~

'මැණිකේ මගේ හිතේ' ගීයත් වනසා, බුදුන්ට ‘නුඹ’ කියමින් බැතිය පුදන නරුම බැති ගීයක්..!

-විශේෂ ලියුම්කරුවකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2021.නොවැ.07, ප.ව.1.00) වර්තමාන සමාජය අන් කවරදාටත් වඩා තරඟකාරී වී තිබේ. ධනය, බලය, කීර්තිය ආදී සමාජමය වරප්‍රසාද උදෙසා ඕනෑම ජඩ වැඩක් කිරීමට බොහෝ දෙනෙක් පෙළඹෙති. ඒ සම්බන්ධ අලුත්ම සහ ආසන්නතම නිදසුන යොහානි ද සිල්වා යොවුන් ගායිකාව ගයා ජාත්‍යන්තර වශයෙන් මහත් ආන්දෝලනයට පත් “මැණිකේ මගේ හිතේ’, නම් ගීතයේ ආගමික පාඨාන්තරයක් හෙවත් Carol version එකක් අන්තර් ජාලයට මුදාහැර තිබීම ය.

වයස අවුරුදු අටේ දහයේ කුඩා දරු දැරියන් ගේ සිට මැදිවියේ කාන්තාවන් දක්වා වන කාන්තා බහුතරයක් සුදු වතින් සැරසී ජලාශයක් අද්දර හිඳ ගායනා කරන බව නිරූපණය කෙරෙන එහි රූපමය ජවනිකාවලට භාවනානුයෝගී භික්ෂුනීන් බව හැඟවෙන කාන්තා රූප කිහිපයක් ද එක් කොට තිබේ. 

බුදු හිමියන් ‘නුඹ’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම..

එහෙත්, එහි කාගේත් දැඩි අවධානයටත් කුතුහලයටත් හේතු වන දෙයක් වනුයේ “මැණිකේ මගේ හිතේ” ගීතයේ පදමාලාවට අනුරූප වන සේ මෙලෝ රහක් නොමැති නිකම්ම නිකම් පද ඇමුනුමක් වන එම ගීතයේ අවස්ථා ගණනාවක දීම බුදු හිමියන් ‘නුඹ’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම ය.

වත්මන් ව්‍යවහාරික සිංහලයෙහි ‘නුඹ’ යනු නොවැදගත් ආමන්ත්‍රණයකි. ‘නුඹ’ යන පැරණි සිංහල වදන වර්තමානයේ ‘උඹ’ යනුවෙන් ව්‍යවහාර වන අතර සාම්ප්‍රදායික දේශීය ජනවහරෙහි සාමාන්‍ය ආමන්ත්‍රණයක් සේ සැළකුණු උඹ යන්න අද වන විට උපහාස අපහාස භාෂණයක් වී තිබේ. තම සමීපතමයකුට හැරුණු කොට තමන්ට වඩා උසස් හෝ තමන් හා සම තත්වයේ පසුවන කෙනෙකුට වුව උඹ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සදාචාර විරෝධී දෙයක් සේ සැලකේ. කිසියම් ආයතනයක නිලධාරියකු වුව තමන්ට වඩා කනිටු නිලධාරියකුට පවා හුදු සුහද, මිත්‍රශීලී බවකින් තොරව ‘උඹ’ යනුවෙන් ඇමතීම ආයතනික විනය උල්ලංඝනය කරන්නකි. රාජ්‍ය නිලධාරීන් තම රාජකාරී කටයුතු වලදී මෘදු, සුමට භාෂාවක් භාවිතා කළ යුතු බව ආයතන සංග්‍රහයෙහි ද දැක්වෙයි. 

‘කවදාවත් උඹ, බං, බොලං” කියාගෙන නෑ..

මීට අමතරව නුඹ යන අරුත ගෙනෙන උඹ යන්න යමකු තුළ පවත්නා අහිතවත්කම පැවසෙන සන්නිවේදනයක් බවට ගැමි සමාජයේ ද විශ්වාසයක් තිබී ඇත. යම් අඹු සැමි යුවලකගේ දැඩි සුහදත්වය පළ කිරීම සම්බන්ධයෙන් යෙදෙන ‘කවදාවත් උඹ, බං, බොලං” කියාගෙන නෑ යන ජන වහර ඊට කදිම නිදසුනකි. “මැණිකේ මගේ හිතේ ගීතයේ” පදමාලාවට, තනුවට, ගායනයට වසඟ වී හුදෙක් ජනප්‍රියත්වයට පිවිසීමේ කෙටි මඟක් සෙවූ එම ගීතය තුළින් බුදු හිමියන්ට 'නුඹ' යනුවෙන් නැවත නැවත ආමන්ත්‍රණය කරනුයේ එම පසුබිම යටතේ ය.

අප රටේ පවත්නා සංස්කෘතික පදනම යටතේ කිසිදු කවර ආකාරයකින් හෝ බුද්ධ චරිතය නිරූපණය කොට දැක්වීමට අවසර නැත. එසේ කළහොත් එම නිර්මාණයට තහංචි පැනවීමට පවා හැකියාවක් ඇති නීති, අන පනත් අප රටේ තිබේ. යොහානි ද සිල්වා ගැයූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ලත් ජනප්‍රියත්වයේ සෙවනැල්ලට යටින් පහසු ඉක්මන් ජනප්‍රියත්වයක් ලබා ගැනීමට වෙර දැරූ මේ මෝඩ නඩයට ඒ පිළිබඳව කිසිදු හැඟීමක්, දැනීමක් තිබී නැත..

ත්‍රිපිටක සාහිත්‍යයේම මෙහෙම දෙයක් නෑ..

බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී නොයෙක් ආකාරයේ නින්දා අපහාස පරිභවයන්ට ලක් වූ බව බෞද්ධ සාහිත්‍යයෙන් පැහැදිලි වෙයි. දේවදත්ත, ආලවක, සච්චක, ආදී බොහෝ දෙනෙක් බුදුන් වහන්සේට නිග්‍රහ වන ලෙසින් කතා කොට තිබේ. එහෙත්, අප දන්නා පරිදි භක්ති ප්‍රණාමය පිදීමක් ලෙසින් උන්වහන්සේට මෙසේ අවමන් කළ සිදුවීමක් සමස්ත ත්‍රිපිටක සාහිත්‍යයේ ම නැත.

මෙම නරුමක්කාර නඩයට හිටි හැටියේ මෙලෙස බොදු බැතියක් පහළ වීමට සැබෑ හේතුව කුමක්ද? එහි ඇත්තම කතාව වනුයේ “මැණිකේ මගේ හිතේ” ගීතයට ලැබී ඇති මෙම අති මහත් ජනප්‍රියත්වයට මුවා වී කෙසේ හෝ ඉදිරි ගමනක් යාමට මෙම නරුමක්කාර නඩයට තිබූ අතෘප්තිකර අසාවය. මහ පාරේ සයිරන් හඬ නංවමින් ගිලන් රථයක් යන විට ඒ සඳහා ලැබෙන ඉඩ ප්‍රස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඊට පිටුපසින් ගොස් සෙසු වාහන වලින් ඉස්සර වීමට වෙර දරන මෝඩ වාහන රියැදුරන් ගැන අපි දනිමු. මේ ද එවැනි කපටි උත්සාහයකි.

පහන්තුඩාව වීඩියෝවට පෙරට ආ භික්ෂූන් කෝ..?

පසුගිය දිනෙක පහන් තුඩාව ඇල්ල පාමුල ලිංගික දර්ශන සහිත වීඩියෝවක් පටිගත කොට අන්තර් ජාලයට මුදා හළ බව පැවසුණු යුවලකට එරෙහිව දැඩි පියවර ගන්නැයි ඉල්ලා සිටි පිරිස් අතරේ පස්සරමුල්ලේ දයාවංශ නම් භික්ෂුවක් ද විය. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලා සිට ඇත්තේ එහි දැක්වෙන කාමුක රූප රාමු මගින් අප රටේ සභ්‍යත්වයට, සංස්කෘතියට මරු පහරක් එල්ල වන බව ය. සාමාන්‍යයෙන් යමකු එබඳු දර්ශන පෙළක් පිළිබඳව ශ්‍රවණ මාත්‍රයකින් පමණක් ජනපතිවරයාට ලිපියක් යොමු නොකරන බව කුඩා දරුවකුට වුව වැටහෙනු ඇත. ඒ අනුව අපට ඒකාන්ත වශයෙන්ම පැවසිය හැක්කේ එම භික්ෂුව ද ඒ කාම වීඩියෝව අන්තර් ජාලයෙහි නරඹා ඇති බවකි. එවන් අගුලු දැමූ වීඩියෝ පවා අන්තර් ජාලයෙන් හාරාවුස්සා එළියට ගැනීමට තරම් දක්ෂ භික්ෂුන් හිඳින අප රටේ බුදු හිමියන්ට “නුඹ” යනුවෙන් අනියමින් බැණ වදින මෙම වීඩියෝව ගැන මේ දක්වා කිසිදු භික්ෂුවක මුවින් කෙළ පොදක් බිම හෙළා ඇති බවක් අපට නොහැඟේ. අඩුම තරමින් සමස්ත ජාතියටම වසක් බවට පත් වී ඇති වත්මන් පොහොර අර්බුදයේදී ජනපති ගෝඨා වෙනුවෙන් කුලියට කහිමින් රට වටේ යන වොයිස් කට් නිකායේ අලජ්ජි භික්‍ෂුවක්වත් බුදුන්ට සිදුවන මෙම නිගරුව සම්බන්ධයෙන් මී හඬක්වත් නඟා නැත. 

මෙහෙම ගියොත් බුදුන්ට "මචං" කියයි

බැලූ බැල්මටම පෙනෙන අන්දමට මෙම වීඩියෝව සඳහා අප බෞද්ධ ජන සමාජයේ යම් පිරිසක් ද සහභාගී කරවා ගෙන තිබේ. එම ගීතය ගායනා කරන බව අඟවමින් ගායන නිරූපණයක යෙදෙන්නෝ ඔව්හු ය. එහෙත්, ඔවුන් කිසියම් ගතමනාවක් මුල් කොට මෙම සදාචාර විරෝධී වීඩියෝවට පෙනී සිටියේ ද නැතහොත් කාටත් වැටහෙන බසින් කිවහොත් මෙලෝ හසරක් නොදන්න කමට; ගොන් කමට මීට පෙනී සිටියේ ද යන්න ද මේ සමඟම විමසිය යුතුය. නොසේ නම් මේ යන අන්ධභූත රැල්ලේ හැටියට බුද්ධාදී මහෝත්මයානන්ට ‘මචං’ යනුවෙන් ආමන්ත්‍රණය කෙරෙන බැති ගී ද නුදුරේ දීම කළ එළි දැක්වීමේ පහසු ඉඩකඩක් තිබේ.        

විශේෂ ලියුම් කරුවකු විසිනි

අදාල නරුම ගීතය පහත දැක්වේ

---------------------------
by     (2021-11-07 07:31:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links