~

හමුදා බුද්ධි අංශයට එස්අයිඑස් එකට පාස්කු මහමොළකරුවන් සමග සම්බන්ධතා තිබුනා; ඒවා හැංගුවා..! ශානි සාක්කි සමග අධිකරණයට කියයි..!

-සුනන්ද දේශප්‍රිය සහ චන්ද්‍රප්‍රදීප් ලියති

(ලංකා ඊ නිව්ස් -2022.පෙබ.20, ප.ව.5.00) පාස්කු ප්‍රහාර මාලාවේ මහමොළකරුවන් සමග යුද හමුදා බුද්ධි අංශයට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධනට තිබූ සම්බන්ධතා සමග පාස්කු ඝාතන සැළසුමේ අභ්‍යන්තර තොරතුරු රැසක් හෙළිදරව් කරමින් මාධ්‍යවේදීන් වන සුනන්ද දේශප්‍රිය, රසල් හේවාවසම් සහ චන්ද්‍රප්‍රදීප් ලංකා ඊ නිව්ස් මෙන්ම ලංකා බ්‍රීෆ් හරහා වසර ගණනාවක් තිස්සේ වාර්තා කළ සිදුවීම් සියල්ලම සහ ඊටත් වඩා කරුණු සාක්කි සමග හෙළිදරව් කරමින් ජාත්‍යන්තර කීර්තිධර රහස් පරීක්ෂක, සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ, ඥානේන්ද්‍ර ශානි අබේසේකර ඊයේ (18) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේ ය. පාස්කු මහමොළකරුවන් ආරක්ෂා කරන ගෝඨාණ්ඩුවේ රෙදි ගැලවෙන සාක්කි සියල්ල දැන් අධිකරණය ඉදිරියේ ලිඛිතව තිබෙන සාක්කි වී හමාර ය.  

ශානි අබේසේකර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ චෝදනා මත තමන් අත්අඩංඟුවට ගැනීම වළක්වන ලෙස තහනම් නියෝගයක් ලබා ගැනීම පිනිසය. "පාස්කු මහමොළකාරයන් රකින්න ආණ්ඩුවයි චීඅයිඩියයි රවී-ශානී දඩයමට සැරසේ." මැයෙන් ලංකා ඊ නිව්ස් ඒ පිළිබඳව ද පසුගිය 14 දා හෙළිකෙළේය. 

ශානිගේ පෙත්සමින් 14 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ. 

මෙරට ප්‍රධානතම බුද්ධි සේවාව වන ජ්‍යෙෂ්ඨ පොලිස්පති නිලන්ත ජයවර්ධන යටතේ තිබූ රාජ්‍ය බුද්ධි සේවාව සහ බ්‍රිගේඩියර් චූලා කොඩිකාර යටතේ තිබූ මිලිටරි බුද්ධි කාර්යාංශය පාස්කු ප්‍රහාරකයින් කල්තබා දැන සිටි බවත්, වව්නතිව්හි පොලිස් භටයින් ඝාතනය පිළිබඳ පරීක්ෂණ නොමඟ යැවීමට කටයුතු කළ බවත්, සහරාන් ප්‍රමුඛ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම සමග ඒ අයට තිබූ සම්බන්ධතා ඔවුන් පිළිබඳ තොරතුරු කිසි විටෙක රහස් පොලිසිය හෝ ත්‍රස්ත විමර්ශණ ඒකකය සමඟ බෙදා නොගත් බවත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සිය පෙත්සම මගින් කියා සිටී.

ඒ අනුව පාස්කු ප්‍රහාරයන් සිදුවීමට ඉඩ හැරීම පිටුපස දේශපාලන බල ව්‍යාපෘතියක් තිබුණා ය යන්නත් යටිබිම්ගත රාජ්‍ය හෝ ගැඹුරු රාජ්‍ය කණ්ඩායමක් මෙම ප්‍රහාරයන්ට ඉඩ සැළසුවා ය යන්නත් ගැන අප මෙතෙක් ඉදිරිපත් කළ තොරතුරු මේ පෙත්සම මගින් බොහෝ දුරට තහවුරු වෙයි.

වව්නතිව් පොලිස් මුරපොළට එල්ල වූ ප්‍රහාරය වසන් කිරීම:

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පසු සිදුකළ පරීක්ෂණවලදී වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනයට අජන්තන් නම් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා වගකිව යුතු නැති බවත් එම අජන්තන් නම් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා බොරුවට කොටු කර ඇති බවත් හෙළි විය. රාජ්‍ය බුද්ධි සේවය (SIS) සහ මිලිටරි බුද්ධි කාර්යාංශය (DMI) අංශ  විසින් එම පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නොමඟ යවා ඝාතනයට සම්බන්ධ සැබෑ ප්‍රහාරකයන් අනාවරණය කර ගැනීම වැළැක්වීම සඳහා පාසල් බෑගයක දමන ලද යතුරුපැදි ජැකට්ටුවක් සොයා ගත් බව පෙන්වීමට  DMI සහ SIS කුමන්ත්‍රණය කර ඇති බවට සැකයක් මතුව තිබේ. ජැකට්ටුව ඉව කළ පොලිස් සුනඛයා ඝාතනය සිදු කළ ස්ථානයට ගියේ නැත. DMI සහ SIS විසින් ඇති කළ එම ව්‍යාකූලත්වය හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට මෙම නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ඇත්තේ සහරාන් ප්‍රමුඛ ජාතික තව්හිද් ජමාද් ත්‍රස්ත කණ්ඩායම විසින් බව අනාවරණය කරගත හැකි වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පමණකි.

ජනාධිපති සිරිසේන සහරාන් පිළිබඳව ජාතික ආරක්ෂක මණ්ඩළය දැනුවත් කිරීම අවහිර කළා..

2019.02.02 වන දින රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, පෙත්සම්කරු වන ශානි අබේසේකර සමඟ එක්ව එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මාවනැල්ල ප්‍රදේශයේ බෞද්ධ පිළිමවලට පහරදීම් සහ වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස කිලෝග්‍රෑම් 100 කට අධික පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් සහරාන් ඇතුලු කණ්ඩායම සැක කරන බවට කරුණු පැහැදිලි කරන ලදී. එබැවින් මෙම කාරණය බරපතල ලෙස සළකා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන බැවින්, ආරක්ෂක මණ්ඩළයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා  එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ. ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර හෝ අන්තවාදී ක්‍රියාකාරකම් වැලැක්වීම සඳහා රහස් පොලිසියට බුද්ධි අංශවල සහ හමුදාවේ සහාය ලබා ගැනීමේ අරමුණින් ආරක්ෂක මණ්ඩලයේ අවධානය යොමු කරන ලෙස ඔව්හු ඉල්ලා සිටියහ. ඉහත කරුණු සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට කරුණු දැක්වීමට  රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට අවස්ථාව ලබා දෙන බවට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළද එකී ප්‍රතිඥාව සිරිසේන ජනාධිපතිවරයා කිසි විටක ක්‍රියාත්මක කළේ නැත.

මිලිටරි බුද්ධි කාර්යාංශය ජමිල් පිළිබඳ දැන සිටි තොරතුරු රහස් පොලිසියට නොදීම..

2019.04.21 වන දින අබ්දුල් ලතීෆ් ජමිල් නම් ජාතික තව්හිද් ජමාද් ක්‍රියාකාරිකයා ටාජ් සමුද්‍රා හෝටලයේදී සිය දිවි නසාගන්නා බෑගය පුපුරවා හැරීමට සූදානම්ව සිටියේය. එසේ නමුත් දුරකතන ඇමතුමක් ලැබීමෙන් පසු ඔහු පිපිරීම සිදු නොකර ටාජ් සමුද්‍රයෙන් පිටව ගොස් ඇති බව සීසීටීවී වලින් ඔප්පු විය.

පසුව ඔහු දෙහිවල ට්‍රොපිකල් ඉන් නම් හෝටලයට ගොස් සියදිවි නසාගැනීමේ බෑගය ඔහු විසින් වෙන්කර තිබූ කාමරයක තබා ඉන් අනතුරුව දෙහිවල මුස්ලිම් පල්ලියකට යාඥා කිරීමට ගොස් තිබේ. ඔහු මුස්ලිම් පල්ලිය තුළ සිටින විට, ඉහත කී ජමිල් තමන්ට නුහුරු නුපුරුදු සහ නොදන්නා අයෙකු බව පල්ලියේ සිටි අනෙක් අය සැක කළ බැවින් ඔවුන් ඒ බව විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු වූ මුස්ලිම් පල්ලියේ ආරක්ෂක නිලධාරියාට දන්වා ඇත.

ඉන්පසුව එම ආරක්ෂක නිලධාරියා ජමිල්ගෙන් ප්‍රශ්න කළ විට ජමිල් ආරක්ෂක නිලධාරියාට දන්වා සිටියේ ඔහු තම බිරිඳ සමඟ ඇති වූ මතභේදයකින් පසු නිවසින් පැමිණි බවත් තහවුරු කිරීමට අවශ්‍ය නම් තම බිරිඳට කතා කරන ලෙසයි. අනතුරුව ඉහත කී ආරක්‍ෂක නිලධාරියා ජමිල්ගේ බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී වැඩිදුර කරුණු විමසීමේදී ජමිල්ගේ බිරිඳ ආරක්‍ෂක නිලධාරියාට දන්වා ඇත්තේ ආරවුලකින් පසු පෙරේදා රාත්‍රියේ ජමිල් නිවසින් පිටව ගිය බවයි. එවිටද ජමිල් සොයා හමුදා බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙකු තමන්ගේ නිවසේ සිටින බවද ඇය පැවසුවා ය.

ඉන් සුළු මොහොතකට පසු ජමිල්ගේ බිරිඳගේ දුරකථනයෙන් ආරක්ෂක නිලධාරියාට තවත් දුරකථන ඇමතුමක් ලැබුණු අතර එහිදී හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු විසින් අමාත්‍ය බුද්ධි අංශ නිලධාරීන් එම පල්ලියට පැමිණෙන තෙක් ජමිල්ව රඳවා තබා ගන්නා ලෙස දන්වා ඇත. ආරක්ෂක නිලධාරියා එය ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත්, හමුදා බුද්ධි අංශ නිලධාරීන් පැමිණීමට පෙර ජමිල් පල්ලියෙන් පිටව ට්‍රොපිකල් ඉන් වෙත ගොස් ඇති අතර ඉන් පසුව ඔහු ඒ තුළදී තම බෑගය පුපුරුවා ගත්තේය.

පාස්කු  ප්‍රහාර සිදු වූ දා පැය කිහිපයක් ඇතුළත යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ප්‍රථමයෙන් වැල්ලම්පිටියේ පිහිටි ජමිල්ගේ මවගේ නිවසට ජමිල් සිටින ස්ථානය සොයා ගොස් ඉන් පසු දෙමටගොඩ ජමිල්ගේ නිවසට ගිය බව පසුව හෙළි විය. මිලිටරි බුද්ධි නිලධාරීන් එළෙස ඔහුගේ නිවසට ගියේ ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතුවල නිරතව සිටි රහස් පොලිසිය වෙත නොදන්වා ය. සහරාන් සහ ජාතික තව්හිද් ජමාද් පිලිබඳව තොරතුරු සොයා ගැනීමට  සහය ලබා දෙන ලෙස රහස් පොලිසිය විසින් පෙර සිටම නැවත නැවතත් ඉල්ලීම් කළද මිලිටරි බුද්ධි කාර්යාංශය දැන සිටි මෙම තොරතුරු කිසිදා රහස් පොලිසිය වෙත ලබා නොදුන්නේය. DMI හි අනුයුක්තව සිටි හමුදා නිලධාරීන් අබ්දුල් ලතීෆ් ජමිල්ගේ අනන්‍යතාවය, ජාතික තව්හිද් ජමාදිහි ඔහුගේ භූමිකාව සහ ඔහු සිටින ස්ථානය පිළිබඳව කලින් දැන සිට ඇති නමුත් තවමත් නොදන්නා හේතු නිසා ඔවුන් සහරාන් අල්ලා ගැනීමට උදව් විය හැකිව තිබූ මෙම තොරතුරු රහස් පොලිසිය සමඟ බෙදා නොගැනීමට තීරණය කර තිබී ඇත.

පසුව  ජමීල් දෙහිවලTropical Inn හි   සිය බෝම්බය පුපුරුවා ගෙන මිය ගියේය. (නියමිත හෝටලයේ දී බෝම්බය පුපුරුවා නොගත් එකම පුද්ගලයා ජමීල් විය. මිලිටරි බුද්ධි අංශ ගියේ ඔහුගේ නිවසට පමණය. එම තොරතුරු ඔවුන් දැන සිටියේ කෙසේද යන්න සුනන්ද දේශප්‍රිය විසින් මෙයට පෙරද මතු කර තිබේ.)

සහරාන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ හමුදා බුද්ධි නිලධාරියා..

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සහරන් හෂීම් සමඟ නිතර සන්නිවේදනය කළ පුද්ගලයකුට අයත් අන්තර්ජාල ප්‍රොටෝකෝල (IP) ලිපිනයක් (එනම් ඔහුගේ අන්තර් ජාල සම්බන්ධතාවයේ මූලය) පිළිබඳව රහස් පොලිස් නිලධාරීන් ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) හරහා දැනගත්තේය. පාස්කු ප්‍රහාරකයන් සමඟ සම්බන්ධ පරිගණක, ජංගම උපාංග සහ අන්තර්ජාල ගිණුම් විශ්ලේෂණය කිරීමෙන් මෙම  සොයා ගැනීම සිදුවිය. රහස් පොලිසිය එම පුද්ගලයා සොයා අත්අඩංඟුවට ගැනීමට සමත් විය. එනමුත් සහරාන් සමඟ තිබූ සම්බන්ධය පිළිබඳ කිසිදු තොරතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කළ එම පුද්ගලයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. මේ අවස්ථාවෙහි දී  ආරක්ෂක අමාත්‍යාංශය විසින් එවකට මිලිටරි බුද්ධි කාර්යාංශයේ  අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුද්ගලයා රඳවා තබා ගැනීම වැළැක්වූයේ ඔහුගේ ක්‍රියාකාරකම් රහසිගත හමුදා බුද්ධි මෙහෙයුමක කොටසක් බැවින් එම පුද්ගලයාගේ ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂක හේතූන් ලෙස වර්ග කර ඇති බව පවසමිනි.

(මෙම කාලයෙහි ආරක්ෂක අමාත්‍යාංශය බාරව සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන අතර එම පුද්ගලයා මුස්ලිම් ජාතික හමුදා නිලධාරියකු යැයි මෙයට පෙර වාර්තා වී තිබුණි.)

'Sonic Sonic' නම් කේතය සහිත බුද්ධි නිලධාරියා හෙළිවේ..

පාස්කු ප්‍රහාරයෙන් පසු සිදුකළ පරීක්ෂණ තුළින් මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි “පොඩි සහරාන්” හෙවත් මාතලේ සහරාන් නැමැති ජාතික තව්හිද් ජමාද් සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයකු පිළිබඳව අනාවරණය කර ගැනීමට රහස් පොලිසියට හැකි විය. “පොඩි සහරාන්” මාතලේ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්  අතර පසුව එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව නැවත අත්අඩංගුවට ගන්නා ලදී.

“පොඩි සහරාන්” ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරන අතරවාරයේ ඔහු “සොනික් සොනික්” නැමැති පුද්ගලයකු සමඟ සන්නිවේදනය කර ඇති බවට අනාවරණය විය. ඉන් අනතුරුව එම “සොනික් සොනික්” නමැති පුද්ගලයාගේ සිම් කාඩ් පතෙහි අංකය  සහ එහි අන්තතර් ජාල ලිපිනය සොයා ගැනීමට රහස් පොලිසියට හැකි විය. එම සොයා ගැනීම  මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම “Sonic Sonic” විසින් භාවිතා කරන ලද SIM කාඩ්පත සහ IP ලිපිනවලට අදාළ තොරතුරු විමර්ශනය කරන ලදී.

“සොනික් සොනික්” භාවිත කළ සිම්කාඩ පත කොළඹ නගරයේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කාන්තා සැරයන්වරියකගේ නමින් ලබාගෙන ඇති බව පරීක්‍ෂණවලට අනුව අනාවරණය විය. සැරයන්වරියක වූ ඇය විසින් එම සිම් පත ලබාදී තිබුණේ තමන් අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන නිලන්ත ජයවර්ධනය යටතේ වූ  ජාතික බුද්ධි සේවයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක බණ්ඩාර නමැත්තෙකුට බව හෙළි කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සොනික් සොනික් නම් වූ  උප පොලිස් පරීක්ෂක බණ්ඩාරගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරන ලදී. එම අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ විසින් ශානි අබේසේකර  අමතා පොඩි සහරාන් සමඟ එස්.අයි.බණ්ඩාර පැවැත් වූ සම්බන්ධය රහසිගත මෙහෙයුමක කොටසක් බැවින් එකී ප්‍රශ්න කිරීම් කරගෙන නොයන ලෙසට දැනුම් දෙන ලදී. ජාතික ආරක්ෂවට සම්බන්ධ යැයි කීව ද, ශානි අබේසේකර එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම පිළිපැදීම ප්‍රතික්ෂේප කර එස්.අයි. බණ්ඩාරගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සමත් වූ නමුත්, එම උප පොලිස් පරීක්ෂක බණ්ඩාර සිය ප්‍රකාශයේ ද මුලින් කී පුද්ගලයාගේ ස්ථාවරයම ගෙන ඔහුට පොඩි සහරාන් සමඟ  ඇති සම්බන්ධය පිළිබඳ කිසිදු තොරතුරක් හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේය.

('සොනික් සොනික්' පොඩි සහරාන් අමතා, පාස්කු ප්‍රහාරයේ වගකීම ISIS  සංවිධානය බාර ගෙන නැත්තේ ඇයිදැයි දුරකතනයෙන් විමසූ බවත් ඉන් පසු පොඩි සහරාන් ඉන්දුනීසියාවේ පුද්ගලයකුට කතා කර එම පිළිගැනීම ප්‍රකාශ කරවා ගත් බවත් පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සඳහන් කරයි)

පාස්කු ප්‍රහාරයෙන් පැය කිහිපයක් ඇතුළත SIS අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන දුන් අමුතු වාර්තාව..

පාස්කු ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු, ජාතික තව්හිද් ජමාද්හි අණදෙන ව්‍යුහය පිළිබඳ සම්පූර්ණ තොරතුරු සහ වව්නතිව් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනයට ඔවුන් සම්බන්ධ බවට සාක්ෂි ඇතුළත් වාර්තාවක් පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එවකට ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා වූ නිලන්ත ජයවර්ධන විසින් ලබා දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට පෙර මාස 4 ක් පුරා ජාතික බුද්ධි සේවයේ හෝ හමුදා බුද්ධි සේවයේ සහායක් නොමැතිව  සහරාන් හෂීම් සහ ජාතික තව්හිද් ජමාද් අණදෙන ව්‍යුහය සහ වව්නතිව් කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු සෙව්වේ ය. නිලන්ත ජයවර්ධන පසුව ලබා දුන් මෙම නිශ්චිත තොරතුරු රහස් පොලිසිය වෙත කලින් ලබා දී තිබුණේ  නම් හෝ ප්‍රහාර එල්ල කිරීමට පෙර ආරක්ෂක මණ්ඩලයට එම තොරතුරු ලබා දී තිබුනේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරයන් වැලැක්වීමට හැකි වන්නට තිබුණි.

(නිලන්ත ජයවර්ධන සතුව මෙම තොරතුරු පාස්කු ප්‍රහාරයට පෙර තිබූ බවත් එය වාර්තාවක් ලෙස සකස් කර තිබූ බවත් මෙමගින් පෙනේ. එසේ නොවන්නට ප්‍රහාරය සිදුවී සියලු බුද්ධි අංශ කලබලයට පත්ව සිටි පැය දෙක තුනක් ඇතුලත එවැනි වාර්තාවක් එවීමට නිලන්ත ජයවර්ධනට හැකියාවක් නැත. එපමණක් නොව නිලන්ත ජයවර්ධන රහස් පොලිසියට දුන් මුල් වාර්තාවන්හි සඳහන් වන්නේ එම ප්‍රහාරය හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ ක්‍රියාවක් බවයි. ඔහු දැන දැනම මෙම ප්‍රහාරය පිළිබඳව කරුණු වසං කළ බවට එල්ල වන චෝදනාව මෙමගින් සනාථ  වේ.)

ශානි අබේසේකර සිය පෙත්සමෙහි ඔහු සඳහන් කරන කරුණු වලට අදාල ලිපි ගොනු ද ඉදිරිපත් කර තිබේ.

ශානි කොටු කරන්න තටමන සීඅයිඩියේ දූෂිතයන් තිදෙනෙක්..

කෙසේ වෙතත් ශානි තමන්ට ව්‍යාජ චෝදනා නගමින් තමන් අත් අඩංගුවට ගැනීම තැත් කරන මෙම පෙත්සමින් වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ඒ.එස්.පී. මෙරිල් රන්ජන් ළමාහේවා, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා සහ කාන්තා පොලිස් පරීක්ෂක නිරෝෂිනී හේවාපතිරණ තිදෙනාගේ ද රෙදි ගලවා තිබේ.

ඉහත කී තිදෙනාම ශානි අබේසේකර සීඅයිඩී අධ්‍යක්ෂකව සිටිය දී විවිධ චෝදනා නිසා සීඅයිඩියෙන් ඉවත් කරන ලද නමුත් ගෝඨාණ්ඩුව විසින් ඔවුන්ව යළි සීඅයිඩියට අනුයුක්ත කර ඇත.

මෙරිල් රන්ජන් යනු භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කළ අපරාධයේ පරීක්ෂන සිදුකරද්දී විෂමාචාරී ලෙස ක්‍රියා කරමින්, වංක සහගතව සත්‍යය තොරතුරු ව්‍යාජ ලෙස විකෘති කිරීම හේතුවෙන් වැඩ තහනම් කරන ලද අතර ඒ සම්බන්ධ පරීක්ෂණයේ දී ඔහු වරද පිළිගත් අයෙකි. පසුව ඔහු දේශපාලන හිතවත් කම් අනුව යළි සේවයේ පිහිටුවා තිබේ. ඔහුගේ සොයුරා වන බන්ධනාගාර නිලධාරී එමිල් රන්ජන් වැලිකඩ රැඳැවියන් ඝාතන නඩුවෙන් වරද කරු වී දැන් මරණ දණ්ඩනය නියම වූ අයෙකි. එම පරීක්ෂණ ශානි සීඅයිඩී අධ්‍යක්ෂකව සිටිය දී මෙහෙයවන ලද බැවින් දැන් මෙරිල් රන්ජන් ශානිගෙන් පළිගැනීමට ක්‍රියා කරන බව ශානි සිය පෙත්සමින් දක්වා තිබේ.

කාන්තා පොලිස් පරීක්ෂක නිරෝෂිනී හේවාපතිරණ නමැත්තිය ශානිගේ කාලයේ දී සීඅයිඩියේ සේවය කරමින් සිටිය දී චුදිතයෙකුගෙන් අල්ලස් ලබාගෙන හසු වූ තැනැත්තියකි. එම අල්ලස් පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ කොමිසම ඉදිරියේ BC/2768/2019-B207 අංකයෙන් දැනටමත් විභාග වෙමින් තිබෙන සිද්ධියකි. එම දූෂනය හේතුවෙන් ඇයව ශානි සීඅයිඩියෙන් ඉවත් කර මාතරට මාරු කර ඇත. ගෝඨාණ්ඩුව විසින් ඇයව යළි සීඅයිඩියට අනුයුක්ත කර ශානිගෙන් පළිගැනීම සඳහා මෙහෙයවමින් සිටී.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා ද පට්ට දූෂිතයෙකි. ඔහු පුදුකුඩු ඉරිප්පු හි සේවය කරද්දී දේවපුරම් ගම්මානයේ අනවසර පතල් හාරමින් සිට හසුවීම නිසා සීඅයිඩියෙන් ඉවත් කරන ලද අයෙකි. ඔහු ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ ද එය විභාගයට නොගෙනම කුණු කූඩයට දමා ඇත. ඉන්දුක සිල්වා ද අල්ලස් ගෙන හසුවී ඇත. ඔහු සීඅයිඩියේ සිටිය දී එහිම සේවය කළ කාන්තා පොලිස් නිලධාරිනියක වූ ඉරේෂා චන්දානි නමැත්තිය සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන හසුවීම නිසා දඬුවම් ලබා ඇත. ඔහු වැලිකඩ පොලිසියට අනුයුක්තව සිටියදී තමන් මංකොල්ලා කෑමකට ලක්වූයේ යයි බොරු පැමිණිලි කර හසුවී ද දඬුවම් ලබා ඇත. මෙවැනි පුද්ගලයෙකු ද ගෝඨාණ්ඩුව යටතේ යළි සීඅයිඩියට අනුයුක්ත කර ශානි අබේසේකරගෙන් පළිගැනීම සඳහා යොදාගෙන ඇත. 

ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද ඉංග්‍රීසි බසින් ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්පූර්ණයෙන් පහත දිගුවෙන් කියැවිය හැකිය

https://pdfhost.io/v/K7K~qAPYo_ShaniPetition

සුනන්ද දේශප්‍රිය සහ චන්ද්‍රප්‍රදීප් විසිනි

ලියුම්කරුවන්ගේ ලිපි එකතු
සුනන්ද - https://www.lankaenews.com/category/17
චන්ද්‍රප්‍රදීප් - https://www.lankaenews.com/category/54

---------------------------
by     (2022-02-20 11:44:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links