~

රුසියාව 160 කට විකුණද්දී රනිල් රාජපක්ෂලා මිලදී ගන්නේ 295 කට..! කුප්‍රකට ගල් අඟුරු ගැහිල්ල ගැන තවත් හෙළිදරව්වක්..!!

-සන්ඩේ අයිලන්ඩ් විශේෂ වාර්තාව සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2022.සැප්.05, ප.ව.10.15) නවතම Argus ප්‍රකාශනයට අනුව, Suek AG ඇතුළු රුසියානු සමාගම් කිහිපයක් මතභේදයට තුඩු දී ඇති ගල් අඟුරු ටෙන්ඩරයේ තෝරා ගත් ලංසුකරුවාට වඩා ඉහළ තාප ජනන අගයක් සහිත ගල් අඟුරු ලොව පුරා වැඩි වට්ටම් සහිතව විකුණා ඇත. 

Suek AG කොම්පැනියේ සහෝදරයෙකු බව කියන Black Sand Commodities කොම්පැනිය මෙට්‍රික් ටොන් එකකට USD 295 ක මිලකට ලංකාවේ ටෙන්ඩරය ලබා ගත්තේය. ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කළ එකම ලංසුකාරයා වූයේ ද Black Sand Commodities කොම්පැනිය පමණි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිරි වසර දෙක සඳහා ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 4.5 ක් ලබා ගැනීම සඳහා ටෙන්ඩරය ලබා දී තිබේ.

ගැහිල්ල පොඩි නෑ ඩොලර් මිලියන 500 ක්..

ජූලි-අගෝස්තු කාල සීමාව තුළ රුසියානු සමාගම් විසින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් විකුණා ඇති FOB [නැවට පැටවීමට යන] මිල ගණන් මෙසේය:

• ඉන්දියාවට ඩොලර් 160 යි 
• තුර්කියට ඩොලර් 140 යි 
• මොරොක්කෝවට ඩොලර් 159 යි 
• දකුණු කොරියාවට ඩොලර් 180 යි

ඉහත සඳහන් මිල ගණන් ලංකා ගල් අඟුරු සමාගම (LCC) විසින් තෝරා ගත් ලංසුකරුවන් විසින් දෙන ලද මෙට්‍රික් ටොන් එකකට USD 295 ක මිලට වඩා සැලකිය යුතු ලෙස අඩුය; ඒ අනුව ඉහළ තාප ජනන අගයක් සහිත ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 4.5 ක් සඳහා Black Sand Commodities කොම්පැනියට වෙළඳ පොළ වටිනාකමට වඩා වැඩිපුර ඩොලර් මිලියන 500 ක් ගෙවනු ඇත. 

රුසියානු ගල් අඟුරු සම්බන්ධයෙන් ගත් විට ගල් අඟුරු දර්ශක Argus ප්‍රකාශනය සහ රුසියානු ගල් අඟුරු දත්ත වඩාත්ම විශ්වාසදායක දත්ත හා තොරතුරු වේ. මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශ්වයකට argusmedia.com වෙබ් අඩවිය මගින් එම දත්ත ලබා ගත හැක.

LCC විසින් මෑතක දී අවසන් කරන ලද ගල් අඟුරු ටෙන්ඩරය රටේ විශාලතම වාණිජ ටෙන්ඩරය වූ අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1500 කි. මිල ගණන් ඉදිරිපත් කළ එකම ලංසුකාරයා වූ Black Sand Commodities කොම්පැනියට ටෙන්ඩරය ලබා දී ඇත.

ක්‍රියාවලියම විශාල සැක මේවා නිසයි..

මෙම ටෙන්ඩරය ප්‍රදානය කරන ලද සම්පූර්ණ ලංසු තැබීමේ ක්‍රියාවලිය දැන් විශාල ආන්දෝලනයක් බවට පත්ව ඇත්තේ, ටෙන්ඩර් වසා දැමීමට සතියකට පෙර LCC විසින් ටෙන්ඩරය සඳහා වන සුදුසුකම් නිර්ණායක වෙනස් කර ඇති බව LCC සභාපතිකාරයා විසින් පිළිගන්නා ලද බැවිනි.

ටෙන්ඩරය සඳහා වැඩි ලංසුකරුවන් ගණනාවක් ඇද ගැනීම සඳහා ඉහත කී වෙනස්කම් සිදු කළ බව පැවසුව ද, එකදු නව ලංසුකරුවෙකු හෝ ආකර්ෂණය කර ගෙන නැත; වෙනත් මාර්ගයකින් ලංසු තැබීම සඳහා ඒ වන විටත් ලංසු තැබීමේ ක්‍රියාවලියේ නිරතව සිටි Suek AG කොම්පැනියට පමණක් එකී නිර්ණායක වෙනස් කිරීමෙන් පොට පෑදිණ. 

ඉහත සඳහන් සුදුසුකම් නිර්ණායක වෙනස් කිරීම සිදු කළේ වැඩි වැඩියෙන් ලංසුකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා නම්, එය සිදු කළ යුතුව තිබුණේ ටෙන්ඩරයේ අවසාන දිනයට දින හයකට පෙර නොව, ටෙන්ඩර ක්‍රියාවලිය ආරම්භ වීමට පෙර බවත්, ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා දිය යුතුව තිබූ බවත් කර්මාන්ත විශ්ලේශකයෝ පෙන්වා දෙති. 

‍ඔවුන් තව දුරටත් පෙන්වා දෙන්නේ, ටෙන්ඩරය වැසෙන දිනට දින හයකට පෙර, පූර්ව ලංසු (pre-bid) රැස්වීමෙන් පසුව, සුදුසුකම් නිර්ණායක වෙනස් කිරීම නිසා, නව ලංසුකරුවන් ඉදිරිපත් වීම කෙසේ වෙතත් අපේ රටේ ‘ජරාව’ කන්නන්ගේ ඉලක්කය වූ Suek AG කොම්පැනියට නම් ‘කල්ල මරේ’ වැටුණි. Suek AG දැන් කියන්නේ Black Sand Commodities මගින් ලංසු තැබුවේ ඔවුන් බවයි.

අරුම පුදුම කාරණය..

තවත් අරුම පුදුම කාරණයක් නම්, Black Sand Commodities කොම්පැනියට තමන්ගේම නමින් ලංසු බැඳුම්කරයක් තැබීමට නොහැකි වීම, සහ ලබා දුන් ලංසු බැඳුම්කරය Suek AG කොම්පැනියේ නමට තිබීමයි! එම ලංසු බැඳුම්කරය නිකුත් කර ඇත්තේ මහජන බැංකුව විසිනි. 

LCC කොම්පැනියේ අභ්‍යන්තර මූලාශ්‍රවලට අනුව, තාක්ෂණික අගැයුම් කමිටුව (TEC) විසින් ලංසුකාරයාගේ නමින්ම වලංගු බැඳුම්කරයක් නොමැතිව ලංසුවක් පිළිගන්නා ලද ආකාරය, සහ අමාත්‍ය මණ්ඩලයෙන් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව (SSCAPC) විසින් බැඳුම්කරයක් පවා නොතිබූ එම ලංසුකරුට ටෙන්ඩරය ප්‍රදානය කරන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ කෙසේ ද යන්න අතිශයින්ම මතභේදාත්මකය. 

SSCAPC කමිටුවේ ලොක්කා මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) හිටපු සභාපතිකාරයා වාගේම මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම්කාරයා යයි කියන ආර්. පේමසිරි නමැත්තෙකි.

ගැහිල්ල ඉන්ධන නැව් 10 ක්..! ‍කංචන විජේසේකර කෙළින කෙප්ප..

අඩුම ලංසුකරුට ටෙන්ඩරය දුන් බව කංචන විජේසේකර විෂය භාර අමාත්‍යකාරයා සහ ජගත් පෙරේරා LCC සභාපතිකාරයා කියති. එහෙත් එකම ලංසුකාරයා Black Sand Commodities කොම්පැනිය වූ බැවින් එය කරුණු යටපත් කිරීමකි. ඒ අනුව, එය අඩුම ලංසුකරුට ලබා දී නැත; ඒ වෙනුවට, එය ප්‍රදානය කර ඇත්තේ වෙළඳ පොළ මිලට වඩා 65% ක් පමණ වැඩියෙන් ලංසු තබා ඇති එකම ලංසුකරුටය!

වෙළඳ පොළ මිල සහ සමස්ත ගනුදෙනුවේ ලංසු මිල අතර පරතරය USD මිලියන 500 කට වඩා වැඩි වන අතර, එය ඩීසල් හෝ පෙට්‍රල් නැව් 10 ක් මිලට ගත හැකි තරම් දැවැන්ත මුදල් සම්භාරයකි!

Black Sand Commodities කොම්පැනිය පොලී රහිතව මාස හයක ණය ලබා දුන් බවට ඔවුන් කරන ප්‍රකාශය ද කර්මාන්ත විශ්ලේෂකයන්ට අනුව කරුණු වසං කිරීමකි. ගනුදෙනුවේ විස්තරවලට අනුව Black Sand Commodities කොම්පැනිය LCC කොම්පැනියට මාස හයක ණය ලබා දී නැත. ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ මහජන බැංකුවෙන් නිකුත් කිරීමට නියමිත මාස හයක ආපසු හැරවිය නොහැකි LC (ණයවර ලිපිය) මත පදනම්ව සැපයුම් සිදු කිරීමකි. 

ණය මත සැපයීම සහ LC මත සැපයීම සම්පූර්ණයෙන්ම වෙනස් කොන්දේසි දෙකක් වන අතර, මෙම නියම දෙක මහජනතාව සහ අමාත්‍ය මණ්ඩලය ගොනාට ඇන්ද වීමට භාවිතා කර ඇති බව පෙනේ.

දින 180 ක LC මිල දී ගැනීමට නම්, LCC කොම්පැනියට මේ මොහොතේ මහජන බැංකුවේ අවම වශයෙන් ඩොලර් මිලියන 300 ක මුදල් හෝ ණය පහසුකම් තිබිය යුතුය! බැංකු මූලාශ්‍රවලට අනුව එය එසේ නොවේ! 

කූටාලියන්ගේ උපාය මාර්ග..

මේ කූටාලියන්ගේ උපාය මාර්ගය වී ඇත්තේ, පළමුව නොමඟ යවන සුළු ප්‍රකාශ කරමින් ගනුදෙනුවට අවතීර්ණ වීම සහ ඉන් පසු හදිසි අවශ්‍යතා සහ පැය 12 ක විදුලිය ඇනහිටීම් පිළිබඳ අනතුරු ඇඟවීම් කර බිය ගන්වා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබා ගැනීමයි.

LCC කොම්පැනියේ ජ්‍යෙෂ්ඨ සේවකයෙක් මෙසේ පැවසීය: “අප දැන් කළ යුත්තේ මෙම ගඳ ගසන ගනුදෙනුව නවත්වා, රටේ වර්තමාන අවශ්‍යතාවයට සරිලන අවම ගල් අඟුරු ප්‍රමාණයක් සඳහා තනි-පුද්ගල ටෙන්ඩරයක් තෝරා ගැනීමයි; ඉන් අනතුරුව හොඳම මිල ලබා ගැනීම සඳහා දිගු කාලීන ටෙන්ඩර පරිපාටියකට යාමයි. එමගින් අපට ඩොලර් මිලියන සිය ගණනක් පහසුවෙන් ඉතිරි කර ගත හැකියි,”

- 2022 සැප්තැම්බර් 2 වන දින The Sunday Island වෙබ් අඩවියේ පළ වූ, ‘Sri Lanka pays USD 295 per MT of coal while Russian companies sell it at USD160!’ නම් විශේෂ වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

සබැඳි පුවතක්
රට බංකොලොත් වෙලත් ගල් අඟුරු ටෙන්ඩරයෙන් රු.කෝටි 4800 ක ගැහිල්ලක්..! ගල් අඟුරු ගන්නේ රත්‍රන් මැණික් වෙළෙන්දෙකුගෙන්..! -විශේෂ ලියුම්කරුවෙක් හෙළිකරයි

---------------------------
by     (2022-09-05 17:01:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links