~

කොවිඩ් එන්නත නිපදවන්න පුළුවන් දේශීය සමාගම් වැහෙන්න ඉඩ හරින මාෆියාවක් රටේ තියනවා..!

-රවි කුමුදේශ් හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2021.සැප්.12, ප.ව.6.25) කොවිඩ් එන්නත නිපදවන්න පුළුවන් දේශීය සමාගම් වැහෙන්න ඉඩ හරින නියාමන මාෆියාවක් රටේ තියන අතර එසේ නොවුනා නම් ලංකාවේ එන්නත නිපදවීමෙන් රුපියල් බිලියන 20 ක් ඉතුරු කරන්න හැකියාවත් තිබුනේ යයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් අද(12) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය. වැඩි දුරටත් කතා කළ කුමුදේශ් මෙසේද පැවසීය.

"ලංකාවේ දැනට එන්නත් මිලියන 22 ක් විතර ගෙන්නලා තිබෙනවා. මිලියන 17ක් විතර ගෙන්නවලා තියෙන්නේ සයිනෝෆාර්ම්. සයිනෝෆාර්ම්වල අමත්‍යමණ්ඩලය අනුමත කරපු, අපි දන්න මිල ඩොලර් 15 ක් විතර වෙනවා. ලෝකයේ තියෙන එන්නත් මිල පරීක්ෂාවෙදි අපිට පේන්නේ අනිත් එන්නත් සියල්ලේ විකුණුම් මිල ඩෙලර් 5-10 අතර මිලක් වෙනවා. ඒ අනුව අපි එන්නතක් සඳහා ඩොලර් 12 ක් විතර වියදම් කරලා තියනවා.

අපේ රටේ ඖෂධ මාෆියාව සහ ඒක නියාමනය කරන්න ඉන්න ඖෂධ නියාමන අධිකාරීයේ ක්‍රියාකාරිත්වයේ එක පැතිකඩක් තේරුම් ගන්න මේ ගණං ටික වැදගත්.

ඒ අතරේ ලංකාවේ දේශීය ආයතනයක් කියනවා අපිට රට තුල ඩොලර් 6-7ක මිළකට එන්නතක් නිපදවිය හැකියි කියලා. රුපියල් ලක්ෂ දෙකේ සිට දහය දක්වා මිල ගණන් වලට විකිනෙන ටොසිලිසුමාබ් වැනි ඖෂධ රුපියල් 40000 ක් වැනි මිලකට ලබා දිය හැකි බව කියනවා. නමුත් ඔවුනට ඖෂධ නියාමන අධිකාරියේ අවසරය වුවමනාවෙන්ම වලක්වලා තියන බවට ඔවුන් චෝදනා කරනවා. 

අපි මිලියන 22ක් පමණ එන්නත් ගෙනල්ලා තියනවා. දළ වශයෙන් ඩොලර් මිලියන 260 ක් විතර මුදලක් රටක් විදිහට වැය කරලා ඇති. රටතුල නිපදවනවා නම් ඩොලර් මිලියන 150 ක් විතර වැයවේවි. එන්නතෙන් විතරක් ඩොලර් මිලියන 100ක්, ඒ කියන්නේ රුපියල් බිලියන 20ක් ඉතුරු කරන්න පුළුවන්. අවම වශයෙන් අනාගතය සඳහා හෝ එම දේශීය සමාගම් වලට අවස්ථාව නොදීමට හේතුව අපි හොයන්න ඕනේ ඒ නිසා.

ලෝකයේම ඖෂධ මාෆියාවක් තියන බව අපි දන්නවා. නමුත් ඒවා නියාමනය කරන්න ඉන්න ආයතනය වැරදි පීල්ලේ හෝ අයාලේ යනවානම් ඒක සාමාන්‍ය මාෆියාවකට එහා ගිය තත්වයක්. 

තමන් කැමති සමාගමකට වාසි සැලසෙන විදිහට නියාමන හා ලියාපදිංචි තීරණ ගන්න එක තමයි අපි වැඩිපුර අවධානය යොමු කරන දූෂිත තත්වය. නමුත් ඊට වඩා දූෂිත  ඖෂධ මාෆියාවක්, තමන් අකමැති සමාගමකට වෙළෙඳපොළට අවතීර්ණ වීමට ඇති ඉඩ වැලක්වීම හරහා සිදු වෙනවා. එහි අපේක්ෂාව වෙන්නේ තමන් කැමති සමාගමේ තරගකාරීත්වය නැති කොට ඒකාධිකාරීත්වයක් හදලා දෙන එක. 

ලංකාවේ ඖෂධ නිෂ්පාදනය, නියාමනය හා බෙදා හැරීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටවනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. නමුත් ඒ අපේක්ෂාව ඉටු වෙලාද කියල හැරිලා බලන්න කාලය හරි. 2018 වර්ෂයේදී ‍රට තුල ඖෂධ නිෂ්පාදනයට ආයතන 38 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ගිවිසුම්ගත වෙනවා. ඊට පස්සේ එකම එක සමාගමක්වත් මේ ක්‍රියාවලියට අවතීර්ණ කර ගන්න රාජ්‍ය අමාත්‍යාංශයට බැරි වෙලා තියනවා. නමුත් එකතුවුණු සමාගම් වසා දැමීමට හෝ වැසීයන තත්වයට පත් කරන්න වැඩ කරයුතු සිදු වෙලා තියනවා. අදවෙන විටත් ගිවිසුම් ගත වෙච්ච සමාගම් 38න් දහයකටවත් ඖෂධ නිපදවන්න ඉඩ දීලා නැහැ.

ඖෂධ නියාමන අධිකාරියට නිළධාරීන් පත් කරන බලය තියෙන්නේ කැබිනට් අමාත්‍යවරයාට. නමුත් එහි සභාපති වරයා පත් කිරීමේදී එවකට හිටපු සෞඛ්‍ය ඇමතිනිය මොකුත්ම ඒ ගැන දැනගෙන හිටියද කියන එක අපි ප්‍රශ්න කරනවා.

පසුගිය සතියේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී තනතුරට ඉල්ලුම් පත් කැඳෙව්වා. ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් 9 ක් ඉල්ලුම් කළා. 4ක් සම්මුඛ පරීක්ෂණයෙන් තෝර ගත් බව වාර්ථා වෙනවා. ඒ හැමෝම සභාපතිවරයාට වඩා සුදුසුකම් තියෙන, පරිපාලන  ප්‍රවීනයන්. තනතුරු වල සුදුසු අය ඕනෑ තරම් සිටියදී නුසුදුස්සන් පත් වන බවට මේක හොද සාක්ෂියක්.

නමුත් අපිට වාර්ථා වෙනවා, ඒ හතර දෙනාම මග හැරලා ගජ මිතුරෝ පත් කර ගන්න යනවා කියලා. 

මේ තනතුරු වල වගකීම තියෙන්නේ කැබිනට් ඇමති වරයාට. රාජ්‍ය ඇමති වරයාට එම වගකීම නැහැ. ඒ නිසා අපි කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන් ඉල්ලනවා, සෞඛ්‍ය ඇමතිවරයාගේ පෞරුෂය, රූකඩයක් කරවන්න දෙන්න එපා. මේ ක්‍රියාවලියට පාලනය කරන්න අසමත් වුණොත්, එහි ප්‍රධාන චෝදනාව එන්නේ ඔබට බව මතක තියාගෙන වැඩ කරන්න"

---------------------------
by     (2021-09-12 13:01:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links