-ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා ලියයි
(ලංකා ඊ නිව්ස් -2021.ජූලි.18, ප.ව.11.30) හෙළ වෙද ලේබලය අලවා ගත් බොහෝ දෙනා එල්ලී සිටින්නේ රාවණාගේ විස්කම් වෙදකම් මෙරට තිබුණු බව කියන බේගල් කතාවේය. එයට සාධක ලෙස උපුටා දක්වන ප්‍රධාන සාක්ෂියක් ලෙස රාවණා විසින් ලියන ලදැයි සැලකෙන පොත් කිහිපයක නම් තිබේ. රාවණා ලියූ බව කියන පොත් අතර අර්කප්‍රකාශ, නාඩිපරීක්ෂා, කුමාරතන්ත්‍ර, උඩ්ඩිශ් තන්ත්‍ර යන පොත් සතර වෙද පොත් ලෙස සැලකිය හැකිය. මෙයින් අර්කප්‍රකාශය අර්ක පෙරීම හා ඒවායේ යෙදීම් ගැන ද, නාඩිප්‍රකාශය නාඩි පරීක්ෂාව ගැන ද, කුමාරතන්ත්‍රය බාල රෝග හා ප්‍රතිකාර ගැන ද, උඩ්ඩිශ් තන්ත්‍රය අභිචාර විධි ගැන ද ලියැවී තිබේ. මෙම ග්‍රන්ථ හතරම ඉන්දියාවේ මුද්‍රණය වී ඇති අතර ඒ සියල්ලම ලංකාධිපති රාවණා විසින් ලියන ලද බව කියැවේ. පුදුමයට කාරණය නම් එම පොත් වල එකම පිටපතක් හෝ ලංකාවෙන් හමු නොවීමයි.
එසේම ශිව භක්තිය වෙනුවෙන් ලියූ ශිවතාණ්ඩවය නම් ග්‍රන්ථයක් ගැන කියැවූණ ද එම නමින් ස්තෝත්‍රයක් විනා ග්‍රන්ථයක් දක්නට නොලැබේ. අමතරව රාවණා සංහිතා නම් ග්‍රන්ථයක් ගැන ද කියැවේ. එය ජ්‍යෝතිෂ ග්‍රන්ථයක් බව සමහරුන් ගේ මතයකි. එහෙත් ඉන්දියාවේ රාවණා සංහිතා නමින් ග්‍රන්ථ කිහිපයක් මුද්‍රණය වී තිබේ. මේවා තුළ අභිචාර, මන්ත්‍ර හා ජ්‍යෝතිෂය ද ඇතුළත් වේ. මෙම ග්‍රන්ථ සියල්ලම හමුවන්නේ ඉන්දියාවේ මිස ලංකාවේ නොවේ. ඒවා මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්ව ඇති නිසා ඒවායේ ඓතිහාසිකත්වය ගැන ද ඕනෑම අයෙකුට සොයා බැලිය හැකිය. ඉන්දියාවට බනිමින් සාප කරමින් අවමන් කරමින් අපේ රටේ "හෙළ යකුන්" යැපෙන්නේ ද ඉන්දියානු ලේඛකයින් ගේ නිර්මාණ මතය. මේ සෑම ග්‍රන්ථයක් ම 16 වැනි සියවසෙන් මෙපිට කාලයේ ලියැවුණු කෘතීන් බව නිසැකවම කිව හැකිය. ඒ බව ඉන්දීය ඉතිහාසඥයෝ ද තහවුරු කරති.
යම් හෙයකින් රාවණා යනු ඓතිහාසික චරිතයක් නම් මෙම ග්‍රන්ථ රාවණා විසින් ලියූ බවට යම් සාක්ෂියක් තිබේ ද? යන්න අප මුලින්ම මතු කළ කාරණය වේ.
රාවණා ගැන කියැවෙන රාමායණය ඇතුළු කිසිදු මූලාශ්‍රයක ඔහු එබඳු පොත් ලියූ බව සඳහන් නොවේ. ඔහු වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් ඇතිව සිටි බව සඳහන් වුවත් ඔහු සිදු කළ වෙදකමක් ගැන නම් කිසිදු මූලාශ්‍රයක් නොමැත. රාමායණය අනුව රාවණා ජීවත් විය හැකි කාලය වන්නේ ත්‍රේතා යුගයයි. මේ අපි ජීවත් වන්නේ කලි යුගයේ ය. ඊට පෙර යුගය ද්වාපර නමින් හැඳින්වේ. භාගවත පුරාණය අනුව එහි කාලය අවුරුදු 864,000 ක් ලෙස ගැනේ. කලියුගය ආරම්භ වන්නේ ක්‍රි.පූ. 3102 දී හෙවත් මීට වසර 5122 කට පෙරය. එවිට එම කාලය ද සමඟ බලන කල රාවණා මේ මිහිතලය මත සිටියා නම් ඒ අවම වශයෙන් අවුරුදු 870,000 කට පෙරය. ඒ කාලය ලෝකයේ හෝමෝසේපියන්ලා බිහි වීමටත් පෙර යුගයක් නිසා එය විමසා නොබලාම ඉවත දැමිය යුතු බේගලයකි.
එහෙත් රාජාවලිය අනුව රාවණා සිටි යුගය වන්නේ බුදුන්වහන්සේට වසර 1844 කට පෙර හෙවත් ක්‍රි.පූ. 2428 දී පමණ විය යුතුය. එහෙත් රාජාවලියේ සිටින රාවණා අධර්මයෙන් ලෝක ජනයාට හිරිහැර කළ ඉතා දුෂ්ට රජෙක් මිස ලෝවැඩ පිණිස වෙදකම වැනි විෂයක නිපුණ වියතෙකු නොවේ. ඔහුගේ අධර්මය නිසා මුහුද ගොඩ ගලා රටෙන් කොටසක් විනාශ වන තරමට සාපලත් පාලකයෙක් විය. මේවා සත්‍යය නම් ඒ රාවණා ගේ කතාව ද අපේ වෙදකමට කිසිදු සම්බන්ධයක් නැත.
මීට වසර 4000 කට පමණ පෙර ලංකාවේ පොත් ලියන්නට තබා සෙල්ලිපියක් හෝ කොටා ගන්නට තරම් ලිඛිත භාෂාවක් නොතිබුණ බව ඉතිහාසය දන්නා අයට අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ යුගයේ අපේ මුතුන් මිත්තන්ගේ නියම ශිෂ්ටාචරය ගැන පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හෙළි වන තොරතුරු ඊට වඩා විශ්වාසදායි මෙන්ම අභිමානවත්ය. එකල වන විට රාවණා වෙදපොත් ලියූ බව කියන කතාව අමු බේගලයකි. එසේ ලියුවේ කුමන භාෂාවකින් කුමන මාධ්‍යයක ද යන්න කියා ගන්නට බැරුව මේ හෙළ "යක් නඩය" අසරණය.
එහෙත් සංස්කෘත භාෂාව ඇති වූයේ රාවණා සිටි බව කියැවෙන යුගයට පසුවය. ඊට පෙර යුගයේ භාවිතා වූයේ වෛදික භාෂාව නිසා රාවණා පොත් ලිව්වා නම් එය වෛදික බසින් ද විය නොහැකිය. එම භාෂාවේ ආරම්භය ද දල වශයෙන් ක්‍රි.පූ. 1800 දී පමණ වන නිසාය. යම් හෙයකින් රවණා ගේ දැනුම මුඛ භාෂිතයෙන් පැමිණ පසු කලෙක ග්‍රන්ථගත වී යැයි මොහොතකට සිතමු. එසේ නම් එම ග්‍රන්ථ මුලින් වෛදික භාෂාවෙන් ලියැවී පසුව සංස්කෘතයට පරිවර්තනය විය යුතුය. එහෙත් ඉන්දියාවේ හෝ ලංකාවේ එබඳු ග්‍රන්ථ පිටපත් හමු නොවේ. එසේම ඔහු ලියූ පොත් පසුකලෙක සංස්කෘතයට පරිවර්තනය වූ බව සිතුව හොත් එබඳු සංස්කෘත පිටපත් මෑත කාලය දක්වා හමු වී නැත. දැනට මුද්‍රණය වී ඇති අර්කප්‍රකාශ, නාඩිප්‍රකාශ, කුමාරතන්ත්‍ර, උඩ්ඩිශ් තන්ත්‍ර යන ග්‍රන්ථ 4 ම මෑත යුගයේ සංස්කෘත භාෂාවෙන් ලියූ බව හොඳින් බලන අයෙකුට පෙනේ. එම ග්‍රන්ථයක කිසිසේත් ම පැරැණි සංස්කෘත පිටපතකින් උපුටා ගත් බවක් නොකියැ වේ. මේවාට පාදක වූ පුස්කොළ පිටපත් පසු කාලයක සංස්කෘත උගත් වෛද්‍යවරුන් අතින් රචනා වූ බව ඉඳුරාම කිව හැකිය.
එසේම එම ග්‍රන්ථ වල ඇතුළත් යම් කරුණක් ආයුර්වේද ග්‍රන්ථයකට උපුටා ගත් බවක් හෝ එබඳු ග්‍රන්ථ පැවති බවක් හෝ කිසිදු පැරැණි ආයූර්වේද ග්‍රන්ථයක සඳහනක් නොමැත. එලෙසින්ම ලංකාවේ කිසිදු දේශීය වෛද්‍ය ග්‍රන්ථයක් මෙම පොත් ගැන හෝ රාවණා ගැන වචනයක් හෝ නොකියයි. රාවණා ගේ දැනුම මුඛ පරම්පරා ගතව තිබී ලේඛන ගත කළා නම් අපේ රටේ සාරාර්ථ සංග්‍රහයට කලින් එළිදකින්නේ මේ පොත් ටික බව නුවණ ඇති අයට අමුතුවෙන් කියා දෙන්නට අවැසි නැත. එසේම අනෙක් වෙදපොත් වල පුස්කොළ පිටපත් ලංකාවෙන් හමු වුවත් මේවායේ පිටපත් ලංකාවේ හමුනොවන්නේ කුමන හේතුවක් නිසාද?
රාම-රාවණ යුද්ධයෙන් පසු ලංකාවේ තිබූ මෙම පොත් ඉන්දියානුවන් පැහැර ගත්තා යැයි මොහොතකට සිතමු. එසේ නම් ඒවාට “ලංකාධිපති රාවණකෘත” විශේෂණයක් එකතු කරන්නේ ඇයි? ඔවුන් රාවණා ගේ නම මකා නොදමන්නට හේතුව කුමක්ද? මෙම ග්‍රන්ථ වල සඳහන් සමහර ඖෂධ හා තාක්ෂණික කරුණු පසු කාලයේ දී ආයුර්වේදයට ඇතුළත් වූ කරුණු බව මුල් ග්‍රන්ථ හා සසඳා බැලීමේ දී පෙනේ.
උදාහරණයක් ලෙස අර්ක නිර්මාණය මුල් යුගයේ ආයුර්වේද නිෂ්පාදන අතර නොවේ. එය රස වෙදකම මෙන් පසු කාලයේ හඳුන්වා දුන් නිස්සාරණ ක්‍රමයක් වේ. එසේම නාඩි පරීක්ෂා විධි මුලින්ම ශාරඩ්ගධර සංහිතාව තුළ සඳහන් වන අතර එහි මෙවැනි නාඩිප්‍රකාශ නම් ග්‍රන්ථයක් ගැන සඳහනක් නැත. ඊට පසුව ලියැවී ඇති නාඩිඥානතරංගිණී, නාඩිදර්පණ, නාඩිරහස්‍ය ආදී ග්‍රන්ථ වල ද ඊට බොහෝ කලකට පෙර සිට පැවතුනු බව කියැවෙන මෙම නාඩිප්‍රකාශය ගැන කිසිදු සඳහනක් නැත. අපේ ඌරුවට නාඩි පරීක්ෂාව විස්තර කරන සිංහල යෝගරත්නාකාරය පවා මේ වැනි ග්‍රන්ථයකින් කරුණු උපුටා ගත් බවක් නොකියයි. අපේ රටේම ලියැවුණු “පුරාණ නාඩි කියමන” ද ඒ ගැන නිහඬය.
එසේම අපේ වෙදපොත් වල ඉඳ හිට හෝ රාවණා ගැන සඳහන් වන්නේ ඔහුට ගෞරවය පිණිස නොවේ. ඔහුට අවමානය පිණිස ලියැවුණු උපමා වේ. ඒවා රාම ගේ වික්‍රමය වර්ණනා කරනු පිණිසය. එවැනි කවි කිහිපයක් මෙහි උපුටා දක්වමි.
බලවත් රව්ළිඳු එහි මැඩුමට වෙන් දියත රාම වෙස් ගත් වැන්නේ
ලොව සත් රුදු රකුසන් වනසන මහ දියතාරාමය වන්නේ (2832)
රව්ළිඳු ඔද සිඳ රාම සැරේ ලෙස නෙත ලෙඩ වනසන මුල් නොතබා (4132)
ලෙඩ රව්ළිඳු යුදා බලය රමිඳුට වනු (3799)
රව්ළිඳු මහ බලයෙනි යුද පත්තේ
රමිඳු රාම සැරයෙනි ජය ගත්තේ (3962)
පෙර කල යුද කොට විෂ්ණුහු සමගින් පැරදුනෙ රාවණ තෙද විපුලේ
මනහර හනුමට මිතුරුව සිට ගෙන විෂ්ණු දිනූවා මෙන් නිමලේ
කලියුග වරුසෙට රුසියෝ නවදෙන දෙව්ලෝ සිට බලමින් ආලේ
නපුරු ලෙඩට යෙදු මේ ගුලියේ සකි නමද වීය ශ්‍රී විෂ්ණු කපාලේ (4853)
රාම වාත විලසින් පෙර සතුරන් නැසූ බෝ වා
රාම සේම පව් නැසුමෙහි රෝ දුක් නැසුනේ වා
රාම පාන මහ මේ ගුලි ඉසිවරු පෙර කී වා
රාම නාම ලෙස ලොව තුළ පවතී වා (5269)
මගේ පෞද්ගලික මතය නම් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ විශිෂ්ටත්වය ලොවට කියාපෑමට මේ පොත් වල එල්ලීමට අවශ්‍ය නොවන බවය. ඒ සඳහා බොහෝ වැදගත් ශාස්ත්‍රීය සාක්ෂි සපයා ගැනීමට අපේ ම වෙද පුස්කොළ පොත් හා මුද්‍රිත පොත් පරිශීලනය කිරීම සෑහේ. අනෙක මේ පොත් වල ඇත්තේ ආයුර්වේදීය දැනුම නිසා දේශීය වෛද්‍ය ක්‍රමයේ අනන්‍යතාව ඔප්පු කිරීමට ඒවායින් කිසිදු පිටිවහලක් නොලැබේ. රාවණා බේගල් වල එල්ලී කෙසේ වත් සිංහල වෙදකම පිළිබඳ අභිමානය ගොඩ නැගීම අසාර්ථක ව්‍යාපෘතියක් වේ.
මේ පොත් වල කතුවරයා ලෙස රාවණගේ නම යෙදීමෙන් ඔවුන් උත්සහ කර තිබෙනුයේ එම ග්‍රන්ථ වලට යම් පෞරාණිකත්වයක් හා ගෞරවයක් ලබා දීමය. ඉන්දියාවේ ද රාවණා ඉතා බලවත් රජෙක් හා විශාරදයෙක් බවට විශ්වාස කරන පිරිස් සිටින බව දන්නෝ දනිති. ඔවුන්ගේ අරමුණ වූයේ රාවණා ගේ නාමයට මුවා වී සිය ග්‍රන්ථය සමාජය තුළ යම් පිළිගැනීමකට ලක් කිරීමය. ඒ කාලයේ සිටම රාවණා ගේ නම විකුණා ගෙන කන පිරිස් සිටි බව මෙයින් ද පෙනේ.
කෙටියෙන්ම කිවහොත් රාවණා යනු වෛද්‍යවරයෙක් බවට කිසිදු සාක්ෂියක් නැත. මේ කරුණු තර්කානුකූලව බිඳ හෙළීමට තරම් ශාස්ත්‍රීය දැනුමක් ඇති අයට මිස ආවේගශීලිව හෙළමානයෙන් මුසපත්ව රෙදි කරට ගෙන පොලු මුගුරු ගෙන සංවාද කරන අයගේ අවධානය පිණිස ලියුවක් නොවන බව කරුණාවෙන් සලකන්න.
වෛද්‍යාචාර්යතුමන්ගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/79
---------------------------
by (2021-07-18 18:25:00)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි