~

'වෙදකමට වඩා රජකම හොඳයි' කියා සිතන සීතා අරඹේපොළට විවෘත ලිපියක්..!

(ලංකා ඊ නිව්ස් -2020.ඔක්.09, පෙ.ව.9.30) වෛද්‍යතුමියනි,

මෙම ලිපිය ලියන මාගේ භාර්යාව ඔබතුමියගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් තැනැත්තියකි.  එක් කනක ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට ඔබතුමිය වෙත පැමිණි ඇය, ඔබතුමියගේ නිර්දේශ මත 2019 දෙසැම්බර් මස දී ශල්‍යකර්මයකට භාජනය වූවාය.  ඔබතුමියගේ සහ ඔබතුමියගේ ස්වාමිපුරුෂයා වන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ හා “ගෝල්ඩන් කී” රෝහලේ ගාස්තුව ද වශයෙන් අපි රුපියල් එක්ලක්ෂ තිස්දහසක (1,30,000/-) මුදලක් ගෙවීමු. එම මුදලින් රු.75,000/- ක් ඔබ දෙපළගේ ගාස්තුව විය.

එම කාලවකවානුව තුළ දී ඔබතුමිය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස එවක නව ආණ්ඩුව යටතේ පත්වීම් ලැබීය.  මාගේ භාර්යාවගේ පසු-ශෛල්‍ය සායන සඳහා අප දෙදෙනාම “ගෝල්ඩන් කී” රෝහල වෙත ගියෙමු.  එම දිනවල ඔබතුමිය උදෑසන 7.00 වනවිට රෝහලට පැමිණීමට වගබලා ගත් බව මෙහිලා විශේෂයෙන් ම සඳහන් කරන්නේ ස්තුති පූර්වකව ය.  ඔබගේ සේවාදායකයන් සියලුදෙනාගේ ම සතුටට එය හේතු වූ බව ඔබට ද රහසක් විය නොහැක.  මාගේ භාර්යාවගේ අවසන් පසු-ශෛලය සායනයේ දී ඔබතුමිය කියා සිටියේ මාස 06 කින් පසුව පැමිණ හමුවන ලෙසටයි.    

ඔබතුමියගේ “වියත්මග” දේශන රැසක් මා විසින් ආශාවෙන් නරඹා ඇත්තෙමි.  ඔබතුමියගේ නව චින්තන සහ නව අදහස් වලට මා ප්‍රිය කළෙමි.  තවද, එක් සම්මුඛ සාකච්ඡාවකදී ඔබතුමිය කියා සිටියේ, “රජකමට” වඩා “වෙදකම” ඔබ උතුම්කොට සලකන බවයි.    

කරුණු එසේ වුවද, ඔබතුමිය බස්නාහිර ආණ්ඩුකාර පදවියට සමු දී, දියවන්නාව තරණයට වෙර දරන අයුරුත්, අවසානයේ දී රාජ්‍ය ඇමති ධුරයකින් පිදුම් ලබන අයුරුත් අපි දුටුවෙමු.  COVID-19 කමිටු, රාජ්‍ය ආයතන නිරීක්ෂණ චාරිකා ආදියට ඔබතුමිය සහභාගි වූ අයුරු රූපවාහිනී තිරයෙන් අපි දුටුවෙමු. 

වෛද්‍ය වෘත්තියට නිගාවක්.. 

මේ වනවිට ඔබතුමිය “වෙදකම”  පසෙක ලා “රජකම” උතුම්කොට සලකන බව අපට පසක් වී ඇත.  ඔබතුමියගේ නිර්දේශයට අනුව, ශල්‍යකර්මයෙන් මාස 06 ක ට පසුව ඔබතුමිය හමුවීමට කාලය වෙන්කරවා ගැනීමට “ගෝල්ඩන් කී” රෝහල ඇමතූ විට කියා සිටියේ මාස දෙකකින් පමණ ‘මැඩම්’ චැනල් කිරීමට කිසිවෙකුට හෝ අවස්ථාවක් ලබා නොදුන් බවයි.  තමන්ගේ යටතේ ශෛල්‍යකර්මයකට භාජනය වූ රෝගියෙකුගේ තත්ත්වය ගැන පසු-විපරම් කිරීම අදාළ වෛද්‍යවරයාගේ වගකීමක් වන බව ඔබතුමියට අප අමුතුවෙන් කියා දිය යුතු නැත.  එසේ සිය වගකීම් පැහැර හැරීම, වෛද්‍ය වෘත්තියේ මූලික නීතිරීති සහ මූලධර්ම උල්ලංඝනය කිරීමකි.  ඔබතුමිය විසින් පශ්චාත්-උපාධිය හැදෑරූ මහා බ්‍රිතාන්‍යයේ දී මෙවැනි අකටයුත්තක් සිදුකළේ නම්, වෘත්තීමය වශයෙන් සිදුවන්නේ කුමක්දැයි මට වඩා හොඳින් ඔබතුමිය දන්නා බව මම සිතමි.  

වර්තමානයේ ඔබතුමිය දරනු ලබන ධුරයන් හි කාර්ය බහුලත්වය හේතුවෙන් වෘත්තීමය වගකීම් මගහැරී යන්නේ නම්, ආදේශක විශේෂඥ වෛද්‍යවරයෙකු නම්කර, “ගෝල්ඩන් කී” රෝහලට දැන්වීමට හෝ ක්‍රියා නොකිරීම කනගාටුවට කරුණකි. ඔබගේ වගකීම් පැහැර හැරීමකි. වෛද්‍ය වෘත්තියට නිගාවකි.

ඔබතුමිය වෙත පැමිණි අසරණ රෝගීන් විශාල සංඛ්‍යාවකට අත් වී ඇත්තේ මගේ භාර්යාවට අත් ව ඇති ඉරණම ම බව මම දුටිමි.  ඔබේ සේවය පතා පැමිණි සියලුම රෝගීන් අද ඉමහත් ගැටලුවකට මුහුණ පා ඇත.  

ළයාන්විත හඬින්, ආකර්ශනීය අන්දමින් දේශන පවත්වන ඔබතුමියගේ ක්‍රියාකලාපය ඊට හාත්පසින්ම වෙනස් ය.  ඔබතුමියගේ වචනයෙන් ම ඉස්සර කී පරිදි, “රජකමට” වඩා “වෙදකම” උතුම් බව ඔබට නොබෝ දිනකින් පසක් වනු ඇතැයි මම සිතමි.  නමුත් එය අවබෝධ වනවිට බොහෝ දේ අහිමි වී තිබෙන්නට පුලුවන.  ඔබතුමියත් මමත් අදහන ශ්‍රේෂ්ඨ බුදුදහමේ ද එය කියැවේ.   

වෛද්‍ය වෘත්තියේ මූලධර්ම වලට ගරු කරන්න..

එම නිසා, මා ඉතා කරුණාවෙන් ඔබතුමියගෙන් ඉල්ලා සිටින්නේ, ඔබගේ දේශපාලන ගමන යන අතරතුර, අහිංසක රෝගීන්ගේ ජීවිත ගැන තවදුරටත් සිතා බලන ලෙසයි.  අඩුම තරමින් උතුම් වූ වෛද්‍ය වෘත්තියේ මූලධර්ම වලටවත් ගරුකොට සලකා කටයුතු කරන ලෙසයි.

මෙම ලිපියෙහි මුඛ්‍ය කරුණට අදාළ නොවුණද, මාස 02ක් පමණ ළදරු ආණ්ඩුවේ ක්‍රියාකාරකම් මැද ඔබතුමියගේ අමාත්‍යාංශයේ ලිපියක් මාධ්‍යගතවීමෙන් මේ දිනවල සමාජ මාධ්‍ය වල ඔබතුමිය ගැරහුම් අවමන් ලබමින් සිටින්නී ය. මෙයයි අපගේ ලංකාවේ දේශපාලනය.  එය වටහා ගැනීමට ඔබතුමියට සෑහෙන කාලයක් ගතවනු ඇත.  එවිට බොහෝ දේ සිදුවී හමාර ය.  

එතෙක් ඔබතුමියගේ සේවය අපේක්ෂාවෙන් පැමිණි අසරණ රෝගීන්ට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි..!

ඔබ නිසා අගතියට පත් රෝගියෙකුගේ ස්වාමි පුරුෂයෙක්   

---------------------------
by     (2020-10-09 04:04:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links