-Daily Record පුවත සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2022.අගෝ.25, පෙ.ව.6.10) ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වූ අති දැවැන්ත සිවිල් ජනතා නැගිටීමේ තොරතුරු විදේශවල ප්‍රචාරය කළ ස්කොට්ලන්තයේ කේලි ප්‍රේසර් (Kayleigh Fraser) නම් කාන්තාවකගේ ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා බලධාරීන් විසින් රඳවා ගනු ලැබිණ. සිය වීසා ලබා ගැනීමට ඇය ගත් උත්සාහය අසාර්ථක වී තිබේ.
පසු ගිය සතියේ ඇයගේ නේවාසික බලපත්‍රය ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ News1st ප්‍රවෘත්ති සේවය පවසන්නේ, විනිසුරු සෝබිත රාජකරුණා ඇයගේ අභියාචනය වාද නොකොටම ප්‍රතික්ෂේප කළ බවත්, එය ඉදිරියට ගෙන යාමට තරම් “ප්‍රමාණවත් කරුණු” ඉදිරිපත් කිරීමට ඇය අපොහොසත් වූ බවත්ය.
ශාන්ත ඇන්ඩෘස් සිට පැමිණි 34 හැවිරිදි කාන්තාව 2021 සිට ශ්‍රී ලංකාවේ ජීවත් වන නමුත්, බලධාරීන්ගේ අවධානයට ලක් වූයේ ඇය "අරගලයේ" වීඩියෝ සමාජ මාධ්‍යවල බෙදාහදා ගැනීමට පටන් ගැනීමෙන් පසුවය. උද්ධමනය සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයුම අඩු වීම මධ්‍යයේ මේ වසර මුල දී සිවිල් විරෝධතා ව්‍යාපාරය ආරම්භ වූ අතර එය ජූලි 21 වන දින ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයාගේ රටින් පලා යාමට ද හේතු විය.
නිලධාරීන් අගෝස්තු 2 වන දින ඇගේ නිවසට පැමිණ ඇගේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගත් අතර, සතියකට පසුව ඇයගේ වෛද්‍ය වීසා අවලංගු කෙරිණ. සමාජ ක්‍රියාකාරික නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුගේ සහාය ඇතිව රටේ ඉහළම අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම මගින් එම තීරණය ආපසු හැර වීමට ඇය බලාපොරොත්තු වූවාය.
කෙසේ වෙතත්, විනිසුරු රාජකරුණා ප්‍රකාශ කළේ, "තව දුරටත් රට තුළ රැඳී සිටීමේ අයිතිය තහවුරු කිරීමට තරම් හේතු කිසිවක් ඇය සඳහන් කර නොමැති" බවයි. Record වෙත සපයා ඇති ප්‍රකාශයක, කේලි සඳහන් කර ඇත්තේ, ඇයගේ අභියාචනය අසාර්ථක වීම ගැන ඇය "පුදුම නොවන" බවත්, විරෝධතාවල පින්තූර අන්තර්ජාලය හරහා බෙදාහදා ගැනීම නිසා ඇය බලධාරීන්ගේ ඉලක්කයක් වී ඇති බව විශ්වාස කරන බවත්ය.
"මගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඔවුන් ගත් තීරණය ප්‍රධාන වශයෙන්ම පදනම් වී ඇත්තේ මගේ වීසා අයදුම්පත්‍රය සමග ඇති වංචනික ලියකියවිලි බව ආගමන විගමන කාර්යාලය උසාවියට කිව්වා. එවැනි ලේඛන නිර්මාණය කළේ ඔවුන් ද, නැති නම් මගේ වීසා ඉල්ලුම් පත්‍රය හැසිර වූ වීසා ඒජන්ත ද යන්න මං දන්නේ නැහැ.”
“කොළඹ උද්ඝෝෂණ සමාජ මාධ්‍යවල ප්‍රචාරය කිරීම නිසා මේ රටින් මා අයින් කරන්න ආණ්ඩුව කාලෙකට කලින් තීරණයක් ගත් බව මට හොඳටම පැහැදිලියි. ඒක කිරීමට ඔවුන් යටි උගුල් අදින බවයි මට පේන්නේ,” යයි ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
“විරෝධතාකරුවන්ට රසායනික අවි ප්‍රහාර එල්ල කිරීම, විරෝධතාකරුවන්ට පහර දී වධ හිංසා පමුණුවන ලෙස රජය හමුදාවට උපදෙස් දීම, විරෝධතාවල ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් හා අවමානයේ හෙළන තර්ජන කිරීම් (blackmail), බිය ගැන්වීමේ උපක්‍රම, හා සහ තර්ජන ආදිය මා කොළඹ දී සියැසින් දුටුව දේවල්. එනිසා අද මට වෙලා තියෙන දේ ගැන මං පුදුම වෙන්න ඕනෑ නැහැ."
"පෙත්සම්කරුට [කේලී] රට තුළ දිගටම රැඳී සිටීමේ අයිතිය තහවුරු කිරීමට කිසිදු හේතුවක් සඳහන් කර නොමැති විට, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකයාගේ තීරණය සමාලෝචනය කිරීම සඳහා මගේ අභිමතය භාවිතා නොකළ යුතු බව මගේ අදහසයි.”
"තව දුරටත්, මෙම අධිකරණයේ රීට් අධිකරණ බලය ඉල්ලා සිටීමට ප්‍රමාණවත් හේතු ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බව නිරීක්ෂණය වේ.”
"මෙම නඩුවේ සියලු තත්ත්ව සැලකිල්ලට ගනිමින්, වගඋත්තරකරුවන්ට [ආගමන දෙපාර්තමේන්තුවට] විධිමත් දැනුම් දීමක් නිකුත් කිරීම සුදුසු යයි බැලූ බැල්මට පෙනී යන තරමේ නඩුවක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කාරිය අපොහොසත් වී ඇත. එබැවින් මෙම අයදුම් පත ප්‍රතික්ෂේප කිරීමට මම කටයුතු කරමි."
රටේ නව ජනාධිපතිකාරයා වන රනිල් වික්‍රමසිංහ විසින් රටේ විරුද්ධ මතධාරී විරෝධතාකරුවන් මර්දනය කිරීමට පටන් ගැනීමත් සමග ශ්‍රී ලංකාව පුරා හදිසි නීතිය ක්‍රියාත්මක වේ. විරෝධතා කඳවුරක් බලහත්කාරයෙන් ඉවත් කිරීම, සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ බව කියන ප්‍රහාර ඇතුළු ඔහුගේ ක්‍රියා කලාපය සිවිල් අයිතිවාසිකම් සංවිධාන විසින් දැඩි විවේචනයට ලක් කර ඇත.
පවතින තත්ත්වය යටතේ ශ්‍රී ලංකා බලධාරීන්ට කිසිදු හේතුවක් නොමැතිව පුද්ගලයන් රඳවා තබා ගෙන ප්‍රශ්න කළ හැකිය. "පෙළපාලිකරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයින් සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම්, සෝදිසි කිරීම් හා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්" සිදු කරන බවට Human Rights Watch [රනිල්-රාජපක්ෂ] ආණ්ඩුවට චෝදනා කරයි.
මෙරටට පැමිණීමෙන් වළකින ලෙස විදේශ කාර්යාලය විසින් අනතුරු අඟවා තිබේ. පවතින ජාතික අර්බුදය මධ්‍යයේ සංචාර මෙහෙයුම් නියෝජිතායතන ද මෙරටට එන ගුවන් ගමන් අවලංගු කර ඇත.
දූෂණ චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකීය දේශපාලනඥයන්ගේ විදේශීය වත්කම් ගල් කර ගැනීමේ උත්සාහයක නිරත ප්‍රචාරක කණ්ඩායමක් වන ශ්‍රී ලංකා තරුණ එතෙර සම්මේලනය (Sri Lankan Youth Overseas Federation) විසින් කේලීට එරෙහි රජයේ ක්‍රියාමාර්ග හෙළා දැක තිබේ.
එහි සඳහන් වන පරිදි: "ෆ්‍රේසර් මෙනවිය රටේ ආර්ථික අර්බුදයට විරෝධය පාමින් සිටින මිනිසුන්ට සහාය දක්වන විශිෂ්ට උපදේශිකාවකි. ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනා සහ විමර්ශන සහ ආගමන බලධාරීන් විසින් භාවිතා කරන බිය ගැන්වීමේ උපක්‍රම කනගාටු සහගතය; අසාධාරණය."
අදහස් දැක්වීම සඳහා Record විසින් කරන ලද ඉල්ලීම්වලට ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රතිචාර දක්වා නැත.
- 2022 අගෝස්තු 16 වන දින Daily Record වෙබ් අඩවියේ පළ වූ, Jon Brady ලියූ, ‘Scots Instagrammer who had passport removed in Sri Lanka sees bid to keep visa fail’ නම් වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,
ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68
කේලි ප්‍රේසර් යනු ශ්‍රී ලංකාවේ දී ස්ත්‍රී දුෂණයකට ලක් වූ වින්දිතයෙකු බවත්, ඇයගේ නඩුව යටපත් කිරීම සඳහා දේශපාලන හයිය ලැබූ දූෂකයන් විසින් ශ්‍රී ලංකා පොලීසියට හා ආගමන විගමන දෙපාර්තමෙන්තුවට කරන ලද බලපෑම් නිසා ඇය ලංකාවෙන් පිටත් කර යැවීමට මෙසේ කටයුතු කෙරෙන බවට සැක පළ වන වාර්තා ගණනාවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී:
https://www.facebook.com/deenatissera
https://www.youtube.com/results?search_query=Kayleigh+fraser
---------------------------
by (2022-08-25 00:42:46)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි