~

එන්නත්කරණය අනාගෙන නාගෙන කැඳ හැලියක් කළ තකතීරු පාලකයන්ට ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයෙන් දාර ටොක්කක්..!

(ලංකා ඊ නිව්ස් -2021.මැයි.22, ප.ව.10.05) ලෝක වසංගතයක දී වෛද්‍ය විශේෂඥයින්ට කට වහන්නැයි නියෝග දී වසංගතය ගැන රටවැසියන්ට උගන්වන්නට වසංගතයෙන් කෝටිපතියෙකු වූ ගොබ්බ හමුදාපතියෙකු යොදා ගත්  තකතීරු අමන පාලකයන් සිටින ලෝකයේ එකම රට ලෙස මෙසිරි ලංකාව විරුදාවලී ලැබ තිබියදී එකී තකතීරු පාලකයෝ කොරෝනා එන්නත්කරණය ද හමුදාවට පවරා එය අනාගෙන, නාගෙන, කැඳ හැලියක් කරගෙන තිබේ. 

'මං තමයි හරියට කෙළේ' කියමින් කරන කරන සියළු දෑ අවුල් ජාලයක් කර ගන්නා පාලකයන්ට එන්නත් කරණයේ දී සිදුකර ඇති විනාශය ගැන කරුණු පැහැදිලි කරමින් එන්නත්කරණය සඳහාම විශේෂඥයන් වූ 'ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය' කණ කිස් කන නිවේදනයක් නිකුත් කර තිබේ. 

19 වන සියවසේ සිට එන්නත්කරණය පිළිබඳ අත්දැකීම් ඇති ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ පිරිස විසින් එන්නත්කරණයෙන් ලෝකයේ අංක එකට රැගෙන විත් තිබූ ශ්‍රී ලංකාවට මේ ගොබ්බ පාලකයන් සිදුකර ඇති විනාශය ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ නිවේදනයෙන් පැහැදිලි වේ. සම්පූර්ණ නිවේදනය පහත පරිදිය. 

එන්නත් ලබාදීම දේශපාලනීයකරණය කිරීම : COVID-19 එන්නත් වැඩ සටහන

COVID 19 ආසාදනය මැඩලීම සඳහා එන්නත් ලබා දීම මානව ඉතිහාසයේ වැඩි වශයෙන් කථා බහට ලක්වුණු, දියුණු සහ වේගවත්ම වූ (ඉක්මණින් ප්‍රතිලාභීන්  යවත  ළඟාවූ)  එන්නත්  වැඩ  සටහනයි.  ලොව  ආදායම්  බෙදීයාමේ විෂමතාව සහ එන්නත් මාෆියාවක් ඇතිවීමේ හැකියාව කල් තබා හඳුනාගත් ජාත්‍යන්තර විශේෂඥයින් COVAX වැඩ පිළිවෙළ හඳුන්වා දුන් අතර එහි මුලික අරමුණ වුයේ සැම රටකටම ඔවුන්ගේ අදායම් තත්වය නොසලකා, සමාන ලෙස සහ විද්‍යාත්මක ලෙස එන්නත් ලැබීමට සැලැස්වීමයි.

එනමුත්,  අසමාන ලෙස ගෝලීයව එන්නත් බෙදීයාම වැළැක්විය  නොහැකි වූ අතර එය දැනටමත් බරපතල විෂමතාවයක් පෙන්නුම් කරයි. වැඩි ආදායම් ලබන රටවල් අඩු අදායම් ලබන රටවල් වලට සාපේක්ෂව 80 ගුණයක් වැඩියෙන් තම ජනගහනයන්ට එන්නත් ලබා දී ඇත.

පසුගිය ජනවාරි මාසයේ අග සිට ශ්‍රී ලංකාවට එන්නත් වර්ග තුනක් (ඇස්ට්රාසෙනෙකා, ස්පුට්නික්, සියනොෆාර්ම්) ලැබුණු අතර එයින් වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග වශයෙන් ලැබුණු අතර මිලදී ගැනීමට හැකි වූයේ ඇස්ට්රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා  500,000 ක් පමණි.  පළමු වටය ලබා දීමෙන් පසු සෑහෙන කාලයක් එන්නත් ලබා ගැනීමට අපහසු වූ අතර අප මෙතෙක් එක්   මාත්‍රාවක් හෝ එන්නත් ලබා දී ඇත්තේ ඉලක්ක ගත ජනගහනයෙන් ආසන්න වශයෙන් 8% කට පමණි.

19 වන සියවස දක්වා ඉතිහාසයක් තිබූ අපට වූ දේ..

COVID-19 වැළැක්වීම, පිළිබඳව තීන්දු තීරණ ගැනීම, අප තවමත් සිදු කරනු ලබමින් සිටින්නේ ජාතික මට්ටමිනි. සම්පත් වෙන් කිරීම, රෝගීන් සඳහා රෝහල් වෙන් කිරීම, ඇඳන් වෙන් කිරීම, එන්නත් බෙදා හැරීම යනාදිය අපි තවමත් තීරණය කරනු ලබන්නේ මධ්‍යගතව ය. තීන්දු තීරණ ගැනීම විවිධ අය විසින් කරනු ලැබීම සහ එහි මනා සම්බන්ධීකරණයක් නොමැති වීම නිසා එම පසුබිම ශ්‍රී ලංකාවේ COVID -19 පාලනයට බොහෝ ගැටළු මතුකර ඇත.

ශ්‍රී  ලංකාවේ  ජාතික  ප්‍රතිශක්තිකරණ  ව්‍යාපාරය ලොව ඉතාමත් සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩ සටහනක් ලෙස සැලකෙන අතර එය ඉහළ ප්‍රතිශක්තිකරණ ආවරණ අගයන් ලබා ගැනීමෙන් සහ පෝලියෝ සරම්ප වැනි රෝග  තුරන්  කිරීමේ  ගෝලීය වැඩ සටහන් වලදී ඉදිරියෙන්ම සිටී.  එන්නත් ලබා දීම පිළිබඳව වගකීම දරණ වසංගත රෝග විද්‍යා අංශය, වඩාත් ආරක්ෂිත සහ ගුණාත්මක එන්නත් මිලදී ගැනීමේ දී සහ එන්නත් මගින් වළක්වන රෝග පිළිබඳ ආවේක්ෂණය සහ අතුරු ආබාධ පිළිබඳ ආවේක්ෂණයේ දී ලොව ඉහළම තාක්ෂණික හැකියාවක් තිබෙන ආයතනයක් ලෙස ප්‍රසිද්ධියක් ලබා තිබිණි. ශ්‍රී ලංකාවේ එන්නත් ලබා දීම පිලිබඳ ඉතිහාසය 19 වන සියවස දක්වා දිව යයි.

අපට තිබෙන පුළුල් ජාලය සහ නොකළ දේ..

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහන විමධ්‍යගත කර ඇති අතර එය දිස්ත්‍රික් හා බිම් මට්ටමේ දී, දිවයින පුරා පුළුල් ජාලයක් ලෙස විසිරී ඇති මහජන සෞඛ්‍යය සේවාවලට පූර්ණ ලෙස  ඒකාබද්ධ වී ඇත. සෞඛ්‍යය  වෛද්‍ය  නිලධාරී කොට්ඨාශ  වල සේවය කරන මහජන සොඛ්‍යය  කාර්ය මණ්ඩලය (සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍යය හෙද සොයුරිය, පරිපාලන  මහජන සෞඛ්‍යය  පරීක්ෂක,  පරිපාලන පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිණී , පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිණී) එන්නත් ලබා දීම සඳහා පුහුණු කරණු ලැබූ තාක්ෂණික නිලධාරීන්ගෙන් සමන්විත වේ.

COVID-19 ට එරෙහිව එන්නත් ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේ දී එයට නියමිත වේලාවට එන්නත් ලබා ගැනීම, මුල්‍ය සම්පත් වෙන් කිරීම, මානව සම්පත් පුහුණු කිරීම, එන්නත් බෙදා හැරීම, සැලසුම් කිරීම සහ වඩාත්ම වැදගත් කරුණ ලෙස ප්‍රමුඛතාවය දිය යුත්යත් කාටද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් තිබිය යුතුව තිබුණි. මෙය ප්‍රමාණවත් මූලික සැලසුමක් සහිතව අවදානම  පිළිබඳ හො ඳ  සන්නිවේදනයක් සහ දැනට කරගෙන  යනු  ලබන  අනෙකුත් කටයුතු වලට බාධාවක් නොවන සේ කාර්ය මණ්ඩල සුදානම් කිරීමක් සමඟ අත්වැල් බැඳ ගත යුතුව තිබිණි.

ඉහත කිසිවක් හෝ පිළිපැදීමට අපොහොසත් වීමත්, තීන්දු තීරණ අවිධිමත් ලෙස  ගැනීමත්, එන්නත් වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් හඳුනාගෙන නොතිබීමත් නිසා එන්නත් වැඩ සටහන මේ වන විට අවුල් ජාලයක් වී ඇත. එක් එක් අයයේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කිරීමට යාමත්, විවිධ අයගේ අදහස් වලට එකඟ වීමත් නිසා ශ්‍රී ලංකාවේ වර්තමාන COVID -19 එන්නත් කිරීමේ වැඩ සටහන විසින් ජනිත කර ඇති ගැටළු, කෙටි කාලීන සහ දිගු කාලීන ලෙස අහිතකර ප්‍රතිපල ගණනාවකට මග පාදනු ඇත.

හඳුනාගත් ගැටළු..

අපි මේ තාක් පැවති මෙම COVID -19 එන්නත් වැඩ සටහනෙහි ප්‍රධාන ගැටළු ලෙස පහත කරුණු හඳුනාගෙන ඇත්තෙමු.

1. පැහැදිලි ඉදිරි සැලැස්මක් නොමැතිකම.
2. පවතින සීමිත එන්නත් ප්‍රමාණය සංකූලතා සහ මරණ අවම කිරීමේ අරමුණින් ප්‍රමුඛතාවය දීමට කිසිදු උත්සාහයක් නොගැනීම.
3. දුර්වල සැලසුම්කරණය හේතුවෙන් ඉල්ලුම හා සැපයුම් නොගැලපීම. (මුල්‍යමය හා මානව සම්පත් යන දෙඅංශයෙන්ම)
4. එන්නත් කිරීමේ ව්‍යාපාරයට බාධා කරන වන පරිදි අනවශ්‍ය පාර්ශව කරුවන් ඕනෑවට වඩා සම්බන්ධ කර ගැනීම.
5. අවදානම් සන්නිවේදනය ප්‍රමාණවත් නොවීම.
6. සෑම මට්ටමකමක දී ම ඇති කර ඇති අවිනිශ්චිතතාව (පුද්ගල, සංවිධාන සහ දේශපාලන)

ඉහත ගැටළු නිසාම එන්නත් ලබා දීමේ දී විවිධ සිදුවීම් වාර්තා වී තිබේ. (මුදලට විකිණීම, නුසුදුස්සන්ට ලබාදීම) මේ හැර ඇස්ට්රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ 6 කට ආසන්න ජනතාවට තම දෙවන එන්නත ලබා ගැනීම  පිළිබඳව  අවිනිශ්චිතතාවයකට මුහුණ දීමට සිදුව තිබේ. ඊට අමතරව දේශපාලකයින් සහ නොයෙකුත් මාධ්‍ය මගින් කරන ප්‍රකාශ නිසා මෙතෙක් කලක් සාර්ථකව කරගෙන ආ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහන ද අපකීර්තියට පත්වීමට ඉඩ තිබේ.

බලවත් කනස්සල්ල..

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහනට ඍජුවම දායක වී ඇති, එය මෙහෙයවීම පිලිබඳ තාක්ෂණික දැනුම ඇති, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් වන අපගේ බලවත් කණස්සල්ල ප්‍රකාශ කරන අතර බාහිර බලපෑම් වලින්තතොරව තාක්ෂණික දැනුම ඇති නිලධාරීන්ට මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරට සකස් කරන ලෙස අදාල බලධාරීන්ගෙන් දැඩි ඕනෑකමින් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය

22.05.2021

---------------------------
by     (2021-05-22 16:43:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links