~

රාජයුගය හොඳනම් මහනුවර රාජධානියේ දණ්ඩ නීති සංග්‍රහයෙන් මෙදා රටේ කෑලි පිටරටුන්ට විකුණන දේශද්‍රෝහීන්ට දඬුවම් කරමු..!

-ඩේලි නිව්ස් ලිපියක් සිංහල නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2021.ඔක්.14, පෙ.ව.8.15) මහනුවර රාජධානියේ කෘර රජෙකු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හංවඩු ගැසීමට ඇහැලේපොළ කුමාරිහාමි සහ ඇගේ දරුවන් ඝාතනය කිරීම එකම හේතුව විය හැකිය.

එම යුගය පිළිබඳව සිංහල ලේඛකයින් ලියූ විශ්වාසදායක ලියවිල්ලක් හෝ වාර්තාවක් නොමැත. එනිසා අපට මුළුමනින්ම යැපෙන්නට සිදු වන්නේ, රජු පිළිබඳ සිදු වීම් බොහෝ විට විකෘති කළ බ්‍රිතාන්‍යයන් විසින් ඉතිරි කරන ලද වාර්තා මතය. නමුත් ජෝන් ඩේවි, දොස්තර හෙන්රි මාර්ෂල්, සහ විලියම් ග්‍රෑන්ඩ්විල් වැනි ස්වාධීන බ්‍රිතාන්‍ය විශ්ලේෂකයින් විසින් රජු පිළිබඳ බොහෝ තොරතුරු අපට ලබා දී තිබේ.

ශ්‍රී වික්‍රම රාජසිංහ නූගත් පාලකයෙකු නොවේ..

එවකට අවුරුදු 20 ක් පමණ වයස් වූ ශ්‍රී වික්‍රම රාජසිංහ වැනි තරුණ පාලකයෙකුගෙන් අවුරුදු 17 කටත් වැඩි කාලයක් තිස්සේ උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන්ට නොහැකි විය. එයින් ලැජ්ජාවට හා කළකිරීමට පත් වූ බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීමේ උපක්‍රමයක් ලෙස රජු පිළිබඳ තොරතුරු විකෘති කිරීමට පටන් ගත් බව ඉහත කී ඉංග්‍රීසි ලේඛකයන්ගේ ලිපි ලේඛනවලින් මනාව සනාථ වේ.

බ්‍රිතාන්‍යයන් විසින් මුලින්ම රජු හඳුන්වා දෙන ලද්දේ කිසිදු අධ්‍යාපනයක් නැති, නිකම්ම නිකම් කරපිංචා වගා කරන්නෙකු ලෙසය. එය සත්‍යයක් නොවීය.

එකල සිටි ප්‍රවීණ බුද්ධිමත් භික්ෂූන් වහන්සේලා යටතේ රජතුමා අධ්‍යාපනය ලබා සිටි බව සනාථ කිරීමට සාධක තිබේ. ගරු මොරොන්තොට ධම්මානන්ද හිමියන් සහ ගරු කොබ්බෑකඩුවේ සිරිනිවාස හිමියන් විසින් ඔහුට මූලික අධ්‍යාපනය ලබා දෙන ලද බව සනාථ වී ඇත.

ඉංග්‍රීසීන් උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමේ දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් සමහර බ්‍රිතාන්‍ය සොල්දාදුවන් අමු අමුවේ මරා දමන ලද බව බ්‍රිතාන්‍යයන්ගෙන් එල්ල වන තවත් එක් චෝදනාවකි.

රජු සිරකරුවෙකු ලෙස අල්ලා ගත් පසුව බ්‍රිතාන්‍ය ජාතික මැක්ඩොනල්ඩ් සමග ගමන් කරමින් සිටිය දී රජු හෙළි කළේ ඔහුට හඟුරන්කෙතට පසුබැස යාමට සිදු වූයේ  පිලිමතලාවේ [අදිකාරම්] කළ අපරාධය නිසා බවය.

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ තියුණු බුද්ධියකින් යුතු ඉතා සිත් ගන්නා සුළු මිනිසෙකු විය..

ඔහු වයස අවුරුදු 8 දී රජ විය.

රාජාධිරාජසිංහ රජුගේ සමීපතම ඥාතියෙකු වූ කන්නසාමි කුමරුට ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් ඔටුනු පළඳින්නට මුළු වටපිටාවම සකස් කර දුන්නේ  පිලිමතලාව මහ අදිකාරම්ය. කුමරු රජකමට පත් වන විට වයස අවුරුදු අටකි.

කන්නසාමි නමැති ළදරු කුමරා උඩරට රාජධානියේ රජු බවට පත් කළේ  පිලිමතලාවගේ යටි හිතේ සැඟවුනු න්‍යාය පත්‍රයක් තිබූ හෙයිනි.

අගමැතිගේ රාජ ‌ද්‍රෝහිකම් සහ දේශ ද්‍රෝහිකම්..

පසුව රජතුමා රජකමින් ඉවත් කිරීමට  පිලිමතලාවේ සෑම උපක්‍රමයක්ම කළේය. වරක් ඔහු ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා මහනුවර හරහා මාර්ගයක් ඉදි කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් රජතුමාට හඳුන්වා දුන්නේය. රජු ඉතා උපායශීලීව එය ප්‍රතික්ෂේප කළේය.

පසුව පිලිමතලාවේ තම පුත් කීර්ති බණ්ඩාරට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ දියණියක විවාහ කර දෙන ලෙස යෝජනාවක් කළේය. 

මෙම යෝජනාව ද රජු විසින් දැඩි කෝපයෙන් යුතුව ප්‍රතික්ෂේප කෙරිණ.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ද්වන්ධ සටනක යෙදී සිටියේය. එක් පැත්තකින් බ්‍රිතාන්‍යයන්ය; අනෙක් පැත්තෙන්  පිලිමතලාවේය.

බ්‍රිතාන්‍යයන්ගෙන් ඇති වූ කරදර ගැන රජුට එතරම් වේදනාවක් නොතිබුණ නමුත්  පිලිමතලාවේගේ පාතාල ක්‍රමන්ත්‍රණවලට මුහුණ දීම රජතුමාට ඉවසිය නොහැකි කරුණක් විය.

අගමැතිට එරෙහි පළමු විශේෂ ‘මහාධිකරණ’ නඩු විභාගය..

අවසානයේ දී ඉවසීමේ හා උපේක්ෂාවේ සීමාව කරා ළඟා වූ රජු, රාජ්‍යත්වයට එරෙහිව  පිලිමතලාවේ සිදු කළ අකටයුතුකම් ගැන සොයා බැලීමට විමර්ශන මණ්ඩලයක් පත් කළේය.

එම මණ්ඩලය විසින්  පිලිමතලාවේ වැරදිකරුවෙකු බවට තීන්දු කරන ලදී. ඒ අනුව රජතුමා  පිලිමතලාවේ තනතුරින් පහ කර ඔහුට සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වීමට සැලැස්වීය.

එවැනි ඉරණමකට ලක් වූව ද,  පිලිමතලාවේ මහ අදිකාරම සිය උත්සාහය අත්හැරියේ නැත. ඔහු රජුට විරුද්ධව කැරැල්ලකට නායකත්වය දුන්නේය.

රජුට එරෙහි මෙම අරගලයට නායකත්වය දීමට පිලිමතලාවේ තම පුත් කීර්ති බණ්ඩාර ද යොමු කළේය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එය සාර්ථකව මැඩ පැවැත් වීය.

අගමැතිට එරෙහි දෙවන විශේෂ ‘මහාධිකරණ’ නඩු විභාගය..

රජු පසුව  පිලිමතලාවට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා දෙවන විමර්ශන මණ්ඩලයක් ද පත් කළේය. ඉදිරිපත් වූ චෝදනාවලට පිලිමතලාවේ වැරදිකරු යයි නිගමනය කළ විමර්ශන මණ්ඩලය ඔහුට මරණ දඬුවම නියම කළේය.

කීර්ති බණ්ඩාරට ‘ජනාධිපති’ සමාව සහ උසස් නිලයක්..

පිලිමතලාවේගේ පුත්‍රයා වූ කීර්ති බණ්ඩාරට ද මරණ දඬුුවම නියම විය. එහෙත් රජු ඔහුට හානියක් කළේ නැත. ඔහුට සමාව දුන් රජතුමා ඔහු මාලිගාවේ දියවඩන නිලමේ තනතුරට පවා පත් කළේය.

රජතුමා ඉතාමත් කුරිරු රජෙකු ලෙස හංවඩු ගසන්නේ මෙම සිද්ධි දාමයේ අවසාන ජවනිකාව නිසාය.

නව අගමැතිවරයෙකු පත්වීම..

මරා දමන ලද පිලිමතලාවේ මහ අදිකාරම් වෙනුවට ඔහුගේ ඥාති පුත්‍රයා වූ ඇහැලේපොළ නිලමේ පත් විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන කාලය තුළ වර්ෂ 1811 සිටි 1814 දක්වා රජුගේ මහ අදිකාරම වූයේ ඇහැලේපොළ නිලමේය. 
නව අගමැතිගේ දේශ ද්‍රෝහිකම් සහ රාජ ද්‍රෝහිකම්..

රජුට එරෙහිව සබරගමුව පළාතේ පැන නැගුණු කැරැල්ලක් මැඩලීම සඳහා රජු විසින් ඇහැලේපොළ අදිකාරම එහි යවන ලදී. ඔහු කැරලිකරුවන්ට එකතු විය. පසුව ඔහු කොළඹට පලා ගොස් බ්‍රිතාන්‍යයන් හා එකතු විය. 

රාජ නියෝගය අනුව සති 3 ක් ඇතුළත යටත් වීමට ඇහැලේපොළ අසමත් විය. 

අගමැතිගේ මුළු පවුලම මරා දැමිමට තීන්දු වෙයි..

අපට පෙනී යන්නේ ඇහැලපොලගේ මුළු පවුලම ඝාතනය කිරීමට දුන් තීන්දුව රජුගේ තීරණයක් නොවන බවයි. විනිශ්චය මණ්ඩලයේ තීන්දුව වූයේ, රාජ ද්‍රෝහියා වාසස්ථානය අතහැර දමා පලා ගියේ නම්, ඔහුගේ පවුලේ පැවතෙන්නන් මරා දැමීමයි. එය උඩරට රාජධානියේ නීතියේ ආධිපත්‍යය විය.

විනිශ්චය මණ්ඩලයේ නායකයා වූ මුල්ලේගම විසින් ඕලූ කොළයක ලියූ අවසාන තීන්දුව රජතුමාට භාර දෙන ලද අතර රජු එයට අත්සන් කළේය. 

ඇහැලේපොළ අදිකාරම්ගේ පිරිමි දරුවන් දෙදෙනා සහ සහෝදරයා හිස ගසා මරා දමන ලදී. අදිකාරම්ගේ සිඟිති පුත්‍රයා වංගෙඩියකට දමා කෙටීමෙන් මරණයට පත් කරන ලද අතර, අදිකාරම්ගේ බිරිය ඇහැලේපොළ කුමාරිහාමි සහ ඔවුන්ගේ ලේලිය සහ නැන්දණිය ද මහනුවර වැවේ ගිල්වා දැමිණ.

එකල දණ්ඩ නීති සංග්‍රහය..

උඩරට දණ්ඩ නීති සංග්‍රහය අංශ කිහිපයකින් සමන්විත විය. ඒවා ධර්ම නීතිය, ප්‍රවේණි නීතිය, සහ රාජ නීතිය ලෙස හැඳින් විණ.

ඇහැලේපොළගේ දරු පවුල ඝාතනය කිරීම ගැන තීරණය කළ යුත්තේ උඩරට රාජධානියේ එවකට පැවති නීතිය පදනම් කර ගෙනය.

වෙනත් රටවල සුළු වැරදිවලට දුන් දඬුවම්..

වෙනත් රටවල අපරාධකරුවන්ට හෝ නීතිය කඩ කරන්නන්ට දී ඇති දඬුවම් අනුව බලන විට, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වරදක් කර නැති අතර රටේ නීතිය තහවුරු කර ඇත.

ස්කොට්ලන්තයේ සුළු වැරදි සඳහා කාන්තාවන්ට දෙන ලද දඬුවමක් වූයේ, එක්කෝ හිස ගසා දැමීමය; නැති නම් කණුවකට බැඳ, ගිනි තබා, පුළුස්සා දැමීම හෝ මිය යන තුරු මුහුදු ජලයේ ගිල්ලවා දැමීමය.

විදේශිකයන් රාජද්‍රෝහීන්ට දුන් දඬුවම්..

ලන්දේසි සමයේ ලංකාවේ පළාත් රජෙකු බවට පත් වීමට උත්සාහ කළ එක් ලන්දේසි ආණ්ඩුකාරවරයෙකු වන පැට්රීස් ස්ටුවර්ට් බල්හාවියාවට පිටුවහල් කරන ලදී. එහිදී ඔහුගේ ශරීරය කැබලිවලට කපා මරා දැමිණ.

මේවා, යටත් කර ගත් ආසියානු රටවල්වලින් පීඩාවට පත් වූ යුරෝපීයයන් විසින් ඒ රටවල් ශිෂ්ට සම්පන්න කිරීම සඳහා දෙන ලද දඬුවම්වලින් සමහරකි.

මහනුවර රාජධානියේ දණ්ඩ නීති සංග්‍රහයට සහ එදා පැවැති නීතියේ ආධිපත්‍යයට අනුව මෙම දඬුවම් සලකා බැලුවහොත්, ශ්‍රී ලංකාවේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කෘර පාලකයෙකු ද නැති ද යන්න පහසුවෙන් නිගමනය කළ හැකිය.

-2010 අගෝස්තු 30 වන දින Daily News වෙබ් අඩවියේ පළ වූ, H. A. W. Hewawasam ලියූ, ‘Was King Sri Wickrama Rajasinghe a cruel king?’ නම් ලිපිය තවත් ඉතිහාස ගත තොරතුරු ඇසුරෙන් සිංහලට පරිවර්තනය කළේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2021-10-14 02:51:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links