-මනුෂගෙන් විශේෂ ප්‍රකාශයක්
(ලංකා ඊ නිව්ස් -2022.මාර්තු.27, ප.ව.10.30) තවත් බලා ඉන්න බෑ: බොර දියේ මාළු නොබා පොදු ප්‍රතිපත්තියකට එකඟ වී රාජපක්ෂලා අතුගා දමා රට බේරා ගැනීමට සියලු පාර්ශවයන් සමග එක්ව ආණ්ඩු බලය ලබාගත යුතු යැයි පා.ම. මනුෂ නානායක්කාර අද සජබ පසුබිම් බැනරයකින් තොරව මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. ඔහු මෙහිදී කළ ප්‍රකාශ පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ දී සජිත් කී ඔහුගේ ප්‍රතිපත්තියට එනම් අපිට අවශ්‍ය ජනාධිපතිවරණයක් යැයි ප්‍රකාශයට පටහැනිය.
ලැබෙන පළමු අවස්ථාවේදීම රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවා, පාට පක්ෂ භේදයෙන් තොරව රටේ අර්බුද විසඳිය හැකි ස්ථිර ප‍්‍රතිපත්තියක් සකස් කර ඒ වෙනුවෙන් එක්විය හැකි සියලුම පාර්ශවයන් එක් කරගෙන ආණ්ඩුකරණය භාරගත යුතු යැයි මනුෂ නානායක්කාර වැඩිදුරටත් කීය.
පොදු ප‍්‍රතිපත්තියක් වෙනුවෙන් ආණ්ඩුකරණය භාරගැනීමේදී තමන්ගේ අරමුණු වෙනුවෙන් හෝ පටු දේශපාලනය වෙනුවෙන් හෝ කටයුතු නොකළ යුතු බවද මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා කීවේය.
රටේ ජනතාව හාමතේ මිය ගිය පසුව, රටේ ආර්ථිකය කඩාගෙන වැටුණ පසුව, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීමෙන් පසුව ආණ්ඩුකරණය ලබාගැනීමෙන් ප‍්‍රයෝජනයක් නොමැති බවද, ඒ නිසා වහාම විධායක ජනාධිපතික‍්‍රමය පැත්තකට දමා, විසි වැනි සංශෝධනය අහෝසි කර වෙනස් නොවන පොදු ප‍්‍රතිපත්තියක් වෙනුවේන සියලු දෙනාම එක්විය යුතු බවද මන්ත‍්‍රීවරයා පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.
"මේ වෙලාවේ කවුරුවත් ආණ්ඩු බලය ලබාගැනීමක්, පක්ෂ දේශපාලනයක් කරන්න, බොර දියේ මාළු බාන වෙලාවක් නෙමෙයි. මේ වෙලාවේ ජනතාව දැඩි ලෙස අසීරුතාවයට පත්වෙලා, පෝලිම්වල මැරී වැටෙන, තුන්වේල තියා දෙවේලක්වත් කන්න බැරි වෙලා ඉන්න වෙලාවක්. ධනවතුන්, මධ්‍යම පංතිය කඩාගෙන වැටෙන, දුප්පත් ජනතාවට කන්න බොන්න නැතිවෙන දුර්භාග්‍ය සම්පන්න කාලයක් උදාවෙලා තියෙන්නේ.
මේ වගේ වෙලාවක දේශපාලන ගේම් ගහන්නවත්, මේ හරහා වෙනත් බල තුලනයක් ඇති කිරීම නෙමෙයි විය යුත්තේ. මේ වෙලාවේ අපි සියලු දෙනාම එකට එකතුවිය යුතුයි. එකට එකතුවෙලා රාජපක්ෂලා එලවන්න කටයුතු කළ යුතුයි. එහෙම නැතිව පුද්ගලික ඉලක්ක වෙනුවෙන්, තම තමන්ගේ න්‍යායපත‍්‍ර අනුව කටයුතු කරන වෙලාවක් නෙමෙයි මේක.
සමහරු මඩ ගහලා තියෙනවා අපි දැක්කා. සමහරු විපක්ෂ නායකවරයාගේ කෑම වේල ගැන කතා කරලා තියෙනවා අපි දැක්කා. මේ මඩ ගහන්න වෙලාවක් නෙමෙයි.
දැන් සර්ව පාක්ෂික සමුළු කැඳවලා ප‍්‍රශ්ණ විසඳන්න කතා කරන, ඒත් ඒක පාර්ශවිකව ඉඳගෙන හොරකම් කරපු කණ්ඩායම මේ රටෙන් අතුගාදාන්න කටයුතු කළ යුතුයි. මිනිස්සුන්ට සාපයක් කළ රාජපක්ෂලා මේ බිමෙන් අතුගා දාන්න ඕන.
ඒකට මේ රට කරන්න පුලුවන්, මේ ආර්ථික ප‍්‍රශ්නය විසඳන්න පුලුවන් මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගන්න පුලුවන්, මේ රටේ ඉදිරි අනාගතය ගොඩ නගන්න පුලුවන්, ප‍්‍රතිපත්ති රාමුවක් මත කටයුතු කළ යුතුයි. ප‍්‍රතිපත්ති සකස් කරලා, ඒ ප‍්‍රතිපත්ති මත කටයුතු කරන්න පුලුවන් කණ්ඩායමක් එකට එකතුවෙන්න ඔ්න. සියලු වාද භේද අතහැරලා, පැත්තකට දාලා මේ ආණ්ඩුකරණ භාරගත යුුතුයි. එතැනදී පක්ෂ දේශපාලනයවත්, තම තමන්ගේ පුද්ගලික න්‍යායපත‍්‍රවත් තිබිය යුතු නෑ.
පෝලිමේ මැරෙන මිනිස්සු තවදුරටත් මැරුනට පස්සේ, තවදුරටත් මිනිස්සු හාමතේ මැරුනට පස්සේ, දරුවන්ගේ අධ්‍යාපනය කඩාගෙන වැටුනට පස්සේ, ආර්ථිකය බංකොලොත් වුනාට පස්සේ අපි කවුරු ආණ්ඩු ගත්තත් වැඩක් නෑ. කවුරු කවුරුත් ජනාධිපතිකම් ගන්න සූට් මහගෙන හිටියත් ඒ ජනාධිපතිකම් වලට ගිහින් වැඩක් නෑ.
මේ රාජපක්ෂ ආණ්ඩුව හමුවන පළමු නිමේෂයේදී ගෙදර යවලා, ප‍්‍රතිපත්ති වෙනුවෙන් එකට එකතුවෙන, සියලු දෙනාම පිළිගන්නා, වෙනස් කළ නොහැකි ප‍්‍රතිපත්ති රාමුවක් වෙනුවෙන් සියලු දෙනාම එකට එකතුකරගෙන ගමනක් යන්න ඔ්න. එතැනදී විධායක ජනාධිපතිධූරය පැත්තකට දාලා, විසි වැනි සංශෝධනය පැත්තකට දාලා තවත් අවුරුදු ගණනාවටක මේ රට ප‍්‍රතිපත්තිමය වශයෙන් ශක්තිමත් කරන පොදු දැක්මක් ඇති කණ්ඩායමක් එකතු විය යුතුයි.
එතැනදී අරයා අරහෙට යනවාද, මෙතැනට යනවාද කියන එක අදාල වෙන්නේ නෑ. සියලු දෙනාම තමන් ඉන්නා තැන්වලම සිටිමින් රටේ මිනිසුන්ගේ දුක වෙනුවෙන් මිනිස්සු එකතුවෙන්න ඕන. එහෙම නැතිව තමන්ගේ පුද්ගලික අරමුණු තියාගෙන, මිනිස්සුන්ට කන්න බොන්න නැතිව මැරිලා වැටුනට පස්සේ අපිට ඉබේම බලය ලැබේවි කියලා හිතාගෙන කවුරු කවුරු හරි දේශපාලනය කරනවා නම් ඒක වැරදියි.
විපක්ෂය ලෙස අපේ භූමිකාව පාර්ලිමේන්තුව ඇතුලේදීත්, පාරේදීත් කරගෙන යනවා. මේ රාජපක්ෂ හොර නඩය ඉතාමත් ඉක්මනින් එලවලා ජනතාවාදී ආණ්ඩුවක් හදලා, සියලු පක්ෂ එකතුවෙන, පටු දේශපාලනයෙන් බැහැර වෙලා රට වෙනුවෙන් වන ගමනක් වෙනුවෙන් අපි එකතු වෙන්න ඔ්න.
මේ වගේ එකතුවීම් ගැන විවිධ සාකච්ඡුා පැවැත්වෙනවා. අනාගතයේදී සුබ දෙයක් වේවි කියලා අපි විශ්වාස කරනවා. අපිට මේ රටට අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය කරගන්න හැකියාව ලැබුණොත් තවත් දශක ගණනාවකට එකම ප‍්‍රතිපත්තියක් අරගෙන යන්න පුලුවන් නම්, හොරකම තුරන් කරන්න පුලුවන්නම්, ඇමැති මාරුවුනාම ප‍්‍රතිපත්ති වෙනස් නොවන රාමුවක් ඇති කළාට පස්සේ අපි දේශපාලනය නොකළත් කමක් නෑ. මේ රට වෙනුවෙන් කළ යුතු සේවාව අපි ඉටු කරනවා.
පක්ෂ දේශපාලනයට වඩා අපිට මේ අවස්ථාවේදී වැදගත් වන්නේ පොදු ප‍්‍රතිපත්තියක් නිර්මාණය කර ගැනීමයි. ජනතාව හාමතේ මැරෙන හැටි, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන හැටි අපිට තවදුරටත් බලාගෙන ඉන්න බෑ."
අදාල වීඩියෝව පහතින්
---------------------------
by (2022-03-27 17:08:56)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි