~

ආදරයෙන් ලියමි..! කර්මය පටිසන් දෙමින් තිබේ..!!

-පාලිත රංගේ බණ්ඩාරගෙන් අපූරු ලියුමක්

(ලංකා ඊ නිව්ස් -2022.මැයි.23, පෙ.ව.3.40) කර්මය පටිසන් දෙමින් තිබේ. එය කරුමයක් ලෙස දකින්නට හෝ චමල් රාජපක්ෂලාට බුද්ධිය පහළ වීම පිළිබද අගය කරමි. මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම සම්බන්ධයෙන් සහ තමා ඇතුළු රාජපක්ෂලාගේ නිවාස හා දේපොල ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් දාර්ශනික අදහස් සහිත කරුණු දැක්වීමක් පසුගියදා චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලදී. කෙසේ වෙතත් ඔවුන්ට දුක අවබෝධ වී ඇත්තේ කරුමය පටිසන් දීමෙන් අනතුරුවයි. එමෙන්ම ඔවුන්ගේ වරද වන්නේ අනෙකාගේ දුක අවබෝධ කරගැනීමට අසමත් වීමයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූර වාර දෙක අවසන් වීමෙන් අනතුරව දේශපාලනයෙන් අත්මිදුනේ නම් වඩාත් හොද බවද ඔහු පවසන ලදී. සත්‍ය ජනතාව තේරුම් ගෙන තිබුණත් රාජපක්ෂවරුන්ට එය වැටහී ඇත්තේ කාලය ඉක්මයාමෙන් පසුවයි. කෙසේ වෙතත් චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද පසුගියදා ප්‍රදර්ශනය කරන ලද්දේ මමත්වයේ තරමයි. ඔහුගේ හෝ පවුලේ හෝ නිවසක් දේපළක් හෝ ගින්නට හසු නොවුනානම් ඔහු ද එවැනි ප්‍රකාශයක් සිදුනොකරනු ඇත. ඒ අනුව අරගලය ලබා ඇති තවත් ජයග්‍රහණයක් වන්නේ කිසිදා සත්‍ය අවබෝධ කරනොගත් රාජපක්ෂලාට යම් දුරකට හෝ සත්‍ය මෙය යැයි අවබෝධ කර දීමට යම් ආරම්භයක් ලබාදී තිබීමයි.

මාගේ නිවස සහ කාර්ලයාලය ගිනි තැබුවේ සනත් නිශාන්ත ඇතුළු මැර කල්ලියකි

නිවසක් දේපළක් ගිනි තබා විනාශ කිරීම එක්සත් ජාතික පක්ෂය හෝ පුද්ගලිකව මා ද අනුමත නොකරමි. කෙසේ වෙතත් දේශපාලන හේතූන් මත මේ දක්වා ගිනි ගැනීමට ලක්වූ නිවාස හා දේපළ කොතරම්ද යන්න රාජපක්ෂලා නොදන්නවා විය හැකිය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් අබමල් රේණුවක තැකීමක් සිදුනොකළා විය හැකියි.

මාගේ හලාවත, මාදම්පේ පිහිටි නිවසද ආණමඩුව කාර්යාලයද 2009.10.04 දින දේශපාලන ත්‍රස්තවාදය විසින් ගිනිබත් කරන ලදී. එහි වගකිව යුත්තෝ ද රාජපක්ෂ ගෝලබාලයින්ය. මාගේ නිවස සනත් නිශාන්ත ඇතුළු මැර කල්ලියක් විසින් ගිනිබත් කරන ලද අතර, එම පීඩනය හමුවේ මා දරුවන් සමග විදි පීඩාව කොතරම්දැයි මේ මොහොතේ පැහැදිලි නොකරමි. කෙසේ වෙතත් දේශපාලන ත්‍රස්තවාදය විසින් සිදුකළ මේ අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළෙමි. එවකට කතානායකවරයා වූයේ පසුගියදා මහා දුක්ගොන්නක් සභාවට ඉදිරිපත් කළ චමල් රාජපක්ෂයි. එදා මා මුහුණ දී සිටින තත්ත්වය පාර්ලිමේන්තුවට පැහැදිලි කරමින් සිටි අවස්ථාවේ රූපවාහිනී විකාශය පවා චමල් රාජපක්ෂ විසින් අත්හිටුවන ලදී. ඒ සත්‍ය ලෝකය දැනගැනීම වැලැක්වීම සදහායි.

මගේ දුක කියන්නවත් චමල් රාජපක්ෂ ඉඩ දුන්නේ නෑ..

කෙසේ වෙතත් එදා මා මුහුණ දුන් තත්ත්වය පිළිබද පැහැදිලි කරන අවස්ථාවේ උත්තරීතර කතානායක අසුනේ සිටියේ චමල් රාජපක්ෂය. එහෙත් ඔහු අද එම අසුනේ නැත. නමුත් එදා මා සිටි ආසන පේළියේ සිට රාජපක්ෂවරුන්ට අද සිදුව ඇති දුක්ගැනවිල්ල පැවැසීමට චමල් රාජපක්ෂට සිදුව ඇත. එයද දෛවයේ සරදමකි.

2009.11.02 දින මා පවුලේ සාමාජිකයින්ද සමග සිදුව ඇති අසාධාරණය කියාපැම වෙනුවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ සාමකාමී ලෙස විරෝධතාවක නිරත වූයෙමි. එම අවස්ථාවේ චමල් රාජපක්ෂ කතානායකවරයා පාර්ලිමේන්තුවට ඇතුළු වූයේ සම්පූර්ණ පොලිස් බලඇණියකින් මා ඇතුළු පවුලේ පිරිස ආවරණය කිරීමෙන් අනතුරුවයි. අප සැම නොපෙන ලෙස පාර්ලිමේන්තුවට ඇතුළු වීම ඔහුගේ අරමුණ වූ බව පැහැදිලිය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ හෝ මවෙත එම දුක්ගැනවිල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නිසි අවස්ථාවක් ඔහු විසින් ලබාදුන්නේ නැත. ඒ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයයි. මාගේ නිවස ගිනි තැබීම යන්න එක් කාරණයක් පමණකි. එය උලුප්පා දක්වමින් වාසි ලබාගැනීම මාගේ වෑයම නොවන බවද සිහිපත් කරමි. කෙසේ වෙතත් එම සිද්ධිය මාගේ අත්දැකීමක් වන බැවින් ද රාජපක්ෂලාගේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය පැහැදිලි කිරීම සදහා මා සතුව ඇති හොදම අත්දැකීම එය බැවින්ද එය උදාහරණයක් කොට ගනිමි. 

රංගයාට ගලක් ගහන්නවත් පුත්තලමේ ඉන්න මගේ සගයා..

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මා සමග සිදුකළ කාරණයක්ද මේ මොහොතේ සදහන් කරමි. සනත් නිශාන්තට නීතිමය පියවර නොගන්නා ලෙසද රංගයාට ගලක් ගහන්නවත් පුත්තලමේ තමන්ට සිටින එකම සගයා සනත් නිශාන්ත පමණක් බවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවැසූ බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මා සමග පවසන ලදී.

2005 සිට 2015 දක්වා පැවැති රාජපක්ෂ ආණ්ඩුව සමයේ ගිනි ඇවිලුනේ මාගේ නිවසට පමණක් නොවේ. ඒ සියළු දෙනාට සාධාරණය ඉටුවිය යුතු බවද මේ‌ මොහොතේ අවධාරණය කරමි. මන්දිරවල සිට පැල්පත් දක්වා අප රටේ පවතින වාසස්ථාන සියල්ල මිනිසුන්ට සෙවණ දෙන මහතු හා උතුම් සම්පත්ය. ඒ සෑම තැනකම වෙසෙන්නේ මිනිස් සත්ත්වයින්ය. එය අවබෝධ කරගැනීමට රාජපක්ෂවරුන් අසමත් වූ බව ඉතා පැහැදිලි කරුණකි. එමෙන්ම එකී දුක චමල් රාජපක්ෂ වැනි අයට අවබෝධ වී ඇත්තේ ඔවුන්ගේ මහා මංදිර ගිනි ගැනීමෙන් අනතුරුවයි. 

සනත් නිශාන්ත සහ ජගත් සමන්තට දිට්ඨ ධම්මවේදනීය කර්මය..

මාගේ නිවසට හා තවත් නිවාස ගිනි තැබූ අයටද ගිනි තැබීමට උපදෙස් දුන් අයටද අද දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දී තිබේ. මාගේ නිවස ගිනි තැබූ සනත් නිශාන්ත සහ ජගත් සමන්ත යන අයට අද අත්වී ඇති ඉරණම එවැන්නකි. ඔවුන් බලයට පත්කරන ලද මිනිසුන් විසින්ම ඔවුන්ගේ නිවාස ගිනිතබා ඔවුන් පාරට ඇදදමා තිබේ. විවිධ දේ සිදුකිරීමට උපදෙස් ලබාදුන් රාජපක්ෂවරුන්ටද එම කර්මය පල දී ඇති අතර, ඔවුන් අද සිදුව ඇත්තේ බංකර තුළ සිරවී දිවිගෙවීමටයි. 

පුදුමයට කාරණය නම් අනෙකාගේ දුක පෙනි පෙනී අහක බැලූ චමල් රාජපක්ෂ වැනි අය අද කදුළු කතා පැවැසීමයි. එදා අනෙකාගේ දුක වෙනුවෙන්ද මෙවැනි පෙනී සිටීමක් සිදුවූයේ නම් අද ඔවුන්ට මේ ආකාරයේ චෝදනා එල්ල නොවනු ඇත. මේ දිට්ඨ ධම්මවේදනීය කර්මයයි. සොබාදහමේ නීතිය අප විසින් අවබෝධ කරගත යුතුය. සදාකල් කිසිවක් නැත. සියල්ල තාවකාලිකය. පරිස්සමෙන් සහ වගකීමෙන් ලැබෙන දේ භාවිත කළ යුතුය. බලය යනුද එවැනි උපකරණයකි. එකී උපකරණය රාජපක්ෂවරුන් භාවිත කළේ කෙසේද සොබාදහමේ ප්‍රතිවිපාකය ලැබෙන්නේද ඊට සමපාතවයි. 

දැන්වත් සත්‍ය තේරුම් ගත යුතුය. අපට අභියෝග ජයගත හැකි වන්නේ එවැනි ක්‍රියාකාරීත්වයක් තුළ පමණක් බව අවසන් වශයෙන් සදහන් කරමි.

පාලිත රංගේබණ්ඩාර

මහලේකම්
එක්සත් ජාතික පක්ෂය 

---------------------------
by     (2022-05-22 22:12:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links