~

පොහොට්ටු මන්ත්‍රී අතුකෝරල ඝාතනය වුනේ සිල් ගන්න ගිහිල්ලද? සුදු කරපටි චෞරයන්ගේ 'ඉහල කුලයේ දේශපාලනය' කුඩු පට්ටම් කළ යුතුය..!

-චන්ද්‍රප්‍රදීප් ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.මැයි.19, ප.ව.4.30)  9/5 පුරවැසි කැරැල්ලට හසුවී නිට්ටඹුවේ දී මරණයට පත්වූ පොලොන්නරුව දිස්ත්‍රික් පා.ම. අමරවීර අතුකෝරලගේ මරණය සියල්කොට්හි දී ඝාතනය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවාගේ ඝාතනයටත් වඩා අමානුෂික ලෙස කැරලිකරුවන් සිදුකළ ඝාතනයක් කියා පාර්ලිමේන්තුවේ සිටින සුදු කරපටි චෞරයන් විසින් සාවද්‍ය මතයක් ජනගත කරමින් සිටිති.

අතුකෝරල සහ ඔහුගේ අංග ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතාරණලාගේ ජයත්ත ගුණවර්ධන මිය ගියේ නිට්ටඹුවේ පන්සලක සිල් සමාදන්වීමකට සහභාගී වීමට ගොස් ගෙදර යද්දී නොවේ. 

'කොම්පඤ්ඤවීදියේ නූරක්කා' ගෙන් ආරම්භ කර...

රාජපක්ෂලා විසින් 9/5 උදෑසන ගෝල්ෆේස්හි නිරායුධ සාමකාමී තරුණයන්ට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වියරු වැටුණු ජනතාව රාජපක්ෂලාගේ ඒ මැරයන්ට එරෙහිව එම සැනින් ප්‍රතිප්‍රහාර එල්ල කෙළේ ය. රාජපක්ෂලාගේ ත්‍රස්ත කල්ලිය තිරශ්චීන අන්දමින් ප්‍රථමයෙන්ම පොලු වලින් පහර දුන්නේ කාන්තාවකට ය. 'කොම්පඤ්ඤවීදියේ නූරක්කා' නම් ඇය ඒ ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයකි. ඇය ගෝල්ෆේස් තරුණයන්ට නිතර පැමිණ උදව් උපකාර කළ තැනැත්තියකි. පහර කෑමට ලක් වූ ඇය දුරකථනයෙන් ඇය පදිංචි වත්තේ තරුණයන්ට මේ බව දැනුම් දුන් වහාම ප්‍රතිප්‍රහාර සඳහා කොම්පඤ්ඤවීදියේ නිර්ධන පංතියේ තරුණයෝ වහා එහි කඩා වැදුනාහ. ඒ සමගම සමාජ මාධ්‍ය හරහා සිද්ධිය නිරීක්ෂනය කරමින් සිටි අසල කාර්යාල වල තරුණ සේවකයෝ ද, අසල ඉදිකරමින් තිබෙන ගොඩනැගිල්ලක සේවය කරමින් සිටි කම්කරු තරුණයෝ ද, වරාය සේවකයෝ ද පැමිණ රාජපක්ෂ මැරයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ගෝල්ෆේස් නිරායුධ තරුණයන් බේරා ගත්හ. ඉන් නොනැවතුනු ඔව්හු අවට පොහොට්ටු මැරයන් පලා යන වාහන සොය සොයා පහර දුන්හ. බේරේ වැවට ඇද දැමූ රථ ඒවාය. ඒවායේ සිටි මැරයන් ද බේරේ වැවට ඇද දැම්මෝ ය. නමුත් ජනතාව තමන්ට හසුවූ එකදු මැරයෙක් හෝ මරා දැමීමට ගියේ නැත. බොහෝ විට සිදුකෙළේ පහරක් දෙකක් දී ඇඳුම් ගලවා දැමීමයි. ගස්වල බැඳීමයි. දණ ගැස්වීමයි. මේ තත්ත්වය රට පුරා පැතිර ගියේ ය.

අතුකෝරල විසින් වෙඩි තබා මරා දැමූ තරුණයා.. 

පහර දී පළා යන රාජපක්ෂලාගේ දේශපාලුවන් සහ කුලී මැරයන් සොයමින් වාහන නවතා පීරද්දී රථයකින් පලා යමින් සිටි මන්ත්‍රී අමරවීර අතුකෝරල නිට්ටඹුවේ දී ජනතාව තමන්ගේ රථය සෝදිසි කිරීමට පැමිණෙනු දුටුවේ ය. අමරවීර අතුකෝරාල දන්නා කියන ප්‍රසිද්ධ දේසපාලුවෙක්ද නොවේ. ඔහුගේ මුහුණ පවා ජනතාව දන්නේ ඔහු මිය ගිය පසුව ය. එසේ නමුත් අතුකෝරාල සහ ආරක්ෂකයා කෙළේ තමන් පරීක්ෂාවට එන ජනතාව දෙසට එක්වරම වෙඩි තැබීමයි. එහිදී මෝටර් සයිකලයක ගමන් ගනිමින් සිටි කල්එළිය හාපිටිගම පදිංචි ඉහළ ගමන්ගේ හර්ෂ නදීෂාන් ජයවීර  නමැති 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙකු අදටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

වෙඩි තබා පලා ගිය අතුකෝරාල සහ ආරක්ෂකයා ආසන්නයේ පිහිටි නිමි ඇඳුම් අලෙවි සල් ගොඩනැගිල්ලකට ඇතුළු වූ නමුත් එහි කොටුවිය. වෙඩි වැදී තරුණයෙකු මිය යෑමත් තරුණයන් දෙදෙනෙකු වෙඩි වැදී රෝහල් ගත කිරීමත් නිසා වියරු වැටුනු පිරිස කොටුවී සිටි අතුකෝරාලට සහ ආරක්ෂකයාට දරුණු ලෙස පහර දුන්හ. පහර කෑමෙන් අතුකෝරාල සහ ආරක්ෂකයා මිය ගිය අතර පශ්චාත් මරණ පරීක්ෂනයේ දී හෙළිවූයේ අතුකෝරාලට වෙඩි වැදී නැති නමුත් ආරක්ෂකයාගේ සිරුරේ උණ්ඩයක් තිබූ බවයි. එම උණ්ඩය ඔවුන්ගේම පිස්තෝලයෙන් නිකුත් වූවක් අතර පිස්තෝලය අතුරුදහන් ය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුකෝරාල මිය යන විට සාමාන්‍ය මිනිසෙක් නොව එක් අයෙක් ඝාතනය කොට තවත් දෙදෙනෙකුට මාරාන්තික තුවාල සිදුකළ මිනීමරුවෙකි.

අන් මරණ ගැන මීක් නැත..

සැබෑ සිද්ධිය එසේ වී නමුත් අද පාර්ලිමේන්තුවේ සුදු කරපටි චෞරයන් ශෝකය ප්‍රකාශ කරන්නේ පොහොට්ටු මන්ත්‍රී අමරවීර අතුකෝරාල පිළිබඳ පමණි. අතුකෝරාල විසින් ප්‍රථමයෙන් ඝාතනය කළ නිකම් පාරේ ගිය හර්ෂ නදීෂාන් ජයවීර තරුණයා ගැන මීක් නැත. දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටන් කරන තරුණයන් දෙදෙනා ගැන මීක් නැත. අඩුම ගණනේ අතුකෝරාල සමග මිය ගිය සැරයන් ජයන්ත ගුණවර්ධන ගැන හෝ මීක් නැත.

දේශපාලක ඉහල කුලයක්..

මෙයින් පෙන්නුම් කරන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නා දේශපාලුවන් සිතාගෙන ඉන්නේ තමන් වෙනම ඉහළ කුලයක අය බවයි. සත්‍ය වශයෙන්ම අද "දේශපාලකයා" කියා අන් සාමාන්‍ය ජනයාට නැති නීතිමය සහ අනීතික වරප්‍රසාද සහිත ඉහල කුලයක් ඔවුන් විසින් නිර්මාණය කරගෙන තිබේ. ඔවුන් ඉන්නේ රටේ සියල්ලටම වඩා ඉහලිනි. නීතියටත් ඉහලිනි. අඩුම ගණනේ මේ එකදු දේශපාලකයෙකු තමන් දේශපාලනයට ආ දා සිට කඩේකට ගොස් චොකලට්ටුවක් මිල දී ගෙන නැත. ඔවුන්ට ජනතාව ඉල්ලන්නේ කුමක්ද කියා වගේ වගක් නැත. 

එවැනි වගේ වගක් තිබුනා නම්, මැයි 6 වැනිදා වසර 69 කට පසු රට පුරා ජනතාව අති සාර්ථකව මහා හර්තාලයක් දියත් කර තිබිය දී ඒ ගැන හැඟීමක් තිබුනා නම්, මැයි 9 වැනිදා මසක් තිස්සේ ගෝල්ෆේස්හි පැවැති තරුණයන්ගේ සාමකාමි අරගලයට පහර දෙනවා තබා එවැන්නක් ගැන සිතන්නේවත් නැත.

එහි ප්‍රතිඵලය වූ 9/5 පුරවැසි කැරැල්ල ගැනද අද මේ සුදු කරපටි චෞරයන්ට හැඟීමක් නැත. තිබේ නම් තමන්ගේ කුලයේ අමරවීර අතුකෝරාලගේ මරණය පිළිබඳ පමණක් ශෝක වන්නේ නැත. 

ලංකාවේ පවතින මේ "ඉහල කුලයේ දේශපාලනය" කුඩු පට්ටම් කර දැමිය යුතුය. 

චන්ද්‍රප්‍රදීප්

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54 

---------------------------
by     (2022-05-19 12:32:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links