රජිත් කීර්ති තෙන්නකෝන් ලියයි
(ලංකා ඊ නිව්ස් -2021.ජූලි.22, ප.ව.9.15) අද ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.6 කි. පසුගිය මාස 6 ට අපේ විදේශ සංචිත 30%ක් අඩුවී ඇත. මේ ජූලි අවසානයට ඩොලර් බිලියනයක ණය ගෙවීමට ඇත. ඉදිරි වසර 5 ට ඩොලර් බිලියන 5 කට ආසන්න ණය හා පොලී ගෙවීමට ඇත. රටේ ආදායම ණය සහ පොලිය ගෙවන්නට ප්‍රමාණවත් නැත.
වාණිජ්‍ය බැංකු, රටවල්වලින් අතමාරු (බංගලිදේශය, ඉන්දියාව), ලබාගන්නා නමුත් දිගටම ණය පිට ණය දෙන්නේ චීනය පමණී. රටේ සම්පත් චීනය සතුවීම එහි අවසාන ප්‍රතිඑලයයි. මෙවැනි අර්බුදයකට මුහුණ දෙන රාජ්‍යයන් ගලවා ගත හැක්කේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන, ඒ සඳහාම සකස් කර ඇති යාන්ත්‍රණයකට ය. උපකාරයක් ලබාගත හැකි රාජ්‍යයන් (උදා - ජපානය, ජර්මනිය) ලංකාවෙන් දුරස්ථ වෙමින් ඇත.
කොරෝනා එන්නත අඩු මිලට නියමිත කාලයකට නොගැනීම නිසා ලංකාවේ ප්‍රධානතම විදේශ විනිමය උපයන මාර්ග දෙකක් වන විදේශ රැකියා (එන්නත් නැතිව රට යවන්න බෑ) සහ සංචාරක කර්මාන්තය (කෙරෝනා නිසා එන්නේ නෑ) අනතුරේ වැටී ඇත. අය වැය කතාවේ කියූ පරිදි ආර්ථිකය වර්ධනය වන්නේ නැත.
ලංකාවේ ආදායම හා වියදම අතර අනුපාතය 2019 දී 87% කි. 2020 දී 100% කි. ඉදිරි වසර තුනේ දී එය 110% ක් වනු ඇත. අය වැය ඇස්තමේන්තු හුදු වචන හා ඉලක්කම් පමණකි. බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 10% කි.
නව ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව ලබාදුන් බදු සහන මහා භාණ්ඩාගාරය හිස් කළේය. වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කරන විට ආර්ථිකය ගිලී අවසන් ය.
කෘෂිකර්ම ආදායම ලංකාවේ ආර්ථිකයෙන් 8% ක් නමුත් රටේ ශ්‍රම බලකායෙන් 30% කි. අමුද්‍රව්‍ය (පොහොර/බෙහෙත්) නැතිකම කෘෂි ආර්ථිකය විනාශ කරමින් ඇත.
ලංකාවට වැඩිම අපනයන ආදායමක් ගෙනෙන යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමේ අවදානමට මුහුණ දී සිටී. අපනයන ආදායමෙන් 45% ක් ලැබෙන ඇඟළුම් කර්මාන්ත පමණක් නොව මත්ස්‍ය, එළවළු/පළතුරු, පිඟන් භාණ්ඩ, සෙල්ලම් බඩු නිෂ්පාදන සඳහා ද එය බලපායි. ජීඑස්පී සහනය හා බැඳී ඇති ‘ග්‍රීන් චැනල්‘ සහන ජාලය යුරෝපයට සිදු කරන සෑම අපනයනයකටම අඩු වැඩි වශයෙන් බලපානු ඇත. ඩොලර් මිලියන 600 ක් පමණ වසරකට අහිමි කරනු ඇත.
විදේශ බඩු, වාහන, විදුලි භාණ්ඩ තබා මාමයිට් වත් කඩේ නැත. පොහොර නැවැත්වූයේ වස විස නිසා නොවේ. ඩොලර් නැති නිසා ය. ඉන්ධන නැව දින 7 ක් ගොඩ බෑවේ නැත්තේ ඩොලර් නැති නිසාය. ලාෆ් ගෑස් නැත්තේ එල්.සී. (ණයවර ලිපි) අරින්නට ඩොලර් නැති නිසාය. අද ඩොරලයකට බැංකු මිල රු. 203 කි. කළු කඩේ රු. 241 කි.
සමාගම් මැදුරේ ලියාපදිංචි (ක්‍රියාත්මක වන) සමාගම්වලින් 65% ක් ආනයන - අපනයන වෙළෙඳාමට අදාලය. ඩොලර් නැතිව රටේ ආර්ථිකය දුවන්නේ නැත. ඩොලර් නැතිව විදේශ වෙළෙඳාමක් නැත.
අවස්ථාවාදී ව්‍යාපාරිකයෝ (සීනි, තෙල්, හාල්, ඩබල් කැබ් වංචා ආදිය) රට වැසියා ගේ සාරය උරාබොමින් සිටිති.
බිඳ වැටුණු ආර්ථිකයක් නගා සිටුවන්නට ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක ක්‍රියාත්මකවීමක් අවශ්‍ය ය. ආණ්ඩුවටත්, විපක්ෂයටත් දෙකටම ආර්ථිකය ගොඩනගන්නට දැක්මක් සහිත ප්‍රතිපත්ති රාමුවක් නැත. රට වැසියන්ට අර්බුදය පහදා දී, විකල්ප වැඩපිළිවෙලක් පෙන්වා දෙන්නට ආයතනයක්, යාන්ත්‍රණයක් නැත. පුරවැසි සංවිධාන නැත.
ආර්ථික අර්බුදය - රටේ අර්බුදයේම කාසියේ අනික් පැත්ත ය.
---------------------------
by (2021-07-26 13:41:20)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි