(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.13, ප.ව.7.00) මහනුවර මගුල් මඩුවේ ඊයේ (12) පැවැති අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමේ ජාතික උත්සවය සඳහා මහනුවර නගරය ජාතික ධජ සහ බෞද්ධ ධජ වලින් සරසා තිබිණ. නමුත් ඒ සඳහා භාවිතා කර තිබුණු ජාතික ධජය ලංකාවේ පවතින නිල ජාතික ධජය නොව විකෘති කරන ලද බහු බූත කොඩියකි. එහි සුළු ජාතීන් නියෝජනය වන තැඹිලි සහ කොළ වර්ණ තීරු දෙක නොවීය. මෙවැනි විකෘති ධජයක් ජාතික ධජය කියා මීට පෙර භාවිතා කරන ලද්දේ අන්තවාදී සිංහල සංවිධාන කිහිපයක් පමණි.
ජාතික උත්සවයක දී ජාතික ධජය විකෘති කර භාවිතා කිරීම බරපතල වරදක් සේම රාජ්‍යයක් ජාතික උත්සවකය දී සුළු ජාතීන් නොතකා කටයුතු කරන බවට හැඟීමක් සුළු ජාතීන්ගේ මනසට කා වැද්දීම ද බරපතල වරදකි.
පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයේ දී සිංහල බෞද්ධ අන්තවාදය දඩමීමා කර ගත්තද පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එහි නායක කාරකාදීන් අන්තවාදය දඩමීමා කර නොගත්තේ ය. කොටි නැගිටීමේ කතා, ඩයස්පෝරා කතා හෝ මුස්ලිම් විරෝධී කතා පොහොට්ටු නායකයෝ වේදිකා වල කතා නොකළේය. ඒ වෙනුවට ඔවුන් කෙළේ සුළු ජාතීන් බහුතරයක් වෙසෙන ප්‍රදේශ වලට බර දමා වැඩ කිරීමත් ඔවුන්ට හිතවත් සුළු ජාතික පක්ෂ කිහිපයක්ම ප්‍රොක්සි ලෙස භාවිතා කරමින් එම ප්‍රදේශ වලින් ඡන්දය ඉල්ලීමට යෙදැවීමත් ය. ඒ උපක්‍රම දෙකින්ම ඔව්හු සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්හ.
වන්නි දිස්ත්‍රික්කයෙන් ටීඑන්ඒ 33% ක් ලබා ගන්නා විට පොහොට්ටුවද 20% ඉක්මවා ඡන්ද ලබා ගැනීමත්, යාපනයෙන් ශ්‍රීලනිපය යොදා දමිළ මන්ත්‍රීවරයෙක් පත් කර ගැනීමත්, ප්‍රොක්සි ලෙස භාවිතා කළ අතාවුල්ලාගේ පක්ෂය, කරුණා අම්මාන්ගේ පක්ෂය ආදියෙන් මන්ත්‍රීවරුන් පත් කර ගැනීමත් ඊට හොඳ උදාහරණයන් ය.
කිසිදු ආණ්ඩුවකට සිංහල බෞද්ධ ජනතාව පමණක් පිනවා ආණ්ඩු කරගෙන යා නොහැකිය. නමුත් පාර්ලිමේන්තු ඡන්දයේ දී කෙසේ හැසිරුන ද වත්මන් ආණ්ඩුව ආණ්ඩු කිරීමේ දී එය තේරුම් ගෙන තිබේදැයි සැක සහිත ය. මන්ද යත් ඊයේ පත් කළ ඇමැති ලැයිස්තුව දෙස බැලීමේ දී ය. කැබිනට් සහ රාජ්‍ය ඇමැති ලැයිස්තු දෙකටම ඉන්නේ එකම එක මුස්ලිම් ඇමැතිවරයෙකු පමණි. ඒ අලි සබ්‍රි ය. රාජ්‍ය ඇමැතිවරයෙකු ලෙස එකදු මුස්ලිම් අයෙක් නැත. දමිළ ජාතිකයන්ද ඉන්නේ තිදෙනෙක් පමණි. දේවානන්දා එකම කැබිනට් ඇමැතිවරයා සහ වියාලේන්ද්‍රන්, ජීවන් තොණ්ඩමන් යන රාජ්‍ය ඇමැති දෙදෙනා පමණි.
මෙවැනි පසුබිමක දී ඊයේ මහනුවර ජාතික උත්සවයේ දී සුළු ජාතීන් නියෝජනය සඳහන් නොවන විකෘති ජාතික කොඩියක් භාවිතා කිරීම කාගේ වුවමනාවට සිදුවුන ද එවැනි ක්‍රියා අනාගත විශාල ගැටළු රැසකට මග පාදන්නකි. රටක සුළුතර ජනයාට තමා නොසලකා හරින බව වැඩි වැඩියෙන් දැනීම වැඩි වැඩියෙන් අර්බුද ඇති කරවන්නකි.
---------------------------
by (2020-08-13 13:53:01)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි