~

එක් සත්‍ය කතාවක්..! චන්ඩින්ට යන කල..!

-කාංචනටත් කියවීම පිණිස මාණ්ඩලික ලේඛකයෙක් ලියයි

(ලංකා ඊ නිව්ස් -2021.දෙසැ.07, පෙ.ව.10.10) දිනය හරියටම මතක නැති නමුත් වකවානුව රනිල් වික්‍රමසිංහ අගමැතිව, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිව සිටි සමයයි. එකල එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ධීවර ඇමැතිවරයා වූයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද විජේසේකර ය. උන්නැහේ වත්මන් පාර්ලිමේන්තුවේ කාංචන විජේසේකර මන්ත්‍රීවරයාගේ පියාණන් ය. 

සෙනසුරාදාත් ඉරිදාත් සමග පුර පොහොය දිනයක් යෙදුනු දිගු සති අන්තයක එකල 'නිජබිම' පුවත් පතේ සේවය කළ අප කිහිප දෙනෙකු දකුණට ගියේ දකුණු අධිවේගී මාර්ගය තැනීම සම්බන්ධයෙන් පැවැති වංචා දූෂණ පිළිබඳ ගවේෂණාත්මක විශේෂාංගයක් ලියනු පිණිස ය. එම වංචා දූෂණ වල චුදිතයා බවට පත්ව සිටියේ එවක ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරයෙක් වූ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනය. අපගේ සංචාරයේ පළමු දිනය ගාලු දිස්ත්‍රික්කය පුරා සැරි සරමින් තොරතුරු රැස් කර ගත් අප රාත්‍රිය ගත කිරීමට තීරණය කෙළේ මාතර රුවන් ෆර්ඩිනැන්ඩස් ගේ නිවසෙහි ය. අල්ලාප සල්ලාප සංවාද විවාද මැද පුරා හඳපානේ පොල්හේන වෙරළේ කමින් බොමින් නාමින් සිටි අප නින්දට ගියේ බොහෝ රෑ බෝ වීය.

"ඒයි නැගිටපල්ලා..."

හිමිදිරි පාන්දරම රුවන් පැමිණ අපගේ දොරට තඩි බෑවේ ය. "ඒයි නැගිටපල්ලා. අන්න මරු නිව්ස් එකක් පත්තු වෙලා..!" ඔහු කීවේ ය. යන්තම් දත කට මැදගෙන මුහුණ සෝදාගෙන ඉක්මනින් අප ගියේ මාතර කොටුව වෙත ය. ඒ වන විටත් මාතර නගර වාසීහු සියයක් දෙසියයක් පමණ පිරිසක් එහි රැස්ව සිටියහ. මාතර කොටුව තුළ ඇති අධිකරණ සංකීරණය ඉදිරිපිට වසර ගණනක් පැරණි වනස්පතීන් තුන හතරක් මහ පොළොව බදාගෙන ඇද වැටී සිටියහ. ඒ වන විටත් කම්කරුවන් කිහිප දෙනෙකු ඒ මහා ගස්වල අතු කපා ඉවත් කරමින් සිටියහ. වටේට නවතා ගත් ලොරි ආදී බර වාහන කිහිපයක් ද නවතා තිබූ අතර කටයුත්තට ආරක්ෂාව දෙමින් මහින්ද විජේසේකරගේ මැර කණ්ඩායමක් ද රැකවලෙහි යෙදී සිටියහ. 

රාත්‍රියේ සිදුව තිබුනේ අභාව්‍ය සිදුවීමකි. වාහන ද ගස් කපන යන්ත්‍ර ද මිනිසුන් ද පිරිවරා ගත් ඇමැති මහින්ද විජේසේකර හදිසියෙන්ම පැමිණ වාහන වල ලාම්පු එළි දක්වා එම එළියෙන් ගස් කපන්නට පටන් ගත්තේ ය. කිසිදු හේතුවක් නැතිව, බලධරයන්ගේ කිසිදු අවසරයක් නොලබා මේ කරන හිතුවක්කාර අලුගුත්තේරුකම ගැන ප්‍රශ්න කරන්නට කිසිවෙකු එහි සිටියේ නැත. ඊට මඳක් ඔබ්බෙන් පිහිටි තැනක තම හිතවත් නීතිඥ පිරිසක් සමග අඩියක් ගසමින් සිටි නීතිඥ ශිරාල් ලක්තිලකට මේ බව ආරංචි විය. ඔහු එතැන සිටි මාතර නීතිඥයන් ද සමග එහි ගියේ ය. එවකට ශිරාල් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ අයෙක් වූ නිසා ඔහුට යමක් කළ හැකි යයි නීතිඥ පිරිස සිතූහ. එහෙත් සිදුවූයේ ඔවුන් බලාපොරොත්තු නොවූ සිදුවීමකි. මහින්ද විජේසේකරගේ කුණු හරුප වරුසාවකට සහ ඔහුගේ මැරයන්ගේ තර්ජනයට මුහුණ දීමට නීතිඥ පිරිසට සිදුවිය.

"තොපි දැනගනියව්..."

"තොපි දැනගනියව් මේ මාතර මට කරන්න බැරි දෙයක් නෑ. පේනවනේ..?" කියමින් මහින්ද විජේසේකර ගුගුරමින් ඒ මේ අත ගියේ ය.

නිරායුධ නීතිඥ පිරිස පසුබැස ගොස් නගරයේ පොලිසියේ පැමිණිල්ලක් දැමූහ.

ටික ටික එළිය වැටෙද්දී මාතර නගරය පුරා මේ ආරංචිය විදුලි වේගයෙන් පැතිර ගියේ ය. නාගරිකයෝ කොටුව වෙත වැල නොකැඩී එන්නට පටත් ගත්තෝ ය. පෙර දා රාත්‍රියේ අහංගම ප්‍රදේශයේ තම හිතවතෙකුගේ නිවසේ සති අන්තය ගත කරමින් සිටි එකල පොදු පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ද කඩිනමින් එහි පැමිණියේ ය. මාතර එජාප නගරාධිපති නිමල් සිල්වා සහ ජවිපෙ නාගරික මන්ත්‍රී පතිරණ ද එහි පැමිණ සිටියහ. එහෙත් කිසිවෙකුට කරන්නට දෙයක් නැත. මුළු කොටුවම මහින්ද විජේසේකර සහ ඔහුගේ මැර බලයට යට වී තිබිණ. වෙනකක් තබා එකල එජාප මන්ත්‍රීවරයෙකු වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද එදින මාතර කොටුවේ පිහිටි තම කාර්යාලය තුළ සිටිය ද එළිපත්තට අඩිය තබා පිටතට බැස්සේ නැත. ඔහු ඉන් පිටතට ආවේ මංගල සමරවීර ජනකාය පිරිවරා එහි යාමෙන් පසුව ය. අඩුම තරමින් ඉන් පසුව හෝ සිද්ධිය වූ තැනට නොඑන්නට ලක්ෂ්මන් යාපා ප්‍රවේශම් විය.

"ලියලා තියාගන්න මහත්තයෝ.."

මේ ජවනිකාව මෙසේ දිග හැරෙද්දී වයෝවෘද්ධ නාගරිකයෙකු බිම පෙරලා දා තිබූ මහා රුක් කඳක් දෙස කම්මුලට අත ගසා ගෙන බලා සිටියේ ය. මෙම ලියුම්කරු ඔහු වෙතට ලං වී "මාමණ්ඩි... මොකද මේ වැඩේ ගැන හිතන්නෙ..? " කියා විමසන ලද්දේ ය. ඔහු මෙසේ පිළිතුරු දිනි. 

"මහත්තයෝ මේ ගස් පන්තිය අවුරුදු සිය ගානක් මේ කොටුවට, උසාවියට යන එන මිනිස්සුන්ට සෙවණ දුන්නා. මේ ගස් අපේ අනන්තවත් දුක් අඳෝනා අහන්න ඇති. ඒවායෙහි හිටපු රුක් දේවතාවුන් වහන්සේලා අපට පිහිට වෙන්නත් ඇති. දැං ඉතිං ඒ ඔක්කොම ඉවරයි. මං අද කිව්වයි කියලා ලියලා තියාගන්න. මේ අපරාදයට නම් දේව දඬුවමක් ලැබෙන එක සහතිකයි ඕං..."

ඉන් වසර කිහිපයකට පසු මහින්ද රාජපක්ෂ පාලනයට සම්බන්ධ වූ මහින්ද විජේසේකර අකුරැස්ස ප්‍රදේශයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකට ලක්ව සදාකාලික කායික මානසික අබාධිත තත්ත්වයට පත්ව තවමත් ප්‍රතිකාර ලබමින්, තම අසූචි තමන්ම නා ගනිමින් මළ ප්‍රේත සෙයියාවෙන් පව් ගෙවමින් සිටියි. 

-මාණ්ඩලික ලේඛකයෙක් විසිනි

වැඩිදුර කියැවීමට පුවතක්
වනචර දශකයේ මහජන මුදල් ලක්ෂ 75 ක් ගසා කෑම නිසා හිරේ ගොස් මන්ත්‍රීකම අහෝසි වන ප්‍රථමයා සහ ඔහුගේ ගෝත්‍රික හොරකම ගැන සම්පූර්ණ හෙළිදරව්ව

---------------------------
by     (2021-12-07 04:59:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links