~

රනිල් රාජපක්ෂ සමග ‘සර්ව චෞර පූට්ටු’ සෑදීම රටට ආදරේ සියලු දේශපාලන පක්ෂ විසින් ප්‍රතික්ෂේප කළ යුත්තේ ඇයි..?

-විශ්වමිත්‍ර දේශබන්ධු ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.සැප්.06, ප.ව.9.30) ජනාධිපති වීමෙන් පසුව ස්වකීය නම පවා රටේ බහුතර ජනතාවක් විසින් වෙනස් කරන ලද රනිල් රාජපක්ෂ වූ කලී විධායක ජනාධිපති ධුරය ක්‍රියාත්මක වූ අවුරුදු 45 කාලය තුළ පත් වූ අතිශයින් ම හිතුවක්කාරම, ප්‍රචණ්ඩම, ෆැසිස්ට් වාදී පාලකයා ය. කතාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය පැල  කරන බව පෙන්නා ඇත්තටම ප්‍රචණ්ඩ, ත්‍රස්තවාදී, ෆැසිස්ට් වාදී පාලනයක් වපුරන, මිනිස් හදවතක් නොමැති නොමිනිස් පාලකයෙකි. එසේම සිය බලය කොයි මොහොතේ ගිලිහේදෝ යි නිතරම බියෙන් පෙළෙන්නෙකි. “69 ලක්ෂයක් සහ තුනෙන් දෙකක් ගත්  ගෝටා අර විදියට එලෙව්වා නම්, මාව කොහොම එලවාවී ද?” කියා ඉතා දැඩි බියකින් ඔහු පසුවන බව පැහැදිලිය.  මේ නිසා ඔහු  එක අතකින් “එන්න. අපි එකතු වෙලා රට පාලනය කරමු” යි විරුද්ධ  පක්ෂ වලට ආරාධනා කරයි. 1948 සුන්දර නිදහස් සිහිනය ජනතාවට පෙන්වයි. ඒ අතරම අනෙක් අතින් ඉතා රුදුරු සහ අමානුෂික ලෙස රටේ තරුණ ජනතාවට පහර දීමට පොලිස් බල්ලන්ට (ඔවුන් මිනිසුන් නොවේ. බල්ලන්ටත් අන්තය.) නියෝග දෙයි. මුවින් සිනහවක් පෙන්නුවත්, ගෘෘෂ ලා, බණ්ඩාර ඇහැලියගොඩ ලා වැනි “මිනිසුන්” ගැන කතා කළත් රනිල් රාජපක්ෂ ගේ හදවත පරපීඩක කාමයේ ගින්නෙන් (sadistic fire) ඇවිලෙමින්  ඇති හදවතක්  බව මේ මාස දෙක තුළ ඔහු ක්‍රියා කළ, කරන, ආකාරයෙන් පැහැදිලිය. 

ඒ නිසා, රනිල් රාජපක්ෂට ඡන්දය දුන් චෞරයන් 134 හැරුණු කොට පාර්ලිමේන්තුවේ සිටින සෙසු දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් අතරින් රටට  ඇත්තෙන් ම ප්‍රේම කරන, රටේ හෙට දවස වන අපේ  තරුණ ජනතාවට ආදරේ කරන, ඒ තරුණ පරපුරට යහපත් හෙටක් හදා දෙන්නට  සැබෑ උවමනාවක් සහ කැක්කුමක් තිබෙන මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ ඉතිරි වී සිටිත් නම්, ඔබට ආමන්ත්‍රණය කරන්නට අප කැමතියි. තනතුරු, රුපියල් කෝටි ගණන් අල්ලස්, වරදාන වලට වඩා බුද්ධියට සහ සිය හෘද සාක්ෂියට ඉඩ දෙන නියෝජිතයන් සහ දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනෙකු හෝ ඉතිරි වී සිටිත් නම්, මේ ආමන්ත්‍රණය ඔබටයි. 

විශේෂයෙන්ම රාජපක්ෂ පවුල් සමාගම් චෞරයන් විසින් රට තල්ලු කල අඳුරු අගාධයෙන් ගොඩ ගැනීමේ අත්තිවාරමක් ලෙස රනිල් රාජපක්ෂ ඉදිරිපත් කළ සංශෝධිත අයවැය යෝජනාවල සාධනීය ලක්ෂණ තිබෙන බව සැබෑය. රට සංවර්ධිත රටක් බවට පත් කිරීමට අවශ්‍ය මූල ලක්ෂණ එහි තිබෙන  බව සැබෑය. ඒ වෙනුවෙන් කැපවීමක් කිරීමට රට සහ අප සූදානම් බව ද සැබෑය. මේ නිසා ඒ වැඩපිළිවෙලට සහය දී රට ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීමට ක්‍රියා කළ බවට වූ මතයක් සිතේ ඇති වන බව ද සැබෑ ය.  

එහෙත් රනිල් රාජපක්ෂ එම අරමුණ දිනාගන්නට යන්නේ රටේ යොවුන් පරපුරට තලා, ඔවුන් මරා දමා, යහපත් රටක් වෙනුවෙන් ඔවුන් තුළ තිබූ සිහින කුඩු පට්ටම් කර දමා, රාජපක්ෂ චෞරයන් ඇතුළු රට මේ තත්වයට පත් කළ සියල්ලන් නීතියේ රැහැනින් මුදා හැරීමෙන් නම්, එවැනි අධම නායකයකුට, මිනිස් හදවතක් නොමැති උද්දච්ඡ නායකයකුට, ජනතාවගේ දුක කඳුල නොදැනෙන, යොවුන් අරගලය නොවැටහෙන, අසංවේදී  නායකයෙකුට  කිසි සේත්  ඉඩ නොදිය යුතුය. 

රනිල්ගේ කුහක ආරාධනය ප්‍රතික්ෂේප කළ යුත්තේ ඇයි..?

මහත්වරුනි, මහත්මියනි, 

රට ගොඩ නැගීමේ මුවාවෙන් සිය අමානුෂික ජනපීඩනයේ   සහ ජන මර්දනයේ දෑත් ශක්තිමත් කිරීම සඳහා සර්වපාක්ෂික නමින් මර උගුලක් පිහිටුවීමට නොමිනිසකු වන  රනිල් රාජපක්ෂ කරන කුහක ආරාධනය ඔබ එක හෙලා ප්‍රතික්ෂේප කළ යුතුය. 

එසේ කළ යුත්තේ ඇයි ? පහත කියැවෙන්නේ ප්‍රතික්ෂේප කිරීම යුක්ති සහගත ක්‍රියාවක්  බව ඔප්පු කරන තාර්කික කරුණු කිහිපයකි . 

ජන සම්මතවාදයට පටහැනි සටකපට පාදඩ ගමන..

1. රනිල් රාජපක්ෂ ජනතා ඡන්දයෙන් තේරී පත් වූ, සැබෑ, නිකැළැල් ජනවරමක් සහිත, ජනතා ජනාධිපතිවරයෙක් නොවේ. ඔහුට සැබෑ ජන බලයක් නොමැත. තමන් සමග රට ගොඩ නගන්නට තම නායකත්වය වටා  එක්වන ලෙස ආරාධනා කරන්නට ඔහුට කිසිදු දේශපාලන හෝ, ජනවරමක් සහිත හෝ සදාචාරාත්මක හෝ බලයක් හෝ අයිතියක් නැත. 

මේ තනතුර දක්වා රනිල් පැමිණි ගමනම සටකපට පාදඩ ගමනකි. 

ඔහු ගේ දේශපාලන පක්ෂය පමණක් නොව රනිල් වික්‍රමසිංහ නමැති අදක්ෂ දේශපාලකයා පවා 2020 ජනාධිපතිවරණයෙන් ජනතාව විසින් පලවා හරින ලද්දේය. මැතිවරණ ක්‍රමයට පින්  සිදු වෙන්නට එම පක්ෂයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පවා සුදුස්සා ඔහු නොවේ. ඔහු පරාජිතයෙකි. එජාප ප්‍රතිපත්තිය වී තිබුනේ ද පරාජිත අපේක්ෂකයන්ව ජාතික ලැයිස්තුවෙන් පත් නොකිරීම ය. එය රනිල්ට වලංගු වූයේ නැත. එවකට පාලක රාජපක්ෂ පවුලේ කපටි කුමන්ත්‍රණකාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස සියල්ල පාගා දමා රනිල් පාර්ලිමේන්තුවට ආවේ ය. 

පාර්ලිමේන්තුවේදී ඔහු වාඩිවුයේ විපක්ෂයේ වුනත් නිතර ක්‍රියා කළේ රාජපක්ෂලාගේ මන්ත්‍රී කෙනෙක් වාගේ ය. 

අරගලය විසින් රාජපක්ෂලා බිත්තියටම හේත්තු කර තිබියදී රනිල් වික්‍රමසිංහ මෑත ලංකා ඉතිහාසයේ අතිශය විශාල තක්කඩිකමත් ද්‍රෝහීකමත් කරමින් කිසිදු කොන්දේසියකින් තොරව අගමැති කම ලබා ගත්තේ ය.

එතෙක්  බිතියට හේත්තු වී සිටි රාජපක්ෂ හොරු ඒ පාවාදීමෙන් පසුව කෙලින් හිටගත්තත්,  අරගලය තරමක පසුබෑමක් අත්දුටුවත්, අරගලයේ සිටි අපේ දරු, මුනුපුරු 21 වැනි සියවසේ පරපුරේ දැඩි අධිෂ්ඨානය හා සංවිධාන ශක්තිය තුළ ගෝඨාභය රාජපක්ෂ නමැති මිනීමරුවා සිහසුනෙන් පලවා හරින්නට හැකිවිය. එහෙත් ඉන් පසුව රනිල් වික්‍රමසිංහ, ‘රනිල් රාජපක්ෂ’ නමින් ‘සිහසුනට’ පැමිණීම අරගලයේ අරමුණ වී තිබුණේ නැත. 

රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂලාට සුපුරුදු අල්ලස් ක්‍රීඩාව භාවිත කරමින් මන්ත්‍රී ඡන්ද “මිලදී” ගනිමින් අනුප්‍රාප්තික ජනාධිපති කඩ ඉම ජයගත්තේය.

රට ගැන හිතන මන්ත්‍රීවරුනි, රනිල්ට ජනවරම ලැබුනේ ජනතාවගෙන් නොවේ. ඔහු ජනාධිපති ධුරය දිනා ගත්තේ ම අල්ලසෙනි, දූෂණයෙනි. තමන්ට ඡන්දය දෙන මන්ත්‍රීවරුනට පමණක් නොව ජනතාව විසින් පලවා හරින ලද මහින්ද රාජපක්ෂ අගමැති  වරයාට ද වරදාන වරප්‍රසාද දෙන බවට සහතික වෙමිනි. 

රටේ බහුහරයක් එක වේලක් හෝ  කන්නේ කෙසේදැයි සුසුම්ලමින් සිටින  විට , දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නට වහලක් නැතිව සිටින විට, බෙහෙත් නැතිව රෝගීන් මිය යන විට, ඒ තත්වයන් නොතකා,  මැයි 9 වැනිදා ගෙවල් පිළිස්සුනු මන්ත්‍රීවරුනට වන්දි  ගෙවීම ඇතුළු දූෂිත ජනාධිපති ඡන්දයට සහභාගි  වූ මන්ත්‍රීන්ට  රුපියල් මිලියන ගණනින්  වරදාන දීමේ කැබිනට් පත්‍රිකා වලට ජනාධිපති වූ වහාම ඔහු අනුමැතිය දුන්නේ ඒ නිසාය. ගෝටා පවා ප්‍රතික්ෂේප කර තිබූ රුපියල් මිලියන 400 ක නිවාස ප්‍රතිසංස්කරණ දීමනාවක් මහින්ද රාජපක්ෂට පිරිනැමුවේ ඒ නිසාය. 

මේ අනුව, රනිල් රාජපක්ෂ ගේ ජනාධිපති පත්වීම ම දූෂිත ය. ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා ප්‍රතිපාදන වලට ගැලපුනත් එය අනීතික, ප්‍රෝඩාකාරී, සදාචාරාත්මක නොවන පත්වීමකි. එය ජනතා අරගලයක් මගින් ධූරයෙන් පලවා  හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සහ සමස්ත “රාජපක්ෂ කොම්පැනිය” ආරක්ෂා කරගෙන යලිත් නැගිටුවා ලීමේ  අරමුණින් පත් කරගන්නා ලද පත්වීමකි. ජනවරමින් හිස් වූ පත් වීමකි. 

එබැවින්, ජන මතයකින්  හෝ ජන වරමකින් තේරී පත් නොවූ, ප්‍රෝඩාකාර සදාචාර සම්පන්න නොවන  නායකයකුගේ ජනපීඩක දෑත් ශක්තිමත්  කිරීම ජන සම්මත වාදයට එරෙහි වීමකි. 

අරගලකරුවන්ගේ ලේ මතින් පැමිණ චෞරයන් මිනීමරුවන් ආරක්ෂා කරන රනිල්..

2. රනිල් රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වීම අරගලයේ අපේක්ෂාවක් නොවූවත් එසේ සිදු වූයේ අරගලයේ  එක සන්ධිස්ථානයක ස්වාභාවික ප්‍රතිඵලයක් ලෙස ය. එනම්, අර්බුදයට හේතු වූ ජනාධිපතිවරයා අරගලය විසින් සිය ධුරයෙන් පලවා හැරීම නිසා එම ධුරයේ පුරප්පාඩුව පිරවීමටය. 

මේ නිසා සිය ජනාධිපති  ධුරය වෙනුවෙන් රනිල් එක අතකින්  පක්ෂපාති විය යුත්තේ ජනතා අරගලයට ය. එසේම ඔහු වගකිව යුතු වන්නේ ද ජනතා අරගලය ට ය.  ඔහු විසින් ඉටු කළ යුතුව ඇත්තේ ජනතා අරගලයේ අපේක්ෂා ය. ඔහු ආරක්ෂා කළ යුතු වන්නේ ජනතා අරගල කරුවන් ය. 

එහෙත්  සිදු නොවන්නේ ද එයම ය. 

රටට  ඇති සැබෑ ආදරය නිසා වීදියට බට ජනතා අරගල කරුවන් ආරක්ෂා කරනු වෙනුවට ඔහු මහජන ආරක්ෂක පනත් සහ ත්‍රස්තවාදී මර්දන පනත අවභාවිත කරමින් අරගල කරුවන්ට අමානුෂික ලෙස, අකාරුණික ලෙස පරපීඩාකාරී ලෙස පහර දෙයි. අවම වශයෙන් ගල් කැටයක් වත්  අතින් නොගත් මේ සුන්දර අරගල කරුවන් “ත්‍රස්තවාදීන්” ලෙස නම් කරයි. නැති නම්, සිය ෆැසිස්ට් වාදී ප්‍රවනතාව වසා ගනීමට දෝ ඔවුන් “ෆැසිස්ට් වාදීන්” ලෙස නම් කරයි. (රනිල්  ෆැසිස්ට් වාදය ගැන මේ නිර්වචනය ඉගෙන ගත්තේ අර ගිණි ගත්  පොත් 2000 හේ පුස්තකාලයෙන් නම්, එය ගිණි ගෙන විනාශ වීම  සාධාරණ ය. මකරාක්ෂයකුට ඉගැන්වූ පොත් වලට පවා ආශීර්වාදයක් ලැබෙන්නේ නැත.)  තම පීඩක පොලිස් බල්ලන් බුරුතු පිටින් ගෙවල් වලට, පාරවල් වලට, කාර්යාල වලට, යවා ත්‍රස්තවාදියකු හෝ දරුණු අපරාධකරුවකු අත්අඩංගුවට ගන්නා ආකාරයෙන්  එම සොඳුරු අරගල කරුවන් කුදලා පැහැරගෙන යයි. මුළු ලෝකයේ ම පිළිකුලට ලක්ව ඇති ත්‍රස්තවාදී මර්දන පනත  යටතේ ත්‍රස්තවාදීන් නොවන අරගල කරුවන් සිර කර තබයි. එසේ නැති නම්, කිසිදු  පදනමක් නොමැතිව, ඔවුන් හවුල් නොවූ චෝදනා රාශියක් යටතේ ඔවුනට නඩු පවරයි. 

ඊට පරස්පරව, රනිල් රාජපක්ෂ සිය විධායක ජනාධිපති බලය යොදා ආරක්ෂා කරන්නේ රටේ වර්තමාන ආරථික, දේශපාලන සහ සමාජයීය අගාධයට වගකිව යුතු චෞරයන්, තක්කඩින් සහ මිනීමරුවන් ය; ඔහු ආරක්ෂා කරන්නේ පලවා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ඒම  සඳහා වාහනය කරගත් පාස්කු ඉරිදා අපරාධය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන්  සභාවල පවා නම් සඳහන්   වූ සැකකරුවන් සහ චූදිතයන් ය. ඔහු ගේ ගෞරව බහුමානයට සහ වරදාන වලට  පාත්‍ර වී සිටින්නේ ජනමතය කණපිට හැරවීම සඳහා LTTE  ත්‍රස්තවාදීන්ට රුපියල් මිලියන  ගණනින් පගාව ගෙවූ බව ප්‍රසිද්ධියේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරන් ය. රනිල් රාජපක්ෂ ඔහු ගේ පොලිසිය සහ නීතිපති හරහා පොදු දේපල පනත යටතේ අරගල කරුවන්ට  චෝදනා එල්ල කළ ද ඔහු ගේ අශුද්ධ සන්ධානයේ ගොනු වී සිටින්නේ පසුගිය දශක කිහිපය පුරා මහ දවල් රටේ ජාතික ධනය සහ ජාතික දේපොළ කොල්ල කෑ  දේසපාලුවන් සහ ව්‍යාපාරිකයන් ය. පසුගිය  දශක කිහිපය තුළ සිවිල් ක්‍රියාකාරිකයන්, පත්‍ර කලාවේදීන් සහ ක්‍රියාධරයන් පැහැර ගත්, ඔවුන් මරා දැමූ කුප්‍රකට පොලිස් ලොක්කෝ  රනිල් ගේ ආරක්ෂාව ලබති. ඔහු ගේ සමීප සහචරයන් වී සිටිති. 

රනිල් ගේ ආරක්ෂාව ලබන මේ ත්‍රස්තවාදීන් සහ චෞරයන් අතර ප්‍රමුඛයන් නමින් නම් නොකලොත් ලිපිය අසම්පූර්ණ ය. මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ මාෆියාව, ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් සිරිපාල ද සිල්වා, විජේදාස රාජපක්ෂ, අර්ජුන් මහේන්ද්‍රන්, සී. ඩී. වික්‍රමරත්න, දේශබන්දු තෙන්නකෝන්,  සුරේෂ් සලේ, කමල් ගුණරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, විමල් වීරවංශ  ඒ අතරින් කිහිප දෙනෙකි. 

රටේ සැබෑ සාධනීය  වෙනස්කම් වෙනුවෙන් අරගල කරන්නන්ගේ ලේ මතින් රටේ සැබෑ ද්‍රෝහීන්, සොරුන්, ත්‍රස්තවාදීන් ගේ අනාගතය සුරෂිත කිරීමට සියලු නීති අවභාවිත කරන රනිල් රාජපක්ෂ දෑත් තවත් ශක්තිමත් නොකළ යුතු ය. ඇත්තෙන් ම ඔහු ගේ මේ ක්‍රියාව නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක නායකයා වීමට ඔහු නුසුදුස්සෙක් බවට පත් වේ. ඒ වෙනුවට ඔහු පරාජය කිරීමත් අරගලයේ සැබෑ අරමුණු දිනා ගැනීමට සිය පූර්ණ  සහය ලබාදීමත් සිහි බුද්ධියක් ඇති සෑම ජනතා නියෝජිතයකු ගේ ම වගකීමය. 

බිහි කරන්නට යන “ත්‍රස්තවාදී පූට්ටුව” පරාජය කළ යුතුය..

3. රනිල් රාජපක්ෂ උත්සාහ කරන්නේ ත්‍රස්තවාදයක් නැති  රටකට ත්‍රස්තවාදයක් ඇති කිරීමටය. භීෂණයක් නොමැති රටකට භීෂණයක් ඇති කරන්නටය. 

එලෙස ඇති කරන රාජ්‍ය ත්‍රස්තවාදය  සහ රාජ්‍ය භීෂනය හරහා  රාජ්‍ය සම්පත්, රාජ්‍ය ධනය ස්වකීය පවුල සහ පරපුර වෙනුවෙන් සොරා කෑ සිය පන්තියේ දේශපාලකන් ආරක්ෂා කොට ස්ථිර කිරීම ඔහු ගේ පිළිවෙත බව ඉතා පැහැදිලිය. 

“ත්‍රස්ත” යන වචනයේ අර්ථය “බිය” යන්නයි. මේ නිසා ත්‍රස්තවාදී ක්‍රියාවක් යන්න බිය, භීතිය ඇති කරන ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකිය. අරගලයේ  තරුණ පරපුර විසින් කවර හෝ බියක් ඇති කර ඇත්තේ නම්, ඒ බිය ජනිත කර තිබෙන්නේ රටේ මිලියන දෙකහමාරක් වන සාමාන්‍ය ජනතාව තුළ නොවේ. ඒ ජනතාව ඔවුන්ට ආදරේ කරයි. 

අරගල කරුවන්ට  බිය වී සිටින්නේ රනිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ මාෆියාව, ඔවුන් ගේ ආණ්ඩු කාල සීමා වලදී ඔවුන් සමග රට කොල්ල කෑමට හවුල් වූ රාජ්‍ය  නිලධාරීන්, චෞර ව්‍යාපාරිකයන් සහ එවැනි ක්‍රියා කළ සුළුතරයක් වන ආරක්ෂක අංශවල  උසස් නිලධාරීන්ය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් ය. මන්ද අරගලය සාර්ථක වන්නේ නම් ඔවුන් පිලිබඳ සියලු තතු හෙළිදරව් වී මෙතෙක් එල්ලී සිටි බලය ගිලිහී හොරා කන්නට ක්‍රමයක් නොමැති වන නිසා ය. අරගල කරුවනට එරෙහිව අති ප්‍රචණ්ඩ මර්දනයක් එල්ල වී ඇත්තේ ඔවුන් තුළ පවතින මේ භීතිකාව නිසා ය. 

මේ වන විට රනිල් රාජපක්ෂ ගේ කුරිරු නායකත්වය යටතේ ක්‍රියාත්මක වන මේ රාජපක්ෂ මාෆියාව විරුද්ධ පක්ෂයට අයත් දේශපාලන පක්ෂ  ආරක්ෂා කරන්නේ මන්ද? 

එබැවින් රාජ්‍ය ත්‍රස්තවාදය සහ රාජ්‍ය භීෂණය වර්ධනය කිරීමේ අරමුණින් රනිල් රාජපක්ෂ බිහි කරන්නට යන “ත්‍රස්තවාදී පූට්ටුව” රටට ප්‍රේම කරන සියලු දේශපාලන පක්ෂ විසින් ප්‍රතික්‍ෂේප  කළ යුතු ය.  

සර්ව චෞර පූට්ටු ආණ්ඩුවකට සහාය දක්වන්නෝ ජනතා සතුරන්ය...

4. රනිල් රාජපක්ෂ විසින් “දඬුවම්” කරනු ලබන අරගලය ආරම්භ කරන ලද්දේ තරුණ ජනතාව විසින් නොවේ. එය මුලින් ම ගමින් ගම (ගොවීන්, ධීවරයන්), තැනින් තැන, නගරයෙන් නගරය ආරම්භ කරන ලද්දේ ඒ නගරවල ගම්මාන වල ජනතාව විසිනි. ඒ තමන් මුහුණ දුන් අතිශය දරුණු ආර්ථික ගැටළු නිසාය. 

එහෙත් රාජපක්ෂ රෙජීමය මෙන්ම ඔවුන් ගේ මොට්ට, ජනතාවට අසංවේදී පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුනට ඒ වේදනාව දැනුනේ නැත. ඒ හඬ අසුනේ නැත. 

ජනතාව ඉතා ස්වාභාවිකව මිරිහානට රැස්වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය. මෝඩ, උද්දච්ච ගෝඨාභය රෙජීමය “අරාබි වසන්තයක්’ ලෙස එය හඳුන්වමින් එය මර්දනය කරන්නට උත්සාහ කළේය. වාසනාවට කොන්ද පණ ඇති, නිර්භීත, රටට ප්‍රේම කරන  නීතීඥ ප්‍රජාව නිසා එය වැළකී ගියේ ය.  

ගෝටා ගේ හදිසි නීති, ඇඳිරි නීති බල්ලාට දමමින් තරුණ ජනතාව - අපේ තරුණ දූ පුතුන් - ලක් මවට ආඩම්බරයක් වී ඇති අපේ හෙට දවසේ පරපුර - ගාලු මුවදොරට ආවේ ඉන් පසුවය. රනිල් රාජපක්ෂ විසින් ත්‍රස්තවාදීන් සහ ෆැසිස්ට් වාදීන් ලෙස හඳුන්වන මේ තරුණ දරුවන් අත අවම වශයෙන් ගල් කැටයක් වත් මේ දක්වාම නැත. 

ජනතාව ගේ ඉල්ලීම පිළිගෙන, අප්‍රේල් 9 වැනිදා රාජ්‍ය ත්‍රස්තවාදී සිද්ධි වලින් පසුව හෝ, ජුනි මාසයේ හෝ, ජූලි 9 වැනිදායින් පෙර හෝ ජන හඬට සවන් දී ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූයේ නම්, ජුලි 9 වැනිදා සිදු වූ සිද්ධීන් සිදු වන්නේ නැත. 

මැයි 9 වැනිදා මහින්ද රාජපක්ෂ ගේ ඉල්ලා අස්වීමෙන් පසුව චෞර  මිනීමරු රාජපක්ෂ වරුන් බිත්තියට  හේත්තු වී එළි පහලියට වත් නෑවිත් හැංගී සිටින විට රනිල් රාජපක්ෂ හනි හනික දුවගෙන ගොස් අගමැති කම භාරගත්තේ නැති නම්, ජූලි මාසයේ සිදු වූ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීම් සිදු වන්නේ නැත. 

එබැවින් මේ සමස්ත අර්බුදයට වගකිව යුතු වන්නේ අරගලය නොවේ. රනිල් රාජපක්ෂ ඇතුළු සමස්ත රෙජීමයය. රාජපක්ෂ මාෆියාව ය. 

ඒ සියල්ල අමතක කර රාජ්‍ය භීෂණය පතුරන රනිල් රාජපක්ෂ ගේ සර්ව පාක්ෂික ආණ්ඩුව තවත් මර්දනකාරී පාලනයක පෙර නිමිත්තකි. මේ නිසා එම ආරාධනය එක හෙලා ප්‍රතික්ෂේප කළ යුතුය. 

මේ නිසා කිසිදු මන්ත්‍රීවරයකු රනිල් ගේ සර්ව චෞර පූට්ටු ආණ්ඩුවට එක් වන්නේ නම්, ඔහු හෝ ඇය ජනතා සතුරෙකි. අපේ තරුණ පරපුරේ  සතුරෙකි. රාජ්‍ය ත්‍රස්තවාදයට, භීෂණයට සහ ෆැසිස්ට් වාදයට සහය වන්නෙකි. රට මේ කාලකන්නි දේශපාලන, ආර්ථික සහ සමාජයීය අගාධයට ඇද දමමින් තමන් ආසියානු ධන කුවේරයන් වූ රාජපක්ෂ මාෆියාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය වන්නට ඉඩ හරින්නෙකි. 

-විශ්වමිත්‍ර දේශබන්ධු

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/41

---------------------------
by     (2022-09-06 16:45:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links