~

“නැනෝ-යූරියා” ගෙන්වා ඒවාට “නැනෝ-නයිට්‍රජන්” කියා ගොවියා ගොනාට අන්දන තක්කඩි කෙරුවාවේ ඇත්ත කතාව..!

-මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුමගේ විග්‍රහය සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2021.නොවැ.22, පෙ.ව.9.50)  රසායනික පොහොර නොමැතිකම පිළිබඳ කනස්සල්ල පුළුල් ලෙස පවතී. කෘෂිකාර්මික ප්‍රජාව සහ ගොවීහු ඇමතිකාරයා සහ රජය කෙරෙහි සිය කෝපය පිට කරමින් සිටිති. ගොවීන් තම මහ කන්නයේ වී වගාව අත්හැර දමන බවට පවා තර්ජනය කර ඇති අතර, එවැනි ක්‍රියා අපගේ ආහාර සුරක්ෂිතතාවයට විනාශකාරී බලපෑමක් ඇති කරනු ඇත. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහල් අභිජනන විද්‍යාඥයින්ගේ කැප වීමෙන් මෙතෙක් අප ලබා ගත් සහල්වල ස්වයංපෝෂිතභාවයට මෙය දැඩි ලෙස බලපානු ඇත. කොම්පෝස්ට් සමග සම්පුර්ණයෙන්ම කාබනික බවට පත් වීමට රජය විසින් මෝඩ උපදෙස් මත ගන්නා ලද වැරදි තීරණයකි. 

මෑතක දී, යුරෝපීය සංගමයේ රටවල් 2030 වන විට 25% ක් කාබනික වීම කරා ගමන් කිරීමට තීරණය කළේ කළ-හැකි දේ සහ කළ-නොහැකි දේ තේරුම් ගෙනය. සෞඛ්‍ය සම්පන්න ශාක වර්ධනයක් සඳහා අවශ්‍ය පෝෂක ප්‍රමාණවත් ප්‍රමාණයකින් කොම්පෝස්ට් මගින් නොලැබෙන බැවින් 100% ක්ම කොම්පෝස්ට් කරා ගමන් කිරීම නිෂ්ඵලය.

මෝඩ ඇමැතිකාරයාගේ තරම...

මේ වන විට ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කෙරෙන, නැනෝ-නයිට්‍රජන් යයි කියන දියර පොහොරක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට බලධාරීන් තීරණය කර ඇත. බලධාරීන් එය නැනෝ-නයිට්‍රජන් ලෙස අත්තනෝමතික ලෙස හැඳින්වුව ද, එය සැබවින්ම නැනෝ-යූරියා ලෙස වර්ගීකරණය කළ නිෂ්පාදනයකි. 

නිෂ්පාදකයා විසින්ම මෙම නිෂ්පාදනය “නැනෝ-යූරියා” ලෙස ලේබල් කර ඇති අතර, අපගේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් එම දියර පොහොරට “නැනෝ-නයිට්‍රජන්” නමින් නව ලේබලයක් ගසා ඇත. 

“අපි ගෙන්වන්නේ නැනෝ-යූරියා නෙවෙයි, නැනෝ-නයිට්‍රජන්,” යයි කියමින් නිලධාරීන් විසින් අපේ [මෝඩ] කෘෂිකර්ම ඇමැතිකාරයා නොමග යවා තිබේ. මෙම නිෂ්පාදනයේ නම ඔහුට කෙතරම් විශ්වාස ද යත්, එය නැනෝ-නයිට්‍රජන් නොව නැනෝ-යූරියා බව ඉතා නිවැරදිව පෙන්වා දුන් පාඨලී චම්පික රණවකට එරෙහිව ඇමතිකාරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ගියේය..! 

තව ද, නිෂ්පාදකයාගේ ලීටරයක මිල ඩොලර් 7.74 සිට ශ්‍රී ලංකාවේ දී ලීටරයක මිල ඩොලර් 25 දක්වා මෙතරම් විශාල මිල වෙනසක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා රණවක රජයේ දේශපාලනඥයින්ට ප්‍රසිද්ධියේ චෝදනා කළේය.

උගත් බලධාරීන් අතර වැරදි මත..

සහල්වලට අමතරව සෑම අංශයක්ම ආවරණය වන පරිදි මෙම පොහොර අපගේ කෘෂිකර්මාන්තයට ඵලදායී වේ ද යන්න සොයා බැලිය යුතුය. ඉන්දියාවෙන් ආනයනය කරන ඊනියා “නැනෝ-නයිට්‍රජන්” රසායනික ද කාබනික ද යන්න පිළිබඳව අපගේ උගත් බලධාරීන් අතර වැරදි මත කිහිපයක් තිබේ. 

මෙම ඊනියා නැනෝ-නයිට්‍රජන් පොහොරවල ස්වභාවය පිළිබඳව සාමාන්‍ය ජනතාව දැන ගැනීම වැදගත්ය. සමහර වැදගත් කරුණු නම්: නැනෝ යන්නෙහි අර්ථය, සහ ඊනියා නැනෝ-නයිට්‍රජන් ද්‍රවය සාදන ආකාරය, සහ ඒ පිළිබඳ ඉන්දියාවේ ක්ෂේත්‍ර පරීක්ෂණවල ප්‍රතිඵලයි.

නැනෝ යූරියා හදන ආකාරය..

නැනෝ අංශු යනු නැනෝ මීටර (nm) 1 සිට 100 දක්වා පරාසයක විෂ්කම්භය ඇති අතිශය කුඩා අංශු ලෙස අර්ථ දක්වා ඇත. nm එකක් යනු මීටරයකින් බිලියනයකින් එකක් වන අතර ඒවා පියවි ඇසින් දැකිය නොහැක. උදාහරණයක් ලෙස කිරි යනු nm 50 සිට 600 අතර ප්‍රමාණයේ Casein Micelles සහිත ඉමල්ෂනයකි. 

ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඊනියා “නැනෝ-නයිට්‍රජන්” ද්‍රවය සාදා ඇත්තේ පළමුව සාම්ප්‍රදායික යූරියා හයිඩ්‍රොක්විනෝන් සමග මිශ්‍ර කිරීමෙනි. මෙම මිශ්‍රණය පසුව කැල්සියම් සයනමයිඩ් කුඩු මතට ඉසින අතර අවසානයේ නැනෝ අංශුවලට විසුරුවා හරිනු ලැබේ. අවසාන නිෂ්පාදනයේ හයිඩ්‍රොක්විනෝන් 1% ක්, කැල්සියම් සයනමයිඩ් 10% ක්, සහ යූරියා 90% කට ආසන්න ප්‍රමාණයක් තිබේ. ප්‍රතිඵලය වශයෙන් ලැබෙන නැනෝ අංශු nm 20 සිට 50 දක්වා ප්‍රමාණවලින් යුක්ත බව වාර්තා වේ. කැල්සියම් සයනමයිඩ් අවසානයේ ජලය සමග ප්‍රතික්‍රියා කර ඇමෝනියා ලබා දෙන අතර එය භාවිතා කරන පැරණිතම නයිට්‍රජන් පොහොරවලින් එකකි.

අමෙරිකානු රසායනාගාරයක සේවය කරමින් සිටිය දී Dr. Ramish Ralia විසින් නැනෝ-නයිට්‍රජන් සොයා ගන්නා ලදී. ඔහු දැන් ශ්‍රී ලංකාවට නැනෝ-යූරියා සපයන, ඉන්දියාවේ විශාලතම සමුපකාර සමිතියක් වන ඉන්දීය ගොවි පොහොර සමුපකාර සමාගමට (IFFCO) සම්බන්ධව සේවය කරයි. 

නැනෝ යූරියා ගැන කියන බොරු..

IFFCO විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර අත්හදා බැලීම්වලට අනුව, ඔවුන් කියා සිටින්නේ නැනෝ-යූරියා මිලි ලීටර් 500 බෝතලයක් යූරියා කිලෝ ග්‍රෑම් 45 ක මල්ලක් වෙනුවට ආදේශ කළ හැකි බවයි. මෙම බෝතලයක යූරියා ග්‍රෑම් 20 ක් පමණක් ඇති බැවින් එය විශ්වාස කිරීමට අපහසුය, මන්ද එහි අඩංගු වන්නේ සියයට 4% ක පමණ නයිට්‍රජන් වන අතර යූරියා කිලෝ ග්‍රෑම් 45 ක බෑගයකින් නයිට්‍රජන් කිලෝ ග්‍රෑම් 21 ක් ලැබේ. 

පසට එකතු කරන සාම්ප්‍රදායික යූරියාවලින් සියයට 40 ක් ශාක මගින් අවශෝෂණය කර ගත්ත ද ඒ අනුව ශාකවලට ලැබෙන නයිට්‍රජන් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 8.4 ක් වන අතර, එය නැනෝ යූරියාවලට වඩා 400 ගුණයකින් වැඩි නයිට්‍රජන් ප්‍රමාණයකි. පසෙහි යොදන යූරියා මෙන් නොව, නැනෝ-යූරියා දියර සෘජුවම පත්‍ර මත ඉසිනු ලබන අතර එහි දී එය පත්‍රවල පූටිකා විවරයන් හරහා අවශෝෂණය වේ.
 
සාම්ප්‍රදායික යූරියාවලට වඩා නැනෝ-යූරියාවල ඇතැයි කියන වාසි කෙසේ වෙතත්, සහල්, එළවළු සහ අනෙකුත් භෝග වගා කිරීම සඳහා අවශ්‍ය මූලික නයිට්‍රජන් අවශ්‍යතා සැපයීමට ඊට නොහැක. 

නැනෝ යූරියා අර්ථ විරහිත නාස්තිකාර වැඩක් වෙන හැටි..

ආරම්භක රෝපණ අදියරේ දී යූරියා අවශ්‍ය වේ. නැනෝ-යූරියා ප්‍රයෝජනවත් වන්නේ පසු කාලීන ශාක පත්‍ර වර්ධනය වන අවධියේ දී පමණි. ආරම්භක අවධියේ දී නැනෝ-යූරියා යෙදීම විද්‍යාත්මකව අර්ථ විරහිත වන අතර නාස්තිකාර ව්‍යායාමයකි. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියම කර ඇති පරිදි, වියළි කලාපය සඳහා යූරියා අවශ්‍යතාවය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 225 කි. යූරියා කිලෝ ග්‍රෑම් 50 ක් (සහනාධාර නොමැතිව) රු. 3,430 ක් වන වත්මන් මිල අනුව වියළි කලාපයේ ගොවියකුට දැරීමට සිදු වන්නේ රු. 15,435 කි. 

එසේම යූරියා අවශ්‍යතාවය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 140 ක් පමණක් වන තෙත් කලාපයේ ගොවියකුට යන වියදම රු. 9,604 කි. එම නයිට්‍රජන‍් අවශ්‍යතාවය කුඹුරු හෙක්ටයාරයකට ලබා දීමට නම් ගොවියෙකු නැනෝ-යූරියා ලීටර් 1250 ක් ඉසිය යුතුය. රජයේ ඇස්තමේන්තුවලට අනුව නැනෝ-යූරියා ලීටරයක මිල ද රු. 1,250 ක් වන බැවින් හෙක්ටයාරයකට මුළු පිරිවැය රු. 156,250 කි. 

කෙසේ වෙතත්, රජය විසින් හෙක්ටයාරයකට බෙදා හරිනු ලබන්නේ නැනෝ-යූරියා ලීටර් 2.5 ක් පමණක් වන අතර, එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ; ඒ අනුව සහල් නිෂ්පාදනය දැඩි ලෙස පහත වැටේ. 

අමාත්‍යාංශ නිලධාරීන්ට සරල අංක ගණිතය නොපෙනීම ගැන සමාව දෙනු බෑ..

ආනයනය කරන ලද නැනෝ-යූරියා රජය විසින් නොමිලයේ බෙදා හැරිය ද අවසානයේ නාස්ති වන්නේ බදු ගෙව‍න මහජනතාවගේම මුදල්ය..! කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට මේ සරල අංක ගණිතය නොපෙනෙන්නේ මන්ද යන්න පුදුම සහගත මෙන්ම සමාව දිය නොහැකි කරුණකි. 

එපමණක් නොව, නැනෝ-යූරියා වල කාර්යක්ෂමතාව පිළිබඳව ඉන්දියාවේ සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණ බරපතල තක්සේරුවක් සඳහා ප්‍රමාණවත් නොවේ; ඉන්දියාවේ කයිවාරුවල නිරවද්‍යතාවය තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ වැඩි දුර ක්ෂේත්‍ර අත්හදා බැලීම් සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ.

නැනෝ අංශුවලින් සිදුවන සෞඛ්‍ය හානිය..

නැනෝ-යූරියාවල නැනෝ අංශුවලට නිරාවරණය වීම නිසා ඇති වන සෞඛ්‍යමය බලපෑම් ද අප විසින් සලකා බැලිය යුතුය. නැනෝ පොහොරවල සෞඛ්‍ය ප්‍රතිවිපාක පිළිබඳව ලෝකය තවමත් අවබෝධ කර ගෙන නොමැති අතර එවැනි කුඩා අංශු පෙනලුවලට ආශ්වාස වීමෙන් ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති විය හැකිය. 

සියලුම වායු දූෂකවලින් වඩාත්ම භයානක වන්නේ සියුම් අංශු බවත්, ඒවා පෙනහලුවල ගර්ත තුළට ගොස් බ්‍රොන්කයිටිස්, නිදන් ගත තදබල පෙනහලු රෝග (COPD), හෘද රෝග පමණක් නොව පිළිකා පවා ඇති කරන බවත් වායු දූෂණය පිළිබඳ අධ්‍යයනවලින් හෙළි වී ඇත.

ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන් නැනෝ යූරියා ගැන සොයාගත් වැදගත් දෑ අමතක කිරීම..

ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන් විසින් 2012 වසරේ දී නැනෝ-යූරියාවල වෙනත් ආකාරයක් පිළිබඳව වාර්තා කර ඇත. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ සහ ඇයගේ කණ්ඩායමේ පර්යේෂණවලින් හෙළි වූයේ, හයිඩ්‍රොක්සිඇපටයිට් නැනෝ අංශුවලට යූරියා අවශෝෂණය කර කුඹුරුවලට යෙදූ විට, එය නයිට්‍රජන් සෙමින් සෙමින් මුදා හරින පොහොරක් ලෙස ක්‍රියා කරන බවයි. කෙලින්ම පසට යොදන, 60–70% අතර ප්‍රමාණයක් කාන්දු වී යන සාම්ප්‍රදායික යූරියා සමග එය සැසඳිය යුතුය. එමගින් පසට යෙදිය යුතු යූරියා ප්‍රමාණය දැන් යොදන ප්‍රමාණයෙන් අඩකට පමණ පහසුවෙන් අඩු කර ගත හැක. 

එප්පාවල පොස්පේට් නිධියෙන් හයිඩ්‍රොක්සිඇපටයිට් පහසුවෙන් සකසා ගත හැක. තව ද, ඇපටයිට් ද සෙමෙන් දිරා පත් වන අතර ශාකවල නිරෝගී වර්ධනය සඳහා අවශ්‍ය පොස්පරස් පෝෂ්‍ය පදාර්ථය ලබා දෙයි. 

ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් විසින් කරන ලද මෙම අගනා දේශීය නව නිපැයුම් සහ සොයා ගැනීම් පිළිබඳව, කුමන හෝ අවාසනාවක් නිසා, පාලකයන්ගේ අවධානය යොමු වන්නේ නැත. දේශපාලකයින් කෙටි කාලීන දේශපාලන වාසි තකා යම් යම් දේ පසු පස වේගයෙන් ලුහු බැඳීමේ අවදානමක් ගන්නා නමුත්, විද්‍යාඥයන් යෝජනා ඉදිරිපත් කරන්නේ ප්‍රතිලාභ සහ අවාසි හොඳින් කිරා බැලීමෙන් පසුවය. 

පැහැදිලිවම “සෞභාග්‍යයේ දැක්මේ” වූ දස අවුරුදු කෘෂිකාර්මික සැලැස්ම මරණයට පත් වූයේ එය සැලසුම් කළ ‘වියතුන්ට’ වඩා දේශපාලකයන් අතිනි.

පොහොර සූත්‍රයෙන් පොස්පරස් අතුරුදහන්..

රජය නයිට්‍රජන් ගැන කතා කරමින් පොටෑෂ් පවා ආනයනය කර ඇති අතර, NPK (නයිට්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම්) පොහොර සූත්‍රයෙන් පොස්පරස් අතුරුදහන් වී ඇත. සම්ප්‍රදායිකව, ආනයනික ත්‍රිත්ව සුපර් පොස්පේට් හරහා පොස්පරස් පෝෂක සපයනු ලැබේ. 

බලයට පත් වූ ආණ්ඩු අපේම එප්පාවෙල පාෂාණ පොස්පේට් නිධිය යොදා ගෙන පොස්පේට් පොහොර හැදීම ගැන කතා කර ඇත. සමහර නොපෙනෙන බලවේග මෙය ක්‍රියාත්මක කිරීම වළක්වන බැවින්, ඒවා කටින් බතල කොළ හිටුවන වාචාල කතාවලට සීමා වී ඇත. 

මෙම ලියුම්කරු විසින් තවත් විද්වතුන් සමග එක්ව පිළියෙළ කළ එප්පාවල පොස්පේට්වලින් තනි සුපර් පොස්පේට් (SSP) පොහොර නිෂ්පාදනය කිරීම සඳහා සවිස්තරාත්මක යෝජනාවක් 2018 දී කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත. මෙම ව්‍යාපෘතිය භාර ගැනීමට සීමාසහිත ලංකා පොස්පේට් සමාගමට බලය පවරමින් අවම වශයෙන් කැබිනට් තීරණ දෙකක් ඇත, නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත; පොස්පේට් පොහොර දේශීය නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.

අත්‍යවශ්‍ය ත්‍රිත්ව සුපර් පොස්පේට් සැපයීම සම්බන්ධයෙන් රජය සැලසුම් කරන්නේ කුමක් දැයි පැහැදිලි නැත. මුල් පොහොර (“මඩ පොහොර”) සඳහා යූරියා, ත්‍රිත්ව සුපර් පොස්පේට්, සහ පොටෑෂ් අවශ්‍ය වේ. අස්ථි වර්ධනය සඳහා ළදරුවන්ට කැල්සියම් සහ පොස්පරස් අවශ්‍ය වන අතර ඒවා කිරි මගින් සපයනු ලැබේ. 

ශාකවලට ද නිරෝගී වර්ධනයක් සඳහා පොස්පේට් අවශ්‍ය වේ. පොස්පරස් ඌනතාවය ශාක වර්ධනය අඩාල වීමට හේතු වන අතර, එනිසා දුර්වල අස්වැන්නක් ලැබේ. යූරියා මෙන් නොව, දින කිහිපයකට පසු නයිට්‍රජන් ඔක්සයිඩ ලබා දෙමින් දිරා පත් වන පොස්පේට්, පස සමග බැඳී වැඩි කාලයක් පසෙහි පවතින බැවින් ගොවීන්ට එක් කන්නයක් තුළ ක්ෂණිකව පොස්පේට් අවශ්‍ය නොවනු ඇත.

මේ අවස්ථාවේ නැනෝ-යූරියා ඵලක් නැත..

දැන් බීජ පැල කරන මේ අවස්ථාවේ දී නැනෝ-යූරියා සැපයීමෙන් ඵලක් නැත; එය වල් පැලෑටි වර්ධනය පමණක් ප්‍රවර්ධනය කරනු ඇත; වල් නාශක ද නොමැති ගොවීන්ට එය ද පාලනය කිරීමට ක්‍රමයක් නැත. 

නැනෝ-යූරියා ප්‍රයෝජනවත් වන්නේ පසු කාලීනව පත්‍ර සම්පූර්ණයෙන් වර්ධනය වූ “බණ්ඩි පොහොර” අවධියේ දී පමණි. ගෙන් වූ නැනෝ-යූරියා නිෂ්පාදකයා පවා කියා සිටින්නේ එය අතිරේක පොහොරක් ලෙස භාවිතා කළ යුතු අතර නයිට්‍රජන් පොහොරවල මූලික අවශ්‍යතාවය ප්‍රතිස්ථාපනය නොකරන බවයි. 

පුළුල් අත්දැකීම්වලින් පෝෂණය වූ, කැළඹීමට පත් වූ ගොවීන් අවසානයේ දී ඔවුන්ගේ ජීවනෝපාය විනාශ වී යාමෙන් පීඩාවට පත් වනු ඇත; රටේ කෘෂිකාර්මික ඵලදායිතාවයට බරපතල බලපෑමක් එල්ල වෙනු ඇත.

-2021 නොවැම්බර් 18 වන දින Sunday Island වෙබ් අඩවියේ පළ වූ, Prof. O. A. Ileperuma ලියූ, ‘Nano nitrogen and nano urea’ නම් අදහස් දැක්වීම සිංහලට පරිවර්තනය කළේ,

-ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2021-11-22 04:33:55)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links