-සතී පනාවැන්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2022.අගෝ.26, පෙ.ව.1.00) ලංකාවේ අධ්‍යාපනය වෙනස් විය යුතු බවට විවාදයක් නෑ. එය සම්පූර්ණ කණපිට ගැසිය යුතුමයි. ඒක අවිවාදාත්මකයි. නමුත් එය විය යුත්තේ කෙසේද? පාලකයාට ඕන විදියට පමනක්ද? නැත. එය රටට, රටවැසියාට සහ අපේ දරුවාට සහ ඔහුගේ හෙට දිනයට ගැලපෙන එකක් විය යුතුය. ලොව හොඳම අධ්‍යාපනය තියෙන්නේ ෆින්ලන්තෙ, අපි ගේන්නෙත් එහේ තියෙන දේවල් කිවුවාට වැඩක් නැත. ඒකට හේතුව ශ්‍රී ලංකාව කියන්නේ ෆින්ලන්තය හෝ ඇමරිකාව හෝ ජපානය නොවන නිසාය. පාසල් කාලය තුළ රැකියාවක් කිරීමට ඉඩ දීමට විරුද්ධ වෙන්නේ ඒ අර්ථයෙන්ය. මොකද දියුණු රටවල රැකියා වෙළඳ පොලේදී මැති ඇමතිලාගේ දරුවන් කියා සැලකිල්ලක් නොලැබෙන නිසාය. චිට් වලට කිසිම තනතුරකට යන්න ඒ රටවල බැරි නිසාය. නමුත් ලංකාවේ එසේ වන්නේ නැත. ඔබේ දරුවා රැකියා පුහුණුවකින් පසු ශ්‍රමිකයෙක් වෙන විට, මෙරට මැති ඇමතිලාගේ දරුවන් ඉගෙන ගත්තත් නැතත් ඔබේ දරුවා පාලනය කරන පාලකයා බවට පත් වෙන නිසාය. ලස්සන කොලයක දවටා දුන්නා කියා වස කෑ යුතු නැත.
අධ්‍යාපන ධවල පත්‍රිකාව ගැන අද බොහෝ දෙනෙක්ට අමතකය. එය ගෙන ආවේ රනිල් අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේය. ගමේ පොල් කඩන සිරිපාලගේ කොල්ලා කැම්පස් යන එකට, රෙදි අපුල්ලන සෝමවතීගේ කෙල්ල පරිපාලන සේවයට එන එක රනිල්ට සහ ඔහුගේ පන්තියට එදා සිට ඇලජික්ය. ධවල පත්‍රිකාව යනු හොඳ යෝජනා කිහිපයක දවටා දුන් වස බඳුනකි. එහි වූ යෝජනා අතර, පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දීම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමට අවසර දීම, රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කිරීම, ඒකීය පාසල් පවත්වාගෙන යෑම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතු වීම වැනි යෝජනා ගණනාවක් තිබුණා. තවමත් ඒකෙන් වෙන්න තිබුණ හානිය අපැහැදිලි නම් එකක් මෙලෙස විස්තර කළ හැකිය. නගරබද සියළු පාසල් එකීය පාසල් ලෙස නම් කර නඩත්තුව දෙමාපියනට පැවරීම තුළ, එවැනි පාසලකට ගමේ දුප්පත් දරුවෙකුට එන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම ඇහිරීම සිදු වේ. ඒ ධවල පත්‍රිකා යෝජනා අතර "පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීම" ද තිබුණ නිසාය. කෙසේ හෝ ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛ ගිහි-පැවිදි බහුතරයක් ජනතාව එදා පාරට බැහැලා ඒ යෝජනා හැකිලීමට සමත් විය.
එදා ධවල ප්‍රතිකාව ගෙනාවේද ණය ගන්න රජයේ වියදම් කපා හැරීමට ය. අද ද ලංකාව ඉන්නේ එදාට වඩා ණය උගුලක හිර වී යන එන මං නැතිව ය. එනිසා පසු ගිය කාලයේ පටන් ගත්ත ද, ණය දෙන ආයතන පිනවමින් වියදම් අඩු කිරීම පෙන්වීමට, සේදර යෝජනා කඩිනමින් ගෙන ඒමට රනිල් රාජපක්ෂට උවමනා වී ඇති බව පැහැදිළිය. සේදර වාර්තාවේ දැනට අධ්‍යාපනයේ පවතින අර්බුදය පාවිච්චි කරමින්, ගෙන එන්නේ එයට විසඳුමක් ලෙස කියා ව්‍යාජයෙන් හුවා දක්වා තිබුනද ඇත්ත උවමනාව එය නොවන බවට උදාහරණ කිහිපයක් දක්වන්න පුළුවන්.
මේකට ප්‍රධාන හෙතුව පාසල් අතර සම්පත් බෙදී යාමේ විෂමතාව. සම්පත් කිවුවම මේකට යටිතල පහසුකම් වගේම ගුරුවරුන් ඇතුළු මානව සම්පතත් අයත්. මේ විෂමතාව නැති කරන්න සේදර වාර්තාව කියනවා ජාතික පාසල් සංඛ්‍යාව (ආසන්න වශයෙන් දැනට තිබෙන 325 සංඛ්‍යව) 1169 දක්වා කඩිනමින් වැඩි කිරීම. බැලු බැල්මට හොඳ යෝජනාවක්. නමුත් මේක පැහැදිලි වෙන්නේ කරන්න යන කොට. ඇත්ත පහසුකම් සහිත ජාතික පාසල් හදන්න නම්, ඒකට අයවැයෙන් මුදල් වෙන් කරන්න ඕන. නමුත් එහෙම වෙලා නෑ, 2021 වඩා 2022 වසරේ අධ්‍යාපනයට වෙන් කළ මුදල රුපියල් බිලියන 6.6 කින් කප්පාදු කරලා. එතකොට මොකද වෙන්නේ. ඔබගේ ගෙවල් ළඟ තියෙන පාසලට "ජාතික පාසල" කියලා බෝඩ් ලෑල්ලක් ඒවි. ඇමති කෙනෙක් ඇවිල්ලා බෙර ගහලා පීත්ත පටි කපලා විවෘත කරාවි. වෙනත් වෙනසක් නොවේවි. ළඟම ජාතික පාසලක් තියෙන නිසා වෙනත් පාසලකට ළමයින්ට යන්න බැරි වෙන්න නීති ඒවි.
අධ්‍යාපනයේ ඇති වෙලා තියෙන තරඟය නිසා ළමයින්ට වගේම දෙමව්පියන්ටත් මහ හිසරදයක් තියෙන බව ඇත්තක්. මේකට උත්තරයක් ඕන. ඒකට සේදර කමිටුව යෝජනා කරන්නේ මොකක්ද? ක්‍රෙඩිට් ක්‍රමයක්. විෂය නිර්දේශය පැය 10 මොඩියුල බවට පත් කරලා තියෙනවා. එක වසරක් සම්පූර්ණ වෙන්න ක්‍රෙඩිට් 60 ළමයෙක් ලබා ගන්න ඕන. 9, 10, 11 කියන වසර තුනට අදාලව ක්‍රෙඩිට් 180 ගන්න ළමයෙක්ට සාමාන්‍ය පෙළ ලියන්න පුළුවන්. ඒකට වසර 3 ක් ඉන්න ඕනැත් නෑ. ක්‍රෙඩිට් 180 ක් පමණයි ඕන. අද වෙද්දි පිට කොටුවේ අගැයීම් විකුණන්න තියෙනවා. පාසල් පමනක් නෙවෙයි කැම්පස් වල එසයින්මන්ට්, ප්‍රොජෙක්ට්, තිසීස් පවා සල්ලි වලට ලියලා දෙන තැන් වල දැන්වීම් වලින් සති අන්ත පුවත් පත් පිරිලා. හැම කැම්පස් එකක් ළඟම එහෙම කඩ ඕන තරම් තියෙනවා. එහෙම රටක මේ ක්‍රෙඩිට් 180 කතාව මගින් තරඟය ඉවර කරන්න හිතන එකම සේදර කමිටු නියෝජිතයනට අර්බුදයේ තරම තේරෙන ප්‍රමාණය කියාපාන්නක්. මොකද දෙමව්පියෝ ඊට පස්සේ ට්‍රයි කරන්නේ ළමයා 9-10 පන්තියෙදිම ක්‍රෙඩිට් 180 කරලා සා.පෙල ලියවන්න.
මේ කමිටු වාර්තාවෙන් අනෙක් කරන තව යෝජනාවක් තමයි පෝෂක පාසල් ක්‍රමය. මේක මේ විදියටම ධවල පත්‍රිකාව තුලත් තිබිලා, ඒ කාලයේ දැඩි කතා බහට පත් වෙලා බැහැර කළ යෝජනාවක්.
බැලු බැල්මට මේකත් හොඳ යෝජනාවක්. ඒත් ඇතුළ මොකක්ද? පාසල් වල ශිෂ්‍ය නායක පදවි දීමේ සිට සිදු වෙන්නේ පන්ති භාර අයගේ, විදුහල්පතිගේ, ආදි ශිෂ්‍ය සංගම් වල උවමනාවන් බව ඇත්තක්. නමුත් ඒක නැති කරන්න ගේන්න ඕන කැකිල්ලේ තීන්දු නෙවෙයි. මේක සඳහා සේදර යෝජනාව "පාසල් පාදක ඇගයීම් ක්‍රමයක්", මොකද මේ යෝජිත ප්‍රතිසංස්කරන තුළ තුළ වෛකල්පිත මොඩියුල 35 ක් තියෙනවා. මේ වෛකල්පිත මොඩියුල මගින් එක්සත් ජාතීන්ගේ මූලික නියාමනයන් පවා කඩා බිඳ දැමෙනවා. ඒ වගේම ඒ මොඩියුල අගැයීම පාසලට පැවරෙනවා. මෙහෙම බැලුවම නිළධාරීවාදය පරදන්න ගේන යෝජනාවම අර මහදැනමුත්තා එළුවගේ බෙල්ල කැපුවා වගේ වැඩක් වෙනවා නොඅනුමානයි.
මේකත් සමාජය කාලයක් ඉල්ලා සිටි දෙයක්. එනිසා උඩින් බලපුවාම හොඳ යෝජනාවක්. නමුත් ඇතුලේ තවත් යෝජනවාක් තියෙනවා 4 සහ 8 වසර සඳහා ජාතික ඇගයීම් විභාග දෙකක්. 5 එපා කියපු අයට දැන් පුළුවන් 4 සහ 8 කියන විභාග දෙකකටම ළමයි ටියුෂන් ගෙනියන්න.
මෙවැනි පරස්පරතා සහ කැකිල්ලේ යෝජනා වලින් ගහන වූ "සේදර කමිටු වාර්තාව" දැන් ක්‍රියාත්මක කරන්න රනිල් රාජපක්ෂට පැවරිලා තියෙනවා.
අද වෙන විට සියළුම විද්‍යා පීඨ (වෛද්‍ය, කෘෂි, තාක්ෂන, විද්‍යා ) වල ප්‍රායෝගික පරීක්ෂන කර ගැනීමට නොහැකි තත්වයට ඇවිල්ලා ඉන්නේ. වෙනදා තනි තනි ළමයින්ට කරන්න ඉඩ දීපු ප්‍රායෝගික පරීක්ෂන ලමයි 10 ක් වගෙ විශාල කණ්ඩායමකට 1 ක් ලෙස කරන්න දෙන්නත්, එහෙම නැත්නම් 'ඩිමෝ' කෙනෙක් දාලා කරලා පෙන්වන්නත්, එහෙම නොමැති තැන් වල පසු ගිය කොරෝනා කාලේ ඔන් ලයින් උගන්වන්න කළ පරීක්ෂනයක වීඩියෝවක් යොදා ගෙන පෙන්වන තැනටත් පත් වෙලා. කිසිම පීඨාධිපති කෙනෙක්, උපකුලපතිවරයෙක් මේ ගැන කට අරිනවා දැක්කෙ නැ. ඒ තනතුරු පිළිබඳ තියෙන බලලෝභිත්වය මිස වෙන යමක් නොවෙයි. ඩොලර් ගැටලුව නිසා මෙතෙක් කලක් විද්‍යාත්මක උපකරණ සහ රසායන ද්‍රව්‍ය සැපයූ සියළුම ලාංකීය සමාගම් අද වෙන විට බිමට සමතලා වෙලා ඉවරයි. ඔවුන්ට ලැබී ඇති සැපයුම් නියෝග (පර්චේසින් ඕඩර්) පවා ඔවුන් කැන්සල් කරලා. යන්තම් හෝ ඇදන් යන්නේ ලෝක බැංකු ප්‍රොජෙක්ට් එකෙන් දුවන 'අහෙඩ් ප්‍රොකෙන්ට්' එකෙන් කෙරෙන පර්යේෂන පමනයි (ඒක ගැනත් වෙනම කියන්නම් ලිපියකින් ). එනිසා කැම්පස් වල ප්‍රායෝගික පරීක්ෂන කරගන්න බැරි වෙලා. නොකිවුවට ප්‍රයිවට් කැම්පස් වල තත්වය උනත් මීට නොවෙනස්.
මේකට පළ වෙනි ගල ගහන්නේ අන්තරේ බව රනිල් දන්නවා. මුලින්ම පාරට බහින්නේ කැම්පස් කොල්ලො කෙල්ලො කියලා රනිල් දන්නවා. ඔහුට වරක් ධවල පත්‍රිකාව නිසා අන්තරේට පරාද වීම නිසා ඇති උන තරහ තවම හිතේ තියෙනවා. එනිසා මුලින්ම බැටේ දෙන්න ඕන තැනට ගහන්න අද ම රනිල් පටන් ගෙන තියෙනවා. වසන්ත මුදලිගේට අද එල්ල වෙන්නේ මේ ප්ලෑන් එකේ මර්දනය. එනිසා අවුලුවන විරෝධය "වසන්ත නිදහස් කරනු!" කියන සටන් පාඨයෙන් ඔබ්බට ගෙනිහින් "සේදර කමිටු වාර්තාව පරදවමු!" සහ ඒ සමග "රටට ඇවැසි වෙනසක් අධ්‍යාපනයට ගෙන එනු" කියන තත්වයට පත් කර ගැනීමත්, ඒ වෙනුවෙන් සියළු ප්‍රගතිශීලී බලවේග ඒකරාශි කිරීමත් සිසුන්ගේත් රටේත් වගකීමක්.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/69
---------------------------
by (2022-08-25 19:43:13)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි