(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.10, ප.ව.1.45) හිතවත් රනිල් වික්‍රමසිංහ වෙත,
පසුගිය බදාදා පැවැති මහ මැතිවරණයේදි, එක්සත් ජාතික පක්ෂයට සිදු වු “සමාජ-දේශපාලන විනාශය” ගැන ඔබ ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලීමත්, එම ඉල්ලීමට හේතු වු කරුණුත් මෙම ලිපියෙහි දැක්වීමට බලාපොරොත්තු වෙමි.
1977 වසරේ ඔබ දේශපාලනයට එන විට, එදා ළමා වියේ සිටි අප ඔබව දුටුවේ දේශපාලනයට පිවිසි නලුවෙකු ලෙසයි. ජාතික තරුණ සේවා සභාව ආරම්භ කරමින් රටේ තරුණ තරුණියන්ගේ දේශපාලන මොඩලය බවට පත්වීමට ඔබට හැකි විය. එදා, වයස අවුරුදු 28 ක් වු අපුරු රූ සපුවක් තිබු රනිල් නම් වු තරුණයා දේශපාලනයට ඇවිත් කරපු හපං කම් දුටු අපේ අම්මලා තාත්තලා කීවේ රටට අනාගත නායකයෙක් බිහි වු බවයි. එතැන් සිට, වසර 43 ක් පමණ දිගු ගමනක් ඔබ ඇවිත් ඇත. අද මෙතැන සිට, ආපසු හැරි ඒ දෙස බලන විට, ඔබට ලැබුන අවස්ථාවන්හි දී බොහෝ නිර්මාණාත්මක නව ආරම්භයන් රටට ලබා දී ඇත.
අට ලෝ දහමට මුහුණ දෙමින්, ලාංකික දේශපාලනයට ආවේනික විවිධ අපහාස සහ පැසසුම් එක සේ දරා ගැනීමත්, පැසුනු දේශපාලකයෙකුගේ ඉවසීමත් ඔබ ඉතා මැනවින් ප්‍රගුන කර ඇත. ඔබගේ අසීමාන්තික නිහඬ බව ඇතැමෙක් තේරුම් අරන් තිබෙන්නේ මහා දැනුමක් තිබෙන ප්‍රාඥයෙකුගේ ලක්ෂණයක් සහ චර්යාවක් හැටියටයි. නමුත්, අසීමාන්තික නිහඬ බව දේශපාලනයේදි “ලිස්සායාමක්” ලෙස මම දකිමි. එය අප වැනි රටක මහා විනාශකාරි දේශපාලන මුග්ධ ක්‍රියාවකි.
කෙසේ වෙතත්, ඔබ ලැබු දේශපාලන අත්දැකීමේ, බුද්ධියේ, සහ ප්‍රඥාවේ ප්‍රතිථල රටට අවශ්‍යම මොහොතකම, එය රටට නොලැබී ගියේය. එසේත් නොමැති නම්, ඔබගේ දේශපාලන පරිචය, දේශපාලනයේ වසර 43 ක් එල්ලී සිටිම නිසා ලැබුනු හිස් අත්දැකීමක් පමණක් දැයි කියා සිතේ!
දිගු කාලයක් විපක්ෂ නායකයාව සිට අලුත් දැක්මක් සමග රටට ද, ඔබේ පක්ෂයට ද නායකත්වය දීමට ඔබට අවස්ථාවක් ලැබුනේ ඉකුත් 2015 වසරේදියි. එය දේශපාලකයෙකුට හෝ පක්ෂයකට ලැබෙන අහඹු අවස්ථාවකි. 2005-2015 කාලය තුල මේ රටට සිදු වු විශාලතම සමාජ-දේශපාලන-ආර්ථික විනාශය සිදුව තිබිණ. ඒ විනාශයෙන් රට මුදා ගැනීමට ඔබ යහපාලන ආණ්ඩු ක්‍රමය යෝජනා කිරිම වීශිෂ්ඨ දැක්මකි. එවැනි චින්තනයක් ගොඩ නැගිය හැකි, රටට සිටි හොඳම නායකයාද ඔබය. එය පිලිගනිමින් රටේ ජනතාව ඔබ නායකත්වය දුන් දේශපාලන ව්‍යාපෘතියට එක හෙලා මනාපය ප්‍රකාශ කළහ.
ඒ වන විට සිදුව තිබූ බරපතලම හානිය වුයේ රාජපක්ෂලා රටට හඳුන්වා දුන් “අන්ත අශීලාචාර පාදඩ සමාජ-දේශපාලන ක්‍රමයයි”. බලයේ රැඳී සිටීමට රාජපක්ෂලා නොකළ පාදඩකමක් නැත. රාජපක්ෂලා මංකොල්ල කෑ ජාතික ධනය නැවත ඉපයිය හැකි වුවත්, ඔවුන් මේ රටට කළ සමාජ-දේශපාලන හානිය නැවත පිරිමැසිය නොහැකි බව ඔබ තේරුම්ගෙන සිටියා දැයි නොදනිමි. ඒ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් ඔබ සංවේදි වුවාද? ඒ සඳහා ඔබට කොතරම් වුවමනාවක් තිබුනා දැයි නොදනිමි. එදා, රාජපක්ෂ පාලනය අවසන් කිරීම වෙනුවෙන් යහපාලනය හඳුන්වා දෙමින් ඊට නායකත්වය දුන්නේ ඔබ සහ ඔබගේ පක්ෂයයි. එහි වගකීමේ වැඩි බර ඔබ නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය දැරිය යුතුයි යන මතයේ මම සිටිමි.
වසර 43 ක දේශපාලන ඉතිහාසයක් ඇති, ඔබට පක්ෂ-විපක්ෂ දේශපාලන හිතවතුන් බොහෝ සිටිය හැකිය. දේශපාලනයේදි, සදාකාලික මිතුරන් හෝ සතුරන් නැතැයි කියමනක් තිබේ. එහි අදහස, මා තේරුම්ගත් පරිදි, දේශපාලනයේදි මුල් කැප කිරීම කළ යුත්තේ මිතුරා හෝ සතුරා වෙනුවෙන් නොව, ඔබට ඡන්දය දෙන ජනතාව වෙනුවෙන් සහ ඔබ කැප වූ දේශපාලන කාර්යභාරය වෙනුවෙනි. ඔබගේ දේශපාලන මිතුරන් හෝ හතුරන් කවුදැයි රටේ ජනතාව නොදනිති. නමුත්, යහපාලන ආණ්ඩුවට හේතු වුයේ ඔබ නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය රටට හෙළි කළ හොරු රැල සහ ඔවුන්ගේ මහා පරිමාණ සොරකම්ය. එදා, රාජපක්ෂලා විසින් ඇති කර තිබෙන විනාශකාරි දේශපාලනය රටට හෙලි කරමින්, එයට විසඳුමක් ලෙස යහපාලනය රටට හඳුන්වා දුන්නේ ඔබ ප්රමුඛ විපක්ෂයයි. යහපාලනය දේශපාලන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම රාජපක්ෂලාගේ දේශපාලනය අවසන් කිරීම සඳහා සාර්ථක සංකල්පයක් විය.
යහපාලන සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට මෛත්‍රිපාල සිරිසේනව ජනාධිපති කරන ලෙස ජනතාවට කළ ඉල්ලීම රටේ බහුතරය පිලිගත්හ. ඒ සඳහා පක්ෂ 8 ක් සහ වෘත්තීය සිවිල් සංවිධාන 48 ක් ද එක් වූහ. නමුත් මුල් මාස දෙක තුන ගතවන්නටත් පෙර ඔබ ඇතුලු ඔබගේ මැති ඇමති රැල කළ බලවත්ම පාපය නම්, තමන් ජන වරම ලැබුනේ කාගෙන්ද කුමකට දැයි අමතක කිරිමයි. වැඩ කරන ජනතාවට රුපියල් දස දහසක් වැටුප් වැඩි කෙළේ වී නමුත් රාජපක්ෂලාවත් නොකළ තරම් රු. කෝටි 3-4 ක් වටිනා ඉතා සුපිරි වාහන මහජන මුදලින් මැති ඇමැතිලාට ගෙන්වා ගැනීම දුටු යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් ජනතාව කරකවා අතහැරියාක් මෙන් විය. බැඳුම්කර වංචාවත් ඊට මුල් වූ ඔබගේ මිත්‍රයා බේරාගැනීමට ලැජ්ජා විරහිතව ඔබගේ ඉදිරිපත් වීමත් දුටු යහපාලනය පැතූ ජනතාව අන්ද මන්ද විය. මේ කුඩා උදාහරණ දෙකක් පමණි. අහම්බෙන් ජනාධිපති වූ සිරිසේන ද ජන වරම ලැබුනේ කාගෙන්ද කුමකට දැයි අමතක කරමින් සිය දේශපාලන මුග්ධ බව ලෝකයටම ප්‍රදර්ශනය කරමින්, උත්තරිතර ජනාධිපති ධූරය කෙළෙසා දැමිය. “සොරුන්ට” දඬුවම් දෙමින් රටේ යහපාලනය ස්ථාපිත කරන බව රටට පැවසු ඔබගේ ආණ්ඩුව යහපාලනයේ පළමු වන නිර්නායකය වු “නීතියේ ආධිපත්‍ය” ඉතා සාහසික ලෙස බිඳ දැමුවේය. වීරවංශගේ පාස්පෝට් සිද්ධිය සහ ශිරන්තිගෙන් ප්‍රශ්න කළ ආකාරය පමණක් සුළු උදාහරණ පමණි.
අප රටේ සමාජ-ආර්ථික පද්ධතිය ගැන ඔබට ගැඹුරු අවබෝධයක් ඇති බව මම විශ්වාස කරමි. දෛනික ජීවන වියදම යම් ප්‍රමාණයකට පාලනය කිරිමට යහපාලන ආණ්ඩුවට හැකි විය. ඒත්, එදිනෙදා මනුෂ්‍ය පැවැත්මට බලපාන මුලික අවශ්‍යතා ගැන යහපාලන ආණ්ඩුවට දැක්මක් තිබුනේ නැත. රට මුහුණ දී තිබු මූලික අවශ්‍යතා ආශ්‍රීත ගැටලු බොහෝමයක් නොසලකා හැරියේය. මහා මුදල් සම්භාරයක් නැතිව විසඳිය හැකිව තිබු ප්‍රශ්න විසඳන යාන්ත්‍රණයක් නොවිය. “රජය සහ එහි ස්වභාවය” ගැන ඔබට දැනුමක් තිබුනේ නැත. තිබුනා නම් මහා මාර්ගත් උසස් අධ්‍යාපනයත් එක් අමාත්‍යාංශයකට එක් කරන්නේ නැත. මහ බැංකුවත් වානිජ බැංකුත් නැති මුදල් ඇමැතිවරයෙක් බිහි කරන්නේ නැත. මුදල් ඇමැති විදේශ ඇමති වන විට මුදල් අමාත්‍යාංශයේ තිබූ ලොතරැයි මණ්ඩලය අරගෙන යන්න ඉඩ දෙන්නේ නැත. මේවා ලෝක විහිලු විය. අනෙක් අතට රාජ්‍ය සේවාවන් ඉතා දුර්වල විය. ඒවා රාජපක්ෂකරණයෙන් මුදා ගත්තේ නැත. යහපාලන සංකල්පය රාජ්‍ය යාන්ත්රණයට ප්‍රායෝගිකව එක් කළේ නැත. ඊට වැඩ පිළිවෙලක් තිබුනේ ද නැත. රාජ්‍ය සේවය ඩිජිටල් කරනවා යැයි කියා අමාත්‍යාංශයක් පිහිටැවූ ව ද මා දන්නා ඇමරිකානු ආයෝජකයෙකුට අනුරාධපුර කච්චේරියේ තිබූ ලිපි ගොනුවක් කොළඹට ගෙන්වා ගැනීමට මාස ගණනක් ගතවීමෙන් පසු ඔහුටම ඇමරිකාවේ සිට යලි ලංකාවට පැමිණීමට සිදුවිය. ඒ යහපාලන රාජ්‍ය සේවයේ තරම ගැන සුළු උදාහරහණයක් පමණි.
එදිනෙදා ජීවන ගැටලු විසඳීමට අවධානය යොමු නොකර, එදිනෙදා මනුෂ්‍ය පැවැත්මට අදාල නොවන දේ සඳහා කාලය සහ අවධානය යොමු කරමින් රාජ්‍ය කාලය ගතවිය. ආණඩුවේ අභ්‍යන්තර ගැටලු සහ අර්බුද, කිසිදු ප්‍රයෝජනයක් නොගත් විශාල මැති-ඇමැති මණ්ඩලය, ජනාධිපති ධූරය අවභාවිතය වැනි, විපක්ෂයේ උගුල් වල වැටිම, වැනි දේ වෙනුවෙන් කාලය ගත විය. ඔබේ පක්ෂයට ආවේනික අභ්‍යන්තර ගැටලු පවා විසඳා ගැනීමට එදා ඔබේ නායකත්වයට නොහැකි විය. ඒ සියල්ල හමුවේ යහපාලන ආණ්ඩුව දිනෙන් දින ජනතාවගේ පිළිකුලට ලක්විය. රටේ ඇති විය හැකි “අනාගත” දේශපාලන වෙනස ගැන ඉවක් ඔබට නොතිබිණි. නගර සභා චන්දයේ දී මහරගම ජනතාව චන්දය දුන් ආකාරයෙන් ඔබලා ගැන පිළිකුලේ තරම හෙළි වූ නමුත් ඔබට එය කියවා ගැනීමට නොහැකි විය.
එදා යහපාලනය නොදැකපු අනාගතය, අද එළැඹ ඇත. යහපාලන ආණ්ඩුව තිබුන තැනක්වත් අද නැත. අළු මතින් නැගිටින්නට වුව අළු බිඳක් හෝ තිබිය යුතුය. එයවත් නැත. එක්සත් ජාතික පක්ෂයේ නායකයා වු ඔබ එහි ඉතිහාසය හොඳින් දනියි. එක්සත් ජාතික පක්ෂය ගොඩ නැගෙන්නේ 50 දශකයේ සිට පැවැති පිටිසර ගැමි ජනතාවගේ කර මතිනි. එහි අරමුණ වුයේ මානව සංවර්ධනයයි. එම අරමුණට ද හේතුවුයේ ද සුද්දන්ගේ පාලනයේ තිබූ රටකට ස්වෛරී බවක් සහ ආවේනික නිදහසක් අවශ්‍ය බව ඩි.එස්.සේනානායක මහතා තේරුම් ගැනීමයි. එතුමා ගමින් ගමට ඇවිද යමින් ජනතාව එක් රැස් කරමින් එක්සත් ජාතික පක්ෂයේ පදනම ගොඩ නැගීය. එතුමා මුල් තැන දුන්නේ දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරිමටයි. ඔබට පෙර සිටි එක්සත් ජාතික පක්ෂයේ නායකයින් මේ යථාර්ථය යම් ප්‍රමාණයකට තේරුම් ගෙන සිටියහ. ඔබ ඇතුලු ඔබගේ පක්ෂයේ මැති ඇමති රැල පක්ෂයේ දැක්ම සහ එය පවතින්නේ කුමක් නිසා දැයි අවබෝධ කරගෙන සිටියේ නැත. තිබුනා නම් කෘෂිකර්ම ඇමැතිකම පල්හොරෙකුට බාර දී ඔහුට පොහොර වලින් කෝටි ගානක් ගසා කෑම සඳහාම චන්දයක් කටේ තියාගෙන පොහොර හිඟයක් හදා ගන්නේ නැත. කෘෂිකර්ම අමාත්‍යාංශයට කියා ගොඩනැගිල්ලක් ගෙන නිකම් වසා දමා මහජන මුදලින් නිළියක් කෝටිපතිනියක් කරන්නේ නැත.
වසර 43 ප්‍රායෝගික දේශපාලනයේ එල්ලී සිටියද ඔබ තුල කිසිදු නායකත්වයක් තිබුනේ නැත. කණ්ඩායම් හැඟීමක් තිබුනේ නැත, ප්‍රායෝගික ගැටලු විසඳීමට හැකියාවක් තිබුනේ නැත. ඔබ එහි රැඳී සිටියේ පාක්ෂිකයින් ඔබව ඔසවාගෙන සිටි නිසා නොව ගජ මිතුරු කිහිප දෙනෙකු ඔබ රැක ගත් නිසා ය. ඒ වග අද ඔප්පු වී තිබේ. සියයට එකක් දෙකක් හැර සියළු පාක්ෂිකයෝ ඔබ හැර ගොසිනි. නායක කණ්ඩායමත් පක්ෂයත් ආරක්ෂා කරගැනීමට ඔබ කිසිවක් කළේ නැත. එය ඉබේට සිදුවනු ඇතැයි ඔබ අනුමාන කළා විය හැකිය. ඔබගේ චර්යාවෙන් රටට ප්‍රකට වුයේ, අසිමාන්තික අසංවේදි බව, නොසලකා හැරිම සහ නොහැකියාවයි. ඔබේ නායකත්වයේ පාලනය කිරිමේ, වෙනස් කිරීමේ සහ නිර්මාණය කිරිමේ හැකියාවන් නොවිය.
ඔබට ඔබගේ පක්ෂයේ සිටි මංත්‍රී කණ්ඩායමට නායකත්වය දීමට පවා නොහැකි විය. සිරිසේන වැනි දේශපාලන අඳබාලයෙකු පාලනය කරගැනීමට තරම්වත් හැකියාවක් ඔබට නොතිබිණි.
ඔබගේ දේශපාලන මිතුරන් සියල්ලම දූෂණ චෝදනා වලින් නිදහස් කර, අවශ්‍ය නම් රට තුල යහපාලනය ස්ථාපිත කිරීමට හැකියාව තිබිණි. නමුත් ඔබට එතරම් දැනුමක් නොතිබිණි. 2015 පසුව රටට අවශ්‍ය වූයේ ශක්තිමත් බුද්ධිමත් ජාතික නායකත්වයකි. දේශපාලන බලය අවස්ථාවක් කරගනිමින් එයින් “ජාතික නායකත්වයක්” ගොඩ නැගීමේ හැකියාව ඔබට තිබිණි. එවන් දුරක් දැකීමට තරම් කල්පනාවක් ඔබට තිබුනේ නැත. ඔබ සාම්ප්‍රදායික දේශපාලකයෙකුගේ හැසිරීමෙන් ඔබ්බට නොගියේය.
රට වැසියෙකු වූ මම ඔබව පුද්ගලිකව නොහඳුනමි, නමුත් රට වැසියෙකු ලෙස මා ඔබගේ ප්‍රායෝගික දේශපාලන භාවිතය දකිමින් තේරුම් ගත් දේ නම්, ඔබ තුලින් දෘෂ්‍යමාන වූයේ ඔබ සියල්ලම දන්නේ යැයි සිතමින් ඔබ විසින්ම ඔබව අධිතක්සේරු කිරීමයි. ඔබ කිසිවෙකුට සවන් දුන් බවක් නොපෙනේ. තවත් අවස්ථාවක ඔබ හැසිරුනේ “දේශපාලන-නිකමෙක්” ලෙසය. බොහෝ අවස්ථාවල, ඔබ රටට පෙන්වූයේ ඉතා අසංවේදී බවකි. විවිධ අවස්ථාවල රටේ ඇති වූ ගැටලු හමුවේ ඔබ දැක් වු අදහස් ඉතාම වගකීමෙන් තොර විය. රටේ සිදුවෙමින් තිබූ සමාජ-දේශපාලන-ආර්ථික පරිහානිය දකිමින්, එය පාලනය කිරීමට ඔබ නායකත්වය දුන්නේ නැත.
පාස්කු ඉරිදා ත්‍රස්තවාදි ප්‍රහාරය පිලිබඳ ඇති වු මතභේදකාරි තත්වය තුල යහපාලන ආණ්ඩුවේ නොහැකියාව රටට ප්‍රදර්ශනය විය. එය රටට ඉතා ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය වූ මොහොතක් විය. යහපාලන ආණ්ඩුව, ඒ වගකීම ගත්තේ නැත. ඒ තුල ජාතිවාදය ඉස්මතු කිරීමට ඉඩ හරිමින්, යහපාලන ආණ්ඩුව වෙත තිබූ විශ්වාසනීයත්වය විනාශ කර ගත්තේය. අගමැති වූ තමා ආරක්ෂක කවුන්සිල රැස්වීමට කැඳවූයේ නැතැයි කියමින් ඔබ කැඳයෙකුගේ තත්ත්වයට පත්විය. සංවේදී ආරක්ෂක තොරතුරු නොලැබෙන ගොබ්බ අගමැතිවරයෙකු බවට පත්විය. ඇත්තටම එවැනි අගමැතිවරයෙක් රටකට වැඩක් නැත. මහ බැංකු බැඳුම්කර වංචාව නිසා ඇති වු තත්ත්වය නොසලකා හැරියේ ය. එයට සාධනීයව මුහුණ දෙමින් එම අර්බුදකාරීත්වය වර්ධනය වීම සමනය නොකළේ ය. අඩුම ගණනේ මුල් වටයේ දීම මහ බැංකු අධිපති ගජ මිතුරට ඉල්ලා අස්වන්න යැයි උපදෙස් දී එම බැඳුම්කර අලෙවිය අවලංගු කර නව බැඳුම්කර අලෙවියක් සිදුකෙළේ නම් මේ තරම් අසූචි කන්දක් තමාටත් තම පක්ෂයටත් වදින්නේ නැත. ඉහත අවස්ථා දෙකේදීම පැහැදිලි වූයේ ඔබගේ සහ ඔබගේ ආණ්ඩුවේ නිවට සහ වගකීම් විරහිත බවයි. එහි අවසානය වුයේ, රටේ යහපාලනය ගෙන ආ ජනතාව දැඩි මුලාවකට සහ අපේක්ෂාභංගත්වයකට පත්වීම සහ ඔබ අද අත් විඳින මැතිවරණ ප්‍රතිපලය යි.
අපේ දේශපාලන සංස්කෘතියේ අපට අනාගතය දකින්නට හෝ සැලසුම් කරන්නට උගන්වා නැත. එම නිසාම, අනාගතය නිර්නායකයක් ලෙස අපේ සංවර්ධන ආයෝජන ව්‍යාපෘතිවලට යොදා ගැනේනනේ නැත. යහපාලන ලේබලය අලවා ආණ්ඩුවක් හැදු පමණින්ම රටේ සියලුම ප්‍රශ්න විසඳිය හැකි බවත්, ජනතාව එයින් සැහීමකට පත් වේ ය වැනි මවා ගැනීම් ඔබගේ ආණ්ඩුවේ දක්නට ලැබිණි. ඔබගේ මැති ඇමති රැල ඔවුන්ගේ ගම්වල තමන්ට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් කිසිදෙයක් කළේ නැත.
යහපාලනය ආණ්ඩුව බිහිවිමත් සමගම, රාජපක්ෂලා කානිවල් එකක් කර තිබු රට එක් වරම නතර විය. එයට හේතුව ජනතාවට පැහැදිලි කළේ නැත. යහපාලන ආණ්ඩුව රටේ ජනතාවට සමිප වුයේ නැත. යහපාලනය යනු සාමූහික ප්රයත්නයක් වන අතර එහි මුලික අංගයක් වු “සහභාගිත්වය” යන නිර්නායකය ඔබගේ ආණ්ඩු කෙරුවාව තුල තිබුනේ නැත. ඔබ නිහඬ වෙමින්, නායකත්වය දිය යුතු තැන්වල දි, “ලිස්සා” යන චර්යාවට පුරුදු විය. ප්රජාතන්ත්රවාදය ගැන නිතරම කථා කළ ඔබ, යහපාලන නිර්නායක වලට අනුව “වගවිය යුතුව” තිබුනේ ජනතාවටයි. ඔබ හෝ ඔබේ මැති ඇමැති රැල එවැනි ප්රතිපත්තියක පිහිටියේ නැත. ඔවුන් කළේ ජනතාවගේ කළකිරිම වැඩි කරමින් අර්ථ විරහිත දේ කථා කරමින් පාර්ලිමෙන්තුවේ දී ද, විවිධ රූපාවාහිනී චැනල් වල ද කාලය කා දැමීමයි. ඔබගේ රජය පත්කළ කිසිදු අමාත්‍යංශයකින් රටේ කිසිදු ප්‍රශ්නයක් විසඳුවේ නැත. මෙරට දේශපාලන ඉතිහාසයේ ආණ්ඩු සහ රාජ්‍ය “කාලය” ඉතාම සාහසිකව විනාශ කළ එකම රජය යහපාලන රජයයි.
පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ආණ්ඩුවට එරෙහිව පළමු විරෝධය එල්ල වූයේ ජනමාධ්‍යවේදීන් වෙතිනි. ඒ වෙනුවෙන් ඔව්හු විශාල වන්දියක් ගෙවූහ. එහි විශාලතම වන්දිය නම් සන්ඩේ ලීඩර් කර්තෘවරයාගේ ඝාතනයයි. දමිළ මාධ්‍යවේදීන් ඝාතනය, පෝද්දල ජයන්තගේ කකුල් කැඩීම, කීත් නොයාර්ට කළ වධ හිංසාව, ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු තවත් දමිළ ජනමාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම, ලංකා ඊ නිව්ස්, උදයන්, ඇතුළු විකල්ප මාධ්‍ය ආයතන ගිනි තැබීම ඒ අතර මුල් තැන ගත්තේය. යහපාලන ආණ්ඩුව බිහි කිරීමට ඒ මාධ්‍යවේදීන්ට සිදුකළ විපත ඔබ ඇතුළු ඔබගේ මැති ඇමැති රැල වේදිකාවක් වේදිකාවක් ගානේ වික්කේ ය. නමුත් බලයට ආ පසු ඔවුන් වෙනුවෙන් ඔබ සහ ඔබගේ ඇමැති රැල කළ කිසි දෙයක් නැත. යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට මහත් වෙහෙසක් ගත් ලංකා ඊ නිව්ස් ඔබගේ ආණ්ඩුව විසින් තහනම් කිරීමෙන්, ටීඑන්එල් විකාශනාගාර සීල් තැබීමෙන් ඔබලාගේ ගුණමකු කම යහපාලනය ගෙන ආ ජනතාවට පැහැදිලි විය. ඔබගේ ගුණමකුකම එළියට ආවේ සන්ඩේ ලීඩර් කර්තෘ වරයාගේ දියණිය අහිම්සාට ඔබ දැක්වූ ප්රතිචාරයෙනි.
රාජපක්ෂලාගේ තිරශ්චීන පහර කෑම් වලින් කකුල් කඩා ගත්, සෞඛ්‍යයට බරපතල හානි සිදුකර ගත් මාධ්‍යවේදීන්ට ද, ගිනි තැබූ මාධ්‍ය ආයතන වලට ද වසර 5 ක් පුරා ඔබ සහ ඇමැති රැල සත පහක වන්දියක් නොගෙවූ නමුත් ඔබ සහ මැති ඇමැති රැල කෝටි 3-4 සුපිරි වාහන ගත්තේ ය. වැටුප් වැඩි කර ගත්තේ ය. මේවා දුටු යහපාලනය ගෙන ආ ජනතාවට ඔබව තිත්ත වීම අරුමයක් නොවේ.
යහපාලන ආණ්ඩුව පිහිටුවීමට මුල් වූ සිරිසේන ජනාධිපතිවරයා ලෙස පත් කළ ජනාධිපතිවරණයේ දී ඇත්තටම උතුරේ දකුණේ ජනතාවට ඔබ දුන්නේ එක් පොරොන්දුවක් පමණි. ඒ නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන, සුළුතර ජන කණ්ඩායම් වලට සම අයිතිවාසිකම් ලැබෙන, පවතින ජාගර ඡන්ද ක්‍රමය වෙනස් කෙරෙන නව ව්‍යවස්ථාවක් දින 100 ක් තුල ගෙන එමින් වෙනස් රටක් හදන බවයි. ස්වාධීන කොමිෂන් සභා දෙවැනි තැන ගත් පොරොන්දුවකි. රට වෙනස් රටක් කළ හැකිව තිබුනේ නව ව්‍යවස්ථාවක් මගිනි. වසර හතර හමාරක්ම බලයේ සිටියද ඔබ නොකළේ ඒ දුන් එකම පොරොන්දුව ඉටු කිරීමයි. එයින් අනාථ වූයේ ඔබව විශ්වාස කර ඔබට සහාය දුන් සුළු ජාතික පක්ෂයි. අවසානයේ ඒ සියලු දෙනා ඔබ හැර ගියේ ඒ නිසා ය.
ව්‍යවස්ථාවක් ගෙන ඒම වැනි ප්‍රධාන දෙයක් කිරීම ආණ්ඩුවක් බලයට පත් වූ මුල් අවුරුද්ද තුල කළ යුතු බව නොදන්නා තරම් ඔබ දේශපාලන ආධුනිකයෙකු නොවේ. නමුත් ඔබ ව්‍යවස්ථා කෙටුම්පතක් රැගෙන රට පුරා යමින් කාලය සහ මුදල් කා දමමින් කල්මැරුවේ ය. ඒ ඔබට එවැනි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අනවශ්‍ය නිසා රට වැසියා රැවටීමට මිස අන් කිසිවකට නොවේ. රටට මහත් විපතක් වූ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට රට සූදානම් වූ අවස්ථා දෙකක දීම ඔබ ඊට හරස් වූ නින්දිත ජනතාද්‍රෝහී දේශපාලකයෙකු ලෙස ඉතිහාස ගත වනු ඇත. ප්‍රථම අවස්ථාව නම් වසරකට ආසන්න කාලයක් තිස්සේ ඔබත් සමග සාකච්ඡා කර චන්ද්‍රිකා ජනාධිපතිවරිය විසින් ගෙන ආ නව ව්‍යවස්ථාවට අවසානයේ දී ඔබ විරුද්ධ වී පාර්ලිමේන්තුවේ දී එය පුළුස්සා දැමීමයි. ඒකාධිපති විධායකය විසින්ම ඒකාධිපති විධායකය අහෝසි කිරීමට යෝජනා වූ එකම ඓතිහාසික අවස්ථාව එයයි. දෙවැන්න ජනතාව විසින් 2015 දී ඒ සඳහාම දුන් ජනවරමයි. ඒ අවස්ථා දෙකම නින්දිත ලෙස ඔබ විසින් පාවා දීම ගැන ඉතිහාසය කිසිදු දිනෙක ඔබට සමාව නොදෙනු ඇත.
අපේ රටට ආවේනික ගෝත්‍රික ගති ලක්ෂණ ඇති රට වැසියන්ට දිගු කාලීන දේශපාලන දැක්මක් නැත. සර්වජන ඡන්ද බලය ලැබිමම අපේ රටේ ප්රජාතන්ත්රවාදය ගොඩ නැගීමට ප්‍රමාණවත් නොවිය. ඔවුන්ට ඇත්තේ ඉතා කෙටි කාලින අවශ්‍යතා මුල් කරගත් අරමුණුය. ඔවුන් සිය ඡන්දය තේරුම් අරන් තිබන්නේ “ගනු-දෙනුවක්” ලෙසය. ඒ මත ඇත්තේ පාලන තන්ත්රය මත “යැපීමයි” ඔවුන් පහසුවෙන් ආවේගශීලි රැවටිකමට ලක් කළ හැකිය. රට-ජාතිය-ආගම වැනි ගතානුගතික සමාජ සංස්කෘතික හැඟීම් ඇවිස්සිමෙන් ඔවුන්ව කුපිත කළ හැකිය. ප්‍රායෝගික දේශපාලනයට වඩා ප්‍රදර්ශනාත්මක දේශපාලන හරඹයකින්, කෙටි උත්තේජන වලින් ඔවුන්ගේ ඡන්දය ලබාගත හැකිය. තම ඡන්දය අරක්කු බෝතලයේ සිට රස්සාවක් ලබා ගැනීම හෝ පරිසර සම්පත් විකිනීම සඳහා බලපත්‍රයක් ගැනීම වැනි දේට විකුණයි. රට අන්ත දේශපාලනීකරණයට පත් වූ විට රටේ ජනතාව දේශපාලකයා ව දකින්නේ තමන්ට සියලුම දේ ලබාදෙන මැවුම්කාරයෙක් හැටියටයි. අද ද රටේ බොහෝ ජනතාව කියන්නේ “රාජපක්ෂලා හොරකම් කර කර හරි පාරවල් හැදුවා”, “හොරකම් කරපු සල්ලි වලින් හරි කොරෝනා 5000 දුන්නා වැනි කථාය”. දේශපාලනයේ ප්‍රායෝගික මට්ටමේ පහල ඇති වු මෙවැනි ගෝත්‍රික සාකච්ඡාවන් විශ්ලේෂණය කර ගැනීමට ඔබගේ යහපාලන කණ්ඩායමට හැකියාවක් නොතිබිණි.
නොමිලේ දෙන අධ්‍යාපනය හේතුවෙන් රට වැසියාගේ සාක්ෂරතාවය ඉහල ගිය ද, මනුෂ්‍ය බුද්ධිය මූලික වු දැනුම ඉහල නොගියේය. සාක්ෂරතාවය මුල් කරගත් අධ්‍යාපනය නිසා, ඇතැම් ගෝත්‍රීක චර්යාවන් සහ සාම්ප්‍රදායික විශ්වාසයන් මිනිසාගෙන් තුරන් වන්නේ නැත. සියල්ලටම පෙර රටකට අවශ්‍ය වන්නේ දැනුමින් පිරිපුන්, දැනුම ප්‍රායෝගිකව ජීවිතයට යොදා ගත හැකි රට වැසියන් පිරිසකි. රාජපක්ෂ දේශපාලනයේදි කළේ මේ ගෝත්‍රීක ලක්ෂණ මුල් කරගත් සමාජ-දේශපාලන ප්‍රයෝගයක් තුල රටේ ජනතාව කොටු කිරීමය. 'මහින්දලා පොල් ලෙල්ලක් දැම්මත් මිනිස්සු ඒකටත් චන්දය දෙනවා' යන ආකාරයේ පටු මතයක් තුල ජනතාවගේ සමාජ-දේශපාලන දැක්ම විග්රහ කර ඇත. ඔබගේ යහපාලන ආණ්ඩුව කිසිදු දවසක රටේ ජනතාවට ආමන්ත්‍රණය කරමින් ඔවුන් සමග සංවාදයක යෙදුනේ නැත. සාමයේ දී 'සුදු නෙළුම් ව්‍යාපාරය' ලෙසද යුද්දයේ දි 'අපි වෙනුවෙන් අපි' ලෙසද ක්‍රියාත්මක වූ ජනතා ආමන්ත්රණ ක්‍රියාවලියක් යහපාලනය වෙනුවෙන් ද අවශ්‍ය බව බොහෝ ප්රාමානික වියතුන් දහස් වර ඔබද ඇතුළු ඔබගේ මැති ඇමැති රැලට කීවද කනකට ගත්තේ නැත. එහි ප්‍රථිපලය වුයේ රාජපක්ෂලාගේ කපටි දේශපාලනය වෙත රට තල්ලු වීම නොවේද?
යහපාලනය අවශ්‍ය වූයේ ජනතාව මේ ගෝත්‍රීක මානසිකත්වයෙන් මුදා ගන්නටය..! මේ මජර දේශපාලන යැපීමෙන් ජනතාව මුදාගන්නටය, ඔබගේ යහපාලනය ඊට නායකත්වය දුන්නේ නැත..!
රාජපක්ෂලාගේ දේශපාලනය විසින් හදපු බිම් මට්ටමේ දේශපාලන යථාර්ථය හඳුනා ගැනීමට යහපාලනයට නොහැකි විය. කෝටි දෙකක් වැනි සුලු ජනගහනයක් සිටින රටක සමාජ-දේශපාලන මතවාදයක් ගොඩ නගා, ඊට නායකත්වය දීමට ඔබ මුල් වි හැදු යහපාලනයට නොහැකි විය. මා සිතන්නේ, එසේ වුයේ ඔබගේ නොහැකියාව සහ අනවබෝධය නිසා බවයි.
අශිෂ්ට පාදඩ දේශපාලනයට අප රට ගොදුරු වි ඇති බව ඔබ පිලිගනු ඇතැයි විශ්වාස කරමි. එය වෙනස් කිරිමට ඔබට ලැබුන අවස්ථාව ඔබ ප්‍රයෝජනයට ගත්තේ නැත. ඔබට ඡන්දය දුන් ඡන්ද දායකයාද, ඡන්දය ලැබු ඔබ ද මේ අශිෂ්ඨ පාදඩ දේශපාලනයේම ගොදුරක් වි ඇත. එදා ඔබ සිටින තැනට ඔබ ගෙන ආවේ, එදා රාජපක්ෂලා නිර්මාණය කළ ඒ සමාජ-දේශපාලන සංස්කෘතියයි. අද ඔබව සිටින තැනට ඔබව ඇද දැම්මේ ද රාජපක්ෂලා මේ රටට හඳුන්වා දුන් ඒ දේශපාලන ක්‍රමයමය.!
බොහෝ දිගු වූ ද, ඉතා වෙහෙසකාරී වූ ද ගමනකට පසු ඔබ දේශපාලනයෙන් සමුගත යුතුව තිබුනේ මේ ආකාරයට නොවේ. නමුත් ඔබ “වෙනස් නොකළ සමාජ-දේශපාලන ක්‍රමය” විසින්ම ඔබගේ ගමනේ අවසානය සනිටුහන් කර ඇත. එය හූ කාගෙන ගූ නාගෙන සිද්ධ වී තිබේ.
---------------------------
by (2020-08-10 08:36:36)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි