇත්තේ 10 කට අඩු වැඩි ප්‍රමාණයකි. ඒ පණ්ඩුකාභය, දේවානම්පියතිස්ස, දුටුගැමුණු, සද්ධාතිස්ස, වළගම්බා, වසභ, මහාසේන, ධාතුසේන, සීගිරි කාශ්‍යප, විජයබාහු, පණ්ඩුකාභය, සවැනි පැරකුම්බා, මායාදුන්නේ, රාජසිංහ රජුන් පමණි. සිංහල රාජ වංශයට අයිති වන්නේ යැයි සැලකෙන රජවරුන්ගෙන් 7 දෙනෙකු ඉන්දියාවේ උපත ලද දේශීය සම්භවයක් නොමැති අයයි. සිංහසනාරුඪ වූ අයගෙන් 26 දෙනකු බලයට පැමිණ ඇත්තේ ඊට පෙර සිටි රජු බලයෙන් පහකර දැමීමෙනි. ලක් ඉතිහාසයේ තමන්ට පෙර සිටි රජු මරා දමා බලයට පැමිණි රජුන් 29 දෙනෙකි. අප රජවරුන් අතුරින් 39 දෙනෙකු සෙනෙවියන්, තම සොයුරන්, දරුවන් හෝ තම බිරිඳ අතින් ඝාතනය විය. තවත් එක් රජෙකු (කානිරජානුතිස්ස- ක්‍රි.ව. 30-33) මිහින්තලා විහාරයේදී භික්ෂුන් වහන්සේලා හැට නමකගේ මුෂ්ටි ප්‍රහාරයකට ලක්ව අසීරුවෙන් දිවිගලවා නොගත්තේ නම්, මෙම ලැයිස්තුව තවත් එකකින් දිගුවනු ඇත. අප රජුන් අතුරින් ආක්‍රමණිකයන් අතින් ඝාතනය වී ඇත්තේ කිහිප දෙනෙකි. 23 දෙනකු අභ්‍යන්තර කැරළි කෝලාහල නිසා බලයෙන් පහවිණි. ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය වූ අනුරාධපුර යුගයේ විසූ රජවරුන්ගෙන් 2 ක් මියගියේ බීමත් කමිනි. මෙයට නුවර යුගයේ නරේන්ද්‍රසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ එක්වූ විට ලංකාවේ රජවරුන්ගෙන් 4 දෙනකු ප්‍රසිද්ධ බේබද්දෝ වූහ. අනුරාධපුරයේ රජවරුන්ගෙන් 4 දෙනෙකු සතුරන් සමඟ යුදයට ගොස් පරාජය වී සිය දිවි හානි කර ගති. ඒ පරසතුරන් සමඟ නොව තම රටෙහි සතුරන් සමඟ සටන් කොටය.(උපුටා දැක්වීම අවසන්)....

සම්මත ඉතිහාසඥයකුට "කටක් හැර කියා ගත නොහැකි එම කටුක යථාර්ථය ජනතාව හමුවේ හෙළි කරන ලද්දේ සම්මත ඉතිහාසඥයකු තබා අඩුම තරමින් ජැක්සන් ඇන්තනී වැනි ව්‍යාජ ඉතිහාසඥයකු වත් නොවන නිසා එම මතවාදය ප්‍රබල අයුරින් සමාජ ගත වූ බවක් පෙනෙන්නට නැත.

හරක් බැලූ දාවිත් රාජපක්ෂගෙන් ආරම්භ වී...

දහ නව වන සියවසේ වීරකැටියේ බුද්දියාගම වලව්වේ බාර කරුවකු සහ හරක් බලන්නකු ලෙස සේවය කරමින් සිටි පසු කාලීනව ඉතා උපායශීලීව එහි හිමි කාරත්වයට පත් දාවිත් රාජපක්ෂ මුල් කොට ගත් මැදමුලනේ රාජපක්ෂලා රාජ වංශයට තබා අඩුම තරමින් ප්‍රභූ පෙළපතකට වත් අයත් නොවේ. එහෙත්, දාවිත් ගේ පරපුර ඊළඟට නියෝජනය කළ මාටින් රාජපක්ෂ වැන්නවුන් තමන් විසින් බලහත්කාරයෙන් සහ වෙනත් අයථා ක්‍රම වලින් උපයා ගත් මුදල් වලින් අවට වැසියන් සතුටට පත් කරමින් සහ බියවද්දමින් නැතහොත් "හොඳින් නැත්නම් නරකින්" ඒ සමාජයේ නායකත්වයට පත්ව තිබේ. එම පරපුරට අයත් මහින්ද රාජපක්ෂ විසින් පසුගිය කාල සීමාව තුළ දරන ලද්දේ ද ඒ "ගමේ චණ්ඩියා" භූමිකාවමය. ඒ කාලයේ ඔහුගේ සමීපතමයන් ඒ අතීතය දැන සිටි බොහෝ දෙනකු විවිධ ස්වභාවික සහ අස්වාභාවික හේතු මත මරණයට පත්ව ඇති අතර ඒ අතුරින් මහින්ද රාජපක්ෂ ගේ පියා ඩී. ඒ. රාජපක්ෂ සමයේ සිට රාජපක්ෂ පවුලට හිතවත්ව සිටි ව්‍යාපාරිකයකු ගේ පුත් මර්වින් සිල්වා පමණක් ඒ කාලය පිළිබඳ රහස් තොරතුරු සම්භාරයකට හිමිකම් කියමින් තවමත් ස්වභාවික හෝ අවස්වාභාවික මරණයකට ගොදුරු නොවී ජීවත් වීම ද එක්තරා පුදුමයකි.

"ආයුබෝවේවා මහරජාණනි" බොරුව..

එතෙක් තමන් දැරූ ගමේ චණ්ඩි භූමිකාව වෙනුවට මුලු රටේම රජකම පිළිබඳ මහින්ද රාජපක්ෂ ගේ සිත මුල්වරට යොමු වූයේ 2009 වසරේ උතුරු නැගෙනහිර යුද ජයග්‍රහණයත් සමඟ ජාතික රූපවාහිනිය ඇතුළු විවිධ ජනමාධ්‍ය වලින් තම රූපය ද සහිතව විකාශය කළ "ආයුබෝවේවා මහරජාණනි" නම් ගීතය මුල් කර ගනිමිනි.ඒ වන විට බ්‍රිතාන්‍ය රජ පරපුරට සියවස් ගණනක ඉතිහාසයකුත් රාජපක්ෂ හොර රජ පවුලට "වසර දහ තුනක" අනභිබවනීය ඉතිහාසයකුත් ඇති බව පිළිගන්නට අපට සිදුවේ.රාජපක්ෂ රාජ පරම්පරාවේ අභිබවනීය ඉතිහාසයේ සමාරම්භය සනිටුහන් කරන ඒ ගීතය එල්. ටී. ටී. ඊ. යුද ජයග්‍රහණය පදනම් ව මහින්ද රාජපක්ෂ ඉලක්ක කොට රචනා කරන ලද්දක් බව එහි ගීත රචක සුනිල් ආර්. ගමගේ පට්ටපල් බොරුවක් ඇද බෑව ද සත්‍ය වශයෙන්ම එය එල්. ටී. ටී. ඊ. යුද ජයග්‍රහණයකට වසර කිහිපයකට පෙර රචනා වූවකි. සමන්ත පෙරේරා විසින් තනු යොදා සංගීතවත් කොට සහේලි ගමගේ නම් ගායිකාවක විසින් ගායනා කරන ලද ගීතය එතෙක් අප්‍රකට ව පැවැති මුත් ඒ ගී සංකල්පනය සම්බන්ධයෙන් ගීත රචක සුනිල් ආර් .ගමගේ මුල් කාලයේ දීම මාධ්‍යයන්ට අදහස් පළ කොට තිබිණ. එමගින් ඔහු පවසා සිටියේ එය මහනුවර යුගයේ කුංකුනාවේ හිමි විසින් සෙංකඩගල රාජධානිය ඉංග්‍රීසින් අතට පත් වීමෙන් පසු රචනා කරන ලද ‘අපේ කුහුඹුවනේ’ නම් කවි පන්තියේ යාවත්කාලීන ප්‍රති නිර්මායක් බව ය. ඒ වන විට පැවැති එල්. ටී. ටී. ඊ. යුද්ධය ජයග්‍රහණය කොට රට එක් සේසත් කිරීමේ ජනතා අභිලාෂය මුල් කොට ඒ ගීතය රචනා කළ බව ද ඔහු එවක කියා තිබිණ. එමෙන්ම එම ගීතයට තනු යොදා සමන්ත පෙරේරා කියා සිටියේ කල්පිත රජ කෙනකුත් මුල් කොට ගත් ප්‍රශස්තියක ස්වරූපයක් ඒ ගීත රචනයෙන් ඉස්මතු වන බැවින් ඊට ප්‍රශස්ති නාද මාලාවක් සහිත තනුවක් යෙදූ බව ය. 

මහින්දට වැළඳුනු රාජකීය උණ සන්නිපාතය..

එහෙත්,පසුගිය එල්. ටී. ටී. ඊ. යුද ජයග්‍රහණයත් සමඟ ඒ ගීතයට නව පනක් ලැබී ජනගත වීම මත සරත් ෆොන්සේකාට රිසි පරිදි යුද්ධය කිරීමට ඉඩදී  පැත්තකට වී බලා සිටි මහින්ද රාජපක්ෂ ඒ ගීතය මුල්කොට හෝ ශ්‍රී ලංකාව එක් සේසත් කළ රජු වශයෙන් අභිෂේක ලැබීමට මානබැලීය. 2009 පසු ඔහු තුළ ඇති වූ ඒ රාජකීය උණ සන්නිපාතය කෙතෙක් ද යත් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය අතර මැද  රුවන්වැලි සෑ හැඩයේම සහ ප්‍රමාණයේම ස්ථූපයක් තනා එය රණවිරු සෑය ලෙස නම් කොට තම නම එහි සමරු ඵලකයේ සඳහන් කිරීමට පවා සළසුම් කොට තිබිණ. ඒ ඔහුගේ ආධ්‍යාත්මික උපදේශිකාව වූ ඥානක්කා නම් ඇටෙන්ඩන්ට් නෝනා ගේ  උපදෙස් මත ය. ඒ කාලයේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක තම තනතුර සේම ජීවිතය ද දැඩි අවදානමකට යොමු කොට එම උමතු සෑය අනුරාධපුර ඇතුළු නුවරින් ඉවත් නොකරන්නට අද වන විට අපගේ දේශපාලන සේම සංස්කෘතික ඉතිහාසයට මීට වඩා බරපතල විකෘතියක් සිදුවීමට හොඳටම ඉඩ කඩ තිබිණ. අද වන විට එම 'රණ විරු සෑය' , 'සඳ හිරු සෑය' ලෙස නම ද වෙනස් වී අනුරාධපුර කුරුණෑගල හන්දියට වී නිසොල්මන් ව බලා සිටියි.

ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ‘සිව් මහ බඹුන්’

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මෙරට විධායක බලතල සහිත ජනාධිපති පදවිය හිමිකර ගෙන සිටි මහින්ද  රාජපක්ෂ අතීතයේ විසූ නරපතියකු වැනි විය යුතුය යන ආචීරණ කල්පිත අදහස සහිත එම ගීතයේ පද පෙළ නූතන නව යොවුන් පරපුරේ සංතීක්ෂණ අවධානය සඳහා මෙසේ සටහන් කරමි.

ආයුබෝ වේවා! මහරජාණනී!
ආයුබෝවේවා... මහරජාණෙනි...!
ආයුබෝවේවා... ආයුබෝවේවා...
සිව්මහ බඹුන් දුන් විවරණින්
අපටත් රජෙක් පහළව ඇතේ

ඒ මහ රජුන් පෑ පෙළහරින්
මේ දෙරණ එක්සේසත් කළේ //
ආයුබෝවේවා... මහරජාණෙනි
යාපා පටුන උතුරින් - දකුණින් දෙවුන්දර තුඩුවෙන්
නැගුණු දුක් සෝසුසුම් නිවමින් සමගි බල මහිමෙන්
දෙස් විදෙස් අභියෝග බිඳ හළ මහරජාණෙනි
ආයුබෝවේවා... මහරජාණෙනි...

නැගෙනහිර අබිමන් සුපසන් උදානය ගෙන දුන්
උතුරුකරයට වසන්තය දී දෙරණ දිනු දෙවිඳුන්
දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහරජාණෙනි
ආයුබෝවේවා... මහරජාණෙනි...

එල් ටී ටී ඊ යුද ජයග්‍රහණය මුල් කොට ගත් පොදු ජන මානසික උද්දීපනය හමුවේ අතිශය ජනාදරයට පත් වුවද ඉහත සඳහන් ගීතය තුළ බරපතල ශාස්ත්‍රීය අවුලක් තිබේ. එනම් එහි ආරම්භක වැකියෙහිම එන ‘සිව් මහ බඹුන්’ යන්න කිසිදු ලෙසකින් විග්‍රහ කිරීමට නොහැකි වීමය. බෞද්ධ සාහිත්‍යයේ ධෘතරාෂ්ට්‍ර, විරූඪක, විරූපාක්ෂ සහ වෛශ්‍රවණ යනුවෙන් බුදුන්ට අනුග්‍රහශීලී වූ යක්ෂ සම්භවයේ දෙවිවරුන් සතර දෙනකු පිළිබඳව විස්තර කෙරේ. එහෙත් දෙවිවරුන්  සහ බ්‍රහ්මයන් යනු සම්භවයේ සිට එකි‘නෙකට ඉඳුරාම වෙනස් කොට්ඨාශ දෙකකි. එම බ්‍රහ්මයන් සතු සුවිශේෂී ගුණ සතරක් මුල්කොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන උතුම් මානව ගත ලක්ෂණ සතර බ්‍රහ්ම විහරණ ලෙස බුදු දහමේ නම් කොට ඇතත් සිව් මහ බඹුන් හෙවත් සතර බ්‍රහ්මයන් පිළිබඳ එම නරුම විග්‍රහය මේ ලෝක ධාතුවෙන්ම  සොයා ගත හැක්කේ සුනිල් ආර්. ගමගේ ලියූ 'ආයුබෝවේවා මහරජාණෙනි' නම් ඒ අවියත් ගීත රචනය තුළ පමණි. එහි ව්‍යාජත්වය අනුව නම් එය රාජපක්ෂ වරුන් නම් ව්‍යාජ රජවරුන්ට අකුරටම හා සිකුරටම ගැලපෙන බව කිව යුතු ය.

යට අමුඩයත් තෙත් කරගෙන අගමැති කමෙන් විසි වූ මහින්ද..

මේ සියලු තත්වයන් හමුවේ පුරා දශක කිහිපයක් තුළ ශ්‍රී ලාංකේය ජන මනැස තුළ පෝෂණය වෙමින් පැවති දැනට පල් ගොහොරුවක් බවට පත් වෙමින් තිබෙන අප රටට දේශපාලන, සමාජ, ආර්ථික පුනරුදයක් අවශ්‍ය බවට විශ්වාස කළ නූතන තරුණ පරපුර දියත් කළ ගාලු මුවදොර අරගලයට ගමේ චණ්ඩිකම් පාන්නට යාමෙන් තම අගමැති පදවිය පසෙකට දමා යට අමුඩය පවා තෙත් කර ගනිමින් හමුදා කඳවුරු තුළ සැඟවෙන්නට සිදු වූ මහින්ද රාජපක්ෂ යළි අළු ගසා නැඟීමට වෙර දරනු පෙනෙයි. එමෙන්ම මේ වන විට එම අරගලයට එක් වූ තරුණ විඥානයේ සුළඟක්වත් නොවැදුණු තම මන්ද බුද්ධික නාමල් රාජපක්ෂ වෘෂභ පුත් කුමරුවා මීළඟ අග රජු ලෙස කිරුළු පළඳන්නට මාන බලනු පෙනේ. දේශපාලනික වශයෙන් හයක් හතරක් නොදත් ඔහු ද පරම්පරා සාටකය යනුවෙන් ඔවුන් විසින්ම හඳුන්වා ගන්නා සොරකම්, මැරකම්, වංචා, දූෂණ ආදි අනේක විධ නොකටයුතු ක්‍රියා සංකේතය කර බොර පැහැති රෙදි කඩ ද ගෙල ලා ගෙන යළි ජනතාව අතරට ඒමේ මුග්ධ උත්සාහයක යෙදී සිටියි. 

මුන්ට තවත් ඉඩ දුන්නොත්..

එහෙත් මේ වන විට මව් කුසක පිළිසිඳ ගන්නා කළලයන් පවා බරපතල ණය කරුවන් බවට පත් කරමින් එළිපිටම මෙවන් බිහිසුණු ගසා කෑම් රැසක් සිදු කළ රාජපක්ෂ හොර රජ පවුලට යළි මෙරට පාලනය භාර ගැනීමට වෙතත් තව දුරටත් මෙරට පය ගසා ජීවත් වීමට මෙරට ජනතාව ඉඩ ලබා දුනහොත් එය ශ්‍රී ලාංකේය ජාතික පෞරුෂ ඌණතාවක් වශයෙන් ඉතිහාසගත වන බව ඒකාන්තය.

සුනිමල් මුතුමාල

---------------------------
by     (2022-09-12 19:12:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links