~

මහජන ආරක්ෂක ලේකම් ජෙනරල් ජගත් අල්විස් අගවිනිසුරුට යැවූ ලිපි දෙකම අධිකරණයට අපහාසයක්..! නීතිපති නඩු දානවා වෙනුවට ඩීල් දාලා..! නඩු නොදාන්නේ ඥානක්කා නිසා ද?

-LeN අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවක්

(ලංකා ඊ නිව්ස් -2022.මැයි.23, පෙ.ව.6.35) මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් විසින් විරෝධතාවලට අදාළව විභාග වෙමින් පවතින නඩු සම්බන්ධයෙන් අධිකරණයේ කටයුතුවලට ඇඟිලි ගැසීමට උත්සාහ කළේද යන්න පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් අගවිනිසුරුවරයාගෙන් සහ නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ජගත් අල්විස් අගවිනිසුරුවරයාට යැවූ ලිපියක් මගින් රට පුරා පවතින විරෝධතා හමුවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී පොලිසිය මුහුණ දෙන අභියෝග සහ බාධාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහා අවස්ථාවක් ඉල්ලා සිටි ඇත. මැයි 09 වැනි දින ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රචණ්ඩත්වයට, විරෝධතා වැළැක්වීමට වාරණ නියෝග නොදුන් පහළ අධිකරණ විනිසුරුවරුන් වගකිව යුතු යැයි චෝදනා කරන ජගත් අල්විස් පහල අධිකරණ විනිසුරුවරුන්ට එසේ කරන ලෙස උපදෙස් දෙන ලෙසත් අගවිනිසුරුට යැවූ ලිපියේ සඳහන් වේ.  

සම්පුර්ණයෙන්ම අධිකරණයට අපහාස වන අන්දමේ ලිපියක් එවීම සම්බන්ධයෙන් ජගත් අල්විස්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් සහිතව අගවිනිසුරුවරයා එම ලිපිය නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

නීතිපති නඩු දානවා වෙනුවට ඩීල් දාලා..

එසේ නමුත් රාජපක්ෂ සට්ටැඹියෙකු වන නීතිපති සංජය රාජරත්නම් ජගත් අල්විස්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පවරනවා වෙනුවට ජගත් අල්විස් අමතා උපදෙස් දී ඇත්තේ ලෙඩක් වැටෙන්නට යන බැවින් යැවූ ලිපිය ගැන සමාව ඉල්ලා යලිත් අගවිනිසුරුට ලිපියක් යවන ලෙසයි.

තක්කු මුක්කු වූ ජගත් අල්විස් අගවිනිසුරුට රාජරත්නම්ගේ උපදෙස් පරිදි සමාව ඉල්ලා තවත් ලිපියක් අගවිනිසුරුට යොමු කර ඇත. මුල් ලිපිය නීතිපතිවරයාට යැවූ එකක් බවත් එය වැරදීමකින් අගවිනිසුරුවරයා වෙත ලබා දී ඇති බවත් ඒ පිළිබඳ සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරමින් අතපසුවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවද ජගත් අල්විස් යැවූ දෙවන ලිපියේ සඳහන් වේ.

ජගත් අල්විස් සහ ඔහුගේ ඇමැතිවරයා වූ සරත් වීරසේකර යටතේ පොලිසියට එරෙහිව මහ ජනතාවගේ දැඩි කලකිරීමක් ඇතිවීමට හේතුව පසුගිය කාල සීමාව තුළ පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වීම බව පසුගිය දා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න  ලිපියක් මගින් පෙන්වා දී තිබුණේ එම දිනවලදීමය.

ගෝටා ගෝ ගමට ප්‍රහාරය පිනිස පැමිණෙමින් සිටි රාජපක්ෂ මැරයින් නතර නොකරන ලෙස නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට දන්වන ලද්දේ ද මෙම ජෙනරල් ජගත් අල්විස් බව මාධ්‍ය වාර්තා කළේය.

ජගත් අල්විස් අගවිනිසුරුට යැවූ ලිපි දෙකම අපහාසයක්..

නීතිඥ සංගමය විසින් යවන ලද ලිපිය පෙන්වා  දෙන්නේ ජගත් අල්විස් අධිකරණයේ කටයුතුවලට ඇඟිලි ගැසීමට උත්සාහ කර ඇති බවට පළ වූ වාර්තා සත්‍ය නම් එය අධිකරණයට කරන ලද අපහාසයක් ලෙස සැළකිය යුතු බවයි.

ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ජනාධිපති නීතිඥවරයෙකු කියා සිටියේ අමාත්‍යාංශ ලේකම්වරයෙකු විසින් වැරදීමකින් හෝ අගවිනිසුරුවරයාට බලපෑම් කරන ආකාරයේ ලිපි නොයවන බවත් ජගත් අල්විස් යවන ලද ප්‍රථම ලිපියම අධිකරණයට අපහාසයක් වන අතර ඒ පිළිබඳ සමාව ඉල්ලා ලිපියක් යැවුයේ නම් එයද අගවිනිසුරුවරයා නීතිපතිවරයාට යැවිය යුතු අතර ජගත් අල්විස්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පවරද්දී දෙවන ලිපිය ඊට ඇමිනිය යුතු බවයි. මන්ද යත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක දී චුදිතයා සමාව ඉල්ලිය යුතු වන්නේ ඒ පිළිබඳ අගවිනිසුරුට ලිපි යවා නොව විවෘත අධිකරණයේ දී ය. එබැවින් වහාම අගවිනිසුරුවරයාත් නීතිපතිවරයාත් සිද්ධිය යට නොගසා නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපති නීතිඥවරයා පවසයි.  

නීතිඥ සංගමයේ ලිපියට මේ තාක් පිළිතුරක් ලබා දී නැති නීතිපති සංජය රාජරත්නම් යනු රාජපක්ෂලාගේ සට්ටැඹියෙක් බව මුළු ලෝකයම දන්නා දෙයකි. නමුත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය සම්බන්ධයෙන් ලෝකයා නොදන්නා දෙයක් අපි හෙළිකරමු. 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ‍ගැනත් රහසක්..

අගවිනිසුරු ජයන්ත ජයසූරිය වනාහී ගෝඨාභය උපදෙස් ගන්නා අනුරාධපුරේ ඥානක්කා නමින් හඳුන්වන ඥානවතී නම් පැන්ෂන් ඇටන්ඩන් කපටි ගැහැණියගේ දැඩි බැතිමතෙකි. ඥානක්කා තම බැතිමතුන් වර්ග තුනකින් ශ්‍රේණිගත කර ඇත. ඇය දෙන රතු නූල් බඳින්නේ එම බැතිමත් බවේ ශ්‍රේණි අනුව ය. අහෝ.. අප රටේ අගවිනිසුරුවරයා ඥානක්කාගේ රතු නූල් 3 ක්ම පැළැඳ සිටින අග්‍රගන්‍ය ශ්‍රේණියේ බැතිමතෙකි. අගවිනිසුරු ජයන්තට අපි අභියෝග කරමු. හැකිනම්  අනෙකුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ තමාගේ  කෝට් එකේ සහ ෂර්ට් එකේ දිගු අත් නවා පෙන්වා 'මා අතේ රතු නූල් නැතැයි' කියා ඔප්පු කරන ලෙස අභියෝග කරමු. 

රටේ විධායකය ජනාධිපති ගෝටාබයට උපදෙස් දෙන්නේ ඥානක්කා ය. ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා හිටපු අගමැති මහින්ද රාජපක්ෂට උපදෙස් දෙන්නේ ඥානක්කාය. විමල් ගම්මන්පිල ඇතුළු මැති ඇමැතිවරු රැසකට උපදෙස් දෙන්නේ ඥානක්කා ය. හමුදාපතිවරයාට උපදෙස් දෙන්නේ ඥානක්කා ය. අහෝ අධිකරණයේ ඉහලම තැන උපදෙස් ගන්නේ ද ඥානක්කාගෙනි. මෙවැනි රටක් බංකොලොත් නොවුනොත් පමණක් පුදුම විය යුතු නොවන්නේ ද?

මේ තත්ත්වය යටතේ රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කළා කියා හිරේ දැම්මා ට විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්ට අධිකරණයට අපහාස කළා කියා නඩුවක් හෝ වැටේවියැයි සිතිය නොහැකි ය. 

-LeN අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාකරුවෙක් විසිනි.

---------------------------
by     (2022-05-23 01:08:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links