(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.11, ප.ව.5.05) එජාපය ලැබූ අන්ත පරාජය සමගින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වහා වෙනස් විය යුතු බවට දැඩි ස්ථාවරයක් මේ වන විට නිර්මාණය වී තිබේ. පිට පිට අන්ත පරාජයන් ගණනාවකට ලක්වෙමින් යන එජාපයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් විය යුතු බව බහුතර පාක්ෂිකයන්ගේ අදහසය. එජාප අති බහුතරය සජිත් සමග හිට ගැනීමෙන්ම ඒ බව පසක් කර ගත යුතුය.
රනිල් කුමකට දක්ෂ යැයි කීවත් දේශපාලන බලය අත්පත් කරගැනීමේ සහ එය පවත්වාගෙන යෑමේ අදක්ෂයෙකු බව මේ වන විට නැවත නැවතත් තහවුරු කර ඇත. මේ තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂය නව නායකත්වයකට භාරදීම සඳහා වන විශාල ගෝරියක් මේ වන විටත් ආරම්භ වී ඇත.
මීට අමතරව කුජීත වූ එක්සත් ජාතික පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ලබා ගැනීම සම්බන්ධයෙන් තවත් අරගලයක් නිර්මාණය වී ඇත.
සුපුරුදු පරිදීම එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් එකිනෙකාගේ පිට කසා ගනිමින් ඩීල් දමන තැනකට එජාපයේ ඉතිරිව සිටින පරාජිත කණ්ඩායමේ සමාජිකයින් කිහිප දෙනෙකු පත්ව තිබීම දැකගත හැකිය.
පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණය කිරීමට ඊයේ (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේ විශේෂ රැස්වීමක් පැවැත්විණ. එහිදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස සාකච්ඡා වූ විට එම පුද්ගලයින් තමා විසින්ම තමාගේ නම යෝජනා කර ගැනීම අපුල සහගත විශේෂත්වයක් විය. අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, වජිර අබේවර්ධන, රවී කරුණානායක එලෙස තමන් විසින්ම තමන්ගේ නම් යෝජනා කර ගත් සිව් දෙනා ය. ඔවුන් සියලු දෙනා තම තමන්ගේ ආධාර කරුවන්ද සමග සිරිකොතට පැමිණ සිටීම ද විශේෂත්වයක් විය.
රවී කරුණානායකගේ නම යෝජනා වූ අවස්ථාවේදී පක්ෂයට අවශ්‍ය වන්නේ සිංහල බෞද්ධ නායකත්වයක් බව කිහිප දෙනෙකු පැවසීමත් සමඟ කතෝලිකයකු වන රවී කරුණානායක කිපුණු අතර 'එසේ නම් හාමුදුරු කෙනෙකු පක්ෂ නායකත්වයට පත් කරගන්න' යි පවසමින් කෑ ගැසුවේ ය.
මෙවර මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් අර්ජුන රණතුංග ගේ නම ද එජාප නායකත්වය සඳහා මෙහිදී සාකච්ඡාවට ලක්විය.
පක්ෂයේ නායකත්වය පිළිබඳ නිතර සාකච්ඡාවට ගැණුනු නවීන් දිසානායක සහ රුවන් විජයවර්ධන එම රැස්වීමේ සිටි නමුත් ඔවුන් දෙදෙනාම නායකත්වය පිළිබඳ අදහසක් පල කළේ නැත.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ අතර එයටද වජිර, අකිල, රවී, දයා අතරම තරඟයක් නිර්මාණය කර ගත්තේ ඔවුනොවුන් විසින්ම ය.
කෙසේ වෙතත් අකුණු ගසන විට යකඩ ගෙයින් එළියට විසි කරන්නා සේ නායකත්වය වෙනුවෙන් කරළියට පැමිණි අදාල පුද්ගලයන් හතර දෙනාම එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් මේ වන විටත් ප්‍රතික්ෂේප කර ඇත්තේ නන්නත්තාර කරමිනි. මුන්ට වඩා රනිල්ම හොඳයි කියන පිරිස්ද වෙති.
ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි බවට අදාල ලේඛන වසන් කර ඔහුට මෙරට හැඳුනුම්පත නිකුත් කිරීම, දේශපාලන බලය යොදා රාජපක්ෂලාගේ දූෂණ යට ගැසීමට ඩීල් දැමීම වැනි චෝදනා හේතුවෙන් වජිර අබේවර්ධන පාක්ෂිකයන්ගෙන් කොන් වී ඇති අතර එජාප පාරැන්නෙක් කීවේ 'වජිරට එජාප නායකත්වය ලැබුනොත් ඔය හාදයා පක්ෂය ගාණකට රාජපක්ෂලාටම විකුණනවා' කියා ය.
රවී කරුණානායක ප්‍රතික්ෂේප වීමට හේතුව මහබැංකු බැඳුම්කර සිද්ධිය පමණක්ම නොවේ. එජාපයට 'හොරු' ලේබල් වැදීමට කාලයක් තිස්සේම රවි කරුණානායක කළ කී දේවල් ඉවහල් වී ඇති නිසා ය.
දයා ගමගේ රාජපක්ෂලා සමඟ කොන්ත්‍රාත් කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයෙකු බැවින් ද ඔහුට කිසිදු ජාතික නායක්වයක් හෝ දේශපාලන දර්ශනයක් නැති නිසා ද ඔහු හරහා එජාපය ට සුජාත නායකත්වයක් ලබා ගත නොහැකි බව බහුතර පාක්ෂිකයන්ගේ අදහස ය.
අකිල විරාජ් රනිල් වික්‍රමසිංහගේ ගෝලයෙකු බවත් අකිල නායකත්වයට පත් කිරීම යනු රනිල් නැවත බලයේ හිඳුවීමක් වැනි යයි කියමින් අකිලගේ නමටද දැඩි විරෝධයක් එල්ල වී ඇත. අනෙක් අතට එජාපය අද ලබා ඇති පරාජයට ද අකිල මහ ලේකම් ලෙස සම්පූර්ණයෙන්ම රනිල් සේම වගකිව යුත්තෙකි. මහ ලේකම්ව හිඳගෙන පක්ෂය ගොඩ ගන්න බැරි මිනිහා නායකයා වී පක්ෂය ගොඩ ගන්නේ කෙසේදැ යි පාක්ෂිකයෝ විමසති.
ඊයේ අපූරු වැඩක් සිදුවිය. සිරිකොතේ ඊයේ පැවති රැස්වීම අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් අකිල විරාජ් මහ ලේකම්වරයා පැවසුවේ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ බවයි. අකිලගේ ප්‍රකාශයත් සමග එම ප්‍රවෘත්තිය ට මාධ්‍ය වල වැඩි ඉඩක් වෙන් වූ අතර වසර 25 කට පසු ඉබ්බෙකුගෙන් පිහාටුවක් ගත්තා වැනි මෙම පුවත කෙටි පණිවුඩ ඔස්සේ ද සමාජගත විය. ඒ සමඟ ම රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ සහචරයන් මාරාවේශ වී කලබලයට පත්වූහ.
රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවත්, සුදුසු කෙනෙකු නායකත්වය සඳහා යෝජනා කර ගන්නා ලෙස දැන්වූ නමුත් නිල වශයෙන් ඔහු ඉවත් වන බවක් හෝ ඉවත් වූ බවක් මෙතෙක් පවසා නැත. මේ තත්ත්වය තුළ පක්ෂ මහලේකම්වරයා සිදුකළ අදාළ ප්‍රකාශය රනිල් වික්‍රමසිංහගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.
වාර්තා වන අන්දමට රනිල් අකිලට කතා කොට දොස් පවරා ඇති අතර වහාම සිදුකළ ප්‍රකාශය නිවැරදි කරන ලෙස ද දන්වා තිබේ. ඒ අනුව අකිල විසින් තමා සිදු කළ ප්‍රකාශය වෙනස් කිරීමට උත්සාහ දැරුව ද ඒ වන විටත් එය මාධ්‍ය ඔස්සේ තටු ලබා ඉගිල ගොස් තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඉවත් වූ බව සමාජගත කරමිනි.
මේ වන විට එජාප නායකත්වය ලබාගැනීම සඳහා එක් එක් පුද්ගලයන් විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටී. ඒ අතරින් ඇතැමෙකු සල්ලි විසි කරමින් පුද්ගලයන් සහ කණ්ඩායම් බිලි බාගනිමින් කුජීත දේශපාලනයකට අවතීර්ණය වී ඇති අතර ඔවුන්ගේම ඇතැමුන් තමාට නායකත්වය ලබා ගැනීම සඳහා දායක වන්නේ නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඊට හිලව් ලෙස ලබා දීම සඳහා කටයුතු කරන බව පවසමින් අල්ලස් දීමේ වැඩ කටයුත්තක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.
මෙවර මැතිවරණයට පෙනී සිටීම වෙනුවෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගත් රණතුංග පවුලේ ලොකු අයියා වන අර්ජුන රණතුංග හීන් නූලෙන් එජාපයේ නායකත්වය ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ. ඒ සඳහා ඔහු එජාපයේ ජාතික ලැස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරූ ආශු මාරසිංහ සහ සමන් රත්නප්‍රිය යන දෙදෙනාගේ සහාය ලබා ගෙන ඇති බව පැවසේ.
අර්ජුන රණතුංග 1996 වසරේදී ලැබූ ක්‍රිකට් ජයග්‍රහණය මතු කරමින් රට වෙනුවෙන් ජාත්‍යන්තරය ජයගත හැකි එකම නායකයා තමන් බව පවසමින් නායකත්ව සටනට අවතීර්ණ වී ඇත. මෙවර මැතිවරණයේ දී පාක්ෂිකත්වය ලබා ගත් අර්ජුන එජාප නායකත්වයට සුදුසුනම් මෙවර සාමාජිකත්වය ලබා ගත් ඒ එස් පී ලියනගේත් එජාප නායකත්වය ඉල්ලාවි යැයි එජාප පාක්ෂිකයෝ කියති.
මේ අතර මහින්ද රාජපක්ෂගේ ජයග්රහණයෙන් පසු මහින්ද ඇමැතූ රනිල්ට එජාප නායකත්වය අත නොහරින ලෙස මහින්දගෙන් උපදෙස් ලැබී තිබේ. රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකත්වය අත හැර සජිත්ට දීමෙන් පසුවත් විපක්ෂ නායකයාට හිමි වරප්‍රසාද සියල්ල ලබා දීමට මහින්ද අගමැතිවරයා කටයුතු කර තිබිණ. ඒ අතර දෙසිය ගණනකගෙන් සමන්විත ආරක්ෂක බලඇණියක් ද විය. ඒ වරප්‍රසාද සියල්ල තවමත් රනිල්ට ලබා දී තිබේ. දුරකථන ඇමැතුමේ දී මහින්ද පවසා ඇත්තේ බිය නොවන ලෙසත් ඉදිරියට ද ඒ වරප්‍රසාද සියල්ලම ලබා දෙන බවත් අවශ්‍යනම් සිරිකොත පවත්වාගෙන යාමට මුදල් ද ලබා දීමට හැකි බවයි. රනිල් අගමැති ධූරය දැරූ අවධියේ දී කිසිදු තනතුරක් නොතිබූ ගෝඨාභයට හාර සිය ගණනකින් යුතු එස්ටීඑෆ් ආරක්ෂාවක් ලබා දීමට ක්‍රියා කෙළේය. අද ගෝඨාබය ජනාධිපති වුව ඊට කෘතගුණ සලකනු නිසැක ය.
කෙසේ වෙතත් මේ වන විට එජාප නායකත්වය තේරීම සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තේරීම ආඬි හත්දෙනාගේ කැඳ හැලියක් වී ඇති අතර නායක කාරකාදීන්ගේ මෙම ගෝනි සෙල්ලමේ අවසාන ප්‍රතිඵලය වන්නේ ඉතිරිව සිටින එජාප පාක්ෂිකයන් කිහිප දෙනාත් පක්ෂය අතැර වෙනත් කණ්ඩායම් සමඟ එක් වීම පමණක් බව පාක්ෂිකයෝ පෙන්වා දෙති.
---------------------------
by (2020-08-11 11:42:31)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි