~

මිනීමරු හමුදා ජුන්ටාව වෙඩි තබා ඝාතනය කළ මියන්මාරයේ 'සුර දූතිකාව'..! ඔබේ සොහොනේ අළු මට දෙන්න; මගේ පණ ඔබ ගන්න..!

සුනන්ද දේශප්‍රිය ලියයි

(ලංකා ඊ නිව්ස් -2021.‍මාර්තු.06, පෙ.ව.5.05) දහ අට හැවිරිදි 'මා කියල් සින්' Ma Kyal Sin  පසුගිය බදාදා මිලිටරි ආන්ඩුවට ප්‍රතිවිරුද්ධකම් පෑමේ උද්ඝෝෂනයට ගියේ ඇයගේ හිස සිඹ පියා තිළිණ කළ ආශීර්වාද වදන් සිත් පුරවාගෙන සතුටු සිතෙනි. ඇය මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මන්ඩලේහි ජීවත් වුවා ය.

පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණ දිනයෙහි මා කියල් සින් ඇයගේ පියා සමඟ ඡන්දය ප්‍රකාශ කළ වර්ණ ගැන්වූ සිය දබරැඟිළි ඔසවූ ජායාරූපයක් ඇයගේ ඉන්සටර්ග්‍රෑම් පිටුවට එක්කර තිබුණි. මැතිවරනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය මහ ජයක් ලැබුවේ මිලිටරිය බිය ගන්වමිනි.

"මගේ ජීවිතයේ පළමු වතාවට මම පුරවැසියෙකු ලෙස මගේ වගකීම භාර ගත්තා ... හදවතින්ම එක ඡන්දයක්" යැයි කියල් සින් සිය ෆේස්බුක්හි ලියූවේ තීන්ත ගෑ සිය ඇඟිල්ල සිප ගන්නා පින්තූරයක් පළ කරමිනි.

"ඒන්ජල්"

මා කියල් සින් නැටුමටත් මිරිස් රසැති කෑමටත් රතුම රතු ලිප්ස්ටික් වලටත් ඇළුම් කළාය. අමතරව ඇයගේ ලැදියාවක් වූවේ තායි ක්වන් දෝ නම් බුරුම සටන් ක්‍රමයටය. ඇය සටන් ක්‍රම පුහුණු කාරියක්ද විය.

නව යොවුන් වියේ සිටි ඇය වියයුතු පරිදිම විනෝදකාමී විය. සිය ෆේස්බුක් පිටුවෙහි ඇය තමාගේ හැඩකාර සෙල්ෆි ජායාරුපද සිය නර්ථනයන්ද  දැමුවාය. උපන්දින සාදයන්හි ජායාරූප පෙළ ගැස්වුවාය.  ඇය ලස්සන ඇඳුම්වලට ද ඇලුම් කළාය.

එමෙන්ම ඇයට සමාජ සාධාරණය සහ යුක්තිය ගැන හැඟීමක්ද තිබුණි.

එමෙන්ම ඇගේ පියා සමඟ ඇයගේ සමීප සම්බන්ධතාවය විදහා දක්වන ජයාරූප ද එහි වෙයි. පසුගිය මාසයේ මුදු මොළොක් මොහොතක ඇයගේ පියා ඇගේ මැණික් කටුව වටා නිර්භීතකම සංකේතවත් කරන රතු පීත්ත පටියක් බැඳ ඇති බව එක් ඡායාරූපයකින් පෙනේ. 

"මට මේ ගැන වෙන කියන්න දෙයක් නැහැ - ස්තූතියි තාත්තේ!" යැයි කියල් සින් "මියන්මාරයට යුක්තිය" යන හැෂ් ටැගය සමඟ එම ඡායාරූපයට ලියා තිබුණි.

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවියහෙි ඇය පෙනී සිටියේ 'ඒන්ජල්' හෙවත් 'සුර දූතිකාව' යන නමිනි. ඇය දැන් නිදහසේ සුරදූතිකාවකි.

ඇය නිදහස් ජීවිතයක් පතන මියන්මාර තරුණ ජනයාගෙන් අයකු විය.  මැතිවරණයෙන් සිය නායිකාව වූ අවූන් සාං සුකී ලද මහ ජය යුද්ධ ටැංකි මගින් චප්ප කළ විට එය පිළිගැනීමට මේ තරුණ පරම්පරාව සූදානම් වූයේ නැත.

මියන්මාරයේ පුරුෂාධිපත්‍යවාදී දේශපාලන සහ සංස්කෘතික බැඳීම් නොසළකා ප්‍රතිවිරුද්ධකම් පෑමේ පෙරමුණු ‍‍බලඇනියක් බවට තරුණ ස්ත්‍රීහු පත්වූහ. විරෝධතා උද්ඝෝෂන අතරතුර හමුදා ප්‍රහාරයන්ගෙන් තුවාල වන සිය සහෝදර සහෝදරියන්ට ප්‍රථමාධාර දීමට සූදානමින් වෛද්‍ය ශිෂ්‍යාවෝ පා ගමන්වලට එක්වූහ.

ලුන්ගි සහ සරොම් පාරවලට ඉහළින්..

මියන්මාරය කොතරම් පුරුෂ මූලික සම්ප්‍රදායන්ගෙන් සිරගතව ඇත්ද යත් ස්ත්‍රියකගේ සහ පුරුෂයකුගේ ඉණෙන් පහළට අඳින ඇඳුම් එකට සේදීම සළකන්නේ වරදක් ලෙසය. එසේකළ හොත් පුරුෂාට අපලය. මේ නිසාම විරෝධතාවයන්ට එක් විය නොහැකි වැඩිහිටි ස්ත්‍රිහු පාරවල යනෙන මිලිටරි සහ පොලිස් හමුදා බිය ගැන්වීමට සිය ලුන්ගි සහ සරොම් පාරවලට ඉහළින් එල්ලා තිබෙනු මේ දිනවල දැක්ක හැකිය. 

තත්මදෝව යැයි නම් කැරෙන මිලිටරියේ ඉහළ තනතුරුවල කිසිදු ස්ත්‍රියක නැත. එසේ වෙතත් නොවැම්බර් මැතිවරණයෙහි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික ලීගයේ අපේක්ෂක ලැයිස්තුවල සියයට විස්සක් වූයේ ස්ත්‍රීන්ය.

මිලිටරිය එනම් තත්මදෝව දැනටමත් ස්ත්‍රී විරෝධය අවුළුවන්නට ජාතිකවාදී පසුගාමිත්වය යොදා ගනිමින් සිටී. “මේ පෙළපාලි යන ගැහැණු හරියට ඇඳුම් අඳින්නවත් දන්නේ නැහැ” යැයි එහි ප්‍රධානියා කියයි. ඉන් මේ ඒකාධිපතියා අදහස් කරන්නේ ගැහැණුන් දිග කලිසම් නොඇඳිය යුතු බවයි. 

කොතැනත් වර්ගවාදීහු ස්ත්‍රීන් පාලනය කිරීමට පසුගාමී සංස්කෘතික මෙවළම් යොදා ගනිති.

තත්මදෝව එරට මිලිටරි පාලනයකට යට කිරීම නිසා වැඩිම පහර වදින සමාජ කණ්ඩායමක් වන්නේ ස්ත්‍රීන්ය. ඊට හේතුව නම් පසුගිය දස වසර පුරා පැවැති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ස්ත්‍රීන්ට ආර්ථික සමාජ සහ දේශපාලන නිදහස ලබා ගැනීමට උපකාරී වූ නිසාය. දැන් මිලිටරි ඒකාධිපතිත්වය එම සියලු අවස්ථා තර්ජනයට ලක් කරයි.

මිලිටරි පාලනය පැරදවීම තමන්ගේද කාර්යක් බව එරට ස්ත්‍රීහු ජීවිතයෙන්ම ඉගෙන ගෙන සිටිති. විශේෂයෙන්ම යෞවනියෝ සිය නිදහස යකඩ සපත්තුවට පැගී යෑමට ඉඩ නොදීමට අධිශ්ඨාන කරගෙන සිටිති. 

සිය දහස් ගණනින් ස්ත්‍රීහු එරට දෛනික පාගමන් සඳහා එක්රැස් වෙති. ඒ අතර ගුරුවරියන්, ඇඟලුම් සේවිකාවන් සහ වෛද්‍ය සේවකාවන්ගේ වෘත්තීය සමිති ඉදිරියෙන්ම සිටිති. 

මෙළෙස වීදි අරක්ගත් සිය සගයින් සමඟ 'මා කියල් සින්' දිනක් නෑර එක්වූයේ ඒ හැඟීමෙනි. ඔවුන් නිරායුධ නමුත් අනම්‍ය අධිශ්ඨානයකින් පණ පෙවුණු බලවේගයක් වේ.

“විප්ලවය යනු අනෙකා මැරීමට නොව තමා මියයන්නට සූදානම් පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ ව්‍යායාමයකි”

ඒ ඉරණම් සහගත බදාදා මා කියල් සින් සිය ටී ෂර්ටයේ පසුපස "අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. මියන්මාරයට යුක්තිය. අපේ ඡන්දවලට ගරු කරන්න" යන පාඨය ස්ටෙප්ලර් කර ගෙන තිබුණි. ජේත්තුකාර ටී ෂර්ට්වලට කැමැති වූ ඇයගේ ඒ ටී ෂර්ටයේ ඉදිරිපස වුයේ Everything will be all Right! “ හැම දෙයක්ම  හරියාවි” යන පාඨයයි. දැන් ඒ පාඨය ප්‍රතිවිරුද්ධකම් පෑමේ පොදු උද්යෝග පාඨයකි.

එදින ඇයට යළි සිය පියා දක්නට යෑමට ලැබුණේ නැත.

විරෝධතාකරුවන් සහ විරෝධතාකාරියන් 38 දෙනෙකුට මරණය උරුම කළ මියන්මාරයේ 'කළු බදාදා' නමින් හැඳින්වෙන පසුගිය 03 දා හමුදාව  හිසට වෙඩි පහර දෙකක් ද පපුවට එක් වෙඩිල්ලක්ද තබා 'මා කියල් සින්' මරා දැමුවේය. සැනෙන් ඇයගේ මරණය සමාජ මාධ්‍ය  දෝංකාරයක බවට පත්විය. ඇය විරුද්ධකම් පෑමේ අධිශ්ඨානයේ යෞවන ප්‍රතිමූර්තියක් බවට පත් වූවා ය.

ඇයගේ මරනයෙන් පසු ඇය සමඟ ප්‍රතිවිරුද්ධකම් පෑමේ යෙදී සිටි තරුණියක් මෙසේ කීවාය. “මියන්මාරයේ ස්ත්‍රීන්ගේ ලේ රතුපාටයි.”

පසුදා පැවැති ඇයගේ  අවමංගල්‍ය උත්සවය දහස් ගණනින් පිරී ගියේය. 

මේ සතියේ උද්ඝෝෂණයකට යාමට පෙර, මා කියල් සින් ඇයගේ රුධිර වර්ගය සිය ෆේස්බුක් පිටුවේ ලියුවාය. ඇගේ දුරකථන අංකයද එහි දක්වා තමාට යම් කරදරයක් සිදු සිදුවුවහොත්  සිය  අවයව පරිත්‍යාග කිරීම පිණිස ලබා ගන්නා ලෙස ලියුවාය.

"මා මිය ගියහොත් මට (මගේ අවයව) පරිත්‍යාග කළ හැකිය. යමෙකුට හදිසි උපකාර අවශ්‍ය නම්, එය මගේ මරණයට හේතු වුවද මගේ අවයව ලබා දිය හැකිය" යනුවෙන් ඇය එහි ලියුවේය.

විරුද්ධකම්පෑම යකඩින් සහ බෝම්බ දුමාරයෙන් යටපත් කිරීමට තත්මදෝව දක්මිටි කන බව හැම දෙනෙක්ම දැනසිටියේය. “විප්ලවය යනු අනෙකා මැරීමට නොව තමා මියයන්නට සූදානම් පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ ව්‍යායාමයකි” යැයි ලීවේ චේ ගුවේරාය.

“ඇය මගේ ජීවිතයේ මෙතෙක් දැක ඇති නිර්භීතම කෙල්ල”

උද්ඝෝෂණය අතරතුර මා කියල් සින්ගේ අවසන් මොහොත ඇයගේ මිතුරියන්ගේ ජංගම දුර කථනයන්හි සටහන් විය. හමුදා වෙඩි තැබීම් මැද ඇය පාර දිගේ බඩගාගෙන කඳුළු ගෑස් පිපිරුම් මධ්‍යයේ ආවරණයක් සොයා යන අයුරු ය.

වෙඩි තබා ඝාතනය කිරීමට මොහොතකට පෙර, කඩකොලු වූ ජීන්ස් යුගලයකින් සැරසී සිටි මා කියල් සින් සිය සහෝදර සාමකාමී විරෝධතාකරුවන් දිරිමත් කරනු ජංගම දුරකතන වීඩියෝවන්හි දැක්වේ.

ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයන් මැද මා කියල් සින් සිය සගයින්ගේ දෑස් පිරිසිදු කිරීම සඳහා වතුර බෙදයි. තවත් විරෝධතාකරුවෙකු විසින් පටිගත කරන ලද වීඩියෝවක ඇය කෑගසයි: “අපේ ජනතාවගේ ලේ හැලෙන්න දෙන්න බැහැ!”

ඇය සොයා පැන්නූ මිලිටරිය පේනමානයේ සිට ඇයගේ පපුව පසා කරමින් වෙඩිල්ලත් තිබ්බේය.

“ඇය මගේ ජීවිතයේ මෙතෙක් දැක ඇති නිර්භීතම කෙල්ල” යැයි මා කියල් සින්ගේ අවසාන ඡායාරූප කිහිපයක් ගත් කළ 'කෝ ලූ මාව්' පුවත්පත් වාර්තාකරුවන්ට කීවේය.

ඇගේ නමේ අර්ථය බුරුම බසින් “පිරිසිදු තාරකාව” ය. එනිසාම මේ විනෝදකාමී කෙල්ල සිය ටී-ෂර්ටයට යටින්, තරු හැඩැති පෙන්ඩනයක් පැළඳ සිටියා ය.

“ඔබ තරුවක් දුටුවහොත් මතක තබා ගන්න, අන්න ඒ මම තමයි” කියා කීමට ඇය පුරුදුව සිටියා ය. ඒ මරණය තමා අවට සැරිසරණ බව ඇය දැන සිටි නිසාය. 

ඇයද ඇතුළුව තරුණ තරුණියන් 38 දෙනෙකු ඝාතනය කළ බදාදා ට පසුදා උදෑසන යළි වීදි අරක් ගත් තරුණ ජනයා “ හැමදේම හරියාවි” යැයි උද්යෝග පාඨ රැගෙන විත් තිබූණි. 

"ලෝක අවසානය තෙක් අපි අමතක නොකරමු" 

බ්‍රහස්පතින්දා උදෑසන ඇය වෙනුවෙන් ශෝකයට පත් පිරිස් මියන්මාර ජනප්‍රිය විප්ලවවාදී ආදර ගීතයක් වන, "ලෝක අවසානය තෙක් අපි අමතක නොකරමු" යන්න ගායනා කළේ මල් කළඹ සහ මල් වඩම් දරාගෙන ඇගේ මෘත දේහයට කඳුළු සහ අධිෂ්ඨානය මුසු ආචාරය දක්වමිනි. 

ඒ ගීයේ පද කිහිපයකින් මා කියල් සින්ට සුව නින්දක් සහ ජය පතමු.

සදාකාලිකත්වය ලස්සනට සීතලයි
සුරදූතිකාවන් මහලු වේදැයි නොදනිම්
ඔබේ දෑසෙහි මා ගිලී යයි
මා සයුරක අතරමං ය
ඔබ දන්නවා මට හැම දෙයක්ම ඔබම බව

කිසිදා බිය නොවන්න
සියල්ල අළු පැහැයට හැරෙන විට
එපා, බිය ‍වෙන්න එපා
මට ඕනෑ ඔබේ ආදරය පමණමයි
දෙන්න මට ඔබේ සියලු වේදනාවන් 

මා අමතක නොකරන්න
මගේ ආදරිය
මා ඔබ අමතක කරන්නේ නැහැ
මගේ ආදරිය

ලෝකාවසානයම තෙක්
පහළටත් ආපස්සටත්
කාලාවසානයම තෙක්
කව්ද මා නවත්වන්නේ
ඔවුන් උත්සාහ කළදෙන්
අඳුරු දවස්
අඳුරුතම රාත්‍රීන්
මං නතරවන්නේ නැහැ
මැරෙනකම්

මගේ ආදරිය
මගේ ආදරිය
ලොව නතරවනු තුරු
මා ඔබ අමතක කරන්නේ නැහැ
මගේ ආදරිය
ලෝකාවසානය තෙක්
මගේ ආදරිය
මේ හඬ නින්නාද වන්නට හරින්න.

මා කියල් සන්, ලෝකාවසානය වනතුරු ඔබ නිදහසේ සුරදූතිකාවකි.  නිදහස සඳහා දිවි පුදන නමක් ඇති නමක් නැති සුවසහක් විරුවන් සහ වීරවරියන් සමඟ ලස්සනට සීතල සදාකාලිත්වයේ සැතපෙන්න.

සොයුරිය, සොහොනේ අළු මට දෙන්න.
මගේ පණ ඔබ ගන්න..! 

සුනන්ද දේශප්‍රිය

---------------------------
by     (2021-03-05 23:57:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links