පුරවැසියා හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2021.මැයි.30, පෙ.ව.3.15) ශ්‍යාමෝපාලි මහා නිකායේ රෝහණ පාර්ශවය විසින් හිටපු ජනාධිපති වත්මන් අගමැති වෙත ශාසන ප්‍රසාදය පළ කරනු වස් 'ශ්‍රී රෝහණ ජනරංජන' නමින් නම්බු නාමයක් ප්රදානය කෙළේ බොහෝ කලකට පෙරය. ඒ ශ්‍රී රෝහණ ජනරංජන මහින්ද රාජපක්ෂ ලංකාවේ පවතින කොරෝනා ව්‍යසනය මධ්‍යයේ තමාගේ අත්සනින් යුක්තව නව මත්පැන් නිෂ්පාදන බලපත්‍ර කිහිපයක් නිකුත් කිරීමේ සූදානමක් පවතින බව මෙම ලියුම්කරු ලංකා ඊ නිව්ස් මගින් පසුගිය මැයි 14 දා "කොරෝනා අස්සේ වෙසක් මාසයේ රජයට හිතවත් කෝටිපතියෙකුට අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක්..! මැයෙන් වාර්තා කෙළේය.
ශ්‍රී ලංකාව තුල මේ වන විට මත්පැන් නිෂ්පාදනය සඳහා බලපත්‍රලාභී සමාගම් 24 ක් ක්‍රියාත්මක වන අතර එම සමාගම් වලින් බහුතරයක් ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය භාවිතාකොට මත්පැන් නිෂ්පාදනය කිරීමෙන් හා රජයේ බදු ආදායම වංචනිකව ගෙවීම පැහැර හැරීම මගින් අධික ලාභ ලබන සමාගම් වේ.
සුරාබදු දෙපාර්තුමේන්තුවට එම සමාගම් 24 නිසියාකාරව නියාමනය කිරීමට නොහැකිව සිටියදී නව මත්පැන් නිෂ්පාදන බලපත්‍ර හතරක් රජයට සමීප කෝටිපති ව්‍යාපාරිකයන්ට හා දේශපාලන හිතවතුන්ට ලබාදීමට සැලසුම්කොට තිබේ. මෙම බලපත්‍ර අතර එතනෝල් නිෂ්පාදනාගාර බලපත්‍ර මෙන්ම මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ඇතුලත් ය.
දිනෙන් දින වැඩිවන කොරෝනා ආසාධිතයන් හා මරණ නිසා පැනවූ සංචරණ සීමා හේතුවෙන් මෙවර නිවෙසට වී ආමිස පූජාවෙන් සම්බුදු තෙමඟුල සැමරූ, කොරෝනා නිසා එදා වේල සොයාගැනීමට නොහැකිව සිටින මිනිසුන්ට රජයෙන් ලබාදීමට සැලසුම්කොට ඇත්තේ මත්පැන් බලපත්‍ර ය.
මින් එක් බලපත්‍රයක් ලබාදීමට තීරණය කොට ඇත්තේ රජයට හිතවත් ලංකාවේ ව්‍යාපාර දැවැන්තයෙකු වන ලංකාවේ මධ්‍යසාර වෙළඳාමේ ද දැවැන්තයෙකු වන ඩී සී.එස්.එල් (DCSL) හි හිමිකරු වන හැරී ජයවර්ධනට ය. ගල් අරක්කු නමින් ප්‍රචලිත සංස්ථා අරක්කු නිපදවන ඔහුට විවිධ ක්ෂේත්රවල ව්‍යපාර රැසක් හිමිය.
තවත් බලපත්‍රයක් වජිර ගුණසේකරට ලබාදීමට සැලසුම්කොට තිබේ. ඔහු හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ගුණසේකර ගේ පුත්‍රයා ය. ඔහු දැනටමත් 'රෝයල් කාස්ක්' නම් සමාගමක් පවත්වාගෙන යන අතර එමගින් ජපානයේ ජනප්‍රිය සකේ පානය සේ හැඟවෙන ලෙස පාරිභෝගිකයන් නොමග යවමින් ඊට සමාන මත්පැන් සඳහා රජයට ගෙවිය යුතු නියමිත බදු මුදල් වලට සාපේක්ෂව ඉතා අඩු බද්දක් ගෙවමින් 'රෝයල් සකේ' නම් මත්පැන් වර්ගයක් නිපදවයි.
සාමාන්‍යයෙන් සකේ නිපදවන්නේ හාල් වලින් වුවද බඩ ඉරිඟු වලින් නිපදවන මෙම මත්පැන් වර්ගයද සකේ ලෙස නම්කර බීර වර්ග වලට සමාන බෝතලයක් සේ වෙළඳ පොලට නිකුත් කරනු ලබයි.
බියර් සහ වයින් සඳහා ලීටරයට රුපියල් 3200 ක බද්දක් අය කිරීම සිදුවුවද රෝයල් සකේ නම් මත්පැන් වර්ගය දේශීය වයින් වර්ගයක් ලෙස හුවා දක්වා ගෙවනුයේ ලීටරයකට රුපියල් 900 ක බද්දක් පමණි. එමගින් මෙම ආයතනය වසරකට විශාල බදු මුදලක් ගෙවීම පැහැර හරින අතර එවැනි පුද්ගලයෙකුට තවත් මත්පැන් බලපත්‍රයක් ලබාදීමෙන් සිදුවන්නේද රජයට බදු අහිමි වීමේ පරිමාව වැඩි වීම පමණකි.
මේ අතර දැනට බදුල්ල ප්‍රදේශයේ ප්‍රකට මත්පැන් ව්‍යාපාරිකයෙකුටද නව මත්පැන් බලපත්‍රයක් ලබාදීමට සැලසුම්කොට ඇති අතර ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී රජය දිනවීමට මුදල් වැයකළ අයෙකි.
මෙහි අනෙක් බලපත්‍රය දැනටමත් ලංකාවේ මධ්‍යසාර බෙදාහරින දැවැන්ත සමාගමකට ලබාදීමට සැලසුම්කොට තිබෙන අතර ඒ සඳහා අයදුම්පත් මුදල් අමාත්‍යංශය වෙත යොමුකර ඇතැයි පැවසේ.
මෙම නව මත්පැන් බලපත්‍ර හතර නිකුත් කිරීම ශ්‍රී රෝහණ ජනරංජන බුද්ධ ශාසන සහ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම වෙසක් මස අවසානයේ දී හෝ පොසොන් මස මුලදී නිකුත් කර අවසන් කිරීමට සැලසුම්කොට තිබේ.
සබැඳි පුවත
කොරෝනා අස්සේ වෙසක් මාසයේ රජයට හිතවත් කෝටිපතියෙකුට අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක්..!
---------------------------
by (2021-05-29 22:02:27)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි