ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2021.මැයි.31, ප.ව.12.25) අගමැති රනිල් වික්‍රමසිංහ, මෙෙත්‍රී වික්‍රමසිංහ මැතිනිය ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් වසර 2003 අගෝස්තු මාසයේ දින පහක නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගියහ. එවකට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති සජිත් ප්‍රේමදාස ද මේ කණ්ඩායමට අයත් විය. අගමැතිවරයාගේ චීන සංචාරයේ විශේෂිත අවස්ථාව වූයේ එවකට චීන ජනාධිපති හූ ජිංතාවෝ (Hu Jintao) අතර බේජිං නුවර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවයි.
චීන ජනාධිපති හූ ජිංතාවෝ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නියෝජිත පිරිසට අතට අත දී සුහදව පිළිගත්තේ ය. "How is the Bandaranaike family?" (බණ්ඩාරනායක පවුල කොහාම ද?) යන්න චීන ජනාධිපති හූ ජිංතාවෝ ද්වි පාර්ශවීය සාකච්ඡා ආරම්භ කරමින් ඇසූ පළමු ප්‍රශ්නය විය. මේ පැනයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ අන්දුන්කුන්දුන් වී ගියේ ය. ඔහු ඒ ප්‍රශ්න කිරීම කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවීය. මොහොතක් ගල් ගැසී ගිය අගමැතිවරයා සිහි එලවාගෙන "They are fine" යැයි පිළිතුරු දුන්නේ ය. එහෙත් එම කෙටි සාම්ප්‍රදායික පිළිතුරෙන් චීන ජනාධිපතිවරයා සෑහීමකට පත් නොවූ බව අවබෝධ කරගත් අගමැති රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ මෙන්ම අනුර බණ්ඩාරනායකගේ භූමිකාව චීන ජනාධිපතිවරයාට පැහැදිලි කළේ ය. අනෙකුත් ද්වීපාර්ශ්වීය කරුණු සාකච්ඡා කිරීම ආරම්භ වූයේ ඉන් පසුවය.
වසර 2001 ශ්‍රී ලංකා දේශපාලනයේ පෙරළිකාර කාල පරිච්ඡේදයකි. වසර දාහතකට පසුව බලයට පැමිණි ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණේ තීරණාත්මක බෙදීමක් නිර්මාණය කරමින් එස්. බී දිසානායක, ජී. එල් පීරිස්, මහින්ද විජේසේකර, බන්දුල ගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වූහ. පාර්ලිමේන්තු බහුතරය අහිමිවීම හේතුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය පාර්ලිමේන්තු විසිරුවා හැර නව මහ මැතිවරණයක් කැඳවූවාය. දෙසැම්බර් 4 වන දා පැවති මහ මැතිවරණයට එස්. බී. කණ්ඩායම එජාප අලියා ලකුණින් තරඟ කළේ ය. නව දේශපාලන බෙදීම හරහා ඇතිවූ උද්යෝගය සහ ජවය හේතුවෙන් එජාපය මහ මැතිවරණය පහසුවෙන් ජය ගෙන නව රජයක් පිහිටුවීය. රනිල් වික්‍රමසිංහ අගමැති විය. වසර 1994 පසුව එජාපය මෙතෙක් ආණ්ඩුවක් පිහිටවූ පළමු සහ අවසාන අවස්ථාව එය විය.
මෙරට ඉතිහාසයේ පළමුවරට විධායක සහ ව්‍යවස්ථාදායක එකිනෙකට වෙනස් පක්ෂ දෙකකට අයත් විය. නව ආණ්ඩුව පිහිටවූ පළමු මොහොතේ සිට දෙපාර්ශවය අතර ගැටුම් නිර්මාණය විය. ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවී කරුණානායක, රාජිත සේනාරත්න වැනි නව ආණ්ඩුවේ ඇමතිවරු ජනාධිපතිනියට ප්‍රසිද්ධියේ පහර ගැසීමට පටන් ගත්හ. ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සතිපතා කැබිනට් රැස්වීම් හි දී මේ ගැටුම් වඩාත් තීව්‍ර විය.
මේ පසුබිමේ චීනයට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ, චීනය තමාව ශ්‍රී ලංකාවේ නව දේශපාලන නායකයා වශයෙන් පිළිගනීවී යැයි බලාපොරොත්තු වුයේ ය. එහෙත් ඔහුට සිදුවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය වෙනුවෙන් අඩු පිරවීමට ය. චීන ජනාධිපති හූ ජිංතාවෝ බණ්ඩාරනායක පවුල පිළිබඳ ඇසූ පළමු ප්‍රශ්නයෙන් ම එය පැහැදිලි විය. මේ සිද්ධිය පිළිබඳව පසු කලෙක සිය සමීප මිතුරන් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ චීනය බණ්ඩාරනායක පවුලට ගෞරවයක් දක්වන බව තමා අසා තිබුණත් එහි බැරෑරුම් ස්වභාවය අවබෝධ වූයේ චීන ජනාධිපති හූ ජිංතාවෝ තමාගෙන් කළ සෘජු විමසීමෙන් බවයි.
රනිල් වික්‍රමසිංහගේ එම සංචාරයෙන් වසර දෙකකට පසුව එනම් වසර 2005 අගෝස්තුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය දින පහක සංචාරයක් සඳහා චීනයට පැමිණියා ය. එවකට සංචාරක ඇමතිව සිටි අනුර බණ්ඩාරනායක ද මේ සංචාරයට එක්ව සිටියේ ය. එම සංචාරයේ දී සංස්කෘතික, ආර්ථික, මූල්‍ය සහ සංචාරක ක්ෂේත්‍ර පිළිබඳ සහයෝගීතා ගිවිසුම් අටකට දෙරට අත්සන් තැබීය. ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනක් වටිනා මූල්‍ය ආධාර, සහන ණය, චීන ශිෂ්‍යත්ව, පුහුණු කිරීම් සහ නව තාක්ෂණික ආධාර මේ අතර විය. ඒ වනතෙක් දෙරට අත්සන් කළ වඩාත් කැපීපෙනෙන ගිවිසුම් වශයෙන් මේවා හඳුන්වා දෙන ලදී. කොළඹ කලාගාරය ආශ්‍රිතව කලා සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම මේ අතරින් වඩාත් අවධානයට යොමුවූ ගිවිසුමකි.
පොදුවේ කලාව පිළිබඳ අවබෝධයක් මෙන්ම ආදරයක් දැක්වූ සංස්කෘතික කාන්තාවක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය මේ මධ්‍යස්ථානය පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කළාය. එවකට සංස්කෘතික ඇමැති වශයෙන් කටයුතු කළ විජිත හේරත්ට කරදරයක් වන තරමට ඇය මෙහි සැලසුම්වලට විවිධ සංශෝධන ඉදිරිපත් කළාය. ඇගේ සිතේ නිර්මාණය වී තිබූ කලා සහ සංස්කෘතික මධ්‍යස්ථානයේ සිහිනය විජිත හේරත් ප්‍රමුඛ සංස්කෘතික අමාත්‍යාංශ නිළධාරීන් ඉදිරිපත් කළ අවසාන සැළසුම සමඟ සමපාත වනතෙක් තුන් වරක් එය සංශෝධනය කිරීමට ඇය කටයුතු කළාය. එහෙත් අවාසනාවකට ඇගේ ධූර කාලයේ දී එම ව්‍යාපෘතිය සම්පූර්ණ කර ගැනීමට නොහැකි විය. කලා සහ සංස්කෘතික මධ්‍යස්ථානය වෙනුවට අපට හිමි වූයේ යුධ හමුදාව විසින් පාලනය කරන "නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලයි". කලාව සහ සංස්කෘතිය පිළිබඳ මෙලෝ රහක් නැති ගංකබරයන් වූ රාජපක්ෂලාගෙන් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.
ඉතිහාසය ගැන නොදන්නා රාජපක්ෂ වහලුන් සිතා සිටින්නේ චීන, ශ්‍රී ලංකා සම්බන්ධතා ස්ථාපිත වූයේ රාජපක්ෂලා යටතේ බවයි. එහෙත් එයට දශක හයක පමණ ඉතිහාසයක් ඇත. විපක්ෂ නායකයා වශයෙන් කටයුතු කරමින් 1952 දෙසැම්බර් 18 වන දා අත්සන් කළ චීන, ශ්‍රී ලංකා රබර්-සහල් ගිවිසුමට මූලික පදනම දැම්මේ එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාය. සිය මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව යටතේ පැවැති පළමු නිදහස් දින උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවීමට චීන අගමැති චූ එන් ලායි ට ආරාධනා කිරීමට එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක අගමැතිවරයා තීරණය කළේ ය. ශ්‍රී ලංකාවේ නව වන නිදහස් උත්සවය සඳහා චීන අගමැතිවරයාට ආරාධනා කිරීම ඵෙතිහාසික සහ ආන්දෝලනාත්මක තීරණයකි. 1949 දී මාඕ සේතුංගේ නායකත්වයෙන් පිහිටවූ මහජන චීන සමූහාණ්ඩුව පිලිගැනීමට බොහෝ රටවල්, බටහිර බලපෑම් හේතුවෙන් අදිමදි කළේ ය. එතෙක් පැවැති එජාප ආණ්ඩු චීනය සමඟ රාජතාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබිණ. චීන අගමැතිවරයාට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කළ බණ්ඩාරනායක අගමැතිවරයා එම වසරේ පෙබරවාරි හත් වන දා චීනය සමඟ රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කළේ ය. මහජන චීන සමූහාණ්ඩුව සමඟ රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කළ පළමු රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත්ය. ඒ වකවානුවේ චීනය අද මෙන් ආර්ථික සහ දේශපාලන පෙරමුණෙහි දැවැන්තයෙක් නොවීය. චීනය සමඟ තානාපති සම්බන්ධතා ඇති කර ගැනීම මගින් අපේ රටට ඒ මොහොතේ ලැබූ ආර්ථික, දේශපාලනික වාසියක් නැත. එහෙත් බණ්ඩාරනායක අගමැතිවරයා ඒ මොහොතේ නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තේ ය.
ඔහුගේ හදිසි මරණින් පසුව ශ්‍රීලනිප නායකත්වයට පත්වන බණ්ඩාරනායක මැතිනිය ද චීනය සම්බන්ධයෙන් එම ප්‍රතිපත්තිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියා ය. ඇය අගමැතිධූරයට පත්ව වසර දෙකක් යන විට චීනය සහ ඉන්දියාව දේශසීමා ගැටුම් නිර්මාණය විය. එය විශාල යුධමය තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පැවැතිනි. මේ අවස්ථාවේ දී කලාපීය සාමය ස්ථාපිත කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් වූවා ය. ඇය කලාපීය රටවල විශේෂ සමුළුවක් වසර 1962 අගෝස්තුවේ දී කොළඹ දී කැඳවූවාය. "කොළඹ සමුළුව" වශයෙන් ප්‍රකට මේ සමුළුව සඳහා බුරුමය, කාම්බෝජය, ඊජිප්තුව, ඝානාව සහ ඉන්දුනීසියානු නායකයෝ සහභාගී වූහ. ඉන්දියානු, චීන ගැටුම් නිරාකරණය කිරීම සඳහා වන යෝජනාවලියක් එම සමුළුවේ දී සම්මත කර ගත්තේ ය. එම සාම යෝජනාවලිය රැගෙන බණ්ඩාරනායක මැතිනිය 1963 ජනවාරි 8 දා චීනයට ගොස් චීන නායක මාඕ සේතුං සහ අගමැති චූ එන් ලායි මුණ ගැසී සාකච්ඡා කළ අතර එම යෝජනා චීන නායකයෝ පිළිගත්හ. ඇය ජනවාරි 12 ඉන්දියාවට ගොස් අගමැති ජවහර්ලාල් නේරුට "කොළඹ සමුළු" යෝජනා ඉදිරිපත් කළා ය. දීර්ඝ සාකච්ඡාවකින් පසුව ඉන්දියානු නායකයා එම යෝජනා පිළිගැනීමත් සමඟ ඇතිවීමට ගිය විශාල විනාශයක් වැළකී ගියේ ය. ඇය කලාපීය බලවතුන් දෙදෙනෙක් අතර ගෙන ගිය රාජතාන්ත්‍රික ප්‍රවේශය (shuttel diplomacy) සාර්ථක වූ අතර එමගින් බැංඩුන් ප්‍රතිපත්ති වඩාත් තහවුරු විය.
චීන මෙන්ම ඉන්දියානු නායකයෝ ඇගේ මැදිහත්වීම ඉහළින් අගය කළහ. මේ රාජතාන්ත්‍රික ජයග්‍රහණයෙන් ශක්තිමත් වූ බණ්ඩාරනායක මැතිනිය නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ කැපීපෙනෙන චරිතයක් බවට පත්වූවාය. චීනය, ඉන්දියාව, ඊජිප්තුව, ඉන්දුනීසියාව, යුගෝස්ලාවියාව, ඝානාව, ලිබියාව, ඉරාකය සහ කියුබාව වැනි රටවල් සමඟ අත්වැල් ගනිමින් ඇය නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය ශක්තිමත් ජාත්‍යන්තර බලවේගයක් බවට පරිවර්තනය කළා ය.
හැත්තෑව හෝ අසූව දශකයේ මැද පෙරදිග, නැගෙනහිර යුරෝපය, අප්‍රිකාව, සෝවියට් දේශය හෝ චීනයේ සංචාරය කර ඇති නම් ඔබ බොහෝවිට මේ අත්දැකීමට මුහුණ දී ඇත. ඔබ ශ්‍රී ලාංකිකයෙක් හඳුන්වාදුන් සැනින් එම රටවල ජනතාව බොහෝවිට "බණ්ඩරනායක රට" ("Bandaranaike country") යැයි පෙරලා අසයි. එදා එම රටවල ජනතාව ශ්‍රී ලංකාව හඳුනාගත්තේ බණ්ඩාරනායකවරුන්ගේ රට හැටියටය. ඒ බණ්ඩාරනායක මැතිනිය නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ නායිකාවක වශයෙන් ලබා තිබූ ජනප්‍රියත්වය, සහ නායකත්ව ශක්තිය හේතුවෙනි. එදා ඇය ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළින්ම රැඳවූවාය. ඒ බණ්ඩාරනායක මැතිනිය එක්රැස් කරගත් ධනයයි. ඇයගෙන් පසුව ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයකුට එවැනි ජාත්‍යන්තර පිලිගැනීමක් සහ ආකර්ෂණයක් හිමි වී නැත.
මේ සටහන ආරම්භයේ අප සඳහන් කළ ආකාරයට චීනය සහ බණ්ඩාරනායක පවුල අතර සමීප සම්බන්ධතාවයක් පැවතියේ ය. ඒ සම්බන්ධතාවය ගොඩනැගුනේ රටේ ඉඩකම් චීනයට සින්නක්කරව ලියාදීමෙන් හෝ අධික පොළියට ණය ලබා ගෙන චීන ණය උගුලක රට හිරකිරීමෙන් නොවෙයි. ඒ විශ්වාසය සහ ගෞරවය දිනා ගත්තේ බටහිර කඳවුර චීනයට එරෙහිව සිදු කළ අසාධාරණයට එරෙහිව නිවැරැදි ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම හරහාය. චීනය සමඟ තානාපති සම්බන්ධතා ඇතිකරගැනීමට මූලික වූ බණ්ඩාරනායක අගමැතිවරයා අනුස්මරණ කරමින් වසර 1970 දී චීන රජය එවකට මුදලින් රුපියල් මිලියන තිස්පහක වියදමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කිරීමට තීරණය කළේ ය. එයට අමතරව නාවික හමුදාවට ප්‍රහාරක යාත්‍රා පහක් පරිත්‍යාග කළේ ය. 1970 සමගි පෙරමුණ ආණ්ඩුවේ පස් අවුරුදු සංවර්ධන වැඩපිළිවෙළට බණ්ඩාරනායක මැතිණිය, චීන නායක මාඕ සේතුං ගෙන් සහය ඉල්ලූ අවස්ථාවේ පොළී රහිත දිගු කාලීන විශාල ණය මුදලක් ලබාදුන්නේ ය. මේ ලැයිස්තුව දීර්ඝ ය.
වසර 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගේ නායකත්වය යටතේ පොදු ජන එක්සත් පෙරමුණ බලයට පත්වීමත් සමඟ චීන, ශ්‍රී ලංකා සම්බන්ධතා නව වටයකින් ශක්තිමත් විය. එහෙත් චීනය බණ්ඩාරනායකලාව මිලදී ගැනීමට උත්සාහය නොකළේය. චීන නායකයන්ට බණ්ඩාරනායකලා පිළිබඳ විශාල ගෞරවයක් විය. බණ්ඩාරනායකලා යනු දේශපාලනය හරහා වස්තුව රැස්කරන චෞරයන් පිරිසක් නොවන බව ඔවුහු දනිති. එහෙත් චීනයට රාජපක්ෂලා යනු මුහුදු කොල්ලකරුවන් පිරිසකි. ඔවුන්ට ඩොලර් අතමිට මොලවන විට රටම සින්නක්කරව ලියාගත හැකි බව චීන නායකයෝ දනිති.
2015 ජනාධිපතිවරණ සමයේදී පෝට් සිටි අයත් , China Harbour Engineering Corporation (CHEC), රාජපක්ෂලාට රුපියල් මිලියන 800 ක් ලබා දී ඇති බව අනුර කුමාර දිසානායක පෝට් සිටි විවාදයේ දී කියා සිටියේ ය. එහි දී Standard Chartered බැංකුවේ චෙක්පත් පහක් අංක සහිතව ඔහු හෙළිදරව් කළේ ය. ඇමරිකාවේ New York Times පුවත් පත China Harbour Engineering Corporation පසුගිය ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂට ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් ලබා දුන් බවට හෙළිදරව්වක් කළේ ය. වසර 2018දී "How China Got Sri Lanka to Cough Up a Port" ට යන ශීර්ෂ පාඨය යටතේ පලවූ එම විමර්ශනාත්මක හෙළිදරව්වට මෙතනින් පිවිසිය හැක. https://www.nytimes.com/2018/06/25/world/asia/china-sri-lanka-port.html මේ දැවැන්ත හෙළිදරව්වෙන් කලබලයට පත්වූ රාජපක්ෂ පවුල සහ පොහොට්ටු නායකයෝ New York Times පුවත් පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව කියා සිටියහ. එහෙත් එම විමර්ශනාත්මක හෙළිදරව්ව පලවී වසර තුනක් ගතවුවද තවම ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ගයක් නැත. China Harbour Engineering Corporation යනු චීන රජයට අයත් සමාගමකි. චීන දේශපාලන ව්‍යාපෘති ලංකාව තුළ මෙහෙයවන චීන යාන්ත්‍රණය වන්නේ මේ සමාගමයි. වසර 2015 ජනාධිපතිවරණ වන විට දේශප්‍රේමී මහින්ද රාජපක්ෂ පෝට් සිටි භූමිය සින්නක්කරව China Harbour Engineering Corporation පවරා දී තිබිණ. විපක්ෂයේ අපේක්ෂකයා වූ මෙෙත්‍රීපාල සිරිසේන රාජපක්ෂලා අත්සන් කළ පෝට් සිටි ගිවිසුම අහෝසි කරන බවට පොරොන්දු වනවිට මහින්ද රාජපක්ෂ දිනවීමට චීන රජයට අයත් එම සමාගම මෙසේ රුපියල් මිලියන ගණනින් මුදල් ලබාදීම පුදුමයක් නොවෙයි. ඒ වකවානුවේ තවත් චීන සමාගමක් වන CICT සමාගම Standard Chartered බැංකුවේ චෙක්පත් අංක 594191 චෙක්පතින් පුෂ්පා රජපක්ෂ පදනමට ලබා දී ඇති මුදල එක්කෝටි අනූ හතර ලක්ෂ දහදාහකි. චීනය මේ තරමට රාජපක්ෂ පවුලට අල්ලස් ලබා දෙන්නේ ඔවුන් රටේ සම්පත් කිසිදු තැකීමකින් තොරව චීනයට ලබාදෙන බැවිනි. එසේ නොමැති නම් චීනා රුපියල් මිලියන සිය ගණනින් මුදල් රාජපක්ෂලාට බෙදන්නේ නැත.
රාජපක්ෂ රෙජීමය චීනයේ ණය ආධාර මත ඉදිකරන ලද සංවර්ධන ව්‍යාපෘති අතුරින් පෙරළා ආදායම් ලබන්නේ දකුණු අධිවේගී මාර්ගයෙන් පමණි. එම අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකරන ලද්දේ ජපානය විසිනි. China Harbour Engineering Corporation ඉදිකරන ලද්දේ දෙවැනි කොටසයි. මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරුවලට අනුව දකුණු අධිවේගී මාර්ගයේ වැඩිම නඩත්තු වියදම වාර්තා වන්නේ චීන සමාගම ඉදිකරන ලද කොටස සඳහාය. එකී කොටස ඉදිකිරීමේදී ජපාන කුමුගායි සමාගමට ගෙවූ මුදලට වඩා එකට එකහමාරකට ආසන්න වැඩි ගෙවීමක් සිදුකර තිබේ. China Harbour Engineering Corporation ඉදිකරන ලද සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව , මත්තල ගුවන් තොටුපළ යන ඉදිකිරීම්වල තත්ත්වයද මීට දෙවැනි නොවේ. මේ සියල්ල පිටුපස දැවැන්ත කොමිස් කුට්ටි හුවමාරු වී තිබේ. බැසිල් රාජපක්ෂ බිරිය පුෂ්පා රාජපක්ෂට මේ ඉදිකිරීම් සමාගම් මුල්‍ය ආධාර සපයන්නේ නිකම් නොවෙයි.
දේශප්‍රේමී රාජපක්ෂ බයියන් හොර රහසේ සම්මත කිරීමට ගිය පෝට් සිටි පනත ජවිපෙ ප්‍රමුඛ විපක්ෂය සහ සිවිල් ක්‍රියාකාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කිරීම නිසා රටතුළ වෙනම සන්ධීය රාජ්‍යයක් නිර්මාණය කිරීමට ගත් උත්සාහය යම් තරමකට ව්‍යර්ථ කර ගැනීමට හැකි විය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව දේශප්‍රේමී රාජපක්ෂලාගේ පෝට් සිටි පනතේ වගන්ති 74 න් 25 ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වා තිබිණි. ඒ වගන්ති 25 න් 16 ක් සම්මත කරගැනීමට නම් තුනෙන් දෙකක විශේෂ බහුතර බලයකින් සම්මත කරගත යුතු බව තීන්දු කෙළේය. ඉතිරි වගන්ති 9 පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව තීන්දු කෙළේය. පළමුවන, දෙවනුව සහ තෙවනුව ද මව්බිම යැයි පපුවට ගසාගන්නා දේශප්‍රේමී රාජපක්ෂ පවුලේ නිරුවත රටට හෙළි කිරීම පිළිබඳව චීනයට අප සැබවින්ම ණය ගැතිය. පෝට් සිටි හරහා රට තුළ වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ රාජපක්ෂ පවුල සහ ඔහුගේ ඇම්බැට්ටයෝ දැන් නිරුවත්වී සිටිති. පෝට් සිටි විවාදයේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සීතා අරඹපොල වැනි මහා "දේශප්‍රේමීන්"ට අත්වූ ඉරණම කණගාටුදායකය. රට, ජාතිය සහ රටේ ඒකීයභාවය පිළිබඳ උදේ හවස මතුරන දිනේෂ් ගුණවර්ධන, ගෙවිඳු කුමාරතුංග, ඩලස් අලහප්පෙරුම, විදුර වික්‍රමනායක ඇතුළු ව්‍යාජ දේශප්‍රේමීහු ඇටිකෙහෙල් කෑ උගුඩුවන්ගේ තත්ත්වයට පත්වූහ.
ගෙදර ස්වාමියාට වඩා කටුකන බල්ලන් සැරය. රාජපක්ෂලාගේ ව්‍යාජ දේශප්‍රේමය සහ දූෂණ පෝට් සිටි පනත හරහා නිරාවරණය වන විට වඩාත් කලබලයට පත් වූයේ පෝට් සිටි සමාගමේ සිටින රාජපක්ෂ සට්ටැඹි රාළලා ය. ඔවුහු පෝට් සිටි භූමිය සින්නක්කරව විකිණීමට මහින්ද රාජපක්ෂ ගත් තීරණය සහ යහපාලන ආණ්ඩුව එය වසර අනූ නමයකට බදුදීම අතර කිසිදු වෙනසක් නොමැති බව පෙන්වා දෙති. පෝට් සිටි සමාගමෙන් අල්ලස් ලබා ගත්තේ මහින්ද රාජපක්ෂලා පමණක් නොවන බව කියා සිටින ඔවුහු, යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ, චම්පික රණවක, රාජිත සේනාරත්න සහ රජයේ ඉහළ නිළධාරීන් ද අල්ලස් ගත් බවට ඉඟි කරති. දීකිරට බලලුත් සාක්කි යැයි කියන්නේ මේවාට ය.
මේ මංකොල්ලය පෝට් සිටි වලින් නවතින්නේ නැත. පසුගියදා ගත් කැබිනට් තීන්දුවක් අනුව කැළනිය-අතුරුගිරිය කිලෝමීටර් දාහතක අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ඇමරිකානු ඩොලර් බිලියනයක් වටිනා කොන්ත්‍රාත්තුව China Harbour Engineering Corporationට ලබා දී තිබේ. මේ අධිවේගී මාර්ගය ඉදිකරන චීන සමාගමට වසර 15 ක් යනතුරු එහි ආදායම ලබා ගැනීමට හැකිය. විදේශ සමාගමකට ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක් පවරා දෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා චීන රජය China Harbour Engineering Corporation හරහා රුපියල් මිලියන 800ක් ලබාදුන්නේ අත ලෙව කෑමට නොවෙයි.
රාජපක්ෂ රෙජීමය යුධ හමුදා මූලස්ථානය සින්නක්කරව චීනයට විකුණූ ආකාරයට ම ගුවන් හමුදා මූලස්ථානය භූමිය සහ තිඹිරිගස්යාය පොලිස් මූලස්ථානය චීනයට විකිණීමට ගෝඨාණ්ඩුව දැන් පිඹුරුපත් සකසා අවසානය. එයට අමතරව කොළඹ නගරයේ මර්මස්ථාන රාශියක් චීනයට විකිණීම සඳහා මූලික කැබිනට් අනුමැතිය පසුගිය සතියේ හිමිවිය. එම මර්මස්ථාන නම්: කොම්පඤ්ඤ වීදිය පොලීසිය, කොම්පඤ්ඤ වීදිය පොලිස් ක්‍රීඩාංගණය, කොම්පඤ්ඤ වීදිය පොලිස් නිවාස සංකීර්ණය; කොළඹ ගුවන් හමුදා කඳවුර; ගුවන් හමුදා ක්‍රීඩාංගණය (Rifle Green Ground); සිනමන් ලේක් සයිඩ් කොළඹ; M.O.D. Cyber Operation Centre; යුධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානය; ග්‍රෑන්ඩ් ඔරියන්ටල් ගොඩනැගිල්ල; ගෆූර් ගොඩනැගිල්ල; යෝර්ක් වීදියේ රජයට අයත් ගොඩනැගිලි; විදේශ අමාත්‍යංශය; තැපැල් දෙපාර්තමේන්තු මූලස්ථානය; චැතම් වීදියේ පිහිටා තිබූ FICD මූලස්ථාන ගොඩනැගිල්ල (එය මේ වන විටත් CHEC Port City (Pvt) Ltd චීන සමාගම විසින් අත්පත් කරගෙන ඇත); හිල්ටන් හෝටලය සහ නිවාස; හයාත් හෝටලය සහ නිවාස, සහ වෝටර්ස් එජ් හෝටලය සහ ඊට යාබද අක්කර 200 පමණ භූමි භාගය. ගෝඨාණ්ඩුව මෙසේ චීනයට විකිණීමට පිඹුරුපත් සකස් කරන්නේ කොළඹ නගරයේ ඉහළම වටිනාකමින් යුතු ඉඩම්ය. එනම් රටේ අගනගරයේ හදවතයි. චීන ණය උගුලක හිරවී සිටින ආණ්ඩුවට ණය වාරික ගෙවීමට රටේ වටිනාම ඉඩම් ඇතුළු සම්පත් චීනයටම කුණුකොල්ලයට විකිණීම සිදුව තිබේ.
ශ්‍රී ලංකාවට අද සිදුවෙමින් තිබෙන්නේ අප්‍රිකාවේ සැම්බියාවට සිදුවූ ඉරණමයි. සැම්බියාව ඇමරිකානු ඩොලර් බිලියන 23 ක චීන ණය කන්දකට යටව සිටියි. එම ණය වාරික ගෙවා ගත නොහැකිව සිටින සැම්බියාව පසුගිය වසර කිහිපය පුරා සිය තඹ කර්මාන්තය, විදුලිබලාගාර, ගෑස් සහ බලශක්ති වෙළඳාම, විදුලි සංදේශ, වරාය, ගුවන් තොටුපොළ, රජයේ මාධ්‍ය ආයතන, වාණිජ වටිනාකමකින් යුතු ඉඩම් ඇතුළු රටේ සියලු සම්පත් චීනයට ක්‍රමක්‍රමයෙන් විකුණමින් සිටියි. සැම්බියාවේ පදිංචිව සිටින චීන ජාතිකයන් ශ්‍රමිකයන් ප්‍රමාණය ලක්ෂයකට අධිකය. රාජපක්ෂලා මෙන් දූෂිත සැම්බියා නායකයෝ අධික පොළියට චීන ණය ලබා ගෙන ප්‍රතිලාභ නොලැබෙන සුදු අලි ව්‍යාපෘතිහි අයෝජනය කරමින් තමන්ගේ මඩි තර කරගත්හ. සැම්බියාවේ Ndola ප්‍රදේශයේ ඇමරිකානු ඩොලර් මිලියන 65 ක වියදමින් ඉදිකළ පාපන්දු ක්‍රීඩාංගණය මෙයට එක් නිදසුනකි. හතලිස් දහසකට අසුන් ගත හැකි අන්දමට ඉදි කළ මේ දැවැන්ත ක්‍රීඩාංගණයේ තරඟයක් නැරඹීමට ප්‍රේක්ෂකයන් පන්දහසකට වඩා පැමිණ නැත. සැම්බියාව සිය ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව සිටින විට එහි ජනාධිපති Edgar Lungu අප්‍රිකාවේ ධනවත් ම ජනාධිපතිවරයාය..!!
ශ්‍රී ලංකාව චීන කොළනියක් කිරීමට රාජපක්ෂලා දොරටු විවෘත කර දුන්නේ ය. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්ගෙඩි දීමට චීනය දක්ෂය. රාජපක්ෂ පවුල ඩොලර් කුට්ටික් අත තැබූ විට අම්මා තාත්තා හෝ විකුණා දමන බව චීන නායකයෝ දනිති. ඔවුහු ඒ අනුව දැන් ක්‍රියාත්මක වෙති. ශ්‍රී ලංකාව චීන යටත් විජිතයක්, කොළනියක් බවට පරිවර්තනය වීම වැළැක්වීමේ මූලික කොන්දේසිය වන්නේ රාජපක්ෂ පවුල නම් මුහුදු කොල්ලකරුවන්ගෙන් රට ගලවා ගැනීමය. ඒ අරමුණ වෙනුවෙන් රටේ සිටින සැබෑ දේශප්‍රේමීන් සියළු වාද භේද අමතක කර මේ මොහොතේ එක්සත් පෙරමුණකට ගොනු විය යුතුය. රාජපක්ෂලාට වඩා මේ රටේ සිටින ඕනෑම පුරවැසියෙක් හොඳ ය.
ලියුම්කරුගේ පෙර ලිපි එකතුව පහත දිගුවෙන්
https://www.lankaenews.com/category/33
---------------------------
by (2021-05-31 16:36:34)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි