~

රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතිය මේ යයි පෙන්වා පොහොට්ටුවෝ රාජපක්ෂ රැකවලා රනිල් ජනාධිපති කර ගනිති..!

-මාණ්ඩලික වාර්තාකරුවෙක් ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.ජුලි.20, ප.ව.4.30) ශ්‍රී ලංකාවේ පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව පඩතන්ත්‍රවාදයක් බව තහවුරු කරමින් පාර්ලිමේන්තුවට ඒමටවත් අවශ්‍ය ජනතා කැමැත්තක් ලබා ගැනීමට නොහැකි වූ මිනිසෙකුට රටේ විධායක ජනාධිපති වීමට පවා හැකි බව ලොවට පෙන්වමින් රාජපක්ෂලාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ ගැරන්ටිය දුන් රනිල් රාජපක්ෂ පොහොට්ටුවන්ගේ වැඩි ඡන්ද 49 කින් අද 8 වැනි විධායක ජනාධිපති තනතුරට පත්විය.

ජනාධිපතිවරයෙකු ධූරය හැර දා පලා ගිය විට සිදුකළ යුතු ක්‍රමවේදය වූ ඔහුගේ ඉතිරි ධූර කාලය සඳහා පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ රහසිගත ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේ පැවැති අතර එහිදී රාජපක්ෂලා වෙනුවෙන් තරඟ කළ රනිල් රාජපක්ෂ ඡන්ද 134 ක් ද විපක්ෂයේ සම්මුතියෙන් තරඟ කළ ඩලස් අලහප්පෙරුම ඡන්ද 82 ක් ද ලබා ගත් අතර ජාතික ජන බලවේගය වෙනුවෙන් තරඟ කළ අනුර දිසානායක ඡන්ද 3 ක් ලබා ගත්හ.

රනිල් ලැබූ ඡන්ද සංඛ්‍යාව අනුව ඔහුට සජිත්ගේ සජබයෙන්ද කොටසක් දී ඇති බව පැහැදිලි බවත්, අරගලයට බිය වී සිටින ඉන්දියාවේ සහාය ලැබූ රනිල්ට ඉන්දීය බලපෑම් නිසා කඳුකරයේ සහ උතුරේ දෙමළ ඡන්ද ලැබී ඇති බවත්, දේශපාලන විචාරකයෝ කියති. ටීඑන්ඒ පක්ෂයෙන් විපක්ෂයේ සම්මුතිවාදී ඩලස්ට ලැබුනේ ඡන්ද 3 ක් පමණක් යැයි ද කියති. නිමල් සිරිපාල අමරවීර වැනි ශ්‍රීලනිපයේ ඡන්ද ප්‍රමාණයක් ද රනිල්ට ලැබී තිබෙන බව ද විචාරකයෝ කියති. ගිනි ගත් තම නිවාස වලට වන්දි ඉක්මනට දෙන බවට රනිල් දුන් සහතිකයත්, විශ්‍රාම වැටුපට කාලය සම්පූර්ණ වන තුරු පාර්ලිමේන්තුව විසිරුවන්නේ නැති බවට රනිල්ගෙන් ලත් සහතිකය මත නවක පොහොට්ටු මන්ත්‍රීලාත් රනිල්ට ඡන්දය දුන් බවද විචාරකයෝ කියති. රනිල්ගේ නව අගමැති වන්නේ ඔහුගේ එක පන්තියේ පාසැල් මිතුරා වන දිනේෂ් ගුණවර්ධන බවද කියති.

කෙසේ වෙතත් පොහොට්ටුවේ සභාපති සහ ලේකම් ලෙසම එය බෙදී ගිය බව මේ සිදුවීමෙන් පැහැදිලිය. පොහොට්ටුවෙන් වෙනම ඡන්දය ඉල්ලූ ඩලස් සහ ඔහුට සහාය දුන් 40 ක පමණ පිරිසට මෙතැන් සිට පොහොට්ටුවත් සමග එකට ක්‍රියා කිරීමට නොහැකි වනු ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ තවත් කණ්ඩායමත් බෙදී වෙන් වනු ඇත.

රට ලේ විලක් වීම වැලැක්විය නොහැකිය..

පොහොට්ටු ඡන්දයෙන් ජනාධිපති වූ රනිල්ට රාජපක්ෂලාගේ රූකඩයක් ලෙස කටයුතු කිරීමට සිදුවනු විනා අන් යමක් කළ නොහැකි ය. ඔහුට ද ජනාධිපතකම් කළ හැක්කේ අකුරේගොඩ හමුදා මූලස්ථානයේ සිට ය. ජාත්‍යන්තර මූල්‍ය ආධාර කණ්ඩායම් කියන පරිදි ආධාර දීමට නම් සම්මුතියකින් යුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදා ගන්නැයි කියන ක්‍රියාවලිය රනිල්ට ඉටු කර ගත නොහැකි වනු ඇත. එනම් රටේ ආර්ථික අර්බුදයට අවශ්‍ය ආධාර ලැබෙන්නේ නැත. සම්මුතියක් නැති තවත් පොහොට්ටු ජනාධිපතිකාරයෙක්ම සිටින නිසා සහ ඔහුට පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාවගේ හෝ ටෙලිෆෝනයට ඡන්දය දුන් ජනතාවගේ හෝ මාලිමාවට ඡන්දය දුන් ජනතාවගේ හෝ සත පහක කැමැත්තක් නැති නිසා විදේශගත ශ්‍රී ලාංකිකයෝ ද මෙතෙක් තම මුදල් රටට එවූ උන්ඩියල් ක්‍රමයම අනුගමනය කරන බැවින් රටට අවශ්‍ය ඩොලර් ටිකක් හෝ ලැබෙන්නේ ද නැත. ඉන්දියාව රනිල්ට උදව් කළ නිසා ඉන්දියාවෙන් තව ණය ආධාරයක් ලැබෙනු ඇති නමුත් රටේ අර්බුදය එලෙසම ඉදිරියට ද පවතිනු ඇත. ජනතාව බලාපොරොත්තු වන ව්‍යවස්ථා වෙනස් කම් රනිල්ට මේ කපේ දී පොහොට්ටුවන් සමග ඉටු කළ නොහැකිය.  එනම් අරගලය ද ඉදිරියට පවතිනවාටත් වඩා ප්‍රබලව නැගී එනු ඇත. ජනතා කැමැත්තකින් කවදාවත් ජය ලබා ගත නොහැකිව, කල් මර මරා හිඳ බලාපොරොත්තු නොවූ ජනාධිපතිධූරය ලැබීමෙන් ගොනාට ඇඳගන්නා රනිල් ගෝටාබයටත් වඩා ඒකාධිපතියෙකු බවට පත් වනු නිසැක ය. මන්ද ඔහු වගකිව යුතු ජනතාවක් නැත. ඇත්තේ වගකිව යුතු පවුලක් පමණි. රනිල් හිට්ලර්ට ඇන්දාට රාජපක්ෂලාගේ අතේ ලේ ගෑවෙන්නේ ද නැත. එබැවින් මේ රට ලේ විලක් වීම වැලැක්විය නොහැකිය.

එවිට රනිල් ලිබරල්වාදියෙකු යැයි තවමත් සිතාගෙන සිටින අයට පමණක් නොව, තම මුණුපුරන්ගේ කාලය දක්වාම පක්ෂ නායකත්වයේ එල්ලී සිටින රනිල් වගවීමකින් තොරව ජනාධිපති වූ පසු රනිල්ගේ ලී-බැරල් කම මුළු ලෝකයටම පැහැදිලි වනු ඇත. 

රනිල් ජනාධිපති වී ටික වේලාවෙකින් ගෝල්ෆේස් පිට්ටනියේ බණ්ඩාරනායක පිළිරුවෙන් එහාට කිසිවෙකුට ඇතුළු විය නොහැකි යයි අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබේ. 

ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නටම ය. 

මැතිවරණයකින් තොරව පවතින අර්බුදයට පවතින පාර්ලිමේන්තුව තුලින් විසඳුමක් සොයා ගත නොහැකි බව දැන් කාට කාටත් තහවුරු විය යුතුය. එනම් අරගලය ඉක්මන් මැතිවරණයක් දිනා ගැනීම සඳහා යොමු විය යුතු කාලය පැමිණ තිබේ.   

-මාණ්ඩලික වාර්තාකරුවෙක් විසිනි

---------------------------
by     (2022-07-20 12:00:09)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links