(ලංකා ඊ නිව්ස් -2021.මැයි.14, ප.ව.11.15) තමාට අවනත නොවුනොත් කෝට් බෑය ගලවා ගෙදර යවන බවට ත්‍රීකුණාමල දිස්ත්‍රික් පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල හෙවත් "ගංජා කපිල" සේරුනුවර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ජයසේකර මහතාට පසුගිය 12 දා තර්ජනය කර තිබේ. එදින රාත්‍රී හතට පමණ ගංජා කපිල සේරුනුවර ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීයෙකු වන පස් කුමාර (කුමාර ජයසිංහ) සමඟ සේරුනුවර පොලීසියට කඩා වැදී ස්ථාධිපති වරයාට මෙසේ තර්ජනය කර ඇත.
ගංජා කපිල මෙසේ පොලීසියේ යකා නටා ඇත්තේ නීති විරෝධීව මහවැලි ගඟේ වැලි ගොඩදමමින් සිටි වැලි ජාවාරම් කරුවන් හත් දෙනෙකු සහ එම ස්ථානයේ තිබූ ඔවුන් සතු ට්‍රේලර් සහිත ලොකු ට්‍රැක්ටර් පහක් සේරුනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පැය දෙකකට පසුවය.
"තමුසේ දැනගන්නවා මට ඉහළින් මේකේ තීන්දු ගන්න තවත් එකෙක් නැති විත්තිය. තමුසේ ඔය කූඩු කරගෙන ඉන්නේ මගේ ලඟ වැඩ කරන මිනිස්සු කට්ටියක්. උන් අහිංසකයි. මට තමුසේ ලොකුත් නෑ . එස් එස් පී ලොකුත් නෑ. දැන්ම උන් නිදහස් කරනවා. ඇප කැප මොකුත් බෑ. මගේ නියෝග නෑහුවොත් තමුසෙට කෝට් බෑය නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ..,"
මෙසේ මහා හයියෙන් බෙරිහන් දී මේසයකට ද පයින් පාරක් ගසා චණ්ඩියා සිය සගයා සමග පොලීසියෙන් පිටව ගොස් ඇත.
ගංජා කපිලගේ මේ ගෝරනාඩුව ගැන පොලිස් ස්ථානාධිපතිවරයා ඒ මොහොතේම කන්තලේ කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ධම්මික තිසේරාට දුරකථනයෙන් දන්වා සිටි බවත්, මන්ත්‍රීගේ ඉල්ලීම නොතකා සැකකරුවන්ට විරුද්ධව නීතීය ක්‍රියාත්මක කරන ලෙස පොලිස් අධිකාරී වරයා ස්ථාධිපතිට නියෝග කළ බවත් පොලිස් අධිකාරී කාර්යාලයේ නිළධාරියෙක් ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.
පසු දා (13) සේරුනුවර පොලිසිය විසින් සැකකරුවන්. මූතූර් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර මූතූර් මහෙස්ත්‍රාත් සබ්‍රාන් භානූන් විසින් ඔවුන් ශරීර ඇප මත මුදාහැර තිබේ.
සේරුනුවර පොලීසියේ වත්මන් පොලිස් සථාධිපති ප්‍රභාත් ජයසේකර යුද්ධය උත්සන්නව පැවති සමයේ ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කයේ පොලිස් හමුදා හා මහජන සම්බන්ධතා කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක හැටියට රාජකාරි කළ ජනප්‍රිය නිළධාරියෙකි.
---------------------------
by (2021-05-14 19:01:33)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි