~

බදුල්ලේ වැල් බෝධිය ඇද වැටීම ජාතික විපතකට මුලක් බවට මතයක්..!

සොරණාතොට, අජිත් බස්නායක ලියයි

(ලංකා ඊ නිව්ස් -2021.මාර්තු.11, පෙ.ව.8.30) බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම් හළ අසළ පිහිටි ඓතිහාසික විශාල වැල්බෝධිය ඊයේ (10)  මුළුමනින්ම ගැලවී කඩා වැටී ඇති අතර ඉන් බරපතල තුවාල ලත් පුද්ගලයෙකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරන බදුල්ල නගර වාසීන් පවසනුයේ මෙය කිසියම් ජාතික ආපදාවක පෙරනිමිත්තක් බව ය. ඊට හේතුද කියති.

හිටපු අගමැති වරයකු වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සාහසිකයකුගේ වෙඩි පහරට ලක් ව මරණයට පත් වන මොහොතේ ද මෙම බෝධියෙන් විශාල අත්තක් හිටිහැටියේ බිම ඇද වැටුණු බව පවසන බදුල්ල නගරයේ වියපත් වැසියන් කීප දෙනෙකුම ඊට පසු ද අප රටට අත් වූ ප්‍රබල විපත් හමුවේ මෙහි අතු කඩා වැටුණු බව පවසනුයේ ඉතා නුදුරු දිනයෙක කිසියම් ජාතික ආපදාවක් පෙන්නුම් කරනු ඇතැයි අනාවැකි පළ කරමිනි.

වසර සිය ගණනක් පැරණි මෙම වැල්බෝධිය කඩා වැටීමෙන් මෝටර් රථ දෙකකට, ලොරි රථයකට, ත්‍රිරෝද රථයකට සහ යතුරුපැදියකට දැඩි අලාභ හානි සිදුවූ අතර ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන තිබිණි. බදුල්ල නගරයේ විදුලි රැහැන් පද්ධතිය ද කඩා වැටීමෙන් විදුලිබලය ද මුළුමනින්ම ඇණහිට තිබුණි. 

මේ සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ මෙම වැල් බෝධියට අධිගෘහිත දෙවිවරුන් විසින් මෙම විපත් පිළිබඳ පූර්ව අනාවැකි ලබා දුන් අතර මෙම වෘක්ෂය මුළුමනින් ඇදවැටීම අර්ථ කථනය කළ නොහැකි බවකි. 

"ස්වාභාවික සංසිද්ධි මඟින් මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ අනාවැකි පැවසෙනවාය කියන විශ්වාසය මේ ලෝකයේ ආගමික විශ්වාස පහළ වෙන්නත් කලින් ඇති වුණු  පෞරාණික මානව චින්තාවක්. ඒ වගේම කිසියම් ජන සමාජයක් තුළ බිය ජනක, ශෝක ජනක, අනාරක්ෂිත හැඟීම් පැතිර තිබෙන කාලවල මේ වගේ ස්වාභාවික සංසිද්ධි ගැන සමාජ සංවේදීතාවය හුඟක් ඉහළයි" 

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය ආයතනයේ හිටපු සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ කීය.

"මේ වගේ සමාජමය මතවාද පැතිර යන්නේ පුද්ගල මතවාද පදනම් කරගෙන. ඒ වගේම මේ පුද්ගල මතවාද පැතිර යන්නේ මානසික පීඩනය, අසහනය දුක, වේදනාව වගේ අසංතෘප්තිකර තත්වයන් මතයි. ඒ වගේ තත්වයක් යටතේ මිනිස් මොළයේ ජෛව රසායනික විෂමතා පවා ඇති වෙනවා. නමුත් ඔය කියන විශ්වාසයට අනුව අද හෙට දවසක මොකක් හරි දුක්ඛ දායක සිද්ධියක් අහන්න දකින්න ලැබුණොත් හැමෝම ඒක අර මුල්සිද්ධිය ඒ කියන්නේ බෝධියේ අත්ත කඩා වැටීමට සම්බන්ධ කරනවා. ඒ මිථ්‍යාව හැඳින්වෙන්නේ Post hoc ergo propter hoc යනුවෙන්" විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ වැඩිදුරටත් කීය.

මෙම වැල් බෝධියේ කඩා වැටීම මුල් කොට රටට විපතක් ඇති වෙතැයි යන ජන විශ්වාසය මිථ්‍යාවක් වීමට පුළුවන. එහෙත්, එමඟින් පැවසෙන මානසික පීඩනය, අසහනය දුක, වේදනාව වැනි අසංතෘප්තිකර තත්වයන් වත්මන් සමාජය පුරා පැතිර පවතින බව නම් මිථ්‍යාවක් නොවේ.

සොරණාතොට, අජිත් බස්නායක

---------------------------
by     (2021-03-11 03:04:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links