මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ පුරවැසියෙක් ලියයි
(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.11, ප.ව.6.35) පසුගිය දිනවල මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සාම්පායෝ ඇතුළු ජේලර්වරුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම පිලිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් පොලිසිය පතුරු ගැසූ අයුරු සියලු මාධ්‍ය මගින් දැකගත හැකිවිය. එම ප්‍රවෘත්තිය දකින සෑමදෙනෙකුටම නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව ගන්නා වෑයම පිලිබඳව සතුටක් ඇතිවෙනු නොඅනුමාන ය. සාම්පායෝ ඇතුළු ජේලර්වරුන් වෙනුවෙන් පෙනීසිටී නීතිඥවරුන් කියා සිටියේ එම ක්‍රියාව නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංදර්ශණයක් බවය.
ඉහත ප්‍රතිවිරුද්ධ මතයන් දෙකෙන්ම බැහැර වී ස්වාධීන පුද්ගලයකු ලෙස මේ රටේ රාජ්‍ය යාන්ත්‍රනය නීතිය ක්‍රියාත්මක කරන ආකාරය දෙස විමසුම් නෙතින් බැලීම කාලෝචිත බව පෙනීයයි.
රජයේ සියලු නිලධාරීන්ම දූෂිත නොවේ. ඉතා නීතිගරුක ගෞරවනීය නිලධාරීන්ද ඇත. රාජ්‍ය ආයතන තුල දූෂිත නිලධාරීන්ගේ නීති විරෝධී ක්‍රියා පසුගිය දශක කිහිපය තුල සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පවතී. මේ අතර පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක නොකිරීම, සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම, රාජ්‍ය ආයතන වල නිලධාරීන් නීතිය අනුව කළ යුතු ක්‍රියා නොකර හැරීම, පාසල්වලට දරුවන් ඇතුළු කිරීමේ අක්‍රමිකතාවයන් ඇතුළු බොහෝ අක්‍රමිකතාවයන් වේ. කිසිදු ජනාධිපතිවරයකුට, අගමැතිවරයෙකුට හෝ ඇමතිවරයකුට සෑම රාජ්‍ය සේවකයකුම පසුපස යමින් එක් එක් අවස්ථාවලදී ඔවුන් කරන අකටයුතුකම් මොනවාද යන්න සොයාබැලිය නොහැකි බව අප පිළිගත යුතු ප්‍රායෝගික සත්‍යකි. එබැවින් රාජ්‍ය නිලධාරීන් නීතියට අනුව කටයුතු නොකිරීමෙදී ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමටත් ඉන් සහන ලබාගැනීමටත් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවට සුවිශේෂී අවස්ථාවක් ලබා දී ඇත.
රජයේ නිලධාරීන් නීතිය අනුව කටයුතු නොකරන ලද අවස්ථාවලදී ඉන් පීඩාවට පත් තැනැත්තන් ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් හෝ රිට් නඩුවක් පැවරීම තුලින් නීතියේ රැකවරණය අපේක්ෂාවෙන් අධිකරණය වෙත පැමිණීම සිදුකරනු ලබයි. නමුත් එවැනි නඩු වලදී දූෂිත රාජ්‍ය නිලධාරියා වෙනුවෙන් පෙනී සිටිනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එලෙස දූෂිත රාජ්‍ය නිලධාරීන් නියෝජනය කිරීමේ අවශ්‍යතාවයක් නීතිපතිවරයා වෙත පවරා නොමැත. එනමුදු ඕනෑම දූෂිත ක්‍රියාවක් සිදුකරන රාජ්‍ය නිලධාරීන්ව ආරක්‍ෂා කරමින් නීතිපතිවරයා ඔවුන් නියෝජනය කිරීම තුලින් අධිකරණය ඉදිරියේ ඔවුන්ට නොමිලේ නීතිමය ආරක්ෂාව සලසා ගැනීමට හැකි තත්වයක් නීතිපතිවරයා විසින්ම උදාකරදී ඇත. එපමණක්ද නොව එවැනි නඩු ඉදිරියට ගෙනයාම සදහා (Leave to Proceed) මුලින්ම අධිකරණයේ අවසරය ලබාගත යුතු අවස්ථාවේදී, දූෂිත නිලධාරීන්ට දිවුරුම් ප්‍රකාශ සහ විරෝධතා ගොනුකිරීමේ අවශ්‍යතාවයක් කාර්ය පටිපාටිය අනුව පැන නොනගින බැවින් එම අවස්ථාවෙන් අනිසි ප්‍රයෝජනය ගන්නා නීතිපති දෙපාර්තමේන්තුව ඊට විරුද්ධව වාචිකව කරුණු දැක්වීම සිදුකරන අතර බොහෝ අවස්ථාවලදී සත්‍ය කරුණු යට ගසමින් දූෂිත නිලධාරීන් බේරා ගැනීම සදහා අමු අමුවේ අසත්‍ය කරුණු ගෙනහැර දක්වන අයුරු අධිකරණයේදී සුලභව දැකගත හැකිය. නමුදු එම කරුණු ලිඛිතව සටහන් නොවන බැවින් ඊට එරෙහිව කටයුතු කිරීමේ අවස්ථාවක් අනෙක් පාර්ශවය වෙත නොලැබේ. බොහෝ අවස්ථාවලදී මෙම කරුණු මත පදනම්වන විනිසුරුවරුන් මූලික අයිතිවාසිකම් පෙත්සම් සහ රිට් පෙත්සම් නිෂ්ප්‍රභා කරනු ලබයි. රාජ්‍ය යාන්ත්‍රනය තුල දරුණුම අර්බුදය නිර්මාණය වන්නේ ඉන් පසුවය.
දූෂිත රාජ්‍ය සේවකයා ඉන්පසුව සිතනුයේ තමන්ට වැරදි කිරීමට මෙන්ම වැරදි කර අධිකරණයට බොරු කියා බේරී සිටීමටද හැකි බවයි. ඒ සඳහා නීතිපතිවරයා අධිකරණයේ තමන් වෙනුවෙන් පෙනී සිටින බැවින් කිසිදු බරපැනක් දැරීමටද අවශ්‍ය නොවන බවයි. මෙයින් උද්දාමයට පත්වන එම දූෂිත නිලධාරියා " කෝ උඹලා මට නඩු දාලා කෙරුවදැයි? " පෙත්සම්කරුවන්ගෙන් අසන ලද අවස්ථා බොහොමයක් පවතී. උදාහරණයක් ලෙස ගතහොත් යම් අපරාධයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන පොලිස් ස්ථානාධිපතිවරයකුට එරෙහිව එම නොකර හැරීමට සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරූ විට නීතිපතිවරයා එම පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිට ඔහුට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමටවත් අවශ්‍ය නොවන පරිදි එම නඩුව නිෂ්ප්‍රභා කරවීමට කටයුතු කිරීමෙන්, තමන් නීතියට යටත්විය යුතුය යන සංකල්පය එම නිලධාරියාගෙන් ඉවත්ව යන අතර තමන් නිවැරදි යැයි සිතීමටත්, තමා නීතියෙන් ජයගත් තැනැත්තෙකු බවට පාරම් බෑමටත් පෙළැඹේ. ඉන්පසුව එම දූෂිත රාජ්‍ය නිලධාරියා තමන්ගේ අනීතික ක්‍රියාවල් නීතිය බවට පත්කර ගනී. මේ තත්වය රටට අත්කර දී ඇත්තේ අන්කිසිවකු නොව නීතිපති දෙපාර්තමේන්තුව විසින්මය.
මීට දශක දෙකකට පමණ පෙර රජයේ නිලධාරියෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් හෝ රිට් නඩුවක් පැවරූ විට එම නිලධාරියා ඉන් බියට පත්වී අධිකරණයට යාමට පෙර තමන් සිදුකළ වරද නිවැරදි කර පෙත්සම්කරුවන්ගෙන් සමාව ගැනීම පවා සිදුකරන තත්වයක් පැවතුනු අතර ඉන්පසු එම ආයතනයේ අනෙක් නිලධාරීන්ද එම වරද කිරීමෙන් වැළකී සිටියහ. නමුදු ඉන් පසු කාලයේදී මෙම නඩු නිෂ්ප්‍රභා කරන තත්වය වර්ධනය වීමත් සමග දූෂිත රාජ්‍ය නිලධාරීන්ට තමන්ට තමන්ගේ වැරදි සඳහා වන්දි ගෙවීමට සහ විනය ක්‍රියාමාර්ග තුලින් දඬුවම් ලැබෙතැයි තිබූ බිය පහව ගොස් ඇත. නීතිය අනුව කටයුතු නොකළ විට ඊට වන්දි ගෙවීමට සිදුවන බවත්, ඒ මත විනය පරීක්ෂණ මගින් දඬුවම් ලැබීමට සිදුවේය යන සිතිවිල්ල දූෂිත රාජ්‍ය නිලධාරින් තුල පැවතිය හොත් පමණක් ඔවුන් විනයානුකූලව කටයුතු කිරීමට පෙළඹේ.
එබැවින් මූලික අයිතිවාසිකම් සහ රිට් නඩු වලදී වගඋත්තරකරුවන් වන දූෂිත නිලධාරීන් වැරදිකර ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ නම් ඒ සඳහා නීතිපතිවරයා පෙනී නොසිටිය යුතුය. නැතහොත් සිදුවන්නේ රටේ නීතිය කඩකිරීම සඳහා නීතිපතිවරයා ද දූෂිතයන්ට සහාය වීමකි.
අප දන්නා ඉතිහාසය තුල කිසිදු දිනක නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය සාකච්ඡා පවත්වා නොමැත. එසේ වුවද පසුගිය ජුලි 31 වන දින නීතිපති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලද අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් පොලිසියට දෝස්මුරයක් එල්ල කරන ලදී. එහිදී වරෙන්තුකරුවෙකු වූ බන්ධනාගාර අධිකාරි සාම්පායෝ අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් දැඩිව කිපුණු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා "නීතිපතිත් එකයි පොලිස්පතිත් එකයි, ඔවුන් නඩත්තු වෙන්නේ මහජන මුදලින්.... ඔවුන් වගකියන්න ඕන මේ රටේ ජනතාවට..." යනුවෙන් පවසන ලදී.
ජනතාව වන අප විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කිව යුතු දේ මරුවිකලෙන් මෙන් ඔවුන් අපට පැවසීම හාස්‍යට කරුණකි. පොලිස් නිලධාරීන් විසින් සාමාන්‍ය පුද්ගලයකුගේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ක්‍රියා නොකරන විට හෝ යම් තැනැත්තෙකුට බරපතල මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු කළ විට ඒ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් මගින් හෝ මහලු මඩමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති පොලිස් කොමිසම මගින් හෝ සහනයක් ලබාගැනීමට නොහැකි වූ විට ගත හැකි එකම පියවර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම වේ. එවැනි නඩුවක් අධිකරණයට ගෙන එන අවස්ථාව වන විට එම තැනැත්තාට ලක්‍ෂ ගණනක් නීතිඥ ගාස්තු ගෙවීමටද සිදුවේ. යුක්තිය ඉටුකර ගැනීම සදහා දැඩි වෙහෙසක් දරමින් ජනතාව අධිකරණයට පැමිණි විට එම ජනතාවගේ මූලික අයිතිවාසිකම විසි කිරීමට නීතිපතිවරයා අධිකරණයට කරුණු දක්වනු ලබයි. නීතිපති දෙපාර්තමේන්තුව එසේ කරනු ලබන්නේ ජනතාවට එරෙහිව දූෂිත නිලධාරියා රැකගැනීම සඳහාය. පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ එම ක්‍රියාව සිදුකිරීමේ දී දිලීප පීරිස් ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ට තමන් ජනතාවට වගකිව යුතු බව අමතක වී තිබිණ. ඉහල දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවය මත සිදුකරනු ලබන ක්‍රියාවලදී පමණක් ජනතාව වෙත පවතින වගකීම සිහියට නැගී ඇත. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මත්ද්‍රව්‍ය නාශක අංශයේ නඩුව ගෙනහැර දක්වමින් දිලීප පිරිස් විසින් ප්‍රකාශ කළේ "මාධ්‍ය ආවරණය නොමැති නම් මේ නඩුව දැනටමත් මරලා ඉවරයි" යනුවෙනි. රටේ සාමාන්‍ය ජනතාවට මෙන්ම නීතිපතිවරයාට ද දූෂිත පොලිස් නිළධාරීන්ගෙන් නීතිය ආරක්ෂා කර ගැනීම සඳහා මාධ්‍ය සහය අවශ්‍ය වී ඇත. ඒ අනුව ගත්කල රාජ්‍ය යාන්ත්‍රනයේ නැගී ගමන් කළ නීතිපතිවරයාට ද ජනතාවගේ බෝට්ටුවට ගොඩවැදීමට සිදුවී ඇත.
දූෂිත රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ජනතාව විසින් පවරන නඩු වලදී එම දූෂිතයන් ආරක්‍ෂා කිරීමට නීතිපතිවරයා ඉදිරිපත් වීම යනු නයි ඔඩොක්කුවේ දමාගෙන කිරි පෙවීමකි. එසේ නීතිපතිගේ ආරක්‍ෂාව ලබන නිලධාරීන්ට නීතිය ආරක්ෂා කිරීමේ වගකීම අමතක වී යයි. අතීතයේදී නීතිපතිට ආවරණය වී ජනතාවට කොකා පෙන්වූ දූෂිත පොලිස් නිලධාරීන් අද නීතිපතිවරයාටම කොකා පෙන්වීම ආරම්භ කර ඇත. ඔඩොක්කුවේ දමාගෙන කිරිපෙව් නයින් දැන් ජුන්ඩා හපාකන තත්වයට පත්ව ඇත. පසුගිය ජූලි 31 වෙනිදා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඇසුනේ ඒ විලාපයයි.
දිලීප පීරිස්ගේ මාධ්‍ය හමුව පිළිබඳ වීඩියෝවක් පහත දැක්වේ
---------------------------
by (2020-08-11 13:29:29)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි