-JR ලියයි
(ලංකා ඊ නිව්ස් -2021.නොවැ.27, ප.ව.10.50) රාජපක්ෂලා විසින් මේ රට සමාජ-දේශපාලන සංස්කෘතික දේහයට කරන විනාශය සුලු පටු නොවන බව මේ වන විට පැහැදිලිය. මේ තත්වය පොදුවේ සනාත කරන සජීවි උදාහරණය වන්නේ අපේ රටේ පාර්ලිමේන්තුව මේ මොහොතේ පත්ව ඇති තත්වයයි. මෙම උදාහරණය පැහැදිලි වන සිදු වීමක් පසුගිය සතියේ දැකිය හැකි විය. එහිදි, ස්ත්‍රියකගේ ස්ත්‍රිත්වය උකහා ගනිමින් ඇයට ප්‍රසිද්ධියේම නින්දා කරන අවස්ථාවක් සජීවි ව දකින්නට ලැබිණි. වර්තමාන පාර්ලිමේන්තුවේ කැපිපෙනන මන්ත්‍රිණියක වන ජම්බුගහපිටියේගෙදර රෝහිණී කුමාරි විජේරත්න කවිරත්න ඉතාම නින්දිත අවලාදයකට ගොදුරු වුවාය. කාන්තාවට නින්දා කිරීම හෝ අපහාස කිරීම ලංකීක දේශපාලනයට ආගන්තුක පුරුද්දක් නොවන නමුත් මෙම සිද්ධිය ඉතාම අශිෂ්ඨ ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින්ම පාර්ලිමේන්තුව තුල දී කිරීම ප්‍රථම වරට සිදුවීමකි.
පොදුවේ දැකිය පරිදි කාන්තාවට පරිභව කිරීම සහ ඇයට අවමන් කිරීම සිංහල බෞද්ධ සංස්කෘතියේම දක්නට ඇත. පොදු (සභ්‍ය) භාෂා ව්‍යවහාරයේ භාවිතයට නොගැනෙන, අවිධිමත් හෝ අසභ්‍ය යැයි සම්මත භාෂා භාවිතය තුල කාන්තාවට අවමන් කිරීමට පමණක්ම අනෙක් විධ භාෂාමය යෙදුම් අප භාෂාව තුල රාශියක් දැකිය හැකිය. අනෙත් අතට මේ ආකාරයට, කාන්තාවට අපහාස කිරීමට එරෙහි සිංහල බෞද්ධ සංස්කෘතික චර්යා පද්ධතියක් නැත. ඇයගේ අයිතීන් හෝ ගරුත්වය ආරක්ෂා කිරීම හුදු සමාජ කථා බහක් පමණක් වන අතර, ස්ථාපිත නීතියේ එය යම් ප්‍රමාණයකට හුවා දක්වා ඇත. කාන්තාවට අපහාස නොකිරීමට පිරිමියා පොළඹවන සිරිත්-විරිත් හෝ සම්ප්‍රදායික නීති-රීති සංස්කෘතියෙන් උගන්වා නොමැති තරම්ය. ස්ත්‍රිය ස්ත්‍රියක වීම නිසාම ඇයට අවමන් කිරීම, පරිභව කිරීම අපගේ සිංහල-බෞද්ධ සංස්කෘතිය තුල දක්නට ලැබෙන බලවත් සංස්කෘතික විකෘතියක් හෝ නොසලකා හැරීමකි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව විසින් සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා තෝරා පාර්ලිමේන්තුවට පත් කර එවූ ජානක තිස්සකුට්ටිආරච්චි නැමැත්තා සිය මව, බිරිඳ හෝ සහෝදරියන් ද ස්ත්‍රීන් බව අමතක කරමින්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මියගේ නම සඳහන් කරමින් ඉතාම අධම ආකාරයට ඇයට පරිභවකරන ආකාරයත්, එහිදි සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳගේ (පාර්ලිමෙන්තුවේ නොමැති) නම ද සඳහන් කරන ආකාරයත් රටේ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය විය. (එම වදන් යළිත් මෙහි සඳහන් කිරීම පවා අපුල ය) එහිදී හොඳින් පැහැදිලි වුයේ තිස්සකුට්ටිආරච්චි ඉතා සැලැසුම් සහගතව කලින් ලියාගත් සටහනක් බලමින් තම ප්‍රකාශය තලු මරමින් කියවන බවයි. ඇතැම් වචන පුන පුනා කියැව්වේය. එවිට සභාවේ මුලසුනේ සිටි මන්ත්‍රීවරයා ද ඊට අනුබල දෙන බව දක්නට ලැබිණි. ඔහු එසේ කියන විට ඔහු වටා සිටි ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රිවරුන් සිනා සෙමින් ඊට සහාය දෙන අයුරුද දක්නට ලැබිණි.
රෝහිණි මන්ත්‍රිවරියට අවමන් කළ අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රිවරු පිරිසගේ ද හැසිරීමේ දක්නට ලැබුනේ සිය ශරීරයෙන් සුනඛයෙකු මෙල්ල කිරීමට උත්සාහ කිරීම වැනි හැසිරීමකි, ඔවුන් කෑ ගසනවා හැරෙන්න වෙනත් දෙයක් කළේ නැත. ඔවුන් කළ යුතුව තිබුනේ කණ්ඩායමයක් සේ නැගී සිට පාර්ලිමේන්තු ගර්භයෙන් මොහොතකට හෝ එලියට ගොස් එම අවකල් ක්‍රියාවට තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හෝ කණ්ඩායමක් ලෙස ගොස් තිස්සකුට්ටිආරච්චිට අමතක නොවන පාඩමක් ඉගැන්වීම ය.
කෙසේ වුවත්, තිස්සකුට්ටිආරච්චිලා ද පෙනී සිටින්නේ “වියතුන්” විසින් රටේ ඇති කර පෝෂණය කරන ලද පාදඩ-සමාජ දේශපාලනය වෙනුවෙන්ය. රටේ ජනතාවට තිස්සකුට්ටිආරච්චිලා ද වියතුන්ය. රාජපක්ෂලා පොල් ලෙල්ලක් දැම්මත් ඊට ද ඡන්දය දෙන පිරිසක් සිටිනවා යැයි සිතන රටක, තිස්ස කුට්ටිආරච්චි වැනි දෙපා-සතුන්ට ද චන්දය දෙන රටක ද, රටේ උත්තරීතරම ආයතනය වන ව්‍යවස්ථාදායකයේ ගරුත්වය ආරක්ෂා කළ හැකි ද?
දේශපාලනය තුල ලැජ්ජාව, බය, ආත්ම ගරුත්වය, වැනි සභ්‍යත්වයේ මූලික මනුෂ්‍ය ලක්ෂණ පවා පාර්ලිමේන්තුවේ චර්යාව තුල දක්නට නැත. කිහිප දෙනෙකු හැර පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් හැසිරෙන ආකාරය පැහැදිලි කිරීමට උදාහරණ නැත. තිරිසනුන් යැයි සම්මත, මඩ වලක ලගින් ඌරන් හෝ මී හරකුන් තුල වුවද කිසියම් පොදු පරිනාමීය ලක්ෂණ එකක් හෝ දැකිය හැකිය. මේ ආකාරයේ දේශපාලනයක් සහ මේ ආකාරයේ පාර්ලිමේන්තුවක් රාජපක්ෂලාට අවශ්‍යය. විපක්ෂයට ද අවශ්‍යය. එසේ නොවන්නේ ඔවුන්ට මේ සා කාලයක් දේශපාලනිකව පවතින්නට නොහැකි ය.
අද, විමල් විරවංශලා සහ වයෝවෘද්ධ වාසුදේව නානායක්කාර හෝ ගම්මන්පිල වැනි දේශපාලකයින් ආණ්ඩු පක්ෂය තුල සිටිමින්, එහි තනතුරු දරමින්, ගැලරිය ඉදිරියට පැමිණ, ආණ්ඩුව විවේචනය කරමින් එක න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරති. අනෙක් පසින්, තිස්ස කුට්ටිආරච්චි වැනි මිනිස්-වෙස්ගත් සතුන් මනුෂ්‍යත්වයට පවා නිගා දෙමින් තවත් ආකාරයකින් රාජපක්ෂලාගේ දේශපාලන සංස්කෘතිය පෝෂණය කරති. කුමාර වෙල්ගම වැනි අයද ඉඳ හිට ගැලරියේ පෙනී සිටිමින් කරන්නේ, රාජපක්ෂලාගේ මජර දේශපාලනය විවේචනය කරමින් ඊට ජනතා අවධානය දිනා දීමයි.
රාජපක්ෂලාගේ මුලිකම අවශ්‍යතාවය බලයේ රැඳී සිටීම පමණි. එය ඔවුන්ගේ පවුලේ සාමුහික අවශ්‍යතාවයන්, මානසික සහ කායික තෘප්තීන්, ආදිය සපුරා ගැනීමක් බව පැහැදිලිය. ඒ අරමුණ ඉටු කර ගැනීමේ දී අද රට පත්ව ඇති තත්ත්වය රාජපක්ෂලාට ආශිර්වාදයකි. අද, පාර්ලිමේන්තුව පත්ව ඇති තත්වය ඒ සඳහා හොඳම නිදර්ශනයයි. දේශපාලනය ජාතික මෙහෙවරක් සේ සලකා රට රක්ෂා කරමින් පෝෂණය කිරීමට රාජපක්ෂලාට දැක්මක් නැත. තමන්ගෙන් පසු රට ඇද වැටෙන තත්වය ගැන රාජක්ෂලා අසංවේදීය. රටේ අනාගතය ඔවුන්ට සිතෙන්නේම නැත..! රාජපක්ෂලාගේ මේ දේශපාලන ක්‍රීඩාවේ දී ඔවුන්ට වහලුන් සේ බැල මෙහෙවරකම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රැලක් සිටීම පමණක් ප්‍රමාණවත්ය. වක්‍රාකාරව විපක්ෂය ද එහි කොටස් කරුවන්ය. මේ සියල්ල හමුවේ, රටේ බහුතර ජනතාව ද රාජපක්ෂලා ආරක්ෂා කිරීම ම ඔවුන්ගේ පෙර පිනක් යැයි කීම හැර, එය පැහැදිලි කිරීමට වෙනත් වචන නැත.
අවශ්‍ය ඕනෑම මිලක් ගෙවා, රාජපක්ෂලා සිය කඳවුර ආරක්ෂා කරති. ඔවුන් ඕනැම අපචාරයකට හෝ අපරාධයකට අනුග්‍රහය දක්වා තමන්ව ආරක්ෂා කරන මන්ත්‍රීවරුන් රැලක් රට තුල බිහිකර ඇත. පොදුවේ සැලකීමේදී තමන්ගේ අනාගත දේශපාලන ගමන් මග කුමක් වුවත්, ඔවුන් සියලුම දෙනා එකාමෙන් එක්ව, කොන්දේසි විරහිතව රාජපක්ෂලාගේ දේශපාලන කඳවුරට ආවතේව කරමින් එය ආරක්ෂා කරමින් සිටිති. අනිත් අතට, විපක්ෂය ද කරන්නේ මේ දේශපාලන ක්‍රීඩාව තුල රැඳෙමින්, ඒ තුලින්ම රටේ දේශපාලන බලය ඇල්ලීමට සිහින දැකීමයි. ඒ සඳහා රෝහිණිලා බිලි දීම, රන්ජන්ලා බිලි දීම විපක්ෂයට ගැටලුවක් නොවේ..!
ප්‍රජතන්ත්‍රවාදි රටක තිබෙන මුලිකම දේශපාලන ආයතනය වන්නේ ව්‍යවස්ථාදායකයි, ඒ සඳහා කැප වු ආයතනය වන්නේ පාර්ලිමේන්තුවයි. 1800 ශතකයේ මුල සිට අප රටේ ආරම්භ වු ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයේ මුලික සංකේතයයි. එයට ඉතාම කීර්තිමත් සහ අපුරු ඉතිහායක් ඇත. එය රටේ නායකත්වයේ සහ දැනුමේ තෝතැන්නක් විය. ජනමතයේ උත්තරීතර බව එදා පාර්ලිමේන්තුවෙන් ප්‍රකට විය.
1977 වසරේ දී බිහි වූ නූතන පාදඩ සමාජ-දේශපාලනයත් සමඟම, ව්‍යවස්ථාදායකය විධායකය නම් තනි පුද්ගලයෙකු අණසකට යටත් කර ඇත. ඊනියා විධායකය සඳහා තුනෙන් දෙකේ ඔලු ගෙඩි ගණින ආයතනය බවට පාර්ලිමේන්තුව පත් වී ඇත. පාර්ලිමේන්තුව ජනාධිපතිව ආරක්ෂා කරනවා හැරෙන්නට වෙන දෙයක් එහි කරන්නේ නැත. අද පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථාදායකට තිබිය යුතු අවම ගරුත්වය පවා නැත. එය රටේ සමාජ-දේශපාලන විකෘතිය හෝ පාදඩ බව සජීවී ව රඟ දක්වන ගුබ්බෑයමක් බවට පත්ව ඇත.
සිය ඇඳි වස්ත්‍රය ඔසවා රටට සිය නිරුවත පෙන්වන මන්ත්‍රීලා සිටියේ මේ පාර්ලිමේන්තුවේ ය, ඉතාම පහත් පරුෂ වචනයෙන් පාර්ලිමේන්තුව ඇමතූ වාසුදේව නානායක්කාර අදටත් පාර්ලිමේන්තුවේ සිටින වියතෙකි. කතානායකට මිරිස්කුඩු ගැසූ මන්ත්‍රීලා ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ ය. ලංකාවේ බයි දේශපාලනයට ආවේනික. රාජපක්ෂලාගේ සුභ සිද්ධිය වෙනුවෙන් පැය විසිහතරේම කැප වූ මන්ත්‍රී රැලක් එහි සිටිති. තිස්සකුට්චි ආරච්චිලා හෙට දිනයේ කාන්තාවක දූෂණය කර, එය කළේ රාජපක්ෂ කඳවුරේ ආරක්ෂාව වෙනුවෙන් යැයි කීව ද පුදුම විය යුතු නැත. එය අපරාධයක් ද නොවන්නේය. එය අපරාධයක් කියා නීතිගත කර තිබුන ද, මරණ දණ්ඩනය නියම වූ මිනීමරුවෙකුට දොර ඇරිය පාර්ලිමේන්තුවේ තිස්ස කුට්ටිආරච්චිලා නිදොස්කොට නිදහස් වන්නේම ය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ බිහි වු ඉතාම දුර්වල පක්ෂග්‍රාහී කථා නායකයා ද අද බිහි වී ඇත. රාජපක්ෂලා කියන ඕනම දෙයක් රාජපක්ෂලා කියනවාට වඩා හොඳින් ඔහු ඉටු කර දෙන්නේ ය. ඔහු කියන දෙයට ඔහු නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවා අවනත නැත. කථානායකවරයා තුල පාර්ලිමේන්තුවේ නිතී-රීති හෝ සම්ප්‍රදාය ගැන කිසිම සංවේදි බවක් දැකිය නොහැකි ය. ඔහු ඉතාම අලස ලෙස සිය රාජකාරියේ යෙදෙයි. ඔහු තමන්ගේ භූමිකාව ගැන වග වන බවක් දක්නට නැත. පොදුවේ සැලකීමේදි පක්ෂ-විපක්ෂව පාර්ලිමේන්තුවේ තනතුරු දරණ සියලුම දෙනා ඒ තුල සිදු වන සියලුම අපචාරයන්ට වග කිව යුතුය. අද වන විට රාජ්‍යයේ සහ ආණ්ඩුවේ ප්‍රධානම ආයත තුන වු ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ඉතාම ම්ලේච්ඡ ආකාරයට අපහරණය කරමින් ඇත.
අද, රටට වින කරන ආණ්ඩුවක් ඇත, එහි බලය ඇති උන් ප්‍රසිද්ධියේම රටේ ධනය මංකොල්ල කති. අනෙකාට පරිභව කරති. ඊට එරෙහිව නැගී සිටීමට විපක්ෂයක් රටේ නැත. දැනට තිබෙන විපක්ෂය ද වක්‍රාකාරව කරන්නේ ද රාජපක්ෂ දේශපාලන කඳවුර පාර්ලිමේන්තු තුල ආරක්ෂා කිරීමයි. විපක්ෂය දෙස බැලීමේදී ඉතාම පැහැදිලි වන්නේ, විපක්ෂය ද අනුගමනය කරන්නේ රාජපක්ෂලා විසින් රටට පුරුදු පුහුණු කළ දේශපාලන චර්යාවම බවයි. අවම වශයෙන් පාර්ලිමේන්තුව තුල සභ්‍යත්වය පවත්වා ගැනීම සහ එකිනෙකා කථා කරන දේ අසා සිටීමට අවශ්‍ය හීක්මීම හෝ හදා ගැනීමට විපක්ෂය උත්සාහ කරන බවක් පෙනෙන්නට නැත. තම පිලේ සිටින මන්ත්‍රීවරියට අවමන් කරන විට ඊට එරෙහි ව කණ්ඩායමක් සේ එක් ව විරුද්ධ වන්නට තරම්වත් අවබෝධයක් විපක්ෂයට නැත. එය තේරුම් ගත්තද ඒ සිද්ධියේ උණුසුම දිය වූවා ට පසුව ය.
අනිත් අතට විපක්ෂය යැයි පෙනී සිටින මන්ත්‍රී කණ්ඩායමට නායකත්වයක් නැති වීම හමුවේ, එහි සිටින මංත්‍රීවරුන් ද දැඩි අපහසුතාවයට පත් වන බව දැකිය හැකිය. මන්ත්‍රිනී රෝහිණී කවිරත්නට සිදු වූ අසාධාරණය හමු වේ ඊට නිසි විරෝධයක් ප්‍රකාශ කිරීම වෙනුවෙන් නිර්මාණශිලීව යමක් කිරීමට විපක්ෂයට නොහැකි විය. විචාරශීලි නොවන, සාධනීය නොවන විපක්ෂයක් නැති රටක, එහි තිබෙන පාදඩ සමාජ-දේශපාලනය තව තවත් කුරුවල් වෙමින් ඔඩු දුවනවා හැර වෙනත් දෙයක් සිදු වන්නේ නැත.
මන්ත්‍රිනී රෝහිණී මුහුණ පෑ ආකාරයෙන්ම හෙට දිනක තවත් මන්ත්‍රීණියක නින්දාවට අපහාසයට ගොදුරු වනු ඇත. තවත් තිස්ස කුට්ටිආරච්චිලා පාර්ලිමෙන්තුවේ සිටිති. එයද මේ සිද්ධිය මෙන්ම අමතක වී යනු ඇත. ඊ ළඟ මැතිවරණයේ දී නැවතත් බදුල්ලේ ජනතාව තිස්ස කුට්ටි ආරච්චිලා වියතුන් සේ සලකා සිය සර්වජන චන්ද බලයේ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට එවනු ඇත. ඒ ජනතාව අතර අන්ත නූගතාගේ සිට මහාචාර්ය වියතා ද ඔවුන්ට චන්දය දෙනු ඇත. එහෙව් රටේ බහුතර ජනතාවට බයියන් නොකියා වෙන කුමක් කියමුද..!
මේ ලිපිය බුද්ධිමත් ලංකා ඊ නිවුස් පාඨකයින්ට ලියා එවූ මා,
“මහත්තයෝ, මම නං රාජපක්ෂලාට මගේ චන්දේ දුන්නේ නැ” කියා හෘදයාංගමව සතුටු වන රට වැසියෙක් වෙමි.
---------------------------
by (2021-11-27 17:28:41)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි