~

ගෝටා - රනිල් ආණ්ඩුව සංචාරක කර්මාන්තයේ මිනීපෙට්ටියට ඇණ ගැසීම හෙවත් එරෝෆ්ලොට් ආරවුලේ කතාව..!

-වීරනන්දාබාහු ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.ජුනි.06, ප.ව.6.30) තනි කකුලේ අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ රුසියානු ආණ්ඩුවට යැවූ අපුරු පණිවිඩයක් ජනමාධ්‍යට වාර්තා වුණේ ය. ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණයේ වාරණ නියෝගයක් මත රඳවා ඇති එස්.යූ. 287 දරණ ගුවන් යානය “වාණිජ ආරවුලක්” නිසා සිදුවූ බව මේ අපූරු පිං අගමැතියා රුසියාවට දැනුම් දී ඇත. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ එකම එක ආසනයක් නියෝජනය කරමින් රටේ අගමැති තනතුරේ ලැග සිටින රනිල් වික්‍රමසිංහගේ මේ ‘රුසියානු සමූහාණ්ඩුවට’ කෙරුණු දැනුම් දිමෙන් පෙනෙන්නේ වසර 2005 දී මංගල සමරවීර ඔහු ‘මිස්ටර් බීන්’ වර්ගයේ කවටයෙකු ලෙස හැඳින්විම අර්ථාන්විත බවකි. 

තහනමට එරෙහි තහනම..

පසුගිය මාර්තුවේ රුසියාව යුක්‍රේන් යුද්ධය ආරම්භ කරද්දීම ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් එම රටට එරෙහිව බරපතල ආර්ථික සම්භාධක පැනෙව්වේ ය. එයින් එක් සම්භාධකයක් වූයේ රුසියාවට ගුවන් යානා අමතර කොටස් අලෙවිය තහනම් කිරීමය. ඒ අනුව රුසියාව තුල තිබූ බෝයිං හා එයාර් බස් සමාගම්වල නිෂ්පාදිත ගුවන්‍ යානා බරපතල නඩත්තු ගැටළුවකට මුහුණ දුන්නේ ය. රුසියාව මෙයට පිළිතුරු දුන්නේ ඒ වනවිටත් රුසියන් ගුවන් සමාගම් කල්බදු ක්‍රමයට බටහිර සමාගම්වලින් ලබාගෙන තිබූ ගුවන්‍ යානා 100 කට අධික ප්‍රමාණයක් ආපසු දීම තහනම් කිරීමය. 

ගුවන් යානා යලි අත්කර ගැනීමට ක්‍රම..

මේ ඇමෙරිකානු සම්භාධක හා ඊට රුසියානු ප්‍රතිචාරවලින් ගුවන්‍ යානා කල්බදු ක්‍රමයට දෙන සමාගම් බරපතල ප්‍රශ්නයකට මුහුණ දුන්නේ ය. එයින් එක් සමාගමක් වූයේ අයර්ලන්තයේ ලියාපදිංචි කර ඇති සෙලෙස්ටියල් ගුවන්‍ අලෙවි සමාගමය. බටහිර දේශපාලන බලවතුන්ගේ අනුදැනුම ඇතිව අයර්ලන්ත සෙලෙස්ටියල් සමාගම මෙන්ම අනෙකුත් ගුවන් යානා ලීසින් සමාගම් ස්වකීය ගුවන් යානා යලි අත්කර ගැනීමට ක්‍රම සොයන්නට පටන් ගත්තේ පසුගිය මාර්තුවේ පටන් ය. කිසිම බටහිර රටකට රුසියානු ගුවන් යානා ගොඩබැස්සවීම තහනම් කර ඇති නිසා මේවා යලි අත්කර ගැනීම දුෂ්කර කටයුත්තක් විය. 

ලංකාවෙන් දුන් කඩවුනු පොරොන්දුව..

මේ පසුබිම නිසා  රුසියානු ගුවන්‍ යානා ස්වකීය ගමනාන්තයේ යෙදෙන රටේ බලධාරීන්ගෙන් තම යානා රඳවා නොගන්නා බවට ස්ථිරසාර පොරොන්දුවක් නැති කිසිම රටකට ගුවන් යානා නොයැව්වේ ය. ඒ බව රුසියානු ආණ්ඩුව එස්.යූ. 289 වෙනුවෙන් නිකුත්කළ නිවේදනයේ සඳහන් ය. රුසියානු නිවේදනය අනුව පසුගිය මාර්තුවේ දී ලංකාවේ බලධාරීහු මේ රඳවා නොගැනිමේ පොරොන්දුව දුන් නිසා මාර්තුවේ පටන් රුසියානු ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් යානා ලංකාවට පැමිණියේ ය. ඒ නිකම්ම නොවේ පණ අදින ලංකාවේ සංචාරක කර්මාන්තයට ප්‍රාණ වායුව පිඹිමිනි. 

අසෝක් පතිරගේ සහ රිචඩ් නටොල්..

ඇමෙරිකානු වුවමනාවන් ලංකාව තුල ක්‍රියාත්මක වනු මුලින්ම දකින්නට ලබුනේ පසුගිය මාර්තු 26 වෙනිදාය. ඒ ශ්‍රී ලංකා ගුවන් සේවයට ලාභදායි ගුවන් ගමනක් වු කොළඹ - මොස්කව් ගුවන් ගමන් හිටි අඩියේ නතර කිරීමෙනි. ගෝටා ආණ්ඩුව ශ්‍රී ලංකා ගුවන් සේවයේ සභාපතිවරයා හැටියට පත් කළේ රාජපක්ෂ පවුලේ මුදල් පාලකයෙකු වන අසෝක් පතිරගේ ය. අසෝක් පතිරගේ ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා හැටියට බ්‍රිතාන්‍ය ජාතික රිචඩ් නටොල් බඳවා ගත්තේ ය. ගුවන් සේවයේ මොස්කව් ගමන තහනම් කෙරෙන්නේ මින් පසුවය. ගෝටා ආන්ඩුව මෙන්ම එහි ගජ මිතුරෝ ද රට වලපල්ලට යන්නේ නම් මිනී පෙට්ටි සාප්පු දාන වර්ගයේ තක්කඩි රැලකි. රාජපක්ෂ පවුලේම සමිප නෑයෙකු හා  මොස්කව් හි හිටපු ලංකා තානපතියෙකු හා කුප්‍රකට මිග් ගනුදෙනුවේ කොටස්කාරයෙකු වන උදයංග වීරතුංග ගෝටාබය රාජපක්ෂ ගැන මේ වර්ගයේ අදහස් ලියා තිබුනේ ය. 

“ඕවා අපේ වැඩ නොවේ. උසාවියේ වැඩ”

ලංකා - රුසියානු සබඳතා විනාශ කිරිමට මෙන්ම පණ අදිමින් තිබෙන ලංකාවේ සංචාරක කර්මාන්තයේ මිනිපෙට්ටියට ඇණ ගසන්නට මේ අමන පාලක රැල යටතේ යලිත් උත්සාහ කරන්නේ ය.  ඒ පසුගිය දෙවැනිදා එරොෆ්ලොට් යානය ලංකාවේ සංචාරයට පැමිණි මගීන් 191 සමඟ රඳවා ගනිමිනි. මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන තක්කඩිකම යලිත් තහවුරු කෙරෙන්නේ ය. ස්වකිය මාමා වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ලවා ස්ත්‍රී දූෂනයකට වරදකරු වු ඔහුගේ දේශපාලන හෙන්චයියෙකු වූ ගෝනවල සුනිල් නම් මැරයාට මුල්ම ජනාධිපති සමාව ලබා දුන් රනිල් වික්‍රමසිංහ දැන් වැදගත් නීතිගරුකයෙක් වී “ඕවා අපේ වැඩ නොවේ. උසාවියේ වැඩ” රුසියාවට ලියා දන්වන්නේ ය.

නීතිපතියේ ඔලමොට්ටලයෝ.. 

එරොෆ්ලොට් යානය රඳවා ගැනීමේ දෙවැනි වැදගත් කාරනය වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ මොට්ට නිලධාරීන්ගේ හැසිරීම ය. අත්‍යාවශ්‍ය බෙහෙත් ගේන්නට විදේශ විනිමය නැති රටකට මුදල් ගෙනෙන සංචාරකයන් හා ඔවුන් පැමිණි ගුවන්‍ යානය රඳවා ගැනීමට නියෝග කිරීම රටේ ආර්​ථිකයට කවර තරමක හානියක් දැයි සිතීමට අලුත්කඩේ නීතිඥයෙක් නොව එහි තැඹිලිකපන්නෙක් පවා දන්නා කාරණයකි. එසේ තිබියදී පගා මරුවන් වන උසාවි පිස්කලයන් නියෝග රැගෙන කටුනායක දුවන්නට ඇත්තේ සාක්කුවලට පගාව ඔබමින් ය. 'රටට කෙළවුනත් මගේ මගේ මඩිය පිරෙනවා' ප්‍රතිපත්තිය මෙහි ඇති සරළ දර්ශණයයි. 

සෙලෙස්ටියල් සමාගම පගා මරුවන් රැලක් සිටින රටක්ම තෝරා ගනී..

තෙවනුව මෙහි එක් වග උත්තරකරුවෙකු  විය යුත්තේ සිවිල් ගුවන් සේවාවේ සභාපතිවරයා ය. එසේත් නැතිනම් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ය. එහෙත් මෙහි එක් වග උත්තරකරුවෙකු හැටියට ගුවන් සංචරන අංශයේ [එයාර් ට්‍රැෆික්] ප්‍රධානියා නම් කිරීමෙන් මේ විනාශයට පගා මරුවන් රැලක් එකතු වී ඇති බව පැහැදිලිය. අයර්ලන්ත සෙලෙස්ටියල් සමාගම මේ කටයුත්තට වෙන රටක් තෝරානොගෙන ලංකාවම තෝරා ගන්නට ඇත්තේ මේ දේශපාලන හා පරිපාලන අර්බුදයක පවතින රටක දී වැඩේ පහසුවෙන් කරගන්නටය. 

ලංකාවේ ප්‍රධාන තේ මිලදී ගන්නා රටක් වූ රුසියාව, ලාබෙට තෙල් ලබා ගතහැකි රටක් වූ රුසියාවට මේ කණේ පාර දීමේ ප්‍රතිඵල භුක්ති විඳිනු ඇත්තේ ගෝටා- රනිල් බාන හා පගාමරු නිලධාරී රංචුව නොවේ. මුළු රටම ය. 

-වීරනන්දාබාහු

පසු සටහන:

රුසියානු “ඒරෝෆ්ලොට්” ගුවන් සේවයට අයත් ගුවන් යානය ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අද(06) කොළඹ වාණිජ මහාධිකරණය විසින් අත්හිටවනු ලැබුවේය. ඒ එම වාරණ නියෝගය සම්බන්ධව කරුණු දැක්වීමට නීතිපතිවරයා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරනු ලැබීමෙන් පසුව ය. නමුත් ඒ වන විට විය යුතු දේ සිදු වී හමාරය. රුසියාවේ සිටින ලංකාවේ තානාපති කැඳවා අම්මා මෝ නැතිවෙන්න බැන වැදී හමාරය. රුසියාව වෙනත් යානයක් එවා ලංකාවේ සිටි සියළුම රුසියානු සංචාරකයන් සිය රට කැඳවාගෙන හමාරය. හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටී හමාර ය.

---------------------------
by     (2022-06-06 13:21:25)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links