~

‘කන්ට සූත්‍රය’ නතර කොට හරි බුදු බණක් කියමු..! නොවුනොත් යුරෝපයෙන් බුදු සමය ගෙන්වා ගැනීමට සිදුවේවි..!

-දිවුල්වැවේ ජිනරතන හිමිගෙන් සංඝ සමාජයට විවෘත සංදේශයක්

(ලංකා ඊ නිව්ස් -2021.ජූලි.06, ප.ව.1.25) භික්ෂුව සහ දේශපාලනය යන්න අප සමාජයේ නිරන්තර කතා බහට ලක් වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් අදහස් කරන බොහෝ දෙනෙකුගේ මතය වන්නේ දේශපාලනය භික්ෂුවට අකැප විෂයක් බව ය.

නිර්වාණය තෙක් යොමුව ඇති ආර්ය මාර්ගය තුළ භික්ෂුවකට ලෞකික අපේක්‍ෂාවන් ප්‍රවර්ධනය කර ගැනීමට ඇති නොහැකියාව මත දේශපාලනය ආදී ලෞකික විෂයන් භික්ෂුන්ට අදාළ නොවන බවට බෞද්ධ ධර්ම විනයෙන් උකහා ගත හැකි කරුණු බොහොමයකි. එමෙන්ම දේශපාලනය යන පාරිභාෂික වචනයට අනුරූප ලෙස ව්‍යවහාර කළ හැකි රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් මූලික බුදු සමයෙන් ඉදිරිපත් කෙරෙන තොරතුරු සහ මාර්ගෝපදේශන බොහොමයකි. ආර්ය මාර්ගයේ ආමුඛය වන පංචශීල ප්‍රතිපත්තිය මත පදනම් වන දැහැමි සමාජයක ඇති අවශ්‍යතාව මනාව පහදා දෙන බුදු සමය ඒ සඳහා රාජ්‍ය පාලකයන් ගේ කාර්ය භාරය සම්බන්ධ විශිෂ්ට අනාවරණයන් සිදු කොට ඇත.

බුදුන් දෙසූ දැහැමි රාජ්‍ය පාලනය අද භික්ෂු සමාජයෙන් ගිලිහිලා..

එහෙත්, අතිශයින් අවාසනාවන්ත ලෙස වර්තමාන භික්ෂු සමාජයෙන් එම ධර්ම කොටස් සියල්ලම පාහේ ගිලිහී ගොස් තිබේ. ඒ අනුව දැහැමි රාජ්‍ය පාලනයක් පිළිබඳ බෞද්ධ සංකල්පය රාජ්‍ය නායකයන් ගේත් ජනතාව ගේත් අවධානයෙන් මුළුමනින්ම ඉවත් කොට ඇත. මූලික බුදු සමයේ පන්සිල් වශයෙන් දක්වා ඇති සදාචාර ධර්ම උල්ලංඝනයන් පරමාදර්ශ වශයෙන් ගත් අදැහැමි රාජ්‍ය පාලනයක් සහ ජනතාවක් අද අප රටින් දැකිය හැක්කේ එනිසා ය.

'අනාගතයේදී බුදු සමය යුරෝපයෙන් ගෙන්වා ගැනීමට සිදුවේවි' -ආතර් සී ක්ලාක්

ථේරවාදයේ කේන්ද්‍රස්ථානය, ලෝකයේ පිරිසිදුම බුදු දහම ඇති රට වශයෙන් ශ්‍රී ලංකාව හඳුන්වමින් ජනතාවගේ මනැස් රවටන කිසිවකුත් මේ සමාජයේ ඇති සැබෑ බෞද්ධකම කුමක් දැයි විචාරාත්මකව විමසා බලන්නේ නැත. ඉතා අවාසනාවන්ත ලෙස කිව හොත් ශ්‍රී ලංකාව අද වන විට කිසියම් සමාජයක් තුළ දැකිය හැකි ආචාර විද්‍යාත්මක ශික්ෂණය අතින් ලෝකයේ සෙසු බොහෝ රටවල් අතුරින් ශීඝ්‍රයෙන් පල්ලම් බසිමින් තිබේ. ඊට සාපේක්‍ෂව බුදු දහමේ සුළඟක්වත් වැදී නොමැති බව පැවසෙන ලොව බොහෝ රටවල් අද වන විට සදාචාරාත්මක පක්ෂයෙන් අප රට අභිබවමින් ශීඝ්‍රයෙන් ඉහළට යමින් තිබෙනු පෙනේ. ලෝකයේ නවීනතම දේශපාලන ක්‍රමය ලෙස හඳුන්වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් සහිත ස්කැන්ඩිනේවියානු රටවල් ඒ අතින් අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බව අතිශයින් පැහැදිලි ය. ඒ සමඟම එම රටවල සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රම පිළිබඳව විමසා බැලීමේ දී ඉතා හොඳින් පැහැදිලි වන දෙයක් තිබේ. එනම් ‘බුදුන් උපන් දේශය’ යනුවෙන් බොරු පූච්චානම් පතුරුවන අපේ රටට වටා පංචශීලය පදනම් කර ගත් සමාජ, ආර්ථික සහ දේශපාලන ක්‍රම අද වන විට එම රටවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ය. වත්මන් මිනිස් බුද්ධි පරිනාමයේ ඉහළම ස්ථාවරයක පසු වූ ආතර් සී ක්ලාක් වැනි විද්වතුන් පවා අප රටට අනාගතයේදී බුදු සමය යුරෝපීය රටවලින් ගෙන්වා ගැනීමට සිදුවන බවට අනාවැකි පළ කරන ලද්දේ මෙකී කරුණු කාරණා සමඟිනි.

‘කන්ට සූත්‍රය’ - ආත්ම ලාභය කතා බණ කීම..

අප රටේ භික්ෂුන් මේ වන විට ගිහියන්ට දේශනා කරනුයේ ‘කන්ට සූත්‍රය’ පමණකැයි මීට දශක කිහිපයකට පෙර එක් වාමාංශික දේශපාලනඥයකු කී උපහාස කතාව තුළ පැහැදිලි හා නිරවුල් සත්‍යයක් ගැබ් ව තිබේ. ඔහු ‘කන්ට සූත්‍රය’ ලෙස හඳුන්වන ලද්දේ භික්ෂුන් තමන්ගේ ආත්ම ලාභය තකා බණ කීම ය. සියවස් ගණනක් මුළුල්ලේ බුද්ධාගම නමින් වන බුදුන් ගේ නමින් වෙනම ආගමක් තනා ගත් මෙරට භික්ෂු පරපුර සම්බන්ධයෙන් මෙය සම්පූර්ණ සත්‍යයකි. නමුදු එදා මෙදා තුර අප සමාජය තුළ ස්ථාපිත බුද්ධාගම නමැති ආගමික සන්දර්භයට ඉන් එල්ල වූ මරු පහර නිසා මෙරට බෞද්ධ සමාජය හමුවේ එම දේශපාලනඥයා දේවදත්තයකු විය. නමුදු ඔහුට වඩා දේවදත්ත ගණයේ භික්ෂුන් නූතන බුදු සමය තුළ හිඳින බැවින් ඔවුන් ගෙන් බුදු සමය බේරා ගැනීමට ශාසන ශුද්ධියක් සිදු විය යුතුම බව පැවසූ ධර්ම, විනය ධර භික්ෂුන් වහන්සේලා ද අතලොස්සක් වූහ. 

ආචාර්ය කඹුරුගමුවේ සෝරත හෙවත් ආචාර්ය චරිත හේරත්..

අපගේ ආචාර්යෝත්තමයාණන් වහන්සේ නමක වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය අපවත් වී වදාළ පූජ්‍ය කඹුරුපිටියේ අරියසේන හිමිපාණෝ එවන් දුර්ලභ ගණයේ පඬි රුවනකි. උන්වහන්සේ ගේ එම නිවැරදි සමාජ දර්ශනය අනුව, අනූව දශකයේ කටයුතු කරමින් සිට පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය පදවියක් දැරූ ආචාර්ය කඹුරුගමුවේ සෝරත හිමිපාණෝ පසුව එම සමාජ දර්ශනය සේම තම ජීවන දර්ශනය ද මුළුමනින් අතහැර ‘උපැවිදි වී වදාළ සේක’ ලෙස වර්තමාන ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතියෙන් යැපෙන පරපුටුවකු වන ආචාර්ය චරිත හේරත් යනු එම විප්ලවකාරී ගමන් මඟට අවතීර්ණව සිට ඉන් ඉවතට පැන ගත් භික්ෂුව ය. එවන් මාර්ගෝපදේශකයන් තම ආත්ම ලාභය තකා වත්මන් පවිටු දේශපාලනයේ කුලී හේවායන් බවට පත්වීම මත බුදු සමයෙන් පැවසෙන එම උතුම් දේශපාලන දර්ශනය; රාජ්‍ය පාලන සංකල්පය අද වන විට භික්ෂුන්ගේ ‘කන්ට සූත්‍රය’ ක් බවට පත් වීමේ අරුමයක් නැත.

පුං ගවයා සහ සෙසු ගවයෝ..

“ගවං චෙ තරමාණනං- ජිමහං ගච්ඡති පුංගවෝ
සෙසා ජිව්හා ගච්ඡන්ති - නෙතෙන ජිමෙහ ගතෙසති
ගවං චෙ තරමානානං - උජුං ගච්ඡති පුංගවො
සෙසා උජුං ගච්ඡන්ති - නෙතෙත උජු ගතෙ සති”

එහි අරුත වන්නේ, ගඟකට බැස එගොඩට පිහිනා යන ගවරැලේ නායකයා හෙවත් පුං ගවයා, ඉදිරියෙන් ගමන් කරන අතරේ ඒ නායක ගවයා ඇදට ගමන් කරයි නම් සෙසු ගවයෝ ද ඇදට ගමන් කරති. නායක ගවයා ඍජුව ගමන් කරන විට සෙසු ගවයෝ ද ඍජුව ගමන් කරති යන්නය. මෙමගින් පැවසෙනුයේ රටක ජනතාව පාලකයන් අනුව තම ජීවන මාර්ගය සකසා ගන්නා බව ය.

පැණි රස නුග පත්‍ර සහ තිත්ත නුග පත්‍ර..

යටගිය දවස බරනැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු ඉතා ධාර්මිකව රාජ්‍ය විචාරන අතරේ රටවැසියා ගේ සුව දුක් විචාරනු පිණිස රහසින් වීදි සංචාරය කිරීමේ පුරුද්දක් ඇති කර ගත්තේ ය. පළමුව ඇතුළු නුවර ද දෙවනුව පිටත නුවර ද ඉන් පසුව ප්‍රත්‍යන්ත ජනපදවල ද සැරිසරමින් ඒ කිසිදු වැසියකුට තම රාජ්‍ය පාලනය නිසා නපුරක්, අයහපතක්, අගතියක් සිදුව ඇත්දැයි සොයා බැලූ රජතුමා ඉන් අනතුරුව වෙස්වලා ගත් වනම හිමාල වනයට ගොස් එහි බවුන් වඩනා තවුසෙකු හමු විය. එහි දී තවුසා විසින් රජතුමාට එහි ඇති සුවිසල් නුග රුකේ පත්‍ර ආහාර පිණිස දුන් අතර ඒවා පැණි රස බව රජ තුමාට වැටහිණ. රජතුමා ඊට හේතුව විමසූ විට තවුසා පවසා සිටියේ දැහැමි රජ දරුවන් රට පාලනය කරන විට පොළෝ ගැබ ද සුපෝෂණය වීමෙන් එහි වැඩෙන පල ආදිය ද මිහිරි රසයෙන් යුතු වන බව ය. තවුසා ගේ එම කතාව තදින් සිතට ගත් බ්‍රහ්මදත්ත රජතුමා ඒ කතාවේ සත්‍යතාව පිරික්සනු පිණිස යළි බරනැස් නුවරට ගොස් අදැහැමි බවින් රාජ්‍යය විචාරන්නට විය. ඉන් පසු යළි රජතුමා හිමාල වනයට ගොස් ඉහත සඳහන් තවුසා මුණ ගැසුණු අතර එහි දී ද තවුසාගෙන් රජතුමාට නුග පත් ආහාර පිණිස ලැබිණ. එහෙත්, එවර ඒවා තිත්ත රසින් යුතු බව රජතුමාට සැනින් වැටහුණි. එබැවින් ඔහු ඒ පිළිබඳව තවුසා ගෙන් විමසී ය. එවිට තවුසා ගේ පිළිතුර වූයේ එසේ නම් දැන් රට තුළ අදැහැමි පාලනයක් සිදු වෙමින් පවතින බව ය. 

මෙම කතා ප්‍රවෘත්තිය තුළ ඇති සංසිද්ධිමය සත්‍යතාව හැරුණු කොට මින් පළවන දාර්ශනික යථාර්ථය කෙතරම් ගැඹුරු තලයක් දක්වා විහිද යන්නේ දැයි අපි මඳකට සිතා බලමු. එමෙන්ම කිසියම් රටක අදැහැමි පාලනයක් සිදුවීම එහි සමස්ත ජෛව පද්ධතියටම අහිතකර අයුරින් බලපාන අන්දම අධම්මික සූත්‍රය මඟින් ද මනාව විස්තර කෙරේ.

අධම්මික සූත්‍රය..

එහි දී පළමුව රාජ්‍ය පාලකයන්ගේ අධාර්මික වීම අනුව රාජ්‍ය නිලධාරීන් අධාර්මික වන බවටත් ඉන්පසු ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් ද අධාර්මික වීම මඟින් රට වැසියන් ද අධාර්මික වන බවත් පවසන එම සූත්‍රය මඟින් පැවසෙනුයේ පසුව එම අදැහැමි බව මත සොබා දහම ද විෂම වන බව ය. එමගින් සෘතු විපර්යාස ඇතිවීම, ස්වභාවික විපත් හට ගැනීම, නිසි කලට වැසි නොලැබීම මත ශස්‍ය සම්පත හිඟවීම, ඉන්පසු ඒ ඔස්සේ හටගනු ලබන චක්‍රාකාර ක්‍රියාවලිය මුල් කොට මිනිසුන් විවිධ රෝගාබාධ වලට ලක්ව, සිතින් කයින් දුබලව අකාලයේ මිය යාම දක්වා වන එහි අන්තර්ගතය නුවණැසින් පිරික්සීමේ දී ඉතා හොඳින් පැහැදිලි වනුයේ අද වන විට අප රට සම්බන්ධයෙන්  එබඳු තත්වයක් උද්ගත වෙමින් පවතින බව ය. එහෙත්, හුදෙක් ලෞකික ලාභාපේක්‍ෂාවන් පෙරදැරිව දේශපාලකයන් සමඟ ඇලෙමින් ගැටෙමින් ක්‍රියා කරන වර්තමාන භික්ෂු සමාජයෙන් කීයෙන් කී දෙනකු නම් මෙම උතුම් බෞද්ධ රාජ්‍ය සංකල්පය ජනතාව අතරට ගෙන ඒමට උත්සුක වන්නේ ද යන්න අප සිතා බැලිය යුතු ය.

නිර්මල බුදු දහම සේම සැබෑ භික්ෂු ශාසනය ද වැනසී යාවි..

මෙවන් පසුබිමක් යටතේ යම් භික්ෂුවක් අද සමාජයෙන් වැසී ගත් මෙවන් උතුම් ධර්ම කොටස් ජන සමාජය හමුවට ගෙන ඒමේ දී බහුතර ජනතාව ඊට විවිධ චෝදනා, නින්දා අවලාද එල්ල කොට අවසානයේ එම භික්ෂුවට උන් හිටි තැන් පවා අහිමි කරවන තත්වයක් අද වන විට උදා වී තිබේ. ඒ තත්ත්වය කෙසේ වුවද වර්තමාන බුද්ධාගම තුළින් ශීඝ්‍රයෙන් ඉස්මතු වන ‘කන්ට සූත්‍රය’ ප්‍රවර්ධනය කිරීම තුළින් අප සමාජයෙන් නිර්මල බුදු දහම සේම සැබෑ භික්ෂු ශාසනය ද වැනසීම කිසිවකුටත් වැලකිය නොහැක.

දිවුල්වැවේ ජිනරතන හිමි

හිමියන්ගේ දහම්  ලිපි එකතුව
https://www.lankaenews.com/category/81

---------------------------
by     (2021-07-06 08:08:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links