~

මර්දනය පැරදවීමට ජිනීවා යෝජනා දිනවමු..!! මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ක්ෂේත්‍ර කාර්යාලයක් කොළඹ ස්ථාපිත කිරීමට බලකරමු..!!

ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2021.‍ජන.22, ප.ව.4.45) වසර 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයගත්තේ නම් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පැනවීම අනිවාර්ය පියවරකි. එය වසර ගණනාවක රාජපක්‍ෂ පාලනයේ තාර්කික අවසානයයි. එහෙත් වාසනාවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වූ අතර යහපාලන ආණ්ඩුව ඒ අනතුරින් රට මුදවා ගත්තේ ය. 

යහපාලන ආණ්ඩුව එකඟ වූ 30/1 යෝජනාව..

ඒ සඳහා යහපාලන ආණ්ඩුව, වසර 2015  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  කවුන්සිලයේ දී සම අනුග්‍රහය දක්වමින්  30/1 යෝජනාව ඉදිරිපත් කළේ ය. රට තුළ “සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්” (reconciliation, accountability and human rights) ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ විය. එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පැවති යුද්ධයේ අවසාන අදියරේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයවීම් සහ අතුරුදහන්වීම් පිළිබඳ සොයා බැලීමේ දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඒ අනුව සිදුවිය. අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය ස්ථාපිත කිරීම සහ අතුරුදහන්වූවන්ගේ පවුල් සඳහා මාසික දීමනාවක් ලබාදීමද  එහි ප්‍රතිඵලයකි.

එහෙත් මහින්ද රාජපක්ෂ ඇතුළු ගෝලබාලයෝ මේ මැදිහත්වීම "රට ජාතිය" පාවාදීමක්, "රණවිරුවන්ට" ද්‍රෝහීවීමක් වශයෙන් අර්ථ දැක්වූහ. ඒ මිථ්‍යාව වසර පහක් පුරා ජප කළහ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේදී පොරොන්දු වන්නේ යහපාලන ආණ්ඩුවේ ජාත්‍යන්තර පොරොන්දු වලින් රට නිදහස් කර ගන්නා බවය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම අනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාවෙන් ඉවත් විය. ඉන් පසුව එකඟ වූ 34/1 සහ 40/1 යෝජනාවලින් ද  ඉවත් විය. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී 69 ලක්ෂය මේ තීරණයේ ප්‍රීතියට මහ හඬින් තප්පුලෑහ. වසර 2020 පෙබරවාරියේ ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත ගිය විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන තීන්දුව දැනුම් දුන් අතර ශ්‍රී ලංකා රජය නව විමර්ශන කොමිසමක් (Commission of Inquiry) පත් කරන බවට ද පොරොන්දු විය.

දෙමළ පක්ෂ තුනේ යෝජනා..

අදාළ යෝජනාවලින් ඉවත් වුවද මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ චෝදනාවන්ගෙන් ගැලවීමට රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති වියරුව ද ජාත්‍යන්තර අවධානයට ලක්විය. ජිනීවා මානව හිමිකම් කවුන්සලයට පොරොන්දු වූ නව විමර්ශන කොමිසමක් ස්ථාපිත කිරීම ද ආණ්ඩුව ප්‍රමාද කරමින් සිටියි. මේ තත්ත්වය පාදක කරගනිමින් උතුරු නැගෙනහිර නියෝජනය කරන ප්‍රධාන දෙමළ පක්ෂ ජිනීවා මානව හිමිකම් කවුන්සලය නියෝජනය කරන සාමාජික රටවල් හතළිස් හත වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කර ඇත. දෙමළ සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, දෙමළ ජාතික මහජන පෙරමුනේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී. විග්නේශ්වරන් සහ දෙමළ සිවිල් සමාජ සංවිධාන කිහිපයක් මේ ලිපියට අත්සන් තබා තිබේ. 

නව ජාත්‍යන්තර ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයක්..

මෙවර ජිනීවා සමුළුවේදී (පෙබරවාරි 22 සිට මාර්තු 19 දක්වා) ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් “අවසාන යෝජනාවක්” සම්මත කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. 

ජනවාර්ගික ගැටුමේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, ජන සංහාර, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ ඇතුළු සියළු අපරාධ විමර්ශනය කිරීමට ශ්‍රී ලංකාව අසමත්වී ඇති බව පෙන්වා දෙන ඔවුහු මාස දොළහක කාල සීමාවක් සහිතව ජාත්‍යන්තර ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයක් (lnternational lndepedent lnvestigation Mechanism) ස්ථාපිත කරන ලෙස පාර්ශ්වයන් ඉල්ලා සිටිති.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුබද්ධ ආයතනයක් ලෙස ස්ථාපිත කර තිබෙන සිරියාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයට (IIIM) සමාන ලෙස සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණයක් ස්ථිර කාලයක් සහිතව ස්ථාපිත කරන ලෙසට දෙමළ පක්ෂ ඇතුළු කණ්ඩායම ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට නඩු පැවරීමේ සූදානමක් නොමැති බව..

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් සියල්ල ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට නඩු පැවරීමේ සූදානමක් නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කර ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන්  දේශීය යාන්ත්‍රණයක්  ක්‍රියාත්මක කළ නොහැකි බව සාමාජික රටවල් පිලිගත යුතු බව ඔවුහු පෙන්වා දෙති. ඒ සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ මැදිහත්වීමක් අත්‍යාවශ්‍ය බවත් ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති. 

පසුගිය කාලය පුරා හමුදාකරණය ඇතුළු දෙමළ ජනතාවට එරෙහි මර්දනය තීව්‍ර කිරීම, දේශපාලන සිරකරුවන් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම, ඉඩම් අත්පත් කර ගැනීම, දේශපාලන හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිළිබඳ තියුණු පරීක්ෂා කිරීම්, අපගේ මුස්ලිම් සහ කිතුනු සහෝදර ජනයාට කොවිඩ් කාලයෙහි භූමදානය කිරීමේ අයිතිවාසිකම් ලබා නොදීම, අනුස්මරණ අයිතිය ප්‍රතික්ෂේප කිරීම ඇතුළු තත්ත්වයන් වර්ධනය වන බව පෙන්වා දෙන දෙමළ දේශපාලන නායකයෝ ඒ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙසට මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලා සිටිති. 

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ අඛණ්ඩව උතුරේ සහ දකුණේ සිදුවන පුරවැසි මර්දනයට සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් අධීක්ෂණ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ (OHCHR) ක්ෂේත්‍ර කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලෙසට ද ඔවුහු ඉල්ලීමක් කරති. 

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ යෝජනා..

ලොව ප්‍රමුඛතම මානව හිමිකම් සංවිධානය වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) ද  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සලය වහාම මැදිහත් විය යුතු බවට පසුගිය ජනවාරි 14 වන දා "The UN Human Rights Council must step up efforts to advance accountability for serious violations in Sri Lanka" නමින්  විශේෂ ඉල්ලීමක් කළේ ය. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ( පෙබරවාරි 22 සිට මාර්තු 19 දක්වා) රැස්වන විට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සහ වාර්තා කිරීම සඳහා ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඉල්ලා සිටී. වසර 2015 සිට ගතවූ කාලයේදී එවැනි යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමේ කිසිදු ප්‍රගතියක් ලබා නොමැති අතර ජාතික මට්ටමේ දැකිය හැකිවන්නේ භයානක වර්ධනයන් වන  අතර, මේ දක්වා වගවීම (accountibility) පිළිබඳ සීමිත ප්‍රගතිය අඩපණ කරන ප්‍රවනතාවයන් බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි. ඒ සඳහා ඔවුන්ගේ නිදසුන් පහත දැක්වේ:

⋆2006 දී ත්‍රිකුණාමලය නගරයේ සිසුන් පස් දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වූ ආරක්ෂක අංශ සාමාජිකයින් 13 දෙනෙකු “සාක්ෂි නොමැති” බව පවසමින් 2019 ජූලි මාසයේදී අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.

⋆දේශපාලන පලිගැනීම්  පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් 2020 ජනවාරියේ දී පිහිටුවන ලද අතර, එය ප්‍රගීත් එක්නලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුව ද ඇතුළුව දැනට පවතින අධිකරණ ක්‍රියාමාර්ගවලට බාධා කරයි. 2008 සහ 2009 දී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනා යටතේ අත් අඩංගුවට නාවික හමුදා නිලධාරීන්ට එරෙහිව නීතිමය කටයුතු නතර කිරීමට මේ කොමිසම මැදිහත් විය.

⋆වසර 2020 මාර්තු මාසයේදී දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කළ මිරුසුවිල් සංහාරයේ වැරදිකරුවෙකු වූ සැරයන්  සුනිල් රත්නායකට ජනාධිපති සමාවක් හිමිවිය.

⋆නව පරිපාලනය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වසර 2015 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ විමර්ශන වාර්තාවේ නම් කර ඇති හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සඳහා උසස්වීම් ලබාදී ඇත. 

⋆දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් වසර 2005 දී පැවරනු ලැබූ නඩුව ඉදිරියට ගෙන නොයන බව පසුගිදා නීතිපති දෙපාර්තමේන්තුව මඩකලපුව මහාධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව මෙම නඩුවේ සැකකරුවන් පස්දෙනාම අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.  

⋆රජයට සහයෝගය දක්වන ටී.එම්.වී.පී. හි නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලයාන්) එහි එක් සැකකරුවෙකි

ලංකාවේ බිහිසුණු මර්දනයක්..

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ ගෙවුණු පළමු වසරේ මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ නීතිඥයන් ඉලක්ක කිරීම හා බිය ගැන්වීම හරහා ශ්‍රී ලංකාවේ බිහිසුණු මර්දනයක් තමන් නිරීක්ෂණ කරන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය  සිය ඉල්ලීමේ සඳහන් කරයි. එබැවින් ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් මානව හිමිකම් කවුන්සලයේ මැදිහත්වීමක් වහාම අවශ්‍ය බව ඔවුහු  පෙන්වා දෙති. 

ජිනීවා පොරොන්දුවට වසරක් ගතවුව ද නව විමර්ශන කොමිසමක් පිහිටුවීමට හෝ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තවම පියවර ගෙන නැත. ලබන පෙබරවාරියේ ආරම්භ වන මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවකට සම අනුග්‍රාහකත්වය සඳහා වූ ආරාධනය ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇත.  අදාළ රටේ ද නියෝජනය සමඟ සම අනුග්‍රහය සහිතව ඉදිරිපත් කරන යෝජනා බොහෝ විට මානව හිමිකම් කවුන්සලයේ සියළු සාමාජික රටවල එකඟතාවයෙන් අනුමත වන අතර එම යෝජනා "දැඩි යෝජනා" වශයෙන් නොසැළකෙයි. එහෙත් එවැනි යෝජනාවකට හෝ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එකඟ විය නොහැක්කේ ඔවුන් බලයට ඒම සඳහා සමාජගත කළ මිථ්‍යාව හේතුවෙනි . ඒ බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ පසුගිය ජනවාරි 17 වන දා Sunday Times පුවත්පතට ප්‍රකාශ කර තිබිණ. වසර 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ජනවරම හිමිවූයේ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වූ යෝජනාවන්ගෙන් ඉවත්වීමට බැවින් නැවත එවැති යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමට දේශපාලන වශයෙන් ආණ්ඩුවට නොහැකි බව ප්‍රකාශ කරන ඔහු එය ආණ්ඩුවට දේශපාලන අභියෝගයක් වනු ඇතැයි පවසයි. 

ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවට ඉන්දියාවේ සහාය..

වසර පහක කාලයක් පුරා මිථ්‍යාව සහ සිංහල බෞද්ධ ජාතිවාදය වැපිරීමේ විපාකයට දැන් ආණ්ඩුවට මුහුණදීමට සිදුවී ඇත. තමන් මුදාහැරි යක්ෂයන් නැවත ගැට ගැසීම ඉතා දුෂ්කර ව්‍යායාමයකි. කෙසේ වෙතත් කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝව සහ බ්‍රිතාන්‍යය යන රටවලින් සමන්විත මූලික කණ්ඩායම විසින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් ලබන පෙබරවාරියේ ගෙන එනු ඇත. 

පවතින ආරංචි අනුව ඉන්දියාව ද ඊට සහාය දක්වනු ඇත. පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුනු ඉන්දීය විදේශ ඇමැතිවරයා ඒ බව ආණ්ඩුවට දන්වා ඇතැයි පැවසේ. ඉන්දියානු විදේශ ඇමැතිවරයා ලංකාවේ සිටිය දී ම යාපනය සරසවියේ ස්මාරකය කඩා බිඳ දැමීමෙන් පසු විදේශ ඇමැතිවරයා ඒ බව ආණ්ඩුවට තදින් දැන්වීයැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් ඉන්දියාව ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාවකට සහාය දැක්වුවහොත් එය ආණ්ඩුවට බරපතල වනු ඇත. 

මේ මොහොතේ සෑම ආණ්ඩු විරෝධියෙකුගේම වගකීම විය යුත්තේ උතුරු නැගෙනහිර ප්‍රධාන දේශපාලන පක්ෂ තුන සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ ඉල්ලීමට සහයෝගය දැක්වීමය. තවදුරටත් දේශීය පරීක්ෂණ යැයි කියමින් දෙමළ ජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව රැවටීමට ඉඩ දියයුතු නැත. 

රටතුළ දිගින් දිගටම සිදුවන මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ මර්දනය පිළිබඳ විමර්ශනය කළ හැකි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ (OHCHR) ක්ෂේත්‍ර කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලෙසට බල කළ යුතුය. මෙරට අධිකරණයෙන් සාධාරණත්වයක් ලබා ගැනීමට නම් විදෙස් විනිශ්චයකාරවරුන් සම්බන්ධ කර ගත හැකි අන්දමේ නව යාන්ත්‍රනයක් නිර්මාණය කර ගැනීමට යෝජනා ඉදිරිපත් කළ යුතුය. 

ප්‍රධාන විපක්ෂය තවදුරටත් දේශප්‍රේමී ජාතිකවාදී මන්තරය ජපකරමින් සිටින්නේ නම් රාජපක්ෂ මර්දනය විසින් ඔවුන්ව පරසක්වළ ගසනු ඇත. රාජපක්ෂ මර්දනයට යම්තරමකින් හෝ මුහුණ දිය හැක්කේ ජාත්‍යන්තර පීඩනයක් හරහා පමණි. ඒ සඳහා පෙබරවාරියේ විවෘත වන ජිනීවා මානව හිමිකම් සැසිවාරය යොදා ගත යුතුය. රටේ ප්‍රධාන විපක්ෂය මෙය දෙමළ ජනතාවගේ සහ දෙමළ පක්ෂවල ප්‍රශ්නයක් බවට ලඝු නොකර සමස්ථ ලාංකීය පුරවැසියන්ගේ නිදහස සහ මානව අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනක් බවට පරිවර්තනය කර ගත යුතුය.

අනුභාවනන්ද

[email protected]

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2021-01-22 11:31:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links