~

මියන්මාරයේ හමුදාව සාමකාමී විරෝධතාකරුවන් මරා දමයි..! ඔබ දැන ගත යුතු දේ මෙන්න..!

(ලංකා ඊ නිව්ස් -2021.මාර්තු.29, ප.ව.6.35) පෙබරවාරි 1 වන දින කුමන්ත්‍රණයකින් අග්නිදිග ආසියානු රටේ හමුදාව විසින් පාලනය අත්පත් කර ගැනීමෙන් පසු මියන්මාරය පුරා නගර සහ මහ නගරවල මාස එකහමාරක් තිස්සේ දෛනික විරෝධතා පවතී.

කුමන්ත්‍රණ නායක ජෙනරාල් මින් අවුන්ග් ලයිංගේ අණ යටතේ, පොලිස් සහ හමුදා භටයන්ගෙන් සැදුම් ලත් ආරක්ෂක හමුදා, උද්ඝෝෂණවලට වැඩි වැඩියෙන් ම්ලේච්ඡ ලෙස ප්‍රතිචාර දක්වා ඇති අතර, සාමකාමී විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් ඇතුළු ක්‍රමානුකූල මර්දනයක් රට පුරා දියත් කර තිබේ.

කුමන්ත්‍රණයෙන් පසු ළමුන් ඇතුළු 138 දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසයි. එමෙන්ම, උපදේශක කණ්ඩායමක් වන දේශපාලන සිරකරුවන් සඳහා සහාය සංවිධානය (AAPP) නමැති පවසන පරිදි, මාධ්‍යවේදීන්, විරෝධතාකරුවන්, ක්‍රියාකාරීන්, රජයේ නිලධාරීන්, වෘත්තීය සමිති සාමාජිකයින්, ලේඛකයින්, සිසුන් සහ සිවිල් වැසියන් ඇතුළු 2,100 කට වැඩි පිරිසක්, බොහෝ සෙයින් රාත්‍රි කාලයේ සිදු කළ වැටලීම්වල දී රඳවා ගෙන ඇත. එසේ වුවත් සමාජ ක්‍රියාකාරීන්ට අනුව එම සංඛ්‍යා දෙකම ඊට වඩා ඉහළය.

බලය අත්පත් කර ගනිමින් මින් අවුන්ග් ලයිං, සිවිල් නායක අවුන් සාන් සූකී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයින් රැඳවුම් භාරයට ගෙන, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් සඳහා වූ ජාතික ලීගය නෙරපා හැර, රාජ්‍ය පරිපාලන සභාව නමින් පාලක ජුන්ටාවක් පිහිටු වීය. සේනාධිනායකයා වසරක් සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ අතර පසුව ඔහු කියා සිටියේ මැතිවරණයක් පවත්වන බවයි. නවතම තත්වය ගැන ඔබ දැනගත යුතු දේ මෙන්න

මියන්මාර හමුදාව බලය අල්ලා ගත්තේ ඇයි? 

සූ කීගේ පක්ෂයට තවත් අතිවිශාල ජයග්‍රහණයක් ලබා දුන්, 2020 නොවැම්බරයේ පැවති මහ මැතිවරණයේ දී පුළුල් ලෙස ඡන්ද වංචා සිදු කළ බවට චෝදනා කරමින් හමුදාව සිය බලය අල්ලා ගැනීම සාධාරණීකරණය කළේය. 

එක්සත් සහයෝගිතා සහ සංවර්ධන පක්ෂය (USDP) ඡන්ද විමසීමේ දී ඉතා අශෝභන ලෙස ක්‍රියා කළ අතර, එය ප්‍රජාතන්ත්‍රවාදීව බලය අත්පත් කර ගැනීමේ හෝ අවම වශයෙන් ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ බලාපොරොත්තු මිලිටරි ආධාරකරුවන් තුළ ජනිත කළේය. කිසිදු සාක්ෂියක් නොමැතිව මිලිටරිය පසුව, “නැති ඡන්දදායකයින් වැනි ඡන්ද වංචා” මිලියන 10.5 කට වඩා සිදුව ඇති බව කියමින් අවසාන ඡන්ද දත්ත ප්‍රසිද්ධියේ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය. ඡන්දදායක වංචා පිළිබඳ එම ප්‍රකාශ කොමිසම ප්‍රතික්ෂේප කළේය.

මීට පෙර බුරුමය ලෙස හැඳින්වූ මියන්මාරය දරිද්‍රතාවයට හා හුදෙකලාභාවයට ඇද දැමූ කුරිරු මිලිටරි පාලනයේ අඩ සිය වසකට පසුව, පෙර පැවති ජුන්ටාව විසින් 2011 දී ආරම්භ කළ ප්‍රතිසංස්කරණ මාලාවකට පසුව පැවැති දෙවන ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දය එය විය.

විශ්ලේෂකයින් පවසන්නේ බලය අල්ලා ගත්තේ මැතිවරණ අක්‍රමිකතා නිසා නොව, NLD හා සූ කීගේ දෙවන වාරය යටතේ තවත් වසර පහක ප්‍රතිසංස්කරණයක් බලා සිටි රට යටත් කර ගෙන පාලනය කිරීමට හමුදාවට අවශ්‍ය වූ නිසා බවයි.

මියන්මාරය විරෝධය දක්වන්නේ ඇයි?

දේශපාලන හා ආර්ථික ලිබරල්වාදය සහ දෙමුහුන් ප්‍රජාතන්ත්‍රවාදයකට පරිවර්තනය වීමේ පසු ගිය දශකවල ප්‍රතිසංස්කරණ නතර වනු ඇතැයි කුපිත වූ සියලුම වයස්වල සහ සමාජ පසුබිම්වල මිලියන සංඛ්‍යාත ජනතාවක් රට පුරා දිනපතා වීදි බැස ඇත.

සිවිල් පාලනයට බලය ආපසු ලබා දෙන ලෙසත් සූ කී සහ අනෙකුත් සිවිල් නායකයින් නිදහස් කරන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති. මියන්මාරයේ බොහෝ ජනවාර්ගික සුළුතර කණ්ඩායම් තම භූමිය සඳහා වැඩි ස්වාධීනත්වයක් ලබා ගැනීම පිණිස දීර්ඝ කාලයක් තිස්සේ සටන් කර ඇති අතර, ඔවුන් ද මිලිටරිය විසින් සම්පාදනය කරන ලද 2008 ව්‍යවස්ථාව අහෝසි කොට ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටී.

පෙළපාලිවල, බාධක පිටු පස ඉදිරි පෙළේ සිටින්නේ තරුණ තරුණියන්ය. ඔවුන්ගේ දෙමව්පියන්ට හෝ ආච්චිලා සීයලාට  නොතිබූ යම් මට්ටමක ප්‍රජාතන්ත්‍රවාදයක් සහ දේශපාලන හා ආර්ථික නිදහසක් සමග හැදී වැඩුණු ඔවුන් ඒවා අහිමි කර ගැනීමට අකැමැතිය. 

මේ අතර, සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයක වෛද්‍යවරුන්, බැංකුකරුවන් හා නීතිඥයින්ගේ සිට ගුරුවරුන්, ඉංජිනේරුවන් සහ කර්මාන්තශාලා කම්කරුවන් දක්වා දහස් ගණනක් හමුදා  කුමන්ත්‍රණයට එරෙහි ප්‍රතිරෝධයක් ලෙස රැකියා හැර ගොස් තිබේ.

වැඩ වර්ජන නිසා සෞඛ්‍ය සේවා, බැංකු, දුම්රිය හා පරිපාලන සේවා කඩාකප්පල් වී ඇත. වැඩ වර්ජිත ට්‍රක් රථ රියදුරන්, රේගු  හා බැංකු නියෝජිතයින් සහ වරාය සේවකයින් විසින් යාන්ගොන් වරායේ  ජාත්‍යන්තර වෙළඳාම මුළුමනින්ම නතර කරනු ලැබ ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය ආයතනයක් වන Frontier Myanmar වාර්තා කරයි.

හමුදාව ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද?

මෑත සතිවල දී, හමුදාව විසින් විරෝධතාවලට දැක්වූ ප්‍රතිචාරය වේගවත් කර තිබේ. වීදිවල ලේ තටාකවල වැටී ඇති තැලී පොඩි වුණු සිරුරු සහ සිහින් ප්ලාස්ටික් හිස් වැසුම් පැළඳ සිටින තරුණ විරෝධතාකරුවන් පොලිස් වෙඩි උණ්ඩවලින් බේරීම සඳහා තාවකාලික ආවරණ යට වකුටුව සිටින ආකාරය සමාජ මාධ්‍යවල වීඩියෝ හා පින්තූරවල දක්නට ඇත.  

Amnesty International කියන්නේ සාමාන්‍යයෙන් යුද පිටිවල පමණක් දක්නට ලැබෙන මාරාන්තික උපක්‍රම සහ ආයුධ, සාමකාමී විරෝධතාකරුවන්ට සහ විරෝධතා නරඹන්නන්ට එරෙහිව හමුදාව විසින් භාවිතා කරන බවයි. මින් පෙර ගැටුම් සහිත ප්‍රදේශවල දී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු කර ඇති බවට පෙර චෝදනා  ඇති, සටන්වලින් පදම් වූ යුධ හමුදා භට පිරිස් වීදිවල යොදවා ඇති බව Amnesty පවසයි. මියන්මාරයේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ටොම් ඇන්ඩෘෘස් කියා සිටියේ, සාමකාමී විරෝධතාවලට එරෙහි  හමුදාවේ “කුරිරු ප්‍රතිචාරය”, “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” නීතිය යටතට වැටෙන බවයි.

අන්තර්ජාලය අවහිර කළ රාත්‍රි කාලයේ ආරක්ෂක හමුදා ගෙයින් ගෙට ගොස් මිනිසුන් ගෙවල්වලින් රැගෙන යාමේ වැටලීම් සිදු කරයි. අත්තනෝමතික ලෙස රඳවා ගෙන සිටින බොහෝ දෙනෙකු පවුලේ අය සහ මිතුරන්ගෙන් ඈත්ව රඳවා තබා ඇත, ඔවුන්ගේ තත්වය හෝ සිටින ස්ථානය කිසිවෙකු නොදනී.

හමුදා කුමන්ත්‍රණයට එරෙහිව මාර්තු 10 වන දින යැන්ගොන්හි පැවති උද්ඝෝෂණය මර්දනය කරන අතරතුර, මිලිටරි ට්‍රක් රථ දැවෙන බාධකයක් අසල තිබෙන අයුරු දක්නට ලැබිණ. විරෝධතාකරුවන් සෑදූ එම බාධකයට ගිනි තබා ඇත්තේ සොල්දාදුවන් විසිනි.  

නෙරපා හරින ලද NLD පක්ෂයේ නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුළුව ජුන්ටාව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින පුද්ගලයින්ගෙන් අවම වශයෙන් හතර දෙනෙකු මෑත දිනවල මරණයට පත්විය. අත්අඩංගුවට ගත් සිව් දෙනාම අත්අඩංගුවේ දී මිය ගිය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි. NLD නිලධාරීන් දෙදෙනා වධහිංසාවට ලක් කළ බවට ඔවුන්ගේ පවුල් සහ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් චෝදනා කරනු ලැබිණ.

මධ්‍යායතන පහක බලපත්‍ර අත්හිටුවීම සහ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම මගින් ස්වාධීන මාධ්‍ය මර්දනය කිරීමට හමුදාව අදහස් කර ඇත. එක්සත් ජනපද ප්‍රවෘත්ති ඒජන්සිය සඳහා කුමන්ත්‍රණ-විරෝධී, ප්‍රචණ්ඩ උද්ඝෝෂණ ආවරණය කරමින් සිටියදී “හුදෙක් තම රාජකාරිය කළ බවට” චෝදනා කර රඳවා ගෙන සිටින මාධ්‍යවේදී තීන් සෝ නිදහස් කරන ලෙස Associated Press ඉල්ලා සිටී.

අන්තරාය නොතකා, තරුණ විරෝධතාකරුවන් දහස් ගණනක් දිනපතාම හමුදාව නොසලකා හරිමින් පාරට බසින අතර, ප්‍රාදේශීය වාර්තාකරුවන් සහ පුරවැසි මාධ්‍යවේදීන් සජීවී විකාශනය සහ මර්දනය වාර්තා කිරීම මගින් සිය ජීවිත පරදුවට තබා ඇත.

ජුන්ටාව පවසා ඇත්තේ තමන් “කැරලිකාරී විරෝධතාකරුවන්ට” එරෙහිව සංයමයෙන් කටයුතු කරන බවයි. රාජ්‍ය හොරණෑව වන Global New Light of Myanmar මගින් කතා කළ මින් අවුන්ග් ලයිං කියා සිටියේ, පොලිස් බලකාය “අවම බලය යොදා ගනිමින් හා අවම හානිකර ක්‍රමවලින් තත්වය පාලනය කරන” බවයි.  “MPF සිය කටයුතු ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව සිදු කරන අතර එය ගන්නා ක්‍රියා මාර්ග අනෙක් රටවලට වඩා මෘදුයි,” යනුවෙන් ඔහු පැවසීය.

අවුන් සාන් සූ කීට සිදුව ඇත්තේ කුමක් ද?

සූ කී වරෙක ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිරූපකයෙකු ලෙස සමරනු ලැබීය. හිටපු දේශපාලන සිරකාරියක වූ ඇය හමුදා පාලනයට එරෙහිව දශක ගණනාවක් තිස්සේ පැවති අරගලයක කොටසක් ලෙස වසර 15 ක් නිවාස අඩස්සියේ ගත කළාය.

2010 දී ඇය නිදහස් කිරීම සහ වසර පහකට පසුව ලද මැතිවරණ ජයග්‍රහණය වසර 50 ක හමුදා පාලනයකින් පසු රට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට මාරු වීමේ වැදගත් අවස්ථාවක් ලෙස බටහිර ආණ්ඩු විසින් ප්‍රශංසා කරන ලදී.

කුමන්ත්‍රණයට පෙර පැය කිහිපය තුළ හමුදාව විසින් රඳවා තබා ගන්නා ලද ඇයට එරෙහිව වසර ගණනාවක සිර දඬුවමක් නියම කළ හැකි චෝදනා හතරක් නගා ඇත. ඉන් එකක් රටේ ආනයන හා අපනයන පනත යටතේ ද, දෙවැන්න ජාතික ආපදා නීතියට අදාලව ද, තෙවැන්න යටත් විජිත යුගයේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ “බිය හෝ අනතුරු ඇඟවීම” කළ හැකි තොරතුරු ප්‍රකාශයට පත් කිරීම යටතේ ද, සිව් වැන්න උපකරණ සඳහා බලපත්‍ර නියම කරන විදුලි සංදේශ නීතියක් යටතේ ද චෝදනා නගා ඇති බව ඇගේ නීතිඥවරයා පැවසීය.

නෙරපා හරින ලද නායිකාවට එරෙහිව හමුදාව විසින් අල්ලස් හා දූෂණ චෝදනා ද නගා තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර්. ජෙනරාල් සැව් මින් ටුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කියා සිටියේ, රජය තුළ සිටිය දී සූ කී විසින් ඩොලර් 600,000 ක් වටිනා ගෙවීමක් මෙන්ම රත්‍රන් ද ලබා ගෙන ඇති බවයි. ඇගේ නීතිඥයා මෙම චෝදනා හැඳින්වූයේ “එහෙම පිටින්ම කෙබර” ලෙසයි.

ඇය රඳවා ගනු ලැබීමෙන් පසු මේ දක්වා මහජනයා හෝ ඇයගේ නීතිඥයින් ඇය දැක නැත. නෙරපා හරින ලද ජනාධිපති වින් මයින්ට් ද කුමන්ත්‍රණයෙන් පසුව රඳවා තබා ගෙන සිටින අතර ඒ හා සමාන චෝදනාවලට ලක්ව සිටී.

කුමන්ත්‍රණයෙන් පසුව පාලක NLD නිලධාරීන් අත්අඩංගුවට ගෙන හෝ සැඟවී තිබේ. හිටපු NLD මහජන නියෝජිතයන් කණ්ඩායමක් විසින් සමාන්තර සිවිල් පාර්ලිමේන්තුවක් පිහිටුවා ඇත. ඒ, නිවැරදි රජය ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීම සඳහාය.

පාලක ජුන්ටාව පෙරලා දැමීම සඳහා “විප්ලවයක්” සිදු කිරීමට කණ්ඩායමේ ක්‍රියාකාරී නායක මහන් වින් ඛයිං තාන් විසින් ප්‍රතිඥා දී තිබේ.

එක්සත් ජාතීන් කරන්නේ කුමක් ද?

මිලිටරි ප්‍රහාරවලින් බුරුම ජනතාව ආරක්ෂා කර ගැනීමට මැදිහත් වන ලෙස විරෝධතාකරුවන්, ක්‍රියාකාරීන් සහ සිවිල් වැසියන් විසින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

ලොව පුරා විවිධ රජයන් කුමන්ත්‍රණය හෙළා දැක ඇති අතර එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය මියන්මාරයේ හමුදා නායකයින්ට සම්බාධක පනවා තිබේ. මිලිටරි සම්බන්ධිත ව්‍යවසාය ඇතුළත් කිරීම තෙක් පුළුල් කළ හැකි ඉලක්කගත සම්බාධක හඳුන්වා දීමට සූදානම් බව යුරෝපා සංගමය ද පවසා තිබේ.

පසුගිය සතියේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනා කුමන්ත්‍රණයෙන් පසු සිදු කළ ප්‍රබලම ප්‍රකාශයට ඒකමතිකව සහාය දුන් අතර, එය “සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙළා දකින” බව සඳහන් කරමින්, “අතිශයින්ම සංයමයෙන් කටයුතු කරන ලෙස” හමුදාවෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකයින් CNN සමග කියා සිටියේ සිද්ධිය “කුමන්ත්‍රණයක්” ලෙස හඳුන්වන දැඩි භාෂා විලාසයට චීනය, රුසියාව හා වියට්නාමය විසින් විරෝධය පළ කරන ලද බවත්, ඉදිරි ක්‍රියා මාර්ගවලට, බොහෝ විට සම්බාධක පිළිබඳ තර්ජනාත්මක භාෂාව ඉවත් කිරීමට එක් කෙටුම්පතක් මගින් බල කළ බවත්ය.

චීනය මිලිටරි පවරා ගැනීම සම්පූර්ණයෙන් හෙළා දැක නැත, නමුත් ආරක්ෂක කවුන්සිලයේ ගිවිසුමෙන් පසුව එක්සත් ජාතීන්ගේ තානාපති ෂැං ජුන් පැවසුවේ, “කවුන්සිලයේ  සාමාජිකයින් එක හඬකින් කථා කිරීම වැදගත්. තත්වය ලිහිල් කිරීමට කවුන්සිලයේ පණිවුඩය උපකාරී වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා,” යනුවෙනි.

මේ සතියේ යැන්ගොන්හි චීනය සතු කර්මාන්ත ශාලා ගිනි තැබීමෙන් පසුව, චීනය වඩාත් ආක්‍රමණශීලී ස්වරයක් ගෙන තිබේ. මියන්මාරයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ, “චීනය මියන්මාරයෙන් ඉල්ලා සිටින්නේ සියලු ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීමටත්, නීතියට අනුකූලව වැරදිකරුවන්ට දඬුවම් කිරීමටත්, මියන්මාරයේ චීන සමාගම්වල සහ චීන ජාතිකයන්ගේ ජීවිත හා දේපලවල ආරක්ෂාව සහතික කිරීමටත් තවදුරටත් ඵලදායී පියවර ගන්නා ලෙසයි,” යනුවෙනි.

මියන්මාරයේ බොහෝ දෙනෙක් හුදු හෙළා දැකීමේ වචනවලින් කළකිරීමට පත්ව සිටින අතර වඩාත් අර්ථවත් ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිති. 

එක්සත් ජාතීන්ගේ මියන්මාරයේ තානාපති කියව් මෝ ටුන් CNN සමග පැවසුවේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ පණිවිඩය “ජනතාවගේ අපේක්ෂාව සපුරාලන්නේ නැත” යනුවෙනි. 

විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ ගෝලීය දේශපාලන කැපවීමක් වන ආරක්ෂා කිරීමේ වගකීම (Responsibility to Protect) ගැන කියැවෙන “R2P” සංඥා පුවරු ඔසවා ගෙන සිටිනු දැකිය හැකි විය. ජන සංහාරය, යුද අපරාධ, ජනවාර්ගික පිරිසිදු කිරීම සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වැනි මහා පරිමාණ හිංසා නැවැත්වීමට ජාත්‍යන්තර ප්‍රජාව නැවත කිසි දා අසමත් නොවන බව සහතික කිරීම ඉන් අදහස් කෙරේ.

රටවල් 31 ක රාජ්‍ය නොවන සංවිධාන 137 ක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා ඇත්තේ මියන්මාරයට ගෝලීය ආයුධ සම්බාධක කඩිනමින් පනවන ලෙසයි.

මියන්මාරයේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ඇන්ඩෲස් සාමාජික රටවලින් ඉල්ලා ඇත්තේ “මිලිටරි ජුන්ටාව නීත්‍යානුකූල රජය ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.” ජුන්ටාවට ආදායම් හා ආයුධ ගලා ඒම නතර කරන ලෙස ඉල්ලා සිටිමින් ඔහු තව දුරටත් පැවසුවේ, ජ්‍යෙෂ්ඨ නායකයින්, මිලිටරි-සතු සහ පාලිත ව්‍යවසායන් සහ රාජ්‍ය බලශක්ති සමාගම වන මියන්මාර තෙල් හා ගෑස් එන්ටර්ප්‍රයිස් යන සමාගම්වලට බහුපාර්ශ්වීය සම්බාධක පැනවිය යුතු බවයි.

-2021 මාර්තු 25 වන දින CNN වෙබ් අඩවියේ පළ වූ, Helen Regan සහ Jessie Yeung ලියූ, ‘Myanmar's military is killing peaceful protesters. Here's what you need to know’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ,

ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2021-03-29 13:16:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links