~

ශ්‍රී ලංකාවට නැවතත් ජන ඝාතක ජනාධිපතිකාරයෙක්..!

-දේශපාලනය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මහාචාර්ය නීල් ඩෙවොටා ගේ විග්‍රහය සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2022.අගෝ.18, ප.ව.8.20) දිවයිනෙන් පලා ගිය ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයාගේ ධූර කාලය අවසන් වන 2024 නොවැම්බර් දක්වා රටේ අට වැනි විධායක ජනාධිපතිකාරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2022 ජුලි 20 වැනි දින ඡන්දය ප්‍රකාශ කළේය. ගෝටාබයගේ නින්දා සහගත පිට වීම පැන නැගුණේ, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ මෙතෙක් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය විසින් අවුලුවා ලූ දීප ව්‍යාප්ත උග්‍රතම විරෝධතාවලිනි.

වික්‍රමසිංහගේ පත්වීම ආන්දෝලනාත්මකය. ඔහු වරක් ඉතා විශ්වසනීය ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සැලකිණ. එහෙත් බොහෝ ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරන්නේ ඔහුට දැන් ජනාධිපති වීමට නීත්‍යානුකූල භාවයක් නොමැති බවයි, ඔහුගේ අපේක්ෂකත්වයට ඔවුන් විරුද්ධ වන්නේ එනිසාය.

ජනාධිපතිකාරයා වීමට 'රනිල් රාජපක්ෂ' ගේ නුසුදුසුකම්..

වික්‍රමසිංහගේ තේරී පත් වීම ක්‍රියා පටිපාටිමය වශයෙන් නීත්‍යානුකූලය. නමුත් දේශපාලනික වශයෙන් එය අනීතිකය. 2020 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහු ඡන්ද 31,000 කට වඩා අඩු ප්‍රමාණයක් ලබා ගත් අතර ඔහුගේ එක්සත් ජාතික පක්ෂය (‍එජාපය) එක ආසනයක්වත් දිනා ගැනීමට අසමත් විය. 

එජාපය ශ්‍රී ලංකාවේ නිදහස පිළිබඳ සාකච්ඡා කළ අතීතයක් සහිත පක්ෂයක් වන අතර වික්‍රමසිංහ එහි සියලුම වැදගත් නායකයින්ට පාහේ නෑකම් කියයි.

වික්‍රමසිංහගේ නායකත්වය යටතේ එජාපය වියැකී ගොස් ඇත. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී එය ජාතික ලැයිස්තු ආසන 29 න් එකකට සුදුසුකම් ලබා ගත්තේය. පාර්ලිමේන්තුවේ “එකාගේ-පක්ෂයක්” වීමට වික්‍රමසිංහ සමත් වූයේ එලෙසිනි.

බලයෙන් පහ කරන ලද ජනාධිපතිවරයෙකුගෙන් පසු අගමැතිවරයාට එම තනතුරට පත් වීමට ඉඩ සලසන ව්‍යවස්ථාපිත වරප්‍රසාදයෙන් උපකල්පනය කෙරෙන්නේ, පාර්ලිමේන්තුවට [මහජන ඡන්දයෙන්] තේරී පත් වූ අගමැතිවරයෙකු පිළිබඳවයි. එහෙත් මේ වික්‍රමසිංහ තේරී පත් වූවෙකු නොවන අතර ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ පිටු පස දොරෙන් බව සැලකේ.

ජනාධිපතිකාරයා වීමට වික්‍රමසිංහ නුසුදුසු යැයි සැලකෙන දෙවන හේතුව වන්නේ රාජපක්ෂ පවුල සමග ඔහුගේ සමීප සබඳතාවයි. වික්‍රමසිංහ 2015 සහ 2019 අතර කාලයේ ඔහු අගමැතිව සිටිය දී රාජපක්ෂවරුන් නඩු පැවරීම්වලින් ආරක්ෂා කළේය. රාජපක්ෂවරුන් අගමැතිකමට ඔහු තෝරා ගත්තේ ද ඔහු දිගටම ඔවුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරනු ඇතැයි ඔවුන් විශ්වාස කළ බැවිනි. ඔහු දැන් ‘රනිල් රාජපක්ෂ’ ලෙස හංවඩු ගැසී තිබේ.

ලංකාවේ විලාසිතාව නින්දිත හැසිරීම් ගැන වගනොවීමයි..

වික්‍රමසිංහ අගමැතිව සිටිය දී එජාපය සම්බන්ධ 2015 බැඳුම්කර සිද්ධියේ දී ඔහුගේ කීර්ති නාමය තවත් කැළැල් විය. මහින්ද රාජපක්ෂට තුන් වන වරටත් ජයග්‍රහණය කිරීම වළක්වාලමින්, රටට යහපාලනය ගෙන ඒමට පොරොන්දු වූ වේදිකාවකින් බිහි වූ වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව එහි පූර්වගාමියා තරමටම දූෂිත බවට පත් විය. සාමාන්‍ය ශ්‍රී ලාංකේය විලාසිතාව අනුව, නින්දිත හැසිරීමක් සම්බන්ධයෙන් කිසිවෙකු වගකිව යුතු නොවේ.

වික්‍රමසිංහ සෑම විටම උත්සාහ කළේ දේශපාලනික වශයෙන් මොනයම්ම හෝ තනතුරක සිටීමටය. 2020 මැතිවරණ පරාජයෙන් පසු තමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව තරයේ කියා සිට, එජාපයෙන් කිසිවෙකුට නාම යෝජනා නොදී මාස ගණනක් ගත වූ පසු ඔහු ඔහුම පත් කර ගත්තේය. 

එක දිගට මැතිවරණ පරාජයන් මධ්‍යයේ වුව ද එජාපයේ නායකත්වයටම ඇලී සිටීමට තිබූ ඔහු‍ගේ දැඩි අධිෂ්ඨානය පක්ෂය දෙකඩ වීමට හේතු විය. කැඩී ගිය කණ්ඩායම සමගි ජන බලවේගය (සජබ) පිහිටුවා ගත්තේය.

ගෝටාබය මාලදිවයිනට පලා ගිය පසු වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් වීමට එකඟ විය. නමුත් ගෝටාබය විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් වැඩබලන ජනාධිපති ලෙස වික්‍රමසිංහ පහසුවෙන්ම පත් කෙරිණ. ගෝටාබය ඉල්ලා අස් වූ පසු, වික්‍රමසිංහ අන්තර්වාර ජනාධිපති බවට පත් වූ අතර දැන් ඔහු ජනාධිපති ලෙස තේරී පත්ව ඇත.

රාජපක්ෂලාගේ කැමැත්ත සහ අලහප්පෙරුම..

වික්‍රමසිංහට එරෙහිව තරග කිරීමට නියමිතව තිබුණේ සජබ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. ඔහු රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමග ශක්තිමත් බැඳීම් ඇති හිටපු මාධ්‍යවේදියෙකු වූ ඩලස් අලහප්පෙරුමට සහාය දැක්වීමට තීරණය කළේය. ඒ සහයෝගය වෙනුවට අලහප්පෙරුම ජනාධිපති වූ පසු ප්‍රේමදාස අගමැති වීමට නියමිතව තිබිණි.

පාර්ලිමේන්තුවේ රහස් ඡන්ද විමසීම දක්වාම, අලහප්පෙරුමගේ අපේක්ෂකත්වය ශක්තිමත් වෙමින් පවතින බව පෙනෙන්නට තිබුණි. නමුත් රාජපක්ෂලා වික්‍රමසිංහට වැඩි කැමැත්තක් දැක්වූ අතර බොහෝ පොහොට්ටු මන්ත්‍රීවරු ද ඊට කැමති වූහ.

වික්‍රමසිංහ ඡන්ද 134 ක් ලබා ගෙන ජයග්‍රහණය කළ අතර අලහප්පෙරුමට ලැබුණේ 82 කි. පොහොට්ටුවේ අපේක්ෂකයා වික්‍රමසිංහට පරාජය වීම ගැන මහින්ද රාජපක්ෂ කනගාටු වන බවක් මවා පෑවේ නමුත් සිද්ධ වූයේ රාජපක්ෂලාගේ කැමැත්තය.

මන්ත්‍රීවරුන්ට අල්ලස් දීම ලංකාවේ සාමාන්‍ය සිරිතකි.. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට අල්ලස් දීම හෝ පක්ෂ මාරු කිරීම ශ්‍රී ලංකාවේ දැන් සාමාන්‍ය සිරිතකි. වික්‍රමසිංහට හැකි තාක් ඡන්ද ලබා ගැනීමට උදව් කිරීම සඳහා රාජපක්ෂලා අල්ලස් ලබා දෙන්නට ඇති බව පෙනේ.

වික්‍රමසිංහගේ පත් වීම ජනතා කැමැත්ත නියෝජනය කරන්නේ නැත. මහජනතාව දැනටමත් සලකන්නේ ඔහු රාජපක්ෂලාගේ ආවතේවකාරයෙකු ලෙසය. 

ඔහුගේ නායකත්වය යටතේ රාජපක්ෂලා නොයෙකුත් අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමෙන් වළකිනු ඇත. ගෝටාබය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණ අධි ආරක්ෂිත විශ්‍රාම දිවියක් භුක්ති විඳීමට නියමිතව සිටී. 

ජනාධිපති ‘අලහප්පෙරුම’ යටතේ රාජපක්ෂලා ඔවුන්ගේ ආර්ථික අවභාවිතා සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් වගකිව යුතු වන බවන් එයින් අදහස් නොවේ. ඔහු ද රාජපක්ෂ කඳවුර තුළ දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වූවෙකි. 

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තෙක් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුව ක්‍රියා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පොහොට්ටු හැතිකර බහුතරය භාවිතා කිරීමට රාජපක්ෂ පවුලට දැන් පුළුවන.

අරගලය සාර්ථක වී ඇත්තේ අර්ධ වශයෙනි...

රාජපක්ෂලා ඉවත් කිරීමේ අරගලය සාර්ථක වී ඇත්තේ අර්ධ වශයෙන් පමණි. මහින්ද රාජපක්ෂ අගමැතිකමෙන් නෙරපා හැරිය හැකි නමුත් එම පවුල තව දුරටත් පාර්ලිමේන්තුව නියෝජනය කරයි. විරෝධතාකරුවන්ට වික්‍රමසිංහ ඉවත් කිරීමට අවශ්‍ය විය, නමුත් ඔහු දැන් ජනාධිපතිකාරයාය - එය කිසිවකු නොසිතූ ප්‍රතිඵලයකි. 

වික්‍රමසිංහ තම පාසල් සගයකු වූ දිනේෂ් ගුණවර්ධන නමැත්තා නව අගමැතිවරයා ලෙස තෝරා ගැනීමත් සමග පාර්ලිමේන්තු කටයුතු අධීක්ෂණය කරන ප්‍රබල සගයකු ද රාජපක්ෂ පවුලට හිමිව තිබේ.

රාජපක්ෂ පවුල සමග ඇති කිට්ටු බැඳීම් අනුව චීනය වික්‍රමසිංහගේ පත් වීම ගැන කලබල වනු ඇත. එක් අතකින් චීනය මෙරටේ ප්‍රධාන ණය දෙන්නෙකු වන අතර වික්‍රමසිංහට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එරටේ සහාය අවශ්‍ය වනු ඇත. අනෙක් අතට, නව ජනාධිපතිකාරයා දිගු කලක් තිස්සේ නව ලිබරල් ආර්ථිකය වෙනුවෙන් පෙනී සිට ඇති අතර ඉන්දු පැසිෆික් කලාපයේ ඉන්දියානු සහ බටහිර අවශ්‍යතාවලට බොහෝ සෙයින් සංවේදීය. එබැවින් ඔහුගේ තේරී පත්වීම නිසා භූ දේශපාලනික ප්‍රතිවිපාක ද ඇති වනු ඇත.

වික්‍රමසිංහ ජනාධිපති ලෙස තේරී පත් වූ පසු ශ්‍රී ලංකාවේ සිවු වැනි අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක පිළිරුව අවට මීටර් 50 ක් ඇතුළත ඒකරාශී වීම මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් පුරවැසියන්ට තහනම් කෙරිණ. ප්‍රතිමාව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත ප්‍රධාන විරෝධතා ස්ථානයට යාබදව පිහිටා ඇත. දින 103 ක් පුරා විරෝධතාකරුවෝ එම ස්ථානයේ රැස්ව සිටියහ. විරෝධතාකරුවන්ට ප්‍රතිමාවට හානි කළ හැකි බවට පොලිසිය කළ කරුණු දැක්වීමට ප්‍රතිචාර වශයෙන් උසාවිය මෙම තීන්දුව ලබා දී ඇත. 

වික්‍රමසිංහ අරගලකාරී හැසිරීම් නොඉවසීම නිසා වඩාත් නිහඬ අරගලයක් සිදු වෙමින් පවතින බව පෙනේ.

අරගලයේ ඉල්ලීම් ප්‍රශංසනීය නමුත් මනෝරාජිකය..

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ප්‍රශංසනීය නමුත් මනෝරාජික ලෙස පෙනේ. ඔවුන්ගේ අරගලය රටේ බහුතර දේශපාලකයන්ගේ ඥාති සංග්‍රහ හා දූෂණ ගැන එතරම් නොසැලකීය. 

පක්ෂග්‍රාහී ආණ්ඩුවක් පිහිටුවා ගෙන වත්මන් ජනතා දුෂ්කරතා අවම කිරීමට වික්‍රමසිංහට හැකි වී නම් දැන් විඩාපත් වී ඇති විරෝධතා ව්‍යාපාරය ‍නොපෙනී යා හැකිය. 

බංකොලොත් ශ්‍රී ලංකාව ඉන්ධන සඳහා පමණක් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් වැය කරයි. 2022 ජූනි මාසයේ දී ආහාර උද්ධමනය 80% ඉක්ම විය. ශ්‍රී ලාංකිකයින්ගෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් ආහාර වේල් මග හරියි.

දිවයිනේ ණය හා ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යව තිබේ. ජනතා දුක් වේදනා තව කොපමණ කාලයක් පවතින්නේ ද යන්නත්, අනාගත විරෝධතා පැන නගින්නේ කෙසේ ද යන්නත් තීන්දු වන්නේ වික්‍රමසිංහ ජනාධිපතිකාරයාගේ කෙරුවාව අනුවය.

(නීල් ඩෙවොටා, උතුරු කැරොලිනාවේ, වේක් ෆොරස්ට් විශ්ව විද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මහාචාර්යවරයාය.)

- 2022 ජුලි 24 වන දින EastAsiaForum වෙබ් අඩවියේ පළ වූ, Neil DeVotta ලියූ, ‘Colombo’s controversial new president’ නම් ලිපිය සිංහලට පරිවර්තනය කළේ,

-ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2022-08-18 14:56:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links