කලින් ලීක් වූ වීඩියෝවක් මෙහි දැක්වේ
(ලංකා ඊ නිව්ස් -2021.පෙබ.12, පෙ.ව.2.30) ජනපති ගෝඨාභය ගේ රට හිනස්සන "ගම සමඟ පිළිසඳර" හෙළුවැලි නාඩගම් මාලාවේ තවත් තීරණාත්මක නාඩගමකට රුපියල් කෝටි ගණනක මහජන මුදල් වැය කරමින් දැන් දඩි බිඩියේ ලක ලැහැස්ති වනු පෙනෙයි.
මෙම පෙබරවාරි 13 වන දා එම නාඩගම පැවැත්වෙනුයේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පාරිසරික කලාපයක් වන නකල්ස් හෙවත් දුම්බර කඳුවැටි ආශ්‍රිත පරිවාරක ගම්මානයක් වන මීමුරේ දීය. ශ්‍රී ලංකාවේ පැරණි ගැමි සංස්කෘතිය සඳහා ගත හැකි කදිම නිදර්ශකයක් වන මීමුරේ මෑතක් දක්වාම ගොම මැටි පිරිමැද සකස් කරන ලද ගෙවල් මණ්ඩි ද, ගල්වැටි තාප්ප මගින් වෙන් කරන ලද පුද්ගලික ඉඩම් ඇතුළු සාම්ප්‍රදායික ගැමි සාමාජීය සංස්කෘතික ලක්ෂණ පළ කළ ගම්පියසකි . හේන් ගොවිතැන, කරඳමුංගු හෙවත් එනසාල් වගාව, කිතුල් මැදීම, මෙම ගම්මානයේ සාම්ප්‍රදායික ජීවන වෘත්තීන් වන අතර නූතන සමාජයීය පසුබිම තුළ එම සාම්ප්‍රදායිකත්වයට තැනක් නොලැබීම මත නූතන පරපුර ඉන් වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වීමේ නැඹුරුවක් පළ කරන බව මේ වන සනාථ වී තිබේ.
එහෙත්, එළැඹෙන 13 වැනිදා මීමුරේදී පැවැත්වීමට නියමිත "ගම සමඟ පිළිසඳර" හෙළුවැලි නාඩගම කලින් පැවති නාඩගම් සියල්ලටම වඩා බිහිසුණු තීරණාත්මක ප්‍රතිඵල ගෙන දෙන්නක් බැවින් පරිසරවේදීන් සහ විවිධ සමාජ ක්‍රියාකාරීන් දැන් සිටම ඒ පිළිබඳව විමසුම් නෙත් හෙලා සිටිති.
පැරණි ඉතිහාසයකට හිමිකම් කියන මීමුරේ ප්‍රාථමික විද්‍යාලයේ පැවත්වීමට සූදානම් කර තිබෙන මෙම නාඩගමේ පෙරහුරු හෙවත් "රිහසල්" සඳහා මේ වන විටත් රාජ්‍ය නිලධාරීන් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් එහි කඳවුරු බැඳ සිටිති.
මෙහිදී මීමුරේ ජනතාව නියෝජනය කරමින් ජනපති ගෝඨාභය ගෙන් ප්‍රශ්න ඇසීම සඳහා "බයි" ඇම්බැට්ටයන් අතුරින් පුද්ගලයන් තෝරා ගැනීම් මේ වන විට හමාර වී ඇති අතර ඔවුන්ට ලබා දී ඇති ප්‍රශ්න කට පාඩම් කරවීම මේ දිනවල ජයටම සිදු කෙරේ.
නමුදු මීමුරේ ගැමියන් ගේ ප්‍රශ්න වශයෙන් ගෝඨා හමුවට ඉදිරිපත් කෙරෙන මෙම ප්‍රශ්න ඇතුලත් හෙළුවැලි නාඩගමේ අත් පිටපත් දැන් එම ප්‍රදේශවල සැබෑ ගැමියන්ගේ අතට පත් ව ඇති අතර එම ප්‍රශ්න ලෙසින් රක්ෂිතය මැදින් පාරවල් දෙකක් කැපීමට කරන ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි ඔවුහු කියති.
එයින් එකක් මීමුරේ සිට ලකේගල පාමුලින් පල්ලේගම තෙක් ඉදිකළ යුතු පාරක් පිළිබඳව ය. අනෙක් ඉල්ලීම මීමුරේට ආසන්න ගමක් වන දන්දෙණිකුඹුරේ සිට ගල මුදුන ඔස්සේ උඩත්තව තෙක් ඉදි කළ යුතු මාර්ගයක් පිළිබඳව ය.
මෙවන් අතිශය සංවේදී පරිසර පද්ධතීන් මුල් කොට සිදු කරනු ලබන භෞතික සංවර්ධන කටයුතු සඳහා අනුගමනය කළ යුතු විධිමත් කාර්ය පටිපාටියක් තිබේ. ඒවා නීත්‍යානුකූල සම්මතයන් බවට පත්ව ඇත්තේ එමඟින් මිනිසුන් මුල් කොට ගත් සමස්ත ජෛව ප්‍රජාවට ඉන් සිදුවන හානිය සහ විනාශය අති ප්‍රබල බව මනාව සනාථ වීමෙන් පසුවය. එහෙත්,ඒ කිසිවක් නොතකමින් ජනපති ගෝඨා ලවා වන නිලධාරීට කෙනෙහිලි කම් කරවා ගනිමින්, හා සියළු නෛතික රාමු කඩා බිඳ දමමින් ගෝඨා ලවා වළං කඩයට පැන්න ගොන් තඩියාගේ භූමිකාව ඉටු කර ගැනීම මෙතෙක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති පරිසර සංහාරකයන්ගේ අරමුණු ඉටු කරන "බයි" දේශපාලන යාන්ත්‍රණයේම කොටසකි.
'වන සංරක්ෂණෙන් අපිට එනසාල් වවන්න ඉඩ දෙන්නෙ නෑ සර්‘ යන්න මේ වන විට ලීක් වී ඇති හෙළුවැලි නාඩගම් පිටපතට මේ වන විට එක් ව ඇති තවත් ප්‍රශ්නයකි. නාඩගමේ දී එය ඉදිරිපත් කරන නළුවා මේ වන විටත් එය පුහුණු වෙමින් සිටියි. ඒ එවිට "මේ මිනිස්සුන්ට ඒ වගා කටයුතු කර ගන්න දීලා ඔයාලා පැත්තකට වෙන්න" වැනි වන නිලධාරීන්ට එල්ල කරන ගොබ්බ කෙනහිලි ජනාධිපතිගෙන් බලාපොරොත්තු විය හැක.
මෙතෙක් සිදුව ඇති පාරිසරික හානි විමසා බලා 2000 වසරේදී පමණ නකල්ස් කඳු වැටියේ එනසාල් වගාව ඉවත් කෙරුණ ද ප්‍රදේශයේ දේශපාලකයන්ගේ රැකවරණය ලබාගත් මහා ධන කුවේරයන් විසින් 2010 වසර දක්වා විශාල පාරිසරික හානියක් කරමින් මෙම වගාව නකල්ස් කඳුවැටියේ කලුපහන ප්‍රදේශය මුල්කරගෙන පවත්වාගෙන ගොස් තිබිණ.
එවක ඔවුන් තම වගාවන් බැලීමට පැමිණ ඇත්තේ හෙලිකොප්ටර් වලිනි. නමුත් නකල්ස් කඳු වැටිය ලෝක උරුම ස්වාභාවික රක්ෂිතයක් බවට යුනෙස්කෝව නම් කළ පසුව උසාවි නියෝගයක් ලබාගෙන එහි සිටි එනසාල් වගා කරුවන් ඉවත් කිරිමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි විය.
නකල්ස් රක්ෂිතයේ අක්කර දොලොස් දහස් තුන්සිය පනහක කොටසක දැනටමත් ෆයිනස් වගාව සිදු කෙරේ. මාතලේ රිවස්ටන් ආශ්‍රිත රංගල, සුදුගල සහ දොළොස්බාගේ කඳු ආශ්‍රිත අහුපිණිඇල්ල ප්‍රදේශ ෆයිනස් වගාව මැද ඉතා හොඳින් එනසාල් වගාව සිදු කළ හැකි බව මේ වන විට සනාථ වී තිබේ.
එවන් තත්වයක් යටතේ ජනතා ප්‍රශ්න ලෙස හුවා දක්වමින් එනසාල් වගාව සඳහා නැවත වරක් නකල්ස් රක්ෂිතය යොදා ගැනීම මහා පරිමාන ජාවාරම්කාරයන් උප්පරවැට්ටි යොදන බව මීමුරේ ගැමියෝ කියති.
එහෙත්, කවර තදියමක දී වුව වැසිකිලිය වෙනුවට ගෙදර ආලින්දය, සාලය භාවිතා කරන්නට ඉඩ නොදිය යුතු බව මෙදා සැරේ වත් ගෝඨාභය ගේ ගොබ්බ මොළයට තේරුම් යාවි යැයි කාට නම් කිව හැකිද?
පසුගිය ජනාධිපතිවරණයේ දී “ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “තිරසර පරිසර ප්‍රතිපත්තියක්’’ නම් පරිච්ඡේදයක් තිබේ.
“මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව එහි සඳහන් වෙයි. ඒ අතර එහි වැඩි දුරටත් මෙසේ ද සඳහන් කොට තිබේ.
“වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අප හට පැවරී තිබේ’’ එපමණක් නොව එහි භූමිය භාවිතාව පිළිබඳ ව සඳහන් මෙම ඡේදය කියවා බලමු. “ශ්‍රී ලංකාවේ භූමිය භාවිත කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු ය. එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්‍රියා කළ යුතු ය’’
මෙසේ සඳහන් වන එහි ශ්‍රී ලංකාවේ වන ආවරණය සියයට තිහක් දක්වා වර්ධනය කරන බව ද සඳහන් කර තිබීම ද අද වන විට සුපිරි ගණයේ විහිළුවක් වී තිබේ.
මෙවන් පසුබිමක් තුළ සිය පාරම්පරික නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට පවා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට සිදු වී ඇත.
මිනිසා සහ ජෛව ගෝලය අතර ඇති සනාතනික සම්බන්ධය බිඳ හෙලමින්ජ නාධිපතිවරයා රඟ දක්වන මෙම "ගම සමඟ පිළිසඳර" පිළිකුල් සහගත හෙළුවැලි නාඩගමට ජාතියේ අනාගතය තීරණය කිරීමට ඉඩදීම යනු අධික ලෙස මත්පැන් බිව් බරපතල මානසික රෝගියෙකු පදවන රථයකට නැඟී සාර්ථක ගමනාන්තයක් අපේක්ෂා කිරීමටත් වඩා මෝඩ කමකි.
මීට පෙර පෙබරවාරි 6 දා ගම සමග පිළිසඳරේ දහයියාගල පිටපත ලීක් වූ අන්දම දැක්වෙන වීඩියෝවක් පහතින්
---------------------------
by (2021-02-11 21:24:54)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි