-විශේෂ ලියුම්කරුවෙක් හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2021.සැප්.24, ප.ව.6.00) ජනකාන්ත වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය නළු විජය නන්දසිරි දේශපාලනික වශයෙන් එවක මහින්ද රාජපක්ෂ රජයට හිතවත්ව කටයුතු කළ කලාකරුවෙක් විය. එනිසාම විජය අගමැති මහින්ද රාජපක්ෂ ජනපති පදවිය දරන සමයේ ඔහු ගේ සිත් දිනාගත් පුද්ගලයෙක් ද විණි.
’‘සර්, මට දැන් සෑහෙන කාලෙක ඉඳලා දියවැඩියාව තියනවා. ගන්න බේත් වලින් ඒ හැටි සනීපෙකුත් නෑ. අර සර් ළඟ ඉන්න ඩොක්ට’ ඒලියන්ත වයිට් ට හරි....” දිනක් ජනපති මහින්ද හමු වූ විටෙක විජය තමන් තුළ පවතින රෝග තත්වයක් ගැන යන්තම් ඉඟි කළා පමණි. මහින්ද හනික තමන් අතේ වූ ජංගම දුරකථනයෙන් කාට හෝ ඇමතුමක් ගත්තේ ය.
“ඩොක්ට’ ඔයා දන්නවනේ විජය නන්දසිරි, මිනිහා රටක් වටින කලාකාරයෙක් නේ; මිනිහට ඩයබිටික්ස්, ඔය තැන් තැන්වලට ගිහින් වැඩේ කා ගන්න කලින් මම මිනිහව ඔයා ළඟට එවනවා. ඉක්මනට මොනවා හරි කරන්න ඕනේ; ඔව්... ඔව්... හරි... හරි....” දුරකථනයෙන් එලෙස දඩි බිඩියේ කිසිවකු ඇමතූ ජනපති මහින්ද ඒ සමඟම විජය නන්දසිරි ඇමතී ය.
“හරි; ඕවා බලාගෙන ඉන්න හොඳ අසනීප නෙවෙයි; ඔයා දැන්ම ගිහින් ඩොක්ට’ ඒලියන්තව හම්බු වෙන්න; එයා ඉතින් බරපතල ලෙඩ තිබුණු සචින් තෙන්දුල්කාර්ලව, සල්මාන් ඛාන්ලව එහෙමත් ගොඩදාපු මිනිහනේ” මහින්ද කීයේ මහත් උජාරුවෙනි.
හුදෙක් පාලනය කරගනු මිස කිසිදා නිට්ටාවටම සුව කළ නොහැකි රෝගයක් ලෙස ලෝක සම්මත දියවැඩියා රෝගය මහත් හාස්කම් පළ කරන මේ රාජකීය හෙවත් VIP වෛද්‍යවරයා වන ඒලියන්ත වයිට් සුව කරනු ඇතැයි යන විශ්වාසය විජය නන්දසිරි තුළ ද යම් තරමකට හෝ මෝදු වන්නට ඇත. තමන් පිළිබඳව කිසිදු පුරසාරමක් නොදොඩන විජය ජනපති මහින්ද වෙතින් ලැබුණු මේ ආශ්චර්යමත් වරප්‍රසාදය ගැන කලා ලෝකයේ සමීපතමයන් කිහිප දෙනකු සමඟ පවසා තිබිණ.
ඒ අනුව, ඒතාක් විධිමත් වෛද්‍ය ප්‍රතිකාර මඟින් තම දියවැඩියා රෝගය යම් තරමකට හෝ පාලනය කර ගෙන සිටි විජය නන්දසිරි ඒලියන්ත වයිට් ගෙන් ප්‍රතිකාර ගැනීම අරඹන ලද්දේ ජනපති මහින්දගේ ඒ ‘වරප්‍රසාදයත්’ සමඟිනි. එහෙත්, ඒලියන්ත වයිට් මුල් වරට හමු වූ දිනම විජය නන්දසිරිට අසන්නට ලැබී ඇත්තේ අමුතුම කතාවකි. එනම් “වෛද්‍ය විද්‍යාවට දියවැඩියාව සුව කළ නොහැක්කේ එය මේ ලෝකයේ විද්‍යාවක් නිසා බව ය. එහෙත්, තමන් සතුව ඇත්තේ විශ්ව ශක්ති බලය නිසා දියවැඩියාව වුව පහසුවෙන් සුව කළ හැකි” බව ඔහු කියා තිබේ. ඒලියන්ත වයිට් ගේ බාහිර පෙනුම, රූපකාය, කතා ශෛලිය ආදී බොහෝ කරුණු අතිශය චින්තාකර්ශනීය වූ බැවින් එහි කිනම් හෝ සත්‍යයක් තිබෙන්නට ඇතැයි විජය නන්දසිරිට ද සිතෙන්නට ඇත. එහෙත්, කලක් තිස්සේ ඒලියන්ත වයිට් ගෙන් ප්‍රතිකාර ලබන අතරේ වුව තමන් ගේ දියවැඩියා රෝග තත්වය දිනෙන් දින වැඩිවීමත්, විවිධ සංකූලතා මතුවීමත් මුල් කොට පවුලේ ඥාතීන් ගේ ඉල්ලීම පිට විජය නන්දසිරි නැවතත් සුපුරුදු වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුව තිබේ. ඒ වන විට ඔහුගේ තත්වය අතිශය නරක අතට හැරී ඇති බව ඔහුට දැන ගැනීමට හැකි වෙයි. ඒ තත්වය කොතෙක් බරපතල ද යත් එහි ප්‍රතිඵලය වනුයේ ශීඝ්‍රයෙන් වර්ධනය වූ දියවැඩියා සංකූලතාවයන් හි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ එක් පාදයක් වළලු කර අද්දරින් කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුවීම ය. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවීමට නොහැකිය යන පිරුළ විජය නන්දසිරි ගේ සිතට ඒ මොහොතේ සිය දහස් වර පිවිසෙන්නට ඇත. නමුත් ඉන්පසුව ද එම පාදය සඳහා යොදා ගත් පාවහන් වල ආධාරයෙන් තම රංගන කටයුතු එලෙසින්ම පවත්වාගෙන යාමට මෙම අපූරු මිනිසාට හැකි වීම බෙහෙවින් අගය කළ යුත්තකි. නමුදු තමන්ට අත් වූ මෙම විපතට මහින්ද රාජපක්ෂ සහ ඒලියන්ත වයිට් සම වගඋත්තරකරුවන් විය යුතු බව විජය නන්දසිරි කිසි තැනක ප්‍රසිද්ධියේ කියා නැත ඒ ඔහුගේ මහත්මා ගතිය නිසා ය. ඒත් කලා ක්ෂේත්රයේ සමීපතමයන් කිහිප දෙනෙකුට පමණක් ඔහු තමන් මුහුණ දුන් මෙම අවාසනාවන්ත අත්දැකීම පිළිබඳව අතිශය පෞද්ගලික මට්ටමින් කියා තිබිණ. මේ අතර ඒ වන විට විජය නන්දසිරි තුළ ශීඝ්‍රයෙන් ඉස්මතුව තිබූ දියවැඩියා සංකූලතා අතුරින් හදිසි හෘද සංකූලතාවක් ඉස්මතු වීම මත 2016 වසරේ අගෝස්තු 08 දා පෙරවරුවේ හදිසියේ රෝගාතුර වූ විජය නන්දසිරි කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් තිබිණ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ දෙකකි. නමුත් විජය නන්දසිරි ගේ මරණය පිළිබඳ මෙම පසුබිම් කතාව මෙතෙක් මාධ්‍ය හමුවේ අනාවරණය වී නැත.
අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ සිට තම පෞද්ගලික වෛද්‍යවරයා වශයෙන් අත පොවන මානයෙන් තබා ගත් ඒලියන්ත වයිට් වෛද්‍ය වෘත්තිය හා කිසිදු සම්බන්ධයක් ඇති අයෙක් නොවේ. උපතින් බර්ගර් ජාතිකයකු වූ ඔහුගේ මුල් නම ඒලියන්ත ලින්ඩ්සේ විය. ඔහු නුගේගොඩ ප්‍රදේශයේ ඉපිද හැදී වැඩී තම ජීවිතයේ යොවුන් වියේ සිටම අමුතු අමුතු ජීවනෝපායන් අත්හදා බැලූ අයෙකි. ඒ අනුව ඔහුගේ මුල්ම ජීවනෝපාය වූයේ එවකට ජනප්‍රියම සූදු ක්රීඩාවක්ව තිබූ ‘ජැක් පොට්’ මැෂින් කීපයක් මිලට ගෙන ඒවා තොටළඟ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක රඳවා තැබීම ය. පසුව ප්‍රේමදාස ජනපති සමයේ ජැක් පොට් ක්‍රීඩාව නිසා මෙරට පාසල් දරුවන්ට සිදුවන අනර්ථය මාධ්‍ය මඟින් හෙළිදරව් වත්ම ජැක් පොට් ක්‍රීඩාව නීතියෙන් තහනම් කොට ඒ යන්ත්‍ර රජය මඟින් ලබා ගෙන අධිකරණ නියෝග මත තලා කුඩු පට්ටම් කර දැමීය. පසුව ඉන් තම ජීවනෝපාය අහිමි කරගත් ඒලියන්ත තම වැඩිමල් සොයුරා ඒ වන විට යෙදී සිටි මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරයට සම්බන්ධ විය. එම ආයතනය පිහිටා ඇත්තේ නුගේගොඩ ය. පසුව කුමක් හෝ හේතුවක් මත ඔහුට එහි රැඳෙන්නට නොහැකි තත්වයක් උද්ගත වූ පසු ඔහු තනිව මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරයකට පිවිසි අතර එය අතිශය අසාර්ථක තත්වයකට පත් විය. ඒ වන විට ඔහු විවිධ පුද්ගලයන්ට විශාල වශයෙන් ණය වී සිටි බව ද කියනු ලැබේ. මේ අතර එවක ගායකයෙකු වශයෙන් අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි රූකාන්ත ගුණතිලක තමන්ගේ පරමාදර්ශය කරගත් ඒලියන්ත වයිට් රූකාන්ත ලෙසින් අඳින්නට පළඳින්නටත් ඇතැම් අවස්ථාවල රූකාන්ත ලෙසින් පෙනී සිටින්නටත් පුරුදු වී ඇත. පසුව තමන්ගේ නම ද මනකාන්ත ජයතිලක යන්නෙන් කෙටි කලක් වෙනස් කර ගෙන සිටි ඔහු හිතමිතුරන්ගේ සරදම් මත එය ඉමේෂ් රංගන යනුවෙන් නැවත වෙනස් කරගෙන තිබේ. ඒ නමින් යුතුව ‘විල්තෙර’ නම් කැසට් පටයක් ද ඔහු විසින් එළිදක්වා ඇති මුත් එය සාර්ථකත්වයට පත්ව නැත.
ඒ වන විට ස්ථිර ජීවනෝපායක් නොමැති ඒලියන්ත වයිට් විකල්ප රෝග සුවකාරක සහ චිකිත්සක ක්‍රම ලෙස යම් ජනප්‍රියත්වයකට පත්ව තිබූ ප්‍රාණික් සහ රේඛීය යන වෛද්‍ය ක්‍රම ගැන අතනින් මෙතනින් කරුණු සොයාගෙන තිබේ. ඔහු ගේ වෛද්‍ය අධ්‍යාපනය එපමණකි.
කිසිදු ආකාරයක විධිමත් වෛද්‍ය ක්‍රම නොවන විකල්ප සුවකාරක ක්‍රම වන මේ සම්බන්ධයෙන් කිනම් හෝ වෘත්තීය සුදුසුකමක් ගොඩනඟා ගැනීමට වෙර දැරූ ඒලියන්ත වයිට් ඒ සඳහා සුදුසු ආයතන තිබේ දැයි විමසිලිමත් වන විට වෘත්තියෙන් බටහිර වෛද්‍යවරයකු වුවද විකල්ප වෛද්‍ය ක්‍රම කෙරෙහි ලොල් වූ මානසිකත්වයකින් යුතු වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් ගේ ප්‍රධානත්වයෙන් යුතු ගල්කිස්සේ පිහිටි අනුකාරක වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර විවෘත විශ්ව විද්‍යාලය (The open international University for Complementary Medicine) නම් ආයතනයක් ගැන ඔහුට අසන්නට ලැබී තිබේ. කිසිදු වෛද්‍ය අධ්‍යාපනයක් පුහුණුවක් නොමැත්තවුන්ට වෛද්‍ය උපාධි සහ ඩිප්ලෝමා ලබා දෙන උපාධි කඩයක් වන ඊට කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් නැත. එමෙන්ම සැලකිය යුතු මිලක් වැය කරන්නෙකු හට ආචාර්ය උපාධියක් පවා ලබා ගත හැකි මේ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධි හිමි කර ගත්තවුන් අතරේ කුප්‍රකට දේශපාලනඥයකු වන ‘ආචාර්ය’ මර්වින් සිල්වා ද මුල් තැනක වැජඹෙයි. ඒ අනුව මෙම විශ්ව විද්‍යාලයේ ප්‍රමිතිය සහ එය පවත්වාගෙන ගිය බටහිර වෛද්‍යවරයකු වූ ගීතාංජන මෙන්ඩිස් ගේ වෘත්තීය සාදාචාරය ගැන අමුතුවෙන් කිව යුතු නැත.
කිසිදු පිළිගත් හෝ විකල්ප වෛද්‍ය ක්‍රමයක් පිළිබඳ නොදැන සිටින බැවින් කුමක් හෝ ‘කැළෑ වෛද්‍ය සුදුසුකමක්’ හෝ ලබා ගනු පිණිස වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් ගේ ඊනියා විශ්ව විද්‍යාලයට ගොස් ඔහු හමුවන ඒලියන්ත වයිට් කෙතරම් ආකර්ශනීය ලෙස හැසිරී තිබේ ද කිවහොත් නවක වෛද්‍ය ශිෂ්‍යයකු වශයෙන් තම ආයතනයට බඳවා ගෙන කීයක් හෝ අතමිට මොළවා ගනිමින් උපාධිය හෝ ඩිප්ලෝමාව ලෙසින් කුමක් හෝ කරදාසි කැබැල්ලක් ඔහුට දීම වෙනුවට ඒලියන්ත වයිට්ට තම සරසවියේ කුලපති හෝ උපකුලපති පදවිය ප්රදානය කරන මට්ටමට වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් ඒලියන්තට මෝහනය වී තිබේ. එහි අවසන් ප්‍රතිඵලය වනුයේ එවක ජාතික ක්‍රීඩා ආයතනයේ අධ්යක්ෂ ධුරය හොබවමින් නොයෙකුත් දූෂණ, අකටයුතු අක්‍රමිකතා සිදුකරමින් සිටි වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් එවකට තමන් ගේ ගැලවුම්කාර දෙවියා වූ මහින්ද රාජපක්ෂට ඒලියන්ත වයිට් නම් මේ අමුතුම ජාතියේ ‘රටේ වෙදා’ හඳුන්වා දීම ය. මිථ්‍යා විශ්වාස ලුහු බැඳ ගොස් ඒවා ආහාරයට ගෙන ඉතුරු ටික සිරුරේ තවරා ගැනීමේ මානසිකත්වයකින් යුතු හිටපු ජනපති මහින්ද රාජපක්ෂට මේ හොර නාම්බා වෙදැදුරු ජීවකයා ගේ බාප්පා සේ හැඟී යාමේ අරුමයක් නැත.
මහින්ද රාජපක්ෂ හමුවට එන රාජ්‍ය නායකයන්, ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට කලාකරුවන්, ක්‍රීඩකයන් වැනි පුද්ගලයන් සමීපයට හීන් සැරේ කිට්ටු වෙමින් ඔහු ඔවුන් අත පත ගාන අතරේ පින්තූරයක් දෙකක් ගෙන ඔවුන් තමන් ගෙන් සුවය ලැබූ රෝගීන් ලෙස හුවා දක්වමින් ජන මාධ්‍යයට තොරතුරු සැපයීමේ යාන්ත්‍රණයක් ඒ වන විට ඒලියන්ත වයිට් ජයටම අරඹා තිබූ අතර ඒ සඳහා ඔහු අත මිට දිග හැර මුදල් වියදම් කරන බවට ද කටකතා පැතිරුණි.
ඒ අතර තමන් ගෙන් ප්‍රතිකාර ලැබූ ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට පුද්ගලයන් කළ බව කී තමන් පිළිබඳ වර්ණනා, පුරාජේරු ගැන ද ඔහු සඳහන් කළ අතර ඒවා බොහොමයක් ඔහුගේ පට්ටපල් බොරු බව බොහෝ දෙනෙක් දැන සිටියේ නැත. ඒ අතර ඒලියන්ත තවත් එවැන්නවුන් කිහිප දෙනෙකුට සමීප වී එම ප්‍රතිකාර වලින් ඔවුන් සුවපත් වූ බවට වචනයක් දෙකක් කියවා ගෙන ඒවාට අතිප්රාමාණික ප්‍රසිද්ධියක් ලබා දී ඇත. ඔහු ගේ මෙම ප්රචාරක යාන්ත්‍රණය කෙබඳු ද යත් ඔහු විසින් ප්‍රතිකාර කළ බව පැවසෙන පුද්ගලයන් හට ප්‍රතිකාර කරන බව හැඟවෙන ඡායාරූප විශාල ප්‍රමාණයෙන් රාමු කොට මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේ එල්ලා ගෙන තිබේ. එය ඔහු වෙත පැමිණෙන්නවුන් මානසිකව දමනය කරගැනීමේ කූටෝපායකි. අප දන්නා අන්දමට වෛද්‍යවරුන් කිසියම් රෝගයක් සුවපත් කරනුයේ එම රෝගය පිළිබඳව මිස රෝගියාගේ පෞද්ගලික, සමාජ මට්ටම දෙස බලා නොවේ. එමෙන්ම තමන් ප්‍රතිකාර කළ විශේෂිත පුද්ගලයන් සමඟ ගනු ලැබූ ඡායාරූප නිවසේ ප්‍රදර්ශනය කිරීම වෛද්‍ය ආචාර ධර්ම වලට එරෙහි තුට්ටු දෙකේ බාල බොළඳ වැඩක් බව ද අමුතුවෙන් කිව යුතු නැත.
ඒ දිනවල මහින්ද රාජපක්ෂ තුළ ඉඳහිට දිනයෙක මාධ්‍ය ආයතන ප්‍රධානීන් උදෑසන තේ පානය සඳහා අරලිය ගහ මන්දිරයට කැඳවීමේ පුරුද්දක් තිබිණ. වරක් ඒ සඳහා පැමිණි එක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ඒලියන්ත වයිට් තමන් ගේ ප්‍රතිකාරවල ගුණය සම්බන්ධයෙන් විවිධ ප්‍රකට පුද්ගලයන් ගේ ප්‍රකාශ ලෙස හඳුන්වමින් මාධ්‍යයට ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරන බව අවස්ථා කිහිපයක දීම සනාථ වී ඇතැයි කීයේ ඒලියන්ත අඩුම තරමින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වත් නොවන බව ද සඳහන් කරමිනි. “ඒ මිනිහගේ බේත් වලින් ලෙඩ සනීප වෙනවා නම් ඒ ඇති; ඔයාලා මොකටද ඒ මිනිහාගේ පැටිකිරිය හොයන්න යන්නේ? ඔය අනුන් ගේ කුනු කන්දල් අවුස්සන්නේ නැතුව ඔයාලා ඔයාලගේ වැඩක් බලා ගන්න” මහින්ද රාජපක්ෂ තම ගොර ගොර හඬින් එසේ කීව ද ඒ මොහොතේ ඔහුගේ මුහුණ ජම්බු ගෙඩියක් මෙන් රතු වූ බව ඒ අවස්ථාවට එක් වූ මාධ්‍යවේදියෙක් කීය. ඒ දම්වැලට පොළු පහරක් දුන් විට එහි රිදුම ඉන් බැඳ සිටින බල්ලාට බව මහින්ද දැන සිටි බැවිනි.
ඒ වන විට වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් ඒලියන්ත වයිට්ට කෙතරම් වසඟ වී තිබුණේ ද යත් තමන් තුළ වූ නිදන් ගත රෝගයකට කරමින් තිබූ විධිමත් ප්‍රතිකාර අතහැර ඒලියන්ත වයිට් ගේ ‘කොටි වෙදකම්’ වලට යොමු වන තැනට පත් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඒලියන්ත වයිට් ගේ බෙහෙත් බොන අතරේ හදිසියේ රෝගී තත්වයට පත් ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කරනු ලදුව 2012 ජූලි 08 දා මරණයට පත් වීම ය. එහෙත්, තම සැමියාගේ මරණය සැක සහිත බවට වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් ගේ බිරිඳ කළ ඉල්ලීමකට අනුව ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කිරීමට ඉඩක් ලැබුණේ නැත. ඒ මහින්ද රාජපක්ෂ ගේ තර්ජනය කිරීම මත තම සැමියාගේ මරණය ගැන සැකයක් නොමැති බවට පසුව දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට යොමු කිරීමට ඇයට සිදු වූ බැවිනි.
ඒලියන්ත වයිට් ගෙන් සුවපත් වූ රෝගීන් පිළිබඳ පට්ටපල් බොරු කෙබර මාධ්‍ය මඟින් පැතිර යන අතරේ සැබැවින්ම සිදුව ඇත්තේ ඔහුගේ කොටි වෙදකම් වලින් මිනිසුන් අකාලයේ මරු මුවට වැටීම පමණි. ඔහුගෙන් ප්‍රතිකාර ගත් බොහෝ දෙනෙක් තමන් ඉන් නිසි සුවයක් නොලද බව පවසා සිටිය ද මාධ්‍ය කරුවන්ට වැදගත් වූයේ ඒලියන්ත ගෙන් සුවය ලැබූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු ඒකරාශි කරගැනීම පමණි. මන්ද යත් සිංහල හෙළ රාජ වංශයේවත් නොමැති ‘රාජකීය වෛද්‍යවරයා’ යන අභිධාන නාමයෙන් හැඳින් වූ ඒලියන්ත වයිට් වෙදකම ගැන මෙලෝ හසරක් නොදත් හොරෙකු කපටියෙකු ලෙස හැඳින්වීම ජාතියට සිදුවන කැළලක් අවනම්බුවක් සේ ඒ වන විට සමහරුන්ට හැඟී තිබීම ය.
කොළඹ විශඛා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දාහත් වියැති දැල්පන්දු ශූරියක වන මෙලනි අමා විජේසිංහ සිසුවිය 2019 වසරේ ඔක්තෝබර් 20 වෙනි දා හදිසි මරණයකට පත් වන්නී ය. ඒ පිළිබඳ වැඩිදුර විමසීමේදී කරුණු හෙළි වන්නේ ඇගේ අතක තිබූ ආබාධයකට ඊට දින හතරක් පුරා ඒලියන්ත වයිට් දුන් කිසියම් බෙහෙතක් පානය කිරීමෙන් පසුව මෙම හදිසි මරණය සිදුව ඇති බවකි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් අදහස් පළ කළ ඇගේ මව පවසා සිටියේ තම දියණියගේ මරණය සහ ඒලියන්ත වයිට් ඇයට බොන්නට දුන් බෙහෙත් අතර යම් සබඳතාවයක් ඇතැයි තමන් විශ්වාස කරන බව ය. එමෙන්ම තම දියණියගේ හදිසි මරණය ලියුකීමියා ලෙස හඳුන්වමින් පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරවම එය අවසන් කටයුතු සඳහා යොමු කළ බව එම මව කියයි. එමෙන්ම එම අවස්ථා හතරේදීම ඒලියන්ත වයිට් කුඩා කුප්පියක තිබූ යමක් එක් වරම පානය කරන ලෙස කියමින් එම කුප්පිය තම දියණියට දී ඉන් පසු එම කුප්පිය නැවත සඟවා ගත් බව ද ඇය කීවා ය. මෙහිදී එම මව හෙළි කළ පරිදි එම ප්රතිකාරවලින් පසුව තම දියණිය සමඟ ඡායාරූපයකට පෙනී සිටීමට ද අවශ්‍ය බව ඒලියන්ත වයිට් විසින් දන්වා ඇති අතර ඒ පිළිබඳව විමසීමේදී ඔහු කියා ඇත්තේ ඊට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා දීමට තමන් අදහස් කරන බවයි. මේ අතර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පමණක් ඒලියන්ත වයිට් තමන්ගේ පාදයක ආබාධයක් සුව කළ බවට ඒලියන්ත වයිට් ගේ මරණයෙන් පසු තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත. එවැනි අත්පා වේදනා හන්දිපත් හිරිවැටීම් කායික මෙන්ම මනෝකායික හේතූන් (Psychosomatic disorders) මත සිදුවන බවත් ඒවාට තුටු පහටු බලපෑම් (Placebo effect) මගින් ඒවා සුව වන බවත් ලසිත් මාලිංග නොදන්නා බවක් මින් පෙනේ.
පසුගිය වසරේ මාර්තුවෙහි ඇති වුණු කොවිඩ් පළමු රැල්ල සඳහා තමන් සාර්ථකව පිළියම් යෙදූ බව මාධ්‍ය මගින් පවසා සිටි ඒලියන්ත වයිට් ඒ වන විට අතිශය උත්සන්න තත්වයට පත්ව ඇති ඉන්දියාව් කොවිඩ් රැල්ල පාලනය කිරීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඉදිරිපත් වන බව ද තම ෆේස් බුක් පිටුවේ සඳහන් කර තිබිණ. එහෙත්, ඒ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ ඉන්දියාවේ කෝවිඩ් වසංගතය පිටුදැමීම පිණිස ශ්‍රී ලංකාවෙන් කිසිදු උපදෙසක් ලබා ගෙන හෝ ලබා ගැනීමට බලාපොරොත්තු වී නොමැති බව ය.
ඒලියන්ත වයිට් ගංගා වලට මුට්ටි දැමීමෙන් අප රටින් කෝවිඩ් වසංගතය පහ කළ හැකිය යන පරම මිථ්‍යාව සමාජ ගත කරන්නේ ඔය අතරේ ය. එහිදී ඔහු සේම සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනිය සහ ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල යන ආමාත්‍යවරුන් ඒලියන්ත වයිට් කී පරිදි ගංගා වලට මුට්ටු අත හරිනු මාධ්‍ය වලින් මුළු රටටම දැක ගත හැකි විය. ඒ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල පසුව තම හිතවතුන් හා කියා සිටියේ එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමක් ඉටු කිරීමක් මිස එවැනි දෙයක් පිළිබඳව තමන් තුළ විශ්වාසයක් නොතිබූ බව ය. ඒලියන්ත වයිට් ගේ මෙම ක්‍රියාව ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරය කරන ලද්දේත් විනෝදාත්මක පුවතක් ලෙසිනි. මෙවන් පසුබිමක් තුළ ඒලියන්ත වයිට් ගේ මුළු පවුලම කොවිඩ් රෝගයට ගොදුරු වෙන අතර එය මුලදී රහසක් වශයෙන් තබා ගැනුණු මුත් පසුව ඒලියන්තගේ තත්වය බරපතල අතට හැරෙත්ම ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කොට ඇත. කිසිදු වෛද්‍යමය සුදුසු කමක් නොමැති කපටි කෛරාටිකකම් පමණක් යොදමින් රාජකීය වෛද්‍යවරයා යන ගරු නම්බු නාමය හිමි කර ගත් ඒලියන්ත වයිට් කොරෝනාවෙන් මරු වසඟයට පත් වන්නේ එවන් පසුබිමක් තුළ ය.
ඔහුගේ මරණයෙන් මහත් සංවේගයට පත්ව ඇති බව පවසමින් පණිවිඩ නිකුත් කළ සමාජයේ ආන්දෝලනාත්මක චරිත දෙකක් ගැන අසන්නට තිබේ. ඉන් පළමු වැන්නා කාලි අම්මාගේ වට්ටෝරුවකට අනුව කොරෝනා සඳහා ඔසුවක් තැනූ බව කී කුට්ටි අප්පු කංකානමලාගේ ධනපාල හෙවත් ධම්මික බාසුන්නැහේ ය. දෙවැන්නා ඒලියන්ත වයිට් ගේ මරණය සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සංවේදී සටහනක් තැබූ ඒලියන්ත වයිට් මාදිලියේ හොර වෙදුන් සමාජයේ ඉහළම තැනකට කැඳවා රාජකීය මට්ටමක් හිමි කොට ඔවුන් ගරු නම්බු හිමිකර දුන් අගමැති මහින්ද රාජපක්ෂය.
---------------------------
by (2021-09-24 17:35:12)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි