ටෙරල් දුනුසිංහ ලියයි
(ලංකා ඊ නිව්ස් -2021.ජුනි.01, ප.ව.10.15) "මගේ මහ ඇමතිකම මම මෙහෙම ඇඟිලි දෙකෙන් එල්ලා ගෙන ඉන්නේ. මම මගේ මහ ඇමතිකම මෙහෙම උඩදාල අල්ලනවා. මම තෝරා ගත්තේ අසීරු ගමනක්. සමාජ සාධාරණත්වය, ජාතිවාදයට විරුද්ධව මම උඩු ගං බලා පීනන්නේ. ඒ ගඟේ මොන තරම් සැඩ පහර ආවත්, මොන තරම කිඹුල්ලු හිටියත් මගේ ජීවිතය තිබෙනතුරු මම ගමන ආපහු හැරෙන්නේ නැහැ," යි සමිත හාමුදුරුවෝ ජීවමානව සිටියදී බද්දේගම සංදරවල හන්දියේදී කළ චංඩි කතාව මගේ හදවතට තදින්ම කිඳා බැස්සේය.
ප්‍රැන්සිස්කු නමැති මංත්‍රීවරයා පැහැර ගැනීමෙන් 1994 දී එජාප දකුණු පළාත් සභාව බිඳ වැටීමෙන් අනතුරුව පැවැති පළාත් සභා මැතිවරනයට බද්දේගම සමිත හිමියන් මහ ඇමති ධූරයට තරඟ වැදී සිටියේ නව සමසමාජ පක්‍ෂයෙනි. අතීතයේ වමේ බලකොටුවක් ලෙස දිදුළුනා යැයි කියැවෙන දකුණ, එජාප - ශ්‍රීලනිප - ජවිපෙ ජාතිවාදයෙන් ගිංගඟ පිටාර ගැලුවා සේ දෙගොඩ තළාගොස් අප සිටියේ දේශපාලන අනාථයන් ලෙසිනි. එවැනි පසුබිමෙක වාසුදේව, වික්‍රමබාහු සමඟ රතු වේදිකාවේ සිටි සමිත හිමියන් දුටු අපට ඇතිවූයේ බද්දේගම දුටු ගැමුණු විහාරයේ සිටින දසමහා යෝධයන් දුටුගැමුණු අතහැර පැමිණියාක් වැනි හැඟීමකි. "අපටත් රජෙක් ඉන්නේ.. පෙරහැර කොරඤ්ඤං” යි සිතුනි.
එම මැතිවරනයෙන් අමරසිරි දොඩංගොඩ මහ ඇමැති වී ශ්‍රීලනිපය දකුණු පළාත් සභාව ජයග්‍රහනය කළ අතර සමිත හිමියන් නායකත්වය දුන් නසසපයට අසුනක් හෝ ජයග්‍රහනය කරගැනීමට නොහැකි විය. නසසපය තරග වැදුණු අනෙක් හැමතැනකම වාගේ ප්‍රතිපලය ඒ හා සමාන විය. එජාප 17 වසරක පාලනයේ අවසානය එයින් ඇරඹුනා සේම සමිත හිමියන්ද රැල්ල සමගින් පිහිනීම ඇරඹුනේත් එදිනම විය යුතුය. ඒ සඳහා හිමියන් ගේ දේශපාලන කොල්ලෑව වූයේ ජාතිවාදී ධනපති සභාග සදහා කප් ගසා ඇති "අධිරාජ්‍ය ගැති පොදු හතුරා පරදවමු" යන තේමා පාඨය මාක්ස් ගේ ප්‍රාග්ධනය කෘතියටත් වඩා 56 සිට කියවා ඇති ලංකා සමසමාජ පක්‍ෂයයි.
ඉන්පසු 1999 දී එළැඹි දකුණු පළාත් සභා මැතිවරනයේදී සමිත හිමියන් තරග වැදුනේ ලසසප අපේක්ෂකයකු ලෙස චන්‍ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ජාතිවාදී ධනපති පොදුජන පෙරමුණෙනි. කිඹුලන් සමග පොර බඳිමින් සමාජ යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් උඩු ගං බලා ජීවිතය අවසානය දක්වා පිහිනනවා යැයි වසර පහකට පෙර ජනතාව ඉදිරිපිට සන්දරවලදී බෑඟිරි ගෑ සමිත හිමියන් එකී හන්දියේම දිය බුං ගසමින් කිඹුලන් පිරිවරා ගිං නදී තෙර ජාතිවාදී සභාග රැල්ලේ පිහිනනා’යුරු විශ්මයෙන් මුව අයා බලා සිටියෙමි.
සමිත හිමි අගහිගකම් දෝතින් ගුලි කරගනිමින් හැරල්ඩ් ත්‍රීමාවිතාන නමින් බද්දේගම පුහුල්දූව ග්‍රාමයේ ඉපිද, බද්දේගම සමිත නමින් පැවිදි දිවියට ඇතුළත්ව කැළණිය මානව ශාස්ත්‍ර පීඨයෙන් පසු බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයේ දැනුම ලබා ගත්තේය. 1978 මාර්තු 16 දා කැළණි සරසවි බිමට කඩා වැදී සිසුන්ට පහර දුන් ක්‍රිස්ටෝපර් ජයතිලක ඇතුළු එජාපයේ ජාතිවාදී නියමු සිරිල් මැතිව් ගේ කුලී මැරයන්ට අමතක නොවන පාඩමක් උගන්වමින් තම පන්තිය වෙනුවෙන් ජීවිතයට මරණය කැදවා ගත් නිර්භීත සටන්කාමී කුඩාපොල පරම්පරාවේ යතිවරයකු ලෙසින් විරුදාවලි ලැබිය. 88 - 89 එජාප ය දකුණේ දියත් කළ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව මහපාරේ ගෙනගිය අරගල නිසා මහා මානවහිතවාදියකු ලෙසින් ජාතික හා ජාත්‍යන්තර කීර්තියට ලක්විය. අප හිමියෝ මෙසේ අවවරප්‍රසාදිත ජනතාවගේ මෙකී නොකී දහසකුත් එකක් අයිතීන් ලබාගැනීම උදෙසා දිවා රෑ නොබලා ගෙන ගියා වූ නොනිමි අරගලයෙන් උපයාගත් මහා කිර්තිකදම්භය පළාත් සභා මන්ත්‍රී කට්ටක්, පැජරෝවක් වෙනුවෙන් ජාතිවාදී ධනපති චන්ද්‍රිකාගේ දෙපා මුල හෙළුහ.
ඉන්පසු මන්ත්‍රී හිමියන් ගේ වීරත්වය දැකගත හැකිවූයේ වරප්‍රසාදිත කඳවුරේ චන්ද්‍රිකාගේ සිට වර්තමාන ජනාධිපති ගෝඨාභයගේ කිරීටය වෙනුවෙන් ඉදිකළ පතරංග වේදිකා මතය. වීදියේ සටන වේදිකාවට ලඝු කරමින් සිය කඳවුර අත්හළ හිමියන්ගේ මානව දයාව, සමාජ සාධාරණත්වය, යුක්තිය අයුක්තිය ඈ සියල්ල ප්‍රකාශ කෙරුනේ පළමුව තම ආණ්ඩුව රැකගැනීම, දෙවනුව මන්ත්‍රීකම ආරක්ෂා කරගැනීම, තෙවනුව එජාප පොදු හතුරාට වාසි ලබා නොදීම තෙරුවණ කොටගත් මහාචාර්ය තිස්ස විතාරනගේ පාන්කඩ න්‍යායට අනුවය. ඒ පාන්කඩ න්‍යාය අනුගමනය කරන අතරේම ගිනි ඇවිලෙන වොයිස්කට් ලබාදීමටද හිමියෝ අමතක නොකළහ.
"යාපනයේ කයිට්‌ස් දූපත්වලදී සමූහ දූෂණයට ලක්‌කොට ඝාතනය කරනු ලැබූ වින්ද්‍යා දැරියගේ ඝාතකයන්ට අධිකරණයෙන් මරණ දඬුවම නියම වුවහොත් දරුවන්ගේ නාමයෙන් මා අළුගෝසුවාගේ කාර්ය කරනවා. දරුවන් වෙනුවෙන් මා අළුගෝසුවාගේ කාර්ය භාරය කරලා හිත හදාගෙන සිවුරු හැරලා වනගත වෙලා භාවනා කරනවා,"යි පුවත් පත් ශීර්ෂ පාඨ මැවූ මේ ප්‍රකාශය සමිත හිමියන් කළේ දකුණු පළාත් සභා රැස්වීමකදීය.
සිවුරු අත්හැර වින්ධ්‍යාගේ අපරාධකරුවන් (දෙමළ) එල්ලා මරා සිවුරත් ගැලවීමේ සූදානම පෙන්වූ හිමියෝ කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු නිරායුද දෙමළ යුද අනාථයන් නව දෙනෙක් පෙති ගසා මරා දැමීම නිසා එල්ලුම් ගහට නියම වූ සුනිල් රත්නායක නම් සිංහල බෞද්ධ හමුදා සෙබළා එල්ලා මැරීමට අඳනය වත් බුරුල් කරන්නට ආවේ නැත. අධිකරණ දෙකකින්ම දඩුවම් ලැබූ එකී සෙබලා ජනාධිපති ගෝඨාභය විසින් නිදොස් කොට නිදහස් කර ගෙදර යවද්දී අවම විරෝධයක් පාමින් හෝ මන්ත්‍රීකම අත්හැර, පැජරෝව භාර දී බස් එකේ නැග බද්දේගමට එන්න සිතුවේ නැත. බුදුන් උගැන්වූ මහා කරුණාව, සමානාත්මතාව අතුරුදහන් විය. (ලසසප යේ නම් ඒ සියල්ල අවසන් වුනේ 56 දී)
වර්තමාන ජනාධිපති යුද සෙන්පතියකුව සිටි 88-89 දී එජාපය දකුණේ තරුණයන් අනීතික ලෙස මරා දමද්දී එය රාජ්‍ය ත්‍රස්තවාදයයි අපට කියා දුන් ඔබ, එයට එරෙහිව මහපාරේ අරගල කළ ඔබ, රාජපක්ෂලා උතුරේ නිරායුද දෙමළ ජන සංහාරයක් කරද්දී නවගුණ වැල ගනිමින් සිටියේය. එය ඔබටද "මානුෂික යුද්ධයක්" විය.
බියකරු වෛරසයකට මුළු මහත් සමාජයම ගොදුරු වී ඇති මොහොතක අවවරප්‍රසාදිත ජනතාව ඉන් බේරාගැනීම වෙනුවෙන් පාලකයන්ට එරෙහිව වෙනදා නැගෙන ඔබේ උස් හඬ වෙනුවට මෙදා අප දුටුවේ පාන්කඩ න්‍යායට අනුගත වෙමින් දෑත් සෝදා ගැනීමට බද්දේගම නගරයේ ජල බේසම් සවි කිරීම පමනි. වසංගතයට මුවාවී ගෝඨාණ්ඩුව විසි දිනක් වයසැති කිරිකැටියකු ඇතුළු මුස්ලිම් සිරුරු බලහත්කාරයෙන් පුච්චන විට, ටයර් සෑයේ තරුණ තරුණියන් අළු කර දැමූ ආණ්ඩුවට එරෙහිව හඬ නැගූ ඔබේ මුව අගුලු වැටී තිබුණි.
අවසර හිමියනි, සියල්ල මේ අයුරින් කනපිට පෙරළුණේ 2004 වසරේ සිට උහුලාගෙන සිටි වසර 17ක අඛණ්ඩ පළාත් සභා මන්ත්‍රී ධූරයක් රැක ගැනීම වෙනුවෙන් සිංහල බෞද්ධ චන්ද පදනම රැකගැනීමට විනා අන් කවරකටද ? එහි තර්කානුකූල අවසානය වූවේ සියලු ජාතීන්ට සම නිවනක් අත් කර දීමට ඇස්, ඉස්, මස්, ලේ පුදන බුදු පුතකු ලෙස වීදියේ සටනින් ඇරැඹු ගමන එක ජාතියක පරම අධිකාරය වෙනුවෙන් අනුන්ගේ රීරි බොන නරකාදියක අවසන් කිරීම නොවේද?
ඉදින් මේ සියල්ල අත්හැර එක ජාතියක පරම අධිකාරය වෙනුවෙන් අනුන්ගේ රීරි බොන නරකාදියක් අපට උරුම කර ඔබ අද නික්ම ගොස් ඇත. මෙවැනි හදිසි මරණයක් ඔබට අත්වුනේද ඔබේම මුග්ධ පාලකයන් ගේ අවිචාරවත් පාලනය නිසාය. මේ සියල්ල සලකා බැලීමේදී ඔබ සමාජවාදියෙක් යැයි සිතා මට ඔබට ආචාර කළ නොහැක. මන්ද එවැනි ගුණාංගයන් ඔබෙන් ඈත්වී බොහෝ කාලයකි. නිවන් සුව අත්වේවා යි නොපතමි. මන්ද එය අවබෝධ කරගනු විනා මරණෙන් මතු ලැබෙන්නක් නොවන බැවිනි.
"හිමියනි නැවත වඩිනු මැනවි " යනුවෙන් සමාජ මාධ්‍ය තුළත්, බද්දේගම නගරයේත් තිබෙනු මම දුටුවෙමි. එත් සමිදුනි, මා ඔබෙන් ඉල්ලා සිටින්නේ නැවත නොවඩිනා ලෙසය. ජනසවියක් ලබාදෙන්න, වැඩිහිටි නිවාසයක්, පුස්තකාලයක්, පාරක්, බෝක්කුවක් සාදා ගන්න ඔබ නැතත් 1948 සිට පැවති හැම ආණ්ඩුවක්ම සිය චන්ද පදනම රැක ගැනීම අරභයා ඒවා අඩු වැඩි වශයෙන් ඉටුකර ඇතිවාසේම ඉදිරියේදී ද එසේ කරනු ඇත.
"මගේ දේශපාලන ගමනට සමිත ස්වාමින්වහන්සේද ආශිර්වාදයක් විය" යනුවෙන් ගෝඨාබය ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත්කර තිබූ අතර "සමිත හිමිගේ අභාවය මේ රටේ වාමංශික ව්‍යාපාරයට පිරිමැසිය නොහැකි බලවත් පාඩුවක් වූවා " යි මහින්ද රාජපක්ෂ අගමැතිවරයාද හිමියන්ගේ වියෝව පිළිබඳව කනගාටුවෙමින් කියා තිබුනි. මේ කතාව අපි අවිවාදයෙන් පිළිගන්නෙමු. සුළුතර ජාතිකයන්ගේ ලෙයින් පෙඟී ඇති රාජපක්ෂලාගේ වස්ත්‍ර චිකාගෝ කම්කරුවන්ගේ රක්තවර්ණ රුධිරය යැයි රටේ ජනතාවත් ලෝවැසියාත් ගොනාට අන්දවන්නේ ලසසප, කොප, වාසුදේවලාගේ වාමාංශික ව්‍යාපාරය හැර අන් කවරහුද? ඉන් එකෙක් හෝ අහිමිවීම රාජපක්ෂලා කාගෙන් පිරිමසා ගන්නේද?
නමුත් මෙහි අරුමයනම් එදා ගෝටා විසින් ටයර් සෑයේ දවන්නට සූදානම් කළවුන්ගේ ජිවිත බේරාගැනීමට සමිත හිමියන් සමග එක වේදිකාවේ සිටි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නද රාජපක්ෂලා සමග සමපාත වෙමින් රාජපක්ෂ කඳවුරේ සමිත හිමිගේ වියෝවෙන් වමේ ව්‍යාපාරයට වින්නැහියක් සිදුවී ඇතැයි නාහෙන් ඇඬීමය.
මෙසේ වසර විසි පහක් තුළ උඩියටිකුරු කළ දේශපාලන සංදර්ශනයක විචිත්‍ර රූපක මැවෙද්දී සන්දරවල හන්දියේ නැවතී ඔබ අප මුණ ගැස්වූ ඓතිහාසික වේදිකා භූමිය දෙස මොහොතක් උත්ප්‍රාසයෙන් බලා සිටියෙමි. දිය බුං නගමින් ගලා ඇදෙන ගිං නදියේ මහා ජලකඳ පරයා ඔබේ ප්‍රතාපවත් වාග් ප්‍රහාරය දුටු ගැමුණු විහාරයේ කඳු වළල්ල සිසාරා පැතිර යනවා සේ ඇසුනි.
"මම තෝරා ගත්තේ අසීරු ගමනක්. සමාජ සාධාරණත්වය, ජාතිවාදයට විරුද්ධව මම උඩු ගං බලා පීනන්නේ. ඒ ගඟේ මොන තරම් සැඩ පහර ආවත්, මොන තරම කිඹුල්ලු හිටියත් මගේ ජීවිතය තිබෙන තුරු මම මේ ගමන ආපහු හැරෙන්නේ නැහැ"
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/47
---------------------------
by (2021-06-01 16:51:18)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි