~

මධ්‍යම අධිවේගයේ ‘ප්‍රේත’ දෝෂය.!

-නාමිනි විජේදාසගේ ලිපිය සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2022.ජුනි.10, ප.ව.8.40) රඹුක්කන සිට ගලගෙදර දක්වා යෝජිත කිලෝ මීටර් 20 මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන අදියරට (CEP3) අදාලව කිසිදු පාර්ශවයකට කිසිදු කොන්ත්‍රාත්තුවක් ලබා දීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සඳුන් තුඩුගල හා රේණුක සම්පත් ලියන්දෙණිය විසින් පෞද්ගලිකව ගොනු කරන ලද මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස බදු ගෙවීමට මෙන්ම ප්‍රවාහන වියදම් දැරීමට, ණය වාරික සහ රාජ්‍ය ණය ගෙවීමට සිදු වන මහජනතාව වෙනුවෙනි. 

මාර්ග සංවර්ධන අධිකාරිය (RDA); මහාමාර්ග ඇමැතිවරයා; ව්‍යාපෘතිය සඳහා ලංසු තැබූ ලංකා යටිතල පහසුකම් සංවර්ධන ආයතනයේ (LIDC) කොටස්කරුවන් වන පුද්ගලික සමාගම් පහ; සහ තරගකාරී ලංසුකරුවන් වූ චීනයේ M.C.C. International Incorporation Ltd, සහ Metallurgical Corporation of China Ltd සහ නීතිපතිවරයා ද නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

නීතිය උල්ලංඝනය කරමින් කඩිනම් කිරීමෙන් වන හානිය..

"රජයේ ප්‍රසම්පාදන හා/හෝ ගිවිසුම් සඳහා නැවත ගෙවීමේ බර දැරීමට සිදු වන” තමන් ඇතුළු මහජනතාවට මෙම CEP3 ව්‍යාපෘතියේ ආර්ථික ශක්‍යතාව පිළිබඳව බලවත් කනස්සල්ලක් ඇති බව පෙත්සම්කරුවෝ කියා සිටිති. 

තමන් ඇතුළු රටේ සමස්ත ජනතාව මත අති දැවැන්ත මූල්‍යමය කැපවීම් සහ ණය ආපසු ගෙවීමේ බර පැටවී තිබිය දී මෙම ව්‍යාපෘතියේ ආර්ථික ශක්‍යතාව ආන්තික බව ඔවුහු පවසති.

"විශේෂයෙන්ම වර්තමාන ආර්ථික පරිහානියේ පසුබිම තුළ ඉතා සැලකිය යුතු ලෙස වැඩි වූ උද්ධමනය හා පිරිවැය යටතේ" CEP3 ව්‍යාපෘතිය කඩිනම් කර ගැනීමේ උත්සාහයන් පවතින බව තමන් විශ්වාස කරන බව පෙත්සම්කරුවෝ පවසති.

“අධිවේගී මාර්ගයේ මෙම විශේෂිත කොටස නීතිමය ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් කඩිනම් කිරීම තුළින් පෙත්සම්කරුවන්ට සහ රටේ ආර්ථිකයට සිදු වන බරපතල හානිය සැලකිල්ලට ගත් විට,” පෙත්සම්කරුවන්ගේ [නීතිමය] ක්‍රියාමාර්ගය මහජන යහපත ස්ථාපිත කිරීම උදෙසා වේ.

පුද්ගලික අංශයේ තරඟකාරී ලංසුකරුවන් දෙදෙනා විසින් ඔවුන්ගේ යෝජනාවලට පක්ෂව සහ විපක්ෂව ප්‍රසිද්ධ කරන ලද ලිපි සහ ප්‍රකාශ පිළිබඳව පෙත්සම්කරුවන් විසින් සඳහන් කර තිබේ.

නීති විරෝධී ප්‍රසම්පාදන මිල කැඳවුම් ක්‍රියාවලියක්..

“ඕනෑම අවස්ථාවක මෙම ව්‍යාපෘතියට අදාලව මහජනයා අතර ලිපි හුවමාරු කිරීම සම්මුතියකට ලක් වූ නීති විරෝධී ප්‍රසම්පාදන මිල කැඳවුම් ක්‍රියාවලියක් පිළිබඳ තහවුරු කිරීමක් පිළිබිඹු කරන බවත්, ව්‍යාපෘතියේ මේ කොටස සඳහා උද්ධමනය වූ පිරිවැයකින් ලංසු තැබීමෙන් ශ්‍රී ලංකාවේ මහජනතාවට මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභයක් සිදු නොවන බවත්" පෙත්සමේ සඳහන් වේ.

CEP3 හා අදාල වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය, පිරිවැය, ආයෝජනයේ ප්‍රතිලාභ සහ මුදල් උච්චාවචනය පිළිබඳ තොරතුරු ලබා ගැනීම මහජන යහපත සඳහා බව පෙත්සම්කරුවෝ අවධාරණය කරති. එහෙත්, තවත් කරුණු මෙන්ම, ලංසුකරුවන්ගේ පූර්ව සුදුසුකම්, ගිවිසුම් ගත විස්තර හෝ මිල ඉහළ යාම පිළිබඳ ඇඟවීමක් හෝ දක්නට නැත. CEP3 නිල වෙබ් අඩවිය 2022 මැයි වන විට මකා හෝ ඉවත් කර‍ තිබේ.

අවුරුදු 15 ක් යනතුරු ඉහගෙන කන්න ඉඩ දීලා..

බලධාරීන් විසින් සමාගම්වලට BOO හෝ BOT ව්‍යාපෘති සඳහා ආයෝජකයින් ලෙස ආරාධනා කර ඇති අතර, ආපසු ගෙවීමේ ක්‍රමයක්, ආපසු ගෙවීම, සහ වසර 15 ක් නඩත්තු කිරීම මගින් මූල්‍ය ප්‍රසම්පාදනය කර ගැනීමට ඔවුන්ට ඉඩ ලැබේ.

"අරමුදල් සපයන ප්‍රසිද්ධ මූල්‍ය ආයතනවල සාමාන්‍ය නිල අරමුදල් මාර්ග මගහැර යාම, සහ පුද්ගලික මූල්‍ය ආයතන මගින් මුදල් ලබා ගැනීම නිසා මුදල් අවප්‍රමාණය වීමේ අවදානම සමග ඉහළ පොලී අනුපාතයකින් ගෙවීමට සිදු වන බව පෙත්සම්කරුවන් සත්‍ය වශයෙන්ම විශ්වාස කරන බව" ඔවුන් අධිකරණයට ප්‍රකාශ කර ඇත.

RDA ඉංජිනේරුවරයාගේ ඇස්තමේන්තුවට සහ මූල්‍ය ඇගයීමට පටහැනිව, පිරිවැය ඉහළ යාම පදනම් කර ගනිමින් මෙම CEP3 ව්‍යාපෘතිය ඉදිරියට යන්නේ නම්, එය අසාධාරණ ලෙස වගඋත්තරකරුවන් පොහොසත් කිරීමකි; පෙත්සම්කරුවන්ට හා මහජනතාවට හානි කිරීමකි.

- 2022 ජුනි 5 වන දින The Sunday Times වෙබ් අඩවියේ පළ වූ, Namini Wijedasa ලියූ, ‘Public interest petition seeks a halt to Central Expressway Section 3 contracts’ නම් වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2022-06-10 15:39:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links