~

පෝට් සිටි වැලි වංචාවට වන්දි ලෙස මහ මුහුද 'මුතුපන්තියත්' බිලි ගනී..!

දමයන්ති ගමගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2021.‍ජන.02, ප.ව.11.30)  දෙසැම්බර් 31 දින අළුයම සිදු වූ හදිසි මුහුද ගොඩ ගැලීමකින් හලාවතට උතුරින් පිහිටි  'මුතුපන්තිය' දූපතේ නිවාස රැසක් ජලයෙන් යටවී තිබේ.

මුළුමනින්ම ධීවර ප්‍රජාවක් වෙසෙන මුතුපන්තිය දුපතේ ආරක්ෂාවට යොදා තිබූ ගල් වැටි ද මුහුදට ගසාගෙන ගොස් මුහුදු රළ හිටි හැටියේ අඩි පහක් පමණ ඉහළට නැඟී මුතුපන්තිය සුසාන භූමිය සම්පුර්ණයෙන් ජලයෙන් යට වී ගිය බවත් දූපතේ ආරක්ෂාවට තිබූ ගල් වැටි සහ 'මුහුදු කන්ද' නමින් හැඳින්වෙන වෙරළාසන්න වැලි වැටිය බිඳ වැටීම මත අද වන විට  මෙම දූපතේ මිනිස් ජීවිත සහ දේපල මහමුහුදට බිළිවීමේ අවදානමක් පැන නැඟී ඇති බවත් මුතුපන්තිය වැසියෝ කියති.

එමෙන්ම මුහුදු රළත් සමග ගලා ආ අපද්‍රව්‍ය විශාල  වශයෙන් නිවෙස් ආසන්නයේ ගොඩ ගැසී ඇති බව පවසන මුතුපන්තියේ වැසියන් වැඩිදුරටත් පවසනුයේ සුනාමියේ දී වත් මෙවැනි මුහුදු රළක් තම දුපතට ගලා නොආ බවකි. එමෙන්ම පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ දඩි බිඩියේ සැළසුම් කළ පෝට් සිටි ව්‍යාපෘතිය නිසා කෙදිනක හෝ මුතුපන්තිය මුහුදට බිළිවන බව විවිධ පාර්ශව විසින් තම ගම්වාසීන් දැනුවත් කළ ද අගනුවර ව්‍යාපෘතියක් හලාවත මුතුපන්තියට බලපාන්නේ කෙසේ දැයි ඔවුන්ගෙන්  විමසූ ගම්වැසියෝ එය 2015 ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ විරෝධීන්ගේ මඩ ප්‍රචාරයක්  සේ සළකා  ඊට විරෝධය පළ කිරීමෙන් වැළකී සිටි බව ද අපට දැන ගත හැකි විය. 

මෙම ස්වාභාවික ආපදාව සම්බන්ධයෙන් පුත්තලම දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර ගේ උපදෙස් මත පුත්තලම ආපදා කළමණාකරණ ඒකකයේ සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් ද එහි පැමිණි මුත් ගත හැකි පියවරක් ගැන නිශ්චයකට එළඹ නොතිබිණ. මේ තත්වය යටතේ මින් මතු තමන් ට තම දරු මල්ලන් ද සමඟ රාත්‍රියට නිදහසේ දෑස් පියා ගැනීමට නොහැකි තත්වයක් එළඹ ඇතැයි මුතුපන්තිය දූපත් වාසීහු මැසිවිලි නඟති.

රාජපක්ෂලා සම්මුතිය කැඩීමෙන් වූ විනාශය..

පෝට් සිටිය තැනීම සඳහා මුහුදෙන් ලබා ගන්නා ලද වැලි ගොඩබිමේ සිට කිලෝ මීටර් දහයක දුරින් ගැඹුරු මුහුදෙන් ගන්නා බවට ඇති කරගත් සම්මුතිය  උල්ලංඝනය කළ මහින්ද රාජපක්ෂ රජය ඒ සුවිසල් වැලි ප්‍රමාණය මීගමුව සහ ඒ අවට නොගැඹුරු මුහුදෙන් නැව් මගින් ලබා ගැනීමට රහසිගත ලෙස අනුමැතිය දී තිබේ. එමඟින් එවක පාලකයන් වංචනික ලෙස ලබා ගත් මුදල රුපියල් කෝටි ප්‍රකෝටි ගණනකි. 

නමුදු වෙරළබඩ භූ රූප විද්‍යාව පිළිබඳ ශ්‍රී ලාංකේය විශේෂඥයෙකු වන සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත ඇතුළු විද්වතුන් වැඩිම පිරිසක් පෝට්සිටි වරාය නගරය නිසා සිදුවන මෙම බරපතල හානිය පිළිබඳව මුල සිටම දැනුවත් කිරීම් සිදුකළ ද ඉන් කිසිදු පලක් වී නැත.

මෙම මුහුදු පත්ලේ තැන්පත් ව ඇති වසර මිලියන ගණනකට පෙර  නිර්මාණය වූ වැලි සංචිත පවා ඉවත් කිරීම අතිශය බිහිසුණු කාරියක් බව පෙන්වා දුන් මහාචාර්යවරයා  අනාගතයේ එම අඩුව පුරවා ගැනීම පිණිස ශ්‍රී ලංකා භූමියේ බටහිර සහ වයඹ වෙරළ බඩ ප්‍රදේශ වලින් සැළකිය යුතු ප්‍රමාණයක්  මුහුදට කඩා ගෙන යන බවට හා එම ප්‍රමාණය පෝට් සිටිය සඳහා මුහුදින් ඉවත් කර ගත් වැලි ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් විය හැකි බවට ද අනතුරු අඟවා තිබේ.

මේ තත්වය යටතේ අගනුවරට උතුරින් කල්පිටිය දක්වා මුහුදු තීරය ඛාදනයකට ලක් වන බව සමීක්ෂණ කණ්ඩායම් වාර්තා කොට ඇති බව ද මහාචාර්ය කටුපොත  සඳහන් කොට තිබේ. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ කොළඹට උතුරින් කල්පිටිය දක්වා බටහිර සහ වයඹ වෙරළ තීරයේ ගම්මාන රැසක් මුළුමනින්ම මුහුදු බත් වීමේ අවදානමක් තිබේ. මුතුපන්තිය යනු ඉන් එක් ගම්මානයක් පමණි.

දමයන්ති ගමගේ

---------------------------
by     (2021-01-02 21:03:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links