~

WHO නොදකින, පාලකයන් නොබලන, කොරෝනා බෝ ලන්තයේ ඇත්ත කතාවක්..!

-අගලවත්තේ කොරෝනා රෝගියෙක් ලියන සාක්කියක්

(ලංකා ඊ නිව්ස් -2021.අගෝ.18, පෙ.ව.10.00) ජනගහනයට සාපෙක්ෂව කොවිඩ් මරණ සංඛ්‍යාව අතින් ලොව 4 වන ස්ථානයට ලංකාව ඊයේ (17) පැමිණියේ වසංගතයේ දරුණුකම ඇස් කන් නොපෙනෙනවා සේ සුර සැප විඳිමින් සිටින පාලක හැත්තට රතු එළියක් පෙන්වමිනි. එහෙත් පාලකයන්ට එය රතු එළියක් නොවන්නේ මැරෙන උන් 69 ලක්ෂයට ඇතුලත් වුවද තම පවුල්වල එකෙක්වත් එතැන නැති නිසාය. 

මෙරට කොවිඩ් දෙවන රැල්ලේ දී යුක්‍රේන සංචාරකයකින් මෙරටට නොගෙන්වන ලෙස වගකිවයුතු වෛද්‍ය අංශ කොතෙකුත් අනතුරු ඇඟවූවද මොළ 7 ක් ඇතැයි කියන 'හත් මෝලා' ප්‍රසිද්ධියේ පැවසුවේ "එහෙන් කොවින් එක මෙහෙට එනවද මෙහෙන් කොවින් එක එහෙට යනවාද අත් හදා බැලීමක් කළේ" කියා ය. සත්‍ය වශයෙන්ම අද මිය යන මිනිසුන්ගේ මරණ වලට ප්‍රධාන වගකිව යුත්තෙකු ලෙස හත් මෝලා දිනෙක 'මානව වර්ගයාට එරෙහිව කළ අපරාධ නඩුවක' චුදිතයෙකු කළ යුතුය.  රටක ජනතාවගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකරන මෙහෙව් හත් මෝලන්ගේ අඳ බාල වැඩ නිසා අවසානයේ කොරෝනා ලංකාවම ගිල ගත්තේ මරණ 6000 ක් ද පසුකර ඉදිරියටම ඇදෙමිනි. අද වන විට මෙරටින් ඩෙල්ටා විකෘති ප‍්‍රභේද 03 ක් ද හඳුනා ගෙන තිබෙයි. හුස්ම ඉල්ලා මිය යන්නේ ඔබේ මගේ සහෘදයන් මිස මැදමූලන හත් මෝලන්ගේ කවුරුවත් නොවේ. ඔවුන් පෙර කළා සේම මීලඟට කරනුයේ ද තත්ත්වය බලා හිටි හැටියේ රටෙන් චුත වීමය.

අන්දපු ඇන්දිල්ල..

මෙරට ඉරණම ඉතාමත් කණගාටු දායක මට්ටමකට අද වන විට පැමිණ ඇත. මේ සටහන තබන මා අද කොවිඩ් ආසාදිතයෙකි. අද මා සේම හෙට ඔබ ද ඔබේ මා පියන් සහෝදරයන් ද හිතවතුන් ද හුස්ම ඉල්ලා ජිවිතයෙන් සමුගනී ද යන්න අවිනිශ්චිතය.

එදා 2020 ජනවාරියේ මෙරට පළමු කොවිඩ් අසාදිතයකු හමුවූ දා පටන් අද වන විට අවුරුදු 2 ක් පිරීමට ඇත්තේ තවත් මාස 4 ක් පමණි. මුලදී උම්මා දීමටත්, මුට්ටි ගඟට දැමීමටත්, මුහුදට බිලිවෙන්නටත්, පැණි බොන්නටත්, හෙලිකොප්ටර් වලින් පිරිත් පැන් ඉසින්නටත්, රහස් බේත් තියෙනවා කියමින් සිටි ආණ්ඩුවේ නර්තනවේදීන් එකෙක් වත් අද වන විට සොයා ගන්නට තියා උම්මා ගත්ත උන්වත් පැණි බිව් උන්වත් හොයාගන්නට නැත. මිනිසුන් අන්දන්නට සමත් මොවුන් අදටත් කරන්නේ, විලාසය වෙනස් වුවද ඇන්දිල්ලම ය. 

16 දා වන විට ආණ්ඩුවේ දත්ත අනුව දිනක් තුල මරණ 171 කි. මුළු මරණ 6,434 කි. එසේම දිනක් තුල අසාදිතයින් 3,555 කි. නමුත් මේ ගණන් පිලිබඳව සේවයේ යෙදී සිටින වෛද්‍යවරු, හෙද හෙදියන් පවසන්නේ ආණ්ඩුව කියන වාර්තා අමූලික බොරු බවත් සත්‍ය මීට වඩා දෙගුණයකටත් වඩා වැඩි අගයක් වනු ඇති බවයි. වත්මන්  ආණ්ඩුවේ සියළු දත්ත ලේඛණ අමූලික බොරු බව මේ වන විට පණ ඇති මිනිස්සු දනිති.

අද වන විට තමන්ට කෙසේ වෛරසය අසාදනය වුවා ද යන්න වත් සොයාගත නොහැකි මට්ටමට කොරෝනා ව්‍යප්ත වෙයි. ඒ තරමට වේගවත්ය.  මා මේ ලිපිය ලියන අවස්ථාවේ කොවිඩ් අසාදිතයෙක් බව පෙර පැවසීමි. මාගේ අත්දැකීම මෙසේ ඔබට කියමි. 

කොරෝනා රෝගී මාගේ අත්දැකීම්...

මට මේ පිළිබඳ සැක සිතෙන්නේ මාගේ සමීපතමයෙකු අසාදිත වීමත් සමගයි. රෝග ලක්ෂණ කිහිපයක් තිබිණ. පරීක්ෂනයක් කර ගැනීමට අවශ්‍ය විය. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලය ඇමතුවෙමි. එදා සිට අද වන විට දින 7 ක් ගත වුවද අද වන තුරු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරීන් (PHI) ට දුරකථන ඇමතුම් දුන් නමුත් පිළිතුරු නැත. පිට පිට සිය වතාවක් 'රින්ග්' කළ ද දුරකථනය නාද වනවා පමණි. ප්‍රදේශයේ MOH කාර්යාලය ඇමැතුවද තත්ත්වය එයම ය. බැරිම තැන මා හට පවතින රෝග ලක්ෂණ මා මිත්‍ර වෛද්‍යවරයකුට දුරකථනයෙන් අමතා පැවසු විට ඔහු කීවේ කොරෝනා රෝගයට අදාළ සියලු රෝග ලක්ෂණ මා වෙත ඇති බවයි. දැන හැඳනුම්කම නිසා ඔහුගේ අධීක්ෂණයෙන් මට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්නට වුයේ දුරකථන මාර්ගයෙනි. කිසිදු බලධාරියකු මා හට සම්බන්ධ නොවී කිසිවක් කර කියාගත නොහැකිව සිටි මට එය මහත් අස්වැසිල්ලක් විය. 

මිතුරු වෛද්‍යවරයාගේ වෛද්‍ය උපදෙස් මත pulse oximeeter එකක් ලබා ගත් මට කොරෝනා අසාදිත රෝගියෙකුට එය කෙතරම් සමීප ආරක්ෂකයෙකු ද යන්න  වැටහුනේ හුස්ගැනීමට අපහසු වූ අවස්ථාවන් වලදී ය. අද එය මට ලැබුනේ මට හැකියාවක් තිබූ නිසා නමුත් දහස් ගණන් මෙරට ජනතාව තමාට කොවිඩ් අසාදිත වුවාද යන්න වත් නොදැන මහ මග ඇද වැටෙන තත්වයට පත්වී ඇත්තේ ඒ අත්‍යවශ්‍ය උපකරණ පිළිබඳ නිසි දැනුවත් කිරීමක් රජය මැදිහත් වීමෙන් නොකරන නිසා ය. අද වන විට මෙම pulse oximeeter විවිධ මිල ගණන් යටතේ කළු කඩ කරුවන් විකුණති. කිසිදු මිල පාලනයක් නොමැත. බාල ඝනයේ වැරදි දත්ත ලබා දෙන ඒවාද තිබේ. සාක්ෂරතාවය අතින් ඉහල රටක් වන අප රටේ අසාදිතයන්ට මෙවන් තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබද අවබෝධයක් රජය විසින් මැදිහත්ව  වසංගතය නහයට උඩින් ගිය පසුව හෝ ජනතාවට ලබා දෙනවා නම් තව එක ජිවිතයක් හෝ බේරෙනු නියත ය. නමුත් ප්‍රශ්ණය උන්ගේ නොවන තාක් උන්ට ගානක් නැත.

පරීක්ෂණයක් කර ගැනීමට යුද්ධයක් කළ යුතුය..

තමා කොරෝනා අසාදිතයකු දැයි දැනගැනීමට ඇත්තේ ක්‍රම දෙකකි. එකක් පෞද්ගලික අංශයෙන් ඇන්ටිජන් පරීක්ෂාවක් හෝ පීසීආර් පරීක්ෂාවක් හෝ කර ගැනීමය. නැතිනම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කර ඒ මගින් පරීක්ෂාවක් කර ගැනීමය.

අහෝ ඛේදයකි...! රෝග ලක්ෂණ මතු වී පෞද්ගලික රෝහලක් වෙත ගොස් මුදල් ගෙවා හෝ කොරෝනා පරීක්ෂා දෙකෙන් එකක්වත් කරගත නොහැකි ය. එයටත් වෛද්‍යවරයකුගේ චිට් එකක් අවශ්‍ය ය. එය ආණ්ඩුවේ නියමය යි. රෝගියා නැවතත් වෛද්‍යවරයකු සොයා යා යුතුය. රෝග ලක්ෂණ පැවසූ පසු වෛද්‍යවරයා චිට් දෙනවා තබා පැත්ත පළාතේ රෝගියා වැද්ද ගන්නේ නැත. රෝගියාට ආපසු හැරී ගෙදර යනු විනා වෙනත් විකල්පයක් නොමැත. මම ඒ අත්දැකීමට මුහුණ දුන් අයෙක්මි. ආණ්ඩුව මෙලෙස සීමා මායිම් දැමීමට එකම හේතුව මොවුන්ට අසාදිතයින් අඩුවෙන් වාර්තා කරගැනීමට විය යුතුය.

මා පදිංචි වී සිටින්නේ අගලවත්ත නාගරික ප්‍රදේශකය. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කිරීමට අද දක්වා අඛණ්ඩව පැය 24 පුරා දුරකථන ඇමතුම් ලබාදුන්න ද දුරකථනය නාද වනවා පමණි. පටිගත කළ පණිවුඩයකින් හෝ පිළිතුරු නැත. කොවිඩ් සමග වසර 2 ක් ගත කර පවා ඒ සඳහා නවීන කිසිදු කාර්යක්‍ෂම යාන්ත්‍රනයක් සැකසීමට මේ ගොබ්බ පාලකයන්ට තවමත් නොහැකි වී ඇත. ඈත ගම්වල තත්ත්වය කෙසේ ඇතිද?

රෝගය තමන්ට ඇත්දැයි වත් නිශ්චය කර ගැනීමට රජය මගින් හෝ මුදල් ගෙවා හෝ විධිමත් යාන්ත්‍රණයක් නොමැති කල් හි මිනිසුන් මෙවන් දරුණු රෝගයකින් තැන තැන මිය යනවා විනා කුමක් සිදු වන්නද ?

හොඳම විහිළුව හොට් ලයින්...

තවත් හොද විහිළුවකි..! දුරකථන අංක 1390 ලෙස නව හොට්ලයින් වෛද්‍ය සේවාවක් බස්නාහිර පළාතේ නිවසේ රැඳී සිටින කොරෝනා අසාදිතයන්ට හඳුන්වා දී තිබේ. එහි පළමු පියවර වන්නේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුරකථනයෙන් අමතා හෝ sms පණිවිඩයක් යවා හෝ ලියාපදිංචි වීමයි. පිට පිට දවස් 4 ක් තිස්සේ ඉහත කී හොට් ලයින් එකට ඇමතුම් දුන්නද දුරකථනයට කිසිවෙක් නොපැමිණේ. ඒ ක්‍රමය හරහා රෝගියකු ලියාපදිංචි වීමට වෑයම් කරන විට හුස්ම ටික ගොස් අවසන්ය. යම් හෙයකින් එම සෞඛ්‍ය නිලධාරීන්ට සේවක ගැටළු තිබේනම් කඩිනමින් ඒවාට විසඳුම් සපයා මෙවන් ජාතික උවදුරකදී කාර්යක්‍ෂම සේවාවක් ලබාදීමට කාලකන්නි පාලකයන්ට නොහැකි නම් මුන් ලේ බොන ඩ්‍රැකියුලාලා කියා නම් කළාට කම් නැත.

WHO එකටවත් නොපෙනෙන කොරෝනා බෝ කරන පොදු පරීක්ෂණ ස්ථාන...

මේ සිදුවීම ඊයේ 17 දින උදෑසනය. දන්නා හඳුනන මිතුරන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ කාර්යාලයට දවස් කිහිපයක් තිස්සේ යැවීමෙන් පසු ඊයේ දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හිටි හැටියේ මට දුරකථන ඇමතුමක්  දී පැවසුවේ අප ප්‍රදේශයේ එනම් අගලවත්ත නගරයේ පොදු ශ්‍රවණාගාරය වෙත පැමිණ කොරෝනා පරීක්ෂාවක් කරගන්නා ලෙසයි. මා හට කොරෝනා ලක්ෂණ හොඳ හැටි  ඇතැයි දන්නා මා පමණක් මාගේ වාහනයේ නැගී එහි ගියෙමි. වාහනය තුලටම වී සිටි මම දුටුවේ සියයකට අධික පිරිසක් එක් රොක් වෙමින් එකා පිට එකා ගැටෙමින් කොරෝනා පරීක්ෂණය සඳහා ඉදිරිපත් වී සිටීමයි. කණගාටුවට කරුණක් වන්නේ මේ අතර කුඩා ළමුන් මෙන්ම වයසක අම්මාවරු පියවරුද සිටීමයි. එතරම් පිරිසක් එහි රඳවා ගැනීමටවත් ඉඩ ඇති ස්ථානයක් නොවන බව පැවසිය යුතුම යි.

පැමිණි සියල්ලෝම අංකයක් ලබාගත යුතුය. මා ද පිරිස් එහෙ මෙහෙ වෙනතුරු සිට අංකයක් ලබාගත් අතර කොරෝනා නැති අයෙක් සිටියේ නම් ඔහුට එම ස්ථානයේදී අසාදනය වීම අනිවාර්ය වේ. කිසිදු පිරිස් කළමනාකරණයක් එහි නොවීය. කොරෝනා සමග රටක් වසර 2 ක කාලයක් ගතකල ද රෝගයත් සමග පවතින රාජ්‍ය යාන්ත්‍රය මෙතරම් වගකීම් විරහිතව කොරෝනා බෝ කරන මධ්‍යස්ථාන පිහිටු වීම අතිශය කණගාටුවට කරුණකි. මේවා ලංකාවේ පිහිටුවා තිබෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශාඛාවේ ඇසටවත් ලක් නොවන්නේ මන්ද?

පොසිටිව් කොලෙත් අරන් ගෙදර ගිහින් දෙයියන්ට..

එහිදී සියයක පමණ පිරිස් අතරින් පැමිණි මුළු ශරීරයම වැසන සේ ඇඳගත් එක් නිලධාරියකු ප්‍රකාශ කරන්නට වූයේ රෝග ලක්ෂණ ඇති අය එක පෝලිමකටත් ආශ්‍රිතයන් හමු වූ අය තව පෝලිමකටත් ලෙස පෙළ ගැසෙන ලෙසයි. සියල්ල අච්චාරුවකි. කොරෝනා පරීක්ෂාවට පැමිණි අගලවත්තේ මිනිස්සු සී සී කඩ දුවති. 
අවසානයේ ඇන්ටිජන් පරීක්ෂාවේ ප්‍රතිඵල එවෙලෙහි ලබා දුන් අතර බහුතරයක්  ආසාදිතයන් බව තහවුරු විය. මමද ඒ අතර වීමි.

මෙලෙස ඇන්ටිජන් පරීක්ෂාවෙන් තහවුරු වූ රෝගීන්ට ඊළඟට කරනුයේ කුමක්ද යන්න පිළිබඳ කිසිදු දැනුවත් කිරීමක් නොමැත. සියල්ලෝම කොලය ද රැගෙන සාමාන්‍ය විලාශයෙන් යළි නිවෙස් බලා පිටත් වන්නට වූහ. එහි සිටි ආසාදිතයන් නොවූ සුළුතරය ද නිසැකවම හෙට අනිද්දා ආසාදිතයන් වනු ඇත. මන්ද යත් ඒ තරමට එතැන දෙපිරිසම එකට අච්චාරු දැමූ හෙයිනි. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ද තත්ත්වය මෙලෙස ම ය.  

මේවා කිසිදු පාලකයකුට නොපෙනේ. මන්ද උන්ට කතිරය ගැසූ ජනයා මෙසේ කටු කෑවද උන් යන්නේ VIP පරීක්ෂණ සඳහා නිසාය. 

අසාදිත බව දැනගෙන ගෙදර ගිය අය හට කවදා ප්‍රතිකාර ලබා දේ ද යන්න අවිනිශ්චිත කරුණකි. එය ද නව සෞඛ්‍ය ඇමති දෙවියන්ට බාරදුන්නා යැයි කී කතාව සත්‍ය කරන්නකි.

අද ජීවත්ව සිටින මට හෙට හුස්ම හිරවෙන්න පුළුවනිය...

මේ ගොබ්බ පාලකයන්ට අවශ්‍ය වන්නේ මිනී කඳු පමණි. ඒ මතිනුත් උන් මිනිසුන් අන්දවා ජයක් ගැනීමට මාන බලනු ඇත. වෛද්‍ය අංශ ගණනාවක් රට වසා දමන ලෙස පැවසුවද මොවුන් රට වසන්නේ නැත. නමුත්  පාර්ලිමේන්තුව වසයි. ඉන් පසක් වන්නේ මුන්ට ජන ජීවිතය තඹ සතයකට වටින්නේ නැති බව නොවේ ද?

රටේ එන්නත් කරණය ගැන පුරසාරම් කියවන මැදමූලන මිනී කාක්කන් දැනගත යුතු දෙයකි. ඒ තවමත් පුර්ණ එන්නත් කරණයට භාජනය වී ඇත්තේ 20% පමණක් බවය. තවත් 80% රටේ කොරෝනා සමග ජීවිත අවදානමේ සිටින බව උන් දැනගත යුතුය. 

අද ජීවත්ව සිටින මට හෙට හුස්ම හිරවෙන්න පුළුවනිය. ඒ තරමට මෙය භයානකය. මට ඔබට කිව යුතු මෙයයි.  අපි අපේ ආදරණීයයන්ගේ ජීවිත රැකගන්න නම් අපි අපිම ස්වයංව ලොක් ඩවුන් වෙමු. මෙරට විසාලාවක් කරා යන ගමන නැවැත්විය හැක්කේ වෙන කාටවත් නොව අපිට ම ය.

කොරෝනා රෝගයෙන් පෙළෙන අගලවත්තේ වැසියෙක්

---------------------------
by     (2021-08-18 05:04:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links