ආනුභාවනන්ද හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2020.මැයි.15, පෙ.ව.9.40) වසර 2015 දී බලයට පත්වූ යහපාලන රජය එම වසර ආරම්භයේදීම ලක්ෂ දාහතරක් වූ රාජ්‍ය සේවකයන්ට රුපියල් දහදාහක වැටුප් වැඩිවීමක් ලබාදුන්නේය. ඒ සඳහා රජයට මාසයකට අමතරව රුපියල් බිලියන 14ක වියදමක් දැරීමට සිදුවිය. එය රජයක් විසින් ඉතිහාසයේ ලබාදුන් ඉහළම වැටුප් වැඩිවීමයි. 2015-2019 කාලයේදී රාජ්‍ය සේවයේ විවිධ අංශවල සේවකයන්ට තවත් වැටුප් වැඩිවීම් හිමිවිය. මේ කාලයේදී රාජ්‍ය සේවක වැටුප් දෙගුණයකින් පමණ වැඩිවිය. වසර 2020 ජනවාරි 1 වන දා සිට තවත් වැටුප් වැඩිවීමක් සැලසුම් කර තිබිණ. එයට අමතරව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන රාජ්‍ය සේවයක් බිහිකිරීමට යහපාලන රජය පදනම දැමීය. මේ පරිසරය යටතේ පසුගිය ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයාට රාජ්‍ය සේවකයන් අතර වාසිදායක තත්ත්වයක් ඇතිවනු බවට තක්සේරුවක් විය. එහෙත් සිදුවූයේ අනෙකකි. දකුණේ දී රාජ්‍ය සේවක ඡන්දයෙන් සියයට 70ක් හිමිවූයේ ගෝඨාභය රාජපක්ෂටය. එසේ ඡන්දය ප්‍රකාශ කළ රාජ්‍ය සේවකයෝ "අපි ඡන්දය දුන්නේ රට ගැන හිතලා මිසක් බඩ ගැන හිතලා නෙමෙයි" වැනි ආඩම්බර "රුවන් වැකි" සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කළහ.
ජනාධිපති ආර්ථික උපදේශක පී.බී ජයසුන්දර මේ මොහොතේ රාජ්‍ය සේවයේ බඩ ගැන නොසිතා රට ගැන සිතන දේශප්‍රේමීන්ට අපූරු අවස්ථාවක් හිමිකර දී ඇත. කොරෝනා වසංගතය නිසා ඇතිවී ඇතැයි කියන රටේ ආර්ථික අර්බූදය හේතුවෙන් මැයි මාසයේ වැටුප හෝ එයින් අඩක් රජයට පරිත්‍යාගකර රට රැකගන්නා ලෙසට ඔහු රාජ්‍ය සේවකයන්ගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය. මෙවැනි ඉල්ලීමකදී "අපි ඡන්දය දුන්නේ රට ගැන හිතලා මිසක් බඩ ගැන හිතලා නෙමෙයි" වැනි උදාර වාක්‍ය ලියූ දේශප්‍රේමීන් පෝලිමේ පැමිණ මාස තුනක වැටුප් පරිත්‍යාග කළ යුතුය. එහෙත් අවාසනාවකට මේ දේශප්‍රේමීන් අද බෙහෙතකට හෝ සොයා ගැනීමට නොහැකිය. අද සිදුව ඇත්තේ බලහත්කාරයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කපාගැනීමටය. එය පරිත්‍යාගයකට වඩා මංකොල්ලකෑමකි.
එහෙත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදය කොරෝනා වසංගතය නිසා මතුවූවක් නොවෙයි. එය පසුගිය දශක එකහමාරක පමණ කාලය පුරා පැතිරයන්නකි. එය ණය ආපසු ගෙවීමේ අර්බුදයකි. වසර 2020 අවසාන වන විට ශ්‍රී ලංකාව සිය ණය වාරිකය වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.7 ක් ගෙවිය යුතුය. මේ වසර ආරම්භයේ දීම ඒ සඳහා මුදල් එකතු කර ගැනීම සඳහා වාණිජ වෙළෙඳපොළ හරහා රජය උත්සාහ කළ ද එය අසාර්ථක විය. චීනයෙන් ගිණි පොළියට ඇ.ඩො මිලියන 500 ක කෙටි කාලීන ණයක් ලබා ගන්නේ ඉන්පසුවය. මේ ආර්ථික අර්බූදය කොරෝනා වසංගතය නිසා ඇතිවූවක් නොවෙයි.
එහෙත් කොරෝනා වසංගතය හේතුවෙන් මේ ආර්ථික අර්බූදය වඩාත් තීවෘ විය හැක්කේ ලෝක ආර්ථික අවපාතය නිසාය. රට මේ ආර්ථික අර්බූදයට ගෙන යෑම පිළිබඳ පී.බී ජයසුන්දර ද එක් ප්‍රධාන විත්තිකරුවෙකි. වසර 2006-2014 රාජපක්‍ෂ රෙජීමය සමයේ කිසිදු තක්සේරුවකින් තොරව අධික පොළියට දේශීය සහ විදේශීය ණය ගත්තේ ඔහුගේ මෙහෙයවීම යටතේය. විදේශ රටවල් සහ සංවිධාන වලින් ද්වි පාර්ශවීය සහ බහු පාර්ශවීය අඩු පොලී ණය වෙනුවට අධික පොලියට විදේශ වාණිජ වෙළඳපොලෙන් ණය ලබා ගත්තේය. අඩු පොලී සහන ණය වෙනුවට ඉහළ පොලියට වාණිජ ණය ලබාගත්තේය. විශේෂයෙන් චීන බැංකුවලින් ලබාගත් ණය මෙහිදී ප්‍රධාන වෙයි. මේ ණය බොහෝ විට කෙටිකාලීන ප්‍රතිලාභ ලබා ගත නොහැකි දිගුකාලීන ආයෝජනයන්හි යෙදවීම හේතුවෙන් (අසාර්ථක ගුවන් තොටුපොළ, වරාය, ක්‍රීඩාපිටි, සම්මන්ත්‍රණ ශාලා, ගුවන් පාලම්, අධිවේගී මාර්ග) ණය ආපසු ගෙවීමේ අර්බූදයක් නිර්මාණය විය. මේ අනවශ්‍ය ඉදිකිරීම් හරහා පෝෂණය වූයේ රාජපක්ෂ පවුල සහ ඔවුන් වටා සිටි දූෂිත ව්‍යාපාරික පංතිය පමණි. 2006 – 2014 රාජපක්ෂ රෙජීමය සමයේ රජයේ ප්‍රාග්ධන වියදම රු. බිලියන 3,142 ක් විය. එයින් රු. බිලියන 1,259 ක් එනම් සියයට 39 ක් වැය කර ඇත්තේ මහාමාර්ග සඳහාය. යහපාලන ආණ්ඩුවට සිදුවූයේ මේ ණය වාරික ආපසු ගෙවීම සඳහා නැවත ණය ලබා ගැනීමට ය. 2015-2019 වකවානුවේ යහපාලන රජය ලබාගත් විදේශ ණය ප්‍රමාණයෙන් සියයට හැත්තෑවකට වඩා යෙදවීමට සිදුවූයේ රාජපක්ෂ රෙජීමයේ ණය වාරික ගෙවීම සඳහාය.
UNCTAD සංවිධානය පසුගිය අප්‍රේල් 23 වනදා නිකුත් කළ "From the Great Lockdown to the Great Meltdown: Developing Country Debt in the Time of Covid-19" නම් වාර්තාව නිකුත් කළේය. ලෝකයේ සංවර්ධන වෙමින් සහ පරිවර්තිත ආර්ථිකයන් සැළකීමේදී රජයේ ආදායම් වලින් ණය වාරික සඳහා වැඩිම ප්‍රතිශතයක් වසර 2018 දී වෙන් කළ රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වන ස්ථානය ගනියි. ලංකාවට ඉදිරියෙන් තිබෙනුයේ ජිබූටි, වෙනිසියුලාව සහ ලෙබනනයි. මේ රටවල් තුනේම ආර්ථික ය කඩා වැටී අතර තම වාර්ෂික ණය වාරික ගෙවීමට නොහැකි තත්ත්වයට පත්ව ඇත. මේ වාර්තාවේ දැක්වෙන අන්දමට ලෝකයේ සංවර්ධන වෙමින් පවතින බොහෝ රටවල් සිය රාජ්‍ය ආදායමෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් ණය සඳහා ගෙවීමට සිදුවෙයි (පිටුව 6). කොරෝනා වසංගතය හමුවේ මේ රටවල් වඩාත් දුෂ්කර ආර්ථික මට්ටමකට ඇදවැටීමට නියමිත බව UNCTAD සංවිධානයේ තක්සේරුවයි.
රටම දැඩි ණය අර්බුදයක ගැට ගැසී ඇති බව දැන දැනම ගෝඨාභය රාජපක්ෂ රජයේ ආදායම විනාශ කරගත්තේ තම ව්‍යාපාරික හෙන්චයියන්ට අසීමිත බදු සහන ලබාදීම මගිනි. වසර 2018 රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 1.9 කි. එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13.3 කි. ලංකාවේ රජයේ ආදායමෙන් සියයට 89 ක් ආදායම් බදු හරහා ලැබෙයි. එම බදු ආදායමට වැඩිම දායකත්වය ලබාදෙන්නේ වැට් (Value Added Tax) බද්දයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමඟ ගනු ලැබූ පළමු තීරණයක් වූයේ ඉහළ පෙලේ ව්‍යාපාරික ප්‍රජාවට බදුසහන ලබාදීමයි. තමාගේ ජයග්‍රහණයට මූල්‍යමය ආධාර කළ කොල්ලකාරී ව්‍යාපාරිකයන්ට කළගුණ සැලකීම මේ තීරණයේ අරමුණ විය. මේ බදු සහන හරහා ආර්ථික ක්‍රියාකාරිත්වය ඉහළ ගොස් භාණ්ඩ මිල පහත වැටී පොදු ජනතාවට සහන ලැබෙන බවට රජය සුරංගනා කථා කීවේය. එහෙත් අඩු වූ බඩු මිලක් නොමැත. ජාත්‍යන්තර Fitch Ratings Inc. හි තක්සේරුවට අනුව මේ බදු සහන හේතුවෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දෙකක වටිනාකමක් ඇති රජයේ ආදායම අහිමිවිය.
විපක්ෂයේ ඉදිරිපෙල නායකයෙක් වූ පාඨලී චම්පික රණවක පවසන ආකාරයට නව ජනාධිපතිවරයා තේරී පත්වූ වහාම සදාචාර නොවන ක්‍රම මගින් ධනය උපයන ව්‍යාපාරිකයන්ද ඇතුළුව ඇති හැකි අයට 2019 දෙසැම්බරයේ සිට දුන් බදු සහන නිසා රාජ්‍ය ආදායම 30% කින් අඩුවිය. මේ කෝවිඩ් වසංගතයට පෙර තත්ත්වයයි. වසංගතයත් ආනයන සහ අපනයන වෙළඳාම බිඳ වැටීමත් සමඟ ඝෘජු සහ වක්‍ර බදු ආදායම් තවදුරටත් කඩා වැටෙමින් පවතියි. පසුගිය මැයි 13 වනදා UNCTAD සංවිධානය නිකුත් කළ How Covid-19 is changing the world: a statistical perspective නම් වාර්තාව අනුව මේ වසරේ දෙවන කාර්තුවේ ජාත්‍යන්තර වෙළඳාම සියයට 27 කින් පහත වැටීමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාර්තු 27 වනදා නිකුත් කළ The Global Outlook වාර්තාව අනුව වසර 2008 දී ඇතිවූ මූල්‍ය අර්බූදයට වඩා දැවැන්ත ගෝලීය ආර්ථික අවපාතයක් කොරෝනා වසංගතය මගින් නිර්මාණය වෙයි. ආසියානු සංවර්ධන බැංකුව පසුගිය අප්‍රේල් 3 වන දා සිදු කළ ප්‍රක්ෂේපනයන්ට අනුව මේ වසංගතය හේතුවෙන් ලෝක ආර්ථික වර්ධනය සියයට 2.8-4.8 අතර ප්‍රමාණයකින් මේ වසරේ දී පහත වැටෙනු ඇත.
ලෝක බැංකුවේ ප්‍රක්ෂේපණයන්ට අනුව කොරෝනා වසංගතය හේතුවෙන් දකුණූ ආසියානු ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්වන අතර එය පසුගිය දශක හතරක කාලයේදී කලාපය මුහුණ දුන් නරකම තත්ත්වය වනු ඇත. දැනට මාස හයකට පෙර වසර 2020 දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය සියයට 6.3ක් වශයෙන් තක්සේරු කර තිබූ අතර කොරෝනා වසංගත හේතුවෙන් එය සියයට 1.8-2.8 දක්වා පහත වැටෙනු ඇතැයි යන්න ලෝක බැංකුවේ අදහසයි.
වසර 2016 සහ 2017 කාලයේ දී රටේ ඇතිවූ නියඟය කෘෂි ක්ෂේත්‍රයට සෘජුව බලපෑ අතර එය රටේ ආර්ථික වර්ධනය පහත දැමීමට හේතු වූ බව මහ බැංකු වාර්තා පෙන්වාදෙයි. වසර 2017 ආර්ථික වර්ධනය සියයට 3.4 ක් වූ අතර එය වසර 2018දී 3.3 දක්වා පහත වැටුණි. රටේ දේශපාලන අස්ථිරතාවය, අසාර්ථක මූල්‍ය ප්‍රතිපත්ති සහ දේශපාලන බල අරගලය රටේ ආර්ථික වර්ධනයට දැඩි බාධා කළේය. වසර 2018 දී මෙෙත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ දින පනස්දෙකේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ඒ අතරින් ප්‍රධාන වෙයි. පාස්කු ඉරිදා ප්‍රහාරය වසර 2019 ආර්ථික වර්ධනයට දැඩි බලපෑමක් කළේය. සංචාරක ව්‍යාපාරය ප්‍රධාන අංශයක් වූ සේවා ක්ෂේත්‍රයේ පැහැදිලි කඩාවැටීමට ලක්විය. එම වසරේ සේවා ක්ෂේත්‍රයේ පසුබැසීම සියයට 4.6කි. එහෙත් වසර 2018 දී එම ක්ෂේත්‍රය සියයට 5.7ක වර්ධනයක් වාර්තා කරගෙන තිබිණ.
මහ බැංකු වාර්තාවන්ට අනුව වසර 2019 දී රටේ දල ජාතික නිෂ්පාදනයට කෘෂි සහ ධීවර ක්ෂේත්‍රයේ දායකත්වය සියයට 8 කි. කර්මාන්ත ක්ෂේත්‍රයෙන් සියයට 29.4 කි. සේවා ක්ෂේත්‍රයෙන් සියයට 62.6 කි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මූලික වශයෙන් රැදී පවතින්නේ සේවා අංශය මතයි. සේවා අංශයේ ප්‍රධාන සංරචක වන්නේ සංචාරක ව්‍යාපාරය සහ විදේශ සේවා නියුක්තියයි.
විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ හෙවත් විදේශගතව සිටින ශ්‍රමික පුරවැසියන් ශ්‍රී ලංකාවට එවන මුදල් වටිනාකම පසුගිය දශකයේදී සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මහබැංකුවේ වාර්තා අනුව වසර 2009 සිට 2019 දක්වා කාලයේ දී ඇ.ඩො මිලියන 3330.3 සිට 6716.2 ඉහළ ගොස් තිබේ. වසර 2019 සහ 2020 ජනවාරි මාස සංසන්දනය කිරීමේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇ.ඩො මිලියන 545.3 සිට 580.9 දක්වා වර්ධනය වී ඇත.
උතුරු නැගෙනහිර යුද්ධය අවසන්වීමත් සමඟ සංචාරක ව්‍යාපාරය සීඝ්‍ර ලෙස වර්ධනය විය. වසර 2009 දී ඇ.ඩො මිලියන 349.6ක් වූ වාර්ෂික සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම් වසර 2018 වන විට ඇ.ඩො මිලියන 4380.6 දක්වා ඉහළ ගොස් තිබිණි. සේවා ක්ෂේත්‍රයේ ඉහළම පංගුකාරයා වන සංචාරක ව්‍යාපාරය පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව බිඳවැටිනි. වසර 2019 දී සංචාරකයන්ගේ පැමිණීම සියයට 18 කින් අවම විය. වසර 2019 සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් ප්‍රමාණය ඇ.ඩො මිලියන 3606.9 ක් බව මහ බැංකු සංඛ්‍යාලේඛනවලින් පැහැදිලිය.
පසුගිය වසරේ ලංකාවට වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙන්නේ ඉන්දියාවෙනි. එය සමස්ථ සංචාරකයන් ප්‍රමාණයෙන් සියයට 18.6 කි. දෙවැනි තැන හිමි වන්නේ බ්‍රිතාන්‍යයට ය (සියයට 10.4). චීනය තුන්වන තැනට පත් වන විට ඔවුනගේ දායකත්වය සියයට 8.8 කි.
මහ බැංකු වාර්තාවන්ට අනුව වසර 2018 දී මෙරට සංචාරක ව්‍යාපාරය සමඟ ඝෘජු සහ වක්‍ර රැකියා 380,000ක් බැදී පැවතිනි. වසර 2019 සැප්තැම්බර් මාසය වන විට සංචාරක සේවා සපයන හෝටල් ඇතුළු ආයතන 2,529 ක් ලියාපදිංචි කර තිබූ අතර සංචාරකයන් සඳහා කාමර 39,759 ක් රට තුළ ස්ථාපනය කර තිබිණ.
Goldman Sachs වාර්තාවන්ට අනුව කොරෝනා වසංගතය හේතුවෙන් චීනයේ මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 5.5 සිට 3 දක්වා පහත වැටෙන අතර පළමු කාර්තුවේ පසුබැසීම සියයට 9 කි. ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 1.3 දක්වා පහත වැටෙනු ඇති බව ඔවුනගේ තක්සේරුවයි. චීනයේ සහ ඉන්දියානු ආර්ථිකයේ පසුබෑම අපේ සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් ඇති කරනු ඇත. චීන සංචාරකයන්ගේ පසුබැසීම දැනටමත් ප්‍රදර්ශනය වෙමින් පවතියි.
චීනයෙන් වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට පැමිණෙන්නේ චීන නව වසර සමරන පෙබරවාරි නිවාඩුවේය. එහෙත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 92.6 කින් පහත වැටුණේය. ජනවාරි සහ පෙබරවාරියේ සංචාරකයන්ගේ පැමිණීම සියයට 6.5 කින් සහ 17.7 කින්ද මාර්තු මාසයේ සියයට 70.8 කින් පහත වැටී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලෝක සංචාරක සංවිධාන පසුගියදා කියා සිටියේ මේ වසරේ පළමු කාර්තුවේ දී ජාත්‍යන්තර සංචාරක කටයුතු සියයට 22 කින් පහත වැටී ඇති බවයි. වසර 2020දී ජාත්‍යන්තර සංචාරක කටයුතු සියයට 60-80 කින් පහත වැටෙන අතර එහි ආර්ථික පාඩුව ඇ.ඩො බිලියන 80කි. සිවිල් ගුවන් ගමන් මේ වනවිට බෙහෝ සෙයින් නවතා දමා ඇත. ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන ඉන්දියාවේ සහ චීනයේ ආර්ථික පසුබෑම අපේ සංචාරක ව්‍යාපාරයට සෘජුවම බලපානු ඇත. සමස්ථයක් වශයෙන් ඉදිරිකාලයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපීපෙනෙන පසුබැසීමක් දැකිය හැකි වනු ඇත.
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශගතව රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අහිමිවෙමින් පවතියි. ආරම්භයේ දී ඉතාලිය ඇතුළු යුරෝපා රටවල සේවයේ නිරත වූවෝ මේ ඉරණමට ගොදුරු වූහ. මැද පෙරදිග සහ මැලේසියාව, දකුණු කොරියාව , ජපානය, සිංගප්පූරුව වැනි ආසියානු රටවල රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයෝ මේ ඉරණමට ගොදුරු වෙමින් සිටිති. දැනටමත් ඇතැමෙක් සිය රට පැමිණ සිටිති. රටට විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මගින් ලැබෙන විදේශ විනිමය ඉදිරියේදී පහත වැටෙනු ඇත.
මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධානතම සංරචකය ඇගළුම් කර්මාන්තයයි. වසර 2019 සමස්ථ අපනයන ක්ෂේත්‍ර ආදායමින් සියයට 46.5 කට දායකවූයේ ඇගළුම් කර්මාන්තයයි. පසුගිය වසර වන විට එම ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු සංඛ්‍යාව 990,000කි. කොරෝනා වසංගතය හේතුවෙන් දැනටමත් ඇගළුම් කර්මාන්තය අර්බුදයට මුහුණ දී ඇති බව ශ්‍රී ලංකා ඇගළුම් අපනයනකරුවන්ගේ සංගමය පවසයි. දැනටමත් සිය ඇනවුම් අවලංගු කීරීමට ඇතැම් ගැණුම්කරුවන් පියවර ගෙන ඇති බව ඔවුන් හෙළිකරයි. දෙවන කාර්තුවේදී ඇගළුම් අපනයන ආදායම ඇ.ඩො මිලිනය 1.5 කින් පහත වැටෙනු ඇති බවට ශ්‍රී ලංකා ඇගළුම් අපනයනකරුවන්ගේ සංගමය දැනටමත් තක්සේරු කර තිබේ.
මේ වසරේ ආරම්භයේ සිට කොළඹ කොටස් වෙළෙඳ පොළ කඩා වැටුණි. කොළඹ කොටස් වෙළෙඳ පොළ හි වටිනාකමකින් සියයට 25.4ක් එනම් රුපියල් බිලියන 723ක් පසුගිය මාස තුනේදී අහිමිවිය. මාර්තු මාසයේදී පමණක් අහිමිවූ මුදල රුපියල් බිලියන 632.8 කි. විදේශ ආයෝජකයෝ බුරුතු පිටින් සිය ආයෝජන ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන ගියහ.
රාජපක්ෂ රජය "බයි" ජනතාව පිනවීම සඳහා මේ දිනවල "දේශප්‍රේමී ජාතික ආර්ථිකයක්" වීර කාව්‍ය නිර්මාණය කළ ද අපට ගෝලීය ආර්ථිකයෙන් ගැලවීමට නොහැකිය. කොරෝනා වසංගතයත් සමඟ ඇතිවී තිබෙන ලෝක ආර්ථික අවපාතයෙන් මිදීමට ලංකාවට නොහැකිය. දැනටමත් එහි බලපෑම සංචාරක, ඇඟළුම්, විදේශ සේවා නියුක්තිය සහ ආනයන අපනයන වෙළඳාම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් කිරීමට පටන් ගෙන ඇත. එබැවින් ලංකාවේ ආර්ථික අර්බුදය කොරෝනා වසංගතය මගින් වඩාත් භයානක මට්ටමට ගෙන යනු ඇත. වර්තමාන ගෝඨාභය රාජපක්ෂ රජය මේ ආර්ථික අර්බුදයට මුහුණ දීමට යන්නේ වසර 2006-2014 රාජපක්‍ෂ රෙජීමය සමයේ කිසිදු තක්සේරුවකින් තොරව අධික පොළියට දේශීය සහ විදේශීය ණය ලබා ගැනීමේ ආර්ථික උපක්‍රම හරහාය. මේ ණය මුදල් ඉක්මන් ප්‍රතිලාභ නොලැබෙන දැවැන්ත ඉදිකිරීම් සදහා යෙදවීම හරහා එම මුදල් ආර්ථිකයට පොම්ප කිරීම රාජපක්ෂ උපක්‍රමයයි. එමගින් රාජපක්ෂලා සහ ඔවුන් වටා සිටින ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ අතමිට සරුවෙයි. ඒ උපක්‍රමයේ න්‍යායාචාර්යවරයා වන්නේ පී. බී ජයසුන්දරය. මේ සඳහා මධ්‍යම සහ රුවන්පුර අධිවේගී මාර්ග සඳහා අධික පොළී අනුපාත යටතේ චීනයෙන් විශාල ණය ගැනීම සඳහා දැනටමත් පිඹුරුපත් සකස් කරමින්සිටියි. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ තවදුරටත් අප ණය ආපසු ගෙවීමේ අර්බුදයේ පැටලීමය.
ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා පිළිබඳ ප්‍රධානීන් දැනටමත් මහා භාණ්ඩාගාර නිළධාරීන්ට දන්වා ඇත්තේ මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවට සිය ණය වාරික ආපසු ගෙවීමට නොහැකි අනතුරක් ඇති බවයි. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් රටේ සමස්ථ ආර්ථිකය බිඳ වැටී දැවැන්ත සමාජ, දේශපාලන අර්බූදයකට රට තල්ලුවනු ඇත. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හිඟාකෑම හරහා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමට නොහැකි ය. ඒ සඳහා නව ආර්ථික දැක්මක් වැඩ පිළිවෙලක් අවශ්‍යය. එහෙත් අවාසනාවකට ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවට ඇත්තේ "දේශප්‍රේමී ජාතික ආර්ථිකයක්" වැනි ඇස්බැන්දුම් ප්‍රෝඩාවන් පමණි ෴
ලියුම්කරුගේ පෙර ලිපි පහත දිගුවෙන්
https://www.lankaenews.com/category/33
---------------------------
by (2020-05-15 04:31:13)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි